Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෙවී ගිය දශකයේ මිහිමතින් සමුගත් සොඳුරු විහඟුන්

“නිරන්තරයෙන් ගැවසෙන බවට හඳුනාගන්නා ලද වාසස්ථාන සමීක්ෂණයට ලක් කිරීමෙන් පසු ව කිසියම් ශාක හෝ සත්ත්ව විශේෂයකට අයත් ව සිටි අවසාන ජීවියා මියගිය බවට සාධාරණ සැකයක් නොමැති සහ, අදාළ විශේෂයේ නව පරපුරක් බිහි කිරීම සඳහා අවස්ථාවක් නැති බවට පැහැදිලි සාක්ෂ්‍ය සහිත ජීව විශේෂ” පරිසර සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (International Union for Conservation of Nature හෙවත් IUCN) මඟින් ප්‍රකාශයට පත් කරන, තර්ජනයට ලක් වී ඇති ජීව විශේෂයන්ගේ රතු ලැයිස්තුව (The IUCN Red List of Threatened Species) නැතහොත් රතු දත්ත පොතේ ‘වඳ වී ගිය’ (Extinct : EX) සතුන් නිර්වචනය කර තිබෙනවා.

සති කිහිපයකට කලින් ප්‍රකාශයට පත් වූ ‘Biological Conservation’ ජ’නලයේ නවතම වෙළුම වාර්තා කර තිබුණේ ගෙවී ගිය දශකය තුළ දී පක්ෂි විශේෂ 8ක් සදහට ම මිහිමතින් සමුගෙන ඇති බව විශ්වාස කිරීමට අවැසි තරම් තොරතුරු පවතින බව යි. ‘BirdLife International’ ලාභ නොලබන ආයතනයේ මූල්‍ය අනුග්‍රාහය යටතේ සිදු කරන ලද පර්යේෂණයේ දී ‘වඳ වී යාමේ ඉහළ අවදානමක් ඇති’ (Endangered : EN) පක්ෂි විශේෂ 51ක් අධ්‍යයනය කර ඇති අතර, එහි දී වඳ වී ගිය පක්ෂි විශේෂ 3ක්, වන පරිසරයෙන් නෂ්ට වූ (Extinction in Wild : EW) පක්ෂි විශේෂ 1ක්, සහ වඳ වී ගොස් ඇති බවට සාධාරණ ව නිගමනය කළ හැකි පක්ෂි විශේෂ 4ක් හඳුනාගෙන තිබෙනවා.

ස්පික්ස්ගේ මැකෝ ගිරවා

© Joseph Smit

2011 දී රිදී තිරයට පැමිණි ‘Rio’ චිත්‍රපටය නැරඹූ අයට ‘බ්ලූ’ නම් ස්පික්ස්ගේ මැකෝ ගිරවා (Spix’s Macaw) ව තවමත් මතක ඇති බවට සැකයක් නැහැ. තර්ජනයට ලක් වී ඇති ජීව විශේෂයන්ගේ රතු ලැයිස්තුව විසින් 1994 දී වඳ වී යාමේ උග්‍ර තර්ජනයට ලක් වූ (Critically Endangered : CR) පක්ෂි විශේෂයක් ලෙස නම් කරන ලද විද්‍යාත්මක ව Cyanopsitta spixii ලෙස හඳුන්වන බ්‍රසීලයට ආවේණික ස්පික්ස්ගේ මැකෝ ගිරවුන්, මේ වන විට වන පරිසරයෙන් නෂ්ට වී ඇති බව යි වාර්තා වන්නේ. එයට හේතු වී ඇත්තේ දිගු කාලයක් තිස්සේ සිදු වූ වන විනාශය සහ කළු වෙළඳපොළේ දුර්ලභ පක්ෂි විශේෂ සඳහා ඇති ඉහළ ඉල්ලුම යි.

ගුප්ත වෘක්ෂ දඩයම්කරු

© HBW / BirdLife International

විද්‍යාත්මක ව Cichlocolaptes mazarbarnetti යන නාමයෙන් හඳුන්වනