අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතය- කන්නෙලිය

සිංහරාජ වනාන්තරය හැරුණු කොට තවත් ඒහා සමාන ජෛව විවිධත්වයෙන් යුත් තෙත්බිම් සමූහයක් ශ්‍රී ලංකාවේ දැක ගන්නට පුළුවන් . ඒ අතරින් කන්නෙලිය වන රක්ෂිතයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.

2004 වර්ෂයේදී යුනෙස්කෝව විසින් අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතයක් ලෙසින් නම් කරන ලඳ කන්නෙලිය, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති නිරිත දිග වැසි වනාන්තරයක් ලෙස හදුන්වනු ලබනවා. ලංකාවට පමණක් අවේණික බොහෝ සත්ව හා ශාක විශේෂ වලට රැකවරණය සලසන පුංචි සිංහරාජය ලෙස හදුන්වන කන්නෙලිය වන රක්ෂිතය පිළිබඳව සටහනක් ගෙන එන්නයි අපේ මේ සුදානම.

ඉතින් ඔබ කන්නෙලිය මීට පෙර නරඹා ඇත්නම් ඔබේ අත්දැකීම් අප සමඟ බෙදා ගැනීමටත්, ඉදිරියේදී කන්නෙලිය නැරඹීමට අදහස් කරනවානම් ඒ පිළිබඳවත් සටහනක් comment එකක් මගින් තබා යන්නත් අමතක කරන්න එපා.

පිහිටීම හා විශේෂත්වය

පිවිසුම (free95870.wordpress.com)

රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම භූමි ප්‍රදේශය වන රක්ෂණ දෙපාර්තුමේන්තුව යටතේ පාලනය වනවා. ගාල්ල නගරයට වයඹ දෙසින් හෙක්ටයාර 6144ක් පුරා අතීතයේ පැතිරී තිබූ කන්නෙලියේ භූමි ප්‍රමාණය අද වන විට හෙක්‌ටයාර 5305 ක්‌ දක්‌වා අඩුවී තිබෙනවා. කන්නෙලිය වනාන්තරය හා සම්බන්ධ තවත් වනාන්තර දෙකක්‌ ඊට මායිම්ව පිහිටා තිබෙනවා.

ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ පිහිටි නාකියාදෙනිය වනාන්තරය දකුණු මායිම්ව පිහිටා ඇති අතර ගාල්ල හා මාතර දිස්‌ත්‍රික්‌ක කේන්ද්‍රව පිහිටා ඇති දෙදියගල වන රක්‍ෂිතය ගිනිකොණ මායිම්ව පිහිටා තිබෙනවා. හෙක්‌ටයාර 12216 ක්‌ පමණ වන වනාන්තර පද්ධතියක්‌ ලෙසින් දෙදියගල, නාකියාදෙණිය හා කන්නෙලිය යන වනාන්තර ත්‍රිත්වය මිනිසා හා ජෛව ගෝල සංචිතයක් (Man & Biosphere Reserve) ලෙස යුනෙස්කෝව විසින් නම්කර තිබෙනවා.

මුහුදු මට්ටමේ සිට මීටර 60-425 පරාසය තුළ විහිදී ඇති කන්නෙලිය වනාන්තරයේ සාමාන්‍යයෙන් වාර්ෂික වර්ෂාපතනය මි.ලි. 4445 ක් පමණ වන අතර වැඩිම වාර්ෂාපතයක් නිරිතදිග මෝසම මගින් ලැබෙනවා. වනාන්තරය තුල පවතින මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක් පමණ වෙනවා.

නිල්වලා ගඟට හා ගිං ගඟට ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වන්නේ මෙම වනාන්තරයයි. නන්නිකිත ඇළ, කන්නෙලිය ඇළ හා උඩුගම දොළ ඇතුළුව ප්‍රධාන ජල මාර්ග හා සම්බන්ධිත කුඩා ජල දහරා 100කට අධික ප්‍රමාණයක් පිහිටා තිබෙනවා. මීටර් 46ක් උස අනගිමල ඇල්ලත් මීටර් 70ක් පමණ උස නාරංගස් ඇල්ලත් වැදගත් ජල මුලාශ්‍ර දෙකක්. තවද කබ්බලේ කන්ද, කොන්ඩගල කන්ද ඇතුළු කඳු මුදුන් 20ක් පමණ දැක ගන්නටත් පුළුවන්.

