ආත්මාරක්ෂාවට පතොක් ගස් නඟින “බොබ්කැට්”

ලෝකයේ බිළාල කුලයේ සාමාජිකයන් හතළිහක් පමණ සිටිනවා. ඒ වගේම ලෝකයේ වැඩිම පැතිරීමක් සහිත සත්ත්ව කොට්ඨාශයක් ලෙසත් බිළාල කුලය හැඳින්විය හැකියි. එයට බලපාන ප්‍රධානතම හේතුවක් වෙන්නේ, මිනිසා ආශ්‍රයේ වෙසෙන බළලාත් බිළාල කුලයට අයත්වන නිසා යි. මේ විශාල කුලකයේ ශරීර ප්‍රමාණයෙන් විශාල සාමාජිකයන් හත්දෙනෙකු පමණ සිටිනවා. සිංහයා, ව්‍යාඝ්‍රයා, කොටියා (දිවියා), චීටාවුන්, ජගුවරයන්, කූගර්, සහ හිම ව්‍යාඝ්‍රයින් මේ විශාල සාමාජිකයන්ට අයත්වෙනවා.

බිළාල කුලයේ සාමාජිකයන් විද්‍යාත්මකව වර්ග කෙරෙන්නේ ක්‍ෂීරපායි වර්ගයේ, කානිවෝරා ගෝත්‍රයේ, ෆෙලීඩේ කුලයට අයත් සතුන් ලෙස යි. ශ්‍රී ලංකාවේ ස්වභාවික පරිසරයේ ෆෙලිඩේ කුලයට අයත් සාමාජිකයන් සිව්දෙනෙකු පමණ දැනට දක්නට ලැබෙනවා. ඒ අතරින් විශාලතම සාමාජිකයා කොටියා වන අතර, අනෙකුත් සාමාජිකයන් සාපේක්ෂව කුඩා ශරීර ප්‍රමාණ දරන කැළෑ බළලුන්. හඳුන් දිවියා, බළල් දිවියා, කොළ දිවියා ශ්‍රී ලංකාවේ ස්ව්භාවිකව දැකිය හැකි කැළෑ බළලුන් වෙනවා. කොටින්  හැරුණුකොට ලංකාවේ කැලෑ බළලුන් පිළිබඳව පර්යේෂකයන් සතු දැනුම සීමිත යි. ඒ නිසා ඔවුන් ලංකාවේ කැළෑ බළලුන් ගැන පෙරට වඩා අවධානයක් යොමු කිරීමට උත්සුක වෙනවා. ඉතින් මේ ලිපියෙන් අවධානය යොමු කරන්නේත් එවැනි කැලෑ බළල් විශේෂයක් වන බොබ්කැට් ගැන යි. හැබැයි ඔවුන් ලංකාවේ දක්නට ලැබෙන විශේෂයක් නම් නොවෙයි. නමුත් කාරණා කිහිපයක් නිසා බොබ්කැට්ලා විශේෂ වෙනවා.

හිමේ දුවන බොබ්කැට් කෙනෙක්/TreeHugger

 

බොබ්කැට්ලා කොහෙද ඉන්නේ?

විද්‍යාත්මකව Lynx rufus ලෙස හඳුන්වන බොබ්කැට්, ඇමරිකා එක්සත් ජනපදය මූලිකවම තම වාසභූමිය කරගෙන ජීවත් වෙනවා. නමුත් ඔවුන්ගේ පැතිරීම මෙක්සිකෝවේ සිට දකුණුදිග කැනඩාව දක්වා විහිදෙනවා. ඒ අනුව උතුරු ඇමරිකා මහද්වීපයේ සුවිශාල ප්‍රදේශයක තම පැවැත්ම තහවුරුකර ගැනීමට බොබ්කැට් සමත්ව සිටිනවා. උතුරේ කේතුධර සහ මිශ්‍ර වනාන්තරවල සිට වෙරළබඩ වගුරුබිම්, කාන්තාර, සහ ළඳු කැලෑ වැනි එකිනෙකට වෙනස් පරිසර පද්ධතීන්වල පහසුවෙන් ජීවත්වීමට මොවුන් අනුවර්තනය වී තිබෙනවා. නමුත් ඔවුන් වසන එක් එක් ප්‍රදේශයේ දේශගුණික තත්ත්වයන් අනුව ඔවුන්ගේ ශරීර ප්‍රමාණය සහ බර වෙනස්වෙනවා. උතුරු ප්‍රදේශවල ජීවත්වන බොබ්කැට් කෙනෙකුට සාපේක්ෂව දකුණු ප්‍රදේශවල ජීවත්වන බොබ්කැට්ලා ශරීර ප්‍රමාණයෙන් කුඩා යි. ඔවුන්ගේ ශරීරයේ දිග සෙන්ටිමීටර 46 සිට 64 දක්වා වෙනස්වෙන්න පුළුවන්. ශරීර බර කිලෝග්‍රෑම් 4-15 අතර පරාසයක විහිදෙනවා. නමුත් අපි ගෘහස්තව දකින බළලුන් හා අනෙකුත් බොහෝ කැළෑ බළලුන්ට වඩා මොවුන්ට තියෙන්නේ ඉතා කෙටි වලිගයක්.

බොබ්කැට් උතුරු ඇමරිකා මහද්වීපයේ පුළුල් පරාසයක පැතිර සිටිනවා/wikimedia

බොබ්කැට්ගේ අනුවර්තනයන්

බොබ්කැට්ලා සතුව සුවිශේෂ අනුවර්තන කිහිපයක් තිබෙනවා. මේ අනුවර්තනයන් නිසා ඔවුන්ට උතුරු ඇමරිකා මහද්වීපයේ එකිනෙකට වෙනස් පරිසර පද්ධතීන්වල වාසය කිරීමට හැකියාව ලැබී තිබෙනවා. කාන්තාර පරිසර වැනි ඉතා අවම ආහාර සහ නවාතැන් පහසුකම් ඇති පරිසරයන්වල පවා සාර්ථක ලෙස ජීවත්වෙන්න මොවුන්ට පුළුවන්. බොබ්කැට්ගේ ලොම් ආවරණයේ වර්ණය සහ රටා ඔවුන්ට හොඳ වේශාන්තරණ හැකියාවක් ලබා දී තිබෙනවා. ඒ නිසා තම ගොදුරුවලට සමීපවීමටත්, සතුරන්ගෙන් සැඟව සිටීමටත්, මේ වේශාන්තරණ හැකියාව නිසා ලැබී තිබෙනවා. ආකර්ෂණීයම කරුණ වන්නේ සෘතු භේදය අනුව මොවුන්ගේ ලොම් ආවරණයේ පැහැය වෙනස්වීම යි. ඒ අනුව උණුසුම් මාසවල දී බොබ්කැට්ගේ වර්ණය කළු ඉරි සහ ලප සහිත රන්වන්-දුඹුරු පැහැයක් ගන්නවා. ශීත ඍතුව එළඹෙන විට මේ වර්ණය මියගිය ශාකවල වර්ණයට ගලපෙන පරිදි අළුවන් පැහැයකට හැරෙනවා. ඒ නිසා බොබ්කැට් කෙනෙකු හැබැහින් දකින එක ලෙහෙසි නැහැ. සමහර විට වනයේ ගමන් කරන මිනිසෙකු බොබ්කැට් කෙනෙකු දකින්න උත්සාහ කළත් අසාර්ථක වෙන්න පුළුවන් හැකියාව වැඩියි. නමුත් එයින් අදහස් වෙන්නේ නැහැ ඔවුන් දුර්ලභ යි කියා. ඇතැම් විට ඔවුන් සිටින්නේ අසලම ඇති පඳුරක් තුළ වෙන්න පුළුවන්. බිළාල සාමාජිකයන් කියන්නේ කොහොමත් හොඳ නිරීක්ෂකයන් පිරිසක්.