ලඟා වීම

කන්නෙලිය රක්ෂිතය (www.google.lk)

කොළඹ සිට ගාල්ල නගරයට ගොස් ගාල්ල – උඩුගම මාර්ගය ඔස්සේ උඩුගමට පැමිණ කන්නෙලියට ලඟා වීම හෝ දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ බද්දේගම පිවිසුමෙන් පිටවී උඩුගමට පැමිණ එහි සිට නන්නිකිත ඇළ දක්වා දිවෙන කුඩා පටු මාර්ගය ඔස්සේ කන්නෙලිය රක්ෂිත වනාන්තරයේ පිවිසුම වෙත ලඟා වෙන්නට පුළුවන්. මෙම පාර නන්නිකිත ඇළ අසළ තිබෙන ප්‍රධාන පිවිසුම් දොරටුව ඉදිරිපිටදී අවසන් වෙනවා.

වනාන්තරය පුරා පැතිර පවතින්නේ අලුතින් වැඩුණු ශාකවලින් යුත් ද්විතීය වනාන්තර (Secondary forest) පද්ධතියක්. මීට හේතුවී ඇත්තේ 1960 දශකයේ සිට 1970 අගභාගය වන තුරු තුනී ලෑලි සංස්ථාවේ ගාල්ල ගිංතොට කම්හල වෙත තුනී ලෑලි නිෂ්පාදනය සඳහා දැව ලබා ගැනීමට මෙම රක්ෂිතය විනාශ කිරීමයි.

වර්තමානයේදී පවා දැව කැපීමේ කටයුතු සඳහා ඉදිකරන ලද ගොඩනැගිලි සහ තාරදමා සකස්කළ මාර්ග පද්ධති වනාන්තරය තුළදී දැක ගන්නට පුළුවන්. ලෑලි සඳහා දැව කැපීම නතරවීමෙන් පසු වනාන්තරය ඝනව වැඩී තිබෙන අතර අද වනවිටත් වන විනාශයක් සිදුවී ඇති බවට අතරින් පතර යම් සලකුණු සොයා ගත හැකියි.

ශාක විවිධත්වය

ශාක පද්ධතිය (Lowland Wet Zone)

පහත රට තෙත් කලාපීය වැස්මක් සහිත වනාන්තර ව්‍යුහය තුළ ස්තරීභවනය හොදින් දකින්නට පුළුවන්. වියන් ස්තරය, උපවියන් ස්තරය, පඳුරු ස්තරය හා යටි වියන් රෝපණය වශයෙන් වනාන්තරය සකස් වී තිබෙනවා.

රක්ෂිතය තුළ ආරෝහක ශාක(වැල් වර්ග), භෞමික, අපිශාක හා මීවන විශාල ලෙස දකින්නට පුළුවන්. වනාන්තරයේ හදුනාගෙන ඇති ශාක විශේෂ 301න් 155ක් පමණ ලංකාවට අවේණික වෙනවා. හොර ශාක ප්‍රජාව, නා හා දුන් ශාක ප්‍රජාව හා මිල්ල, දියපර, වැලිපැන්න ශාක ප්‍රජාව ලෙස ප්‍රධාන කොටස් තුනකට ශාක වර්ග කර දක්වන්නට පුළුවන්.

කන්නෙලියෙන් වාර්තා වන ආවේනික ශාක විශේෂ අතරින් අරිද්ද, ඇටඹ ,මහබදුල්ල, කළුබදුල්ල, වැලිපැන්න, කටමොද, කැකුණ, වලුකීන, කීන, දොඹකීන, මඩොල්, දියනා, දොරණ, හොර හා මලබඩ ආදී පහතරට තෙත් කලාපීය ශාක විශේෂ වෙනවා. ලෝකයේ කිසිම තැනකින් වාර්තා නොවන මැන්දෝරා ශාකය කන්නෙලියෙන් සොයාගෙන තිබෙනවා.

මෙහි ඇති උඩවැඩියා ශාක අතරින් වනරාජ, ඉරුරාජ, වෙසක් මල් හා නාරිලතා වැනි ශාක විශේෂ වෙනවා. තවද කෙකටිය, අතිඋඩයන්, හා කෙලට වැනි ජලජ ශාකයන් දකින්නට පුළුවන්. මහා හැඩයා, කුඩා හැඩයා හා බරු කොකු වැනි මීවනද, වෙනිවැල්, කොතල හිඹුටු වැනි ඖෂධිය ශාකද, ලංකාවට ආවේණික කකුළු දැල්, තබ්බොටු වැල් වැනි ශාකද දකින්නට පුළුවන්.

සත්ත්ව විවිධත්වය

කන්නේලියේ සොදුරු දසුන් (Sri Lanka In Style)

කන්නෙලිය තුළ අනෙකුත් වැසි වනාන්තරයකට නොදෙවෙනි මට්ටමේ ඉහළ සත්ත්ව විවිධත්වයක් දක්නට ලැබෙනවා. මේ තුළින් පක්ෂි විශේෂ 120ක් පමණ හඳුනාගෙන තිබෙන අතර එම පක්ෂීන් අතරට ශ්‍රී ලංකාවට අවේණික පක්ෂී 23න් 14ක්ම අයත් වෙනවා. එමෙන්ම මෙම වනාන්තරය තුළින් ක්ෂිරපායී විශේෂ 20ක් පමණ හඳුනාගෙන තිබෙන අතර, ඒ අතරින් ගෝනා විශාලතම ශාක භක්ෂක සත්ත්ව විශේෂය ලෙසත් දිවියා විශාලම මාංශ භක්ෂක සත්ත්ව විශේෂය ලෙසත් වාර්තා වී තිබෙනවා.