ජීවත්වන පරිසරය අනුව බොබ්කැට්ගේ ශරීර වර්ණය වෙනස්විය හැකියි/wallpaperflare.com/

බොබ්කැට්ගේ කන්වල ව්‍යුහය සැකසිලා තියෙන්නේත් තරමක් සුවිශේෂ ආකාරයකට. ඔවුන්ගේ කන්වල දාරය මතින් ඉහළට එසවුණු, උල් හැඩැති ලෝම රොදක් පිහිටනවා. ශබ්ද තරංග වඩාත් හොඳින් එක්රැස්කර, ශ්‍රවණ පරාසය වැඩිකර ගැනීම සඳහා මේ සුවිශේෂ පිහිටීම ඇතිවී තිබෙන බව විද්‍යාඥයින් විශ්වාස කරනවා. මේ අපූරු හැඩයට සැකසුණු දෙකන් නිසා බොබ්කැට් හට බොහොම කඩවසම් පෙනුමක් ලැබී තිබෙනවා. මේ සුවිශේෂ කාරණා හැරුණුකොට ෆෙලිඩේ කුලයට අයත් අනෙකුත් සාමාජිකයන්ට පොදුවූ අනුවර්තන මොවුන්ටත් තිබෙනවා. ඒ නිසා වනාන්තරය තුළ බොබ්කැට් කියන්නේ ටිකක් විතර බලපුළුවන්කාරයෙක්.

ආහාර සහ චර්යා රටා

බොබ්කැට් අනෙකුත් වනගත බිළාල සාමාජිකයන් වගේම මාංශ භක්ෂයන්. නමුත් ඔවුන්ගේ ආහාර කාලානුරූපී වෙනස්වීම්වලට ලක්වෙනවා. ඇතැම් විට සෘතු භේදය මේ සඳහා හේතුවෙනවා ඇති. ඔවුන් වැඩි වශයෙන් හාවුන් දඩයම් කිරීමට පෙළඹෙන අතර, මීයන්, කුරුල්ලන්, උරග විශේෂ, කෘමීන්, සහ බිත්තර වැනි පුළුල් පරාසයක් දක්වා ඔවුන්ගේ ආහාර රටාව විහිදෙනවා. සතෙකු දඩයම් කිරීමෙන් පසු මළකඳ සුන්බුන්වලින් ආවරණය කොට, වරින් වර පැමිණ එය ආහාරයට ගැනීම ඔවුන්ගේ සිරිත යි.

බොබ්කැට්ගේ කන්වල තිබෙන සුවිශේෂ පිහිටීම ඔබට දැකිය හැකි ද?/reddit.com/r/ProperAnimalNames/

බොබ්කැට් ස්වභාවයෙන් හුදෙකලාව දිවි ගෙවන සතුන්. ප්‍රජනන කාලය ආසන්න වන විට පමණක් ඔවුන් යුගලක් ලෙස ස්වල්ප කාලයක් එකට ජීවත්වෙනවා. ඔවුන් ජීවත්වන ආකාරය අනුව සමාජ පංතීන් තුනක් හඳුනාගෙන තිබෙනවා. වැඩිහිටි බොබ්කැට් සතුන් ස්ථිර වාසස්ථානයක් කේන්ද්‍රකර ගනිමින් ජීවත්වන අතර, සාපේක්ෂව වයසින් අඩු සතුන් ස්ථිර වාසස්ථනයක් නොමැති, තැනින් තැන සංචාරය කරමින් සිටින අයවලුන් වෙනවා. තුන්වන සමාජ පංතිය වන්නේ මවගේ රැකවරණය මැද ජීවත්වන කුඩා පැටවුන්.

බොබ්කැට් කියන්නේ ඉතා කලාතුරකින් හඬ නඟන සතුන්. ගෘහාශ්‍රිත බළලුන් මෙන් ඔවුන් මුඛරි නැහැ. ගැහැණු සතුන් කිසිවිටෙකත් තම වසම කිසිවෙකු හා බෙදා ගැනීමට සූදානම් නැහැ. නමුත් පිරිමි සතෙකුගේ වසම, ගැහැණු සතුන් කිහිපදෙනෙකුගේ වසම් සමග අතිච්ඡාදනය වෙන්න පුළුවන්. මොවුන් කොතරම් ලැජ්ජාශීලි සතුන් වුණත් කලාතුරකින් මිනිසා සමග අන්තර්ක්‍රියා කරන අවස්ථා තිබෙනවා. විශේෂයෙන්ම කුකුළු ගොවිපලවල් සහිත ප්‍රදේශවල ඔවුන් වැඩියෙන් හැසිරෙන්නට පුළුවන්. එමෙන්ම සුරතල් සතුන් දඩයම් කිරීමටත් ඔවුන් මිනිස් ජනාවාසවලට පැමිණෙනවා. කෙසේ නමුත් මිනිසා සහ බොබ්කැට් අතර ඇතිවිය හැකි ගැටුම් හැකිතාක් අවම කිරීම සඳහා මේ රටවල වෙසෙන සත්ත්ව ක්‍රියාකාරීන් ඉතා ක්‍රියාශීලිව කටයුතු කරනවා.