මීට අමතරව රක්ෂිතය තුළින් උභයජීවී විශේෂ 19ක් හඳුනාගෙන ඇත. ඒ අතරින් රැක් මැඩියා, මොට හොඬු මැඩියා හා ගල්පර මැඩියා ප්‍රධාන වශයෙන් හඳුන්වාදීමට හැකියි. ලෝකයේ කිසිම තැනකින් වාර්තා නොවන ලබුගම පඳුරු මැඩියා දකින්නට ලැබෙන්නේ ලබුගම වනාන්තරයේ හා කන්නෙලියේදී පමණයි. එමෙන්ම ශ්‍රී ලංකාව තුළදී හමුවන විශාලතම සර්පයා වන ඉන්දියානු පිඹුරා, මූදු කරවලා, පළා පොළඟා, දෙපත් නයා ඇතුළු උරුග විශේෂ 50ක් ද මේ ආශ්‍රිතව හදුනාගෙන තිබෙනවා.

මේ වනවිට සමනල විශේෂ 53කට අධික සංඛ්‍යාවක් සහ පිනුම් කටුස්සා, බෝදිලිමා, රළු අං කටුස්සා, ගැටහොඬු කටුස්සා වැනි කටුසු විශේෂ රාශියක්ද කන්නෙලිය තුළින් හඳුනාගෙන තිබෙනවා.

නැරඹීම

වවුල් ලෙන තුළින් ගමන් කර වනාන්තරයට පිවිසිය හැකියි. (nature)

නැරඹීම සඳහා දින දෙකක් ගතවන අතර වනාන්තරය තුළ වාහන වලින් ගමන් කිරීම තහනම්. සෑම සංචාරක කණ්ඩායමකටම උපදේශකයෙක් ලැබෙන අතර රක්ෂිතය නරඹන ආකාර කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන්.

  1. ගුහාව මංපෙත, අනගිමල ඇල්ල මාර්ගය
  2. යෝධ නවඳගස, නාරංගස් ඇල්ල මාර්ගය
  3. කම්බලේ කන්ද මාර්ගය

මෙම කොටස් තුන සම්පුර්ණ කිරීමට දින දෙකක් ගතවන බැවින් අවශ්‍යනම් වනාන්තරය තුළ නැවතීමේ පහසුකම් ලබා ගන්නට පුළුවන්. ඒ සඳහා බත්තරමුල්ලේ, රජමල්වත්ත මාවතේ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අවසර ගතයුතු අතර ඒ පිළිබඳ තොරතුරු 0112-866631 හෝ 0112- 866 631 ඇමතීමෙන් ලබාගත හැක.

මොහොතක් සිතන්න

අනගිමල ඇල්ල (Lakdasun)

සංචාරය අතරතුර කිසිදු දිය ඇල්ලකට බැසීම තහනම් වන අතර සංචාරය අවසානයේ පිවිසුම් දොරටුව අසල ඇති දිය පහරින් ස්නානය කිරීමට හැකියි. සංචාරය සදහා කිසිදු ආකාරයක මත්ද්‍රව්‍ය හෝ දුම්වැටි රැගෙන ඒම තහනම්.

ආහාර ද්‍රව්‍ය ගෙන යා හැකි වුවද පොලිතින් භාවිතය අවම කිරිමට උපදෙස් ලබා දීමක් සිදුකරනවා. කිසිදු ආකාරයක ඉවතලන අමුද්‍රව්‍යයන් පරිසරයට බැහැර කිරීමද සපුරා තහනම්.

ඉතින් මෙවැනි වටිනා වනාන්තරයක් තුළ නීති විරෝධී කටයුතු නතර කිරීමටත් සංරක්ෂණය සඳහා පියවර ගැනීමත්, සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීමටත්, වැඩි සේවක පිරිසක් යොදවා වනයේ ආරක්ෂාව වැඩි කිරීමත් කල යුතු වෙනවා. මිල කළ නොහැකි ආවේණික සත්ව හා ශාක විශේෂ වනාන්තරයේ රැකවරණය ලබන බැවින් එය ආරක්ෂා කිරීම රජයේ පමණක් නොව ඔබ අප සියළු දෙනාගේම වගකීමක් වෙනවා.

Related Articles

Exit mobile version