බොබ්කැට්ට හතුරෝ ඇත්තෙම නැද්ද?

ආරක්ෂාව පතා අඩි හතළිහක් පමණ උස පතොක් ගසකට නැඟි බොබ්කැට්/iizcat.com/

සොබාදහම බොබ්කැට් නිර්මාණයකොට තිබෙන්නේ හැම අතින්ම දක්ෂ දඩයම්කරුවෙකු ලෙස යි. ආහාර දාමයේ ඉහළින් සිටින ඔවුන්ට විලෝපිකයන්ගේ අවදානම තරමක් අඩු යි. නමුත් එය සැමවිටම සත්‍යවන්නේ නැහැ. වරෙක ඡායාරූප ශිල්පියෙකු වූ කර්ට් ෆොන්ගර්, බොබ්කැට් කෙනෙකුගේ දුර්ලභ හැසිරීමක් ඡායාරූපගත කිරීමට සමත්වෙනවා. ඇරිසෝනාහි ගෝල්ඩ් කැනියොන් නම් ශුෂ්ක ලක්ෂණ ඇති ප්‍රදේශයේ වැවෙන යෝධ සගුආරෝ පතොක් ශාකයක මුදුනටම නැඟ සිටින බොබ්කැට් සතෙකු තමයි ඔහු තම කැමරාවට හසුකර ගන්නේ. මේ පතොක් විශේෂය සාමාන්‍යයෙන් අඩි හතළිහක් දක්වා උසට වැඩෙනවා. කටු සහිත ශාකයක් දිගේ බොබ්කැට් කෙනෙකු මෙතරම් උසක් නැඟීමට බරපතල කාරණයක් තිබිය යුතුම යි.

කාන්තාර පරිසරයේ දිවි ගෙවන බොබ්කැට් සාමාජිකයන්ට තමන්ගේම පවුලේ කෙනෙකුගෙන් විටින් විට කරදර පැමිණෙනවා. ඒ කරදරකාරයා තමයි කඳුකර සිංහයා. කඳුකර සිංහයා උතුරු ඇමරිකානු මහද්වීපයේ ස්වභාවික පරිසරයේ දක්නට ලැබෙන ප්‍රමුඛතම විලෝපිකයෙක්. තමා පසුපස එලවාගෙන එන කඳුකර සිංහයන්ගෙන් ගැලවෙන්න තමයි බොබ්කැට් මේ විදිහට පතොක් ගසක් උඩට නඟින්නේ. බොබ්කැට්ට ඒක පහසු කාරණාවක් වුණාට කඳුකර සිංහයා එතන දී පරාජය වෙනවා.

කඳුකර සිංහයන්ගෙන් බොබ්කැට් සතුන්ට විටින් විට තර්ජන එල්ලවෙනවා/pressdemocrat.com/

කලින් සඳහන් කළ ආකාරයටම බොබ්කැට් කියන්නේ තමා වෙසෙන පරිසර පද්ධතියට හොඳින්ම අනුවර්තනය වූ සත්ත්ව කොට්ඨාශයක්. ඒ නිසා සගුආරෝ පතොක්වල කටුවලින් හානියක් නොවී, ආරක්ෂාව පතා එම ගස් පහසුවෙන් නැඟීමට ඔවුන්ගේ යටිපතුල් සැකසී තිබෙනවා.

සුරතල් පෙනුමක් ඇති මේ නිහඬ දඩයක්කරුවා උතුරු ඇමරිකානු පරිසරයට විලෝපිකයෙකු ලෙස කරන සේවය සුළුපටු නැහැ. ඒ නිසා එක්සත් ජනපදය, කැනඩාව, මෙක්සිකෝව යන රටවල වනජීවී අංශයන් මොවුන්ව රැක ගැනීමට වෙහෙසෙනවා.

Cover photo: thevlm.org/

මූලාශ්‍රයයන්: vidusara.com/

nationalgeographic.com/

coleandmarmalade.com/

study.com/

nationalzoo.si.edu/

Related Articles

Exit mobile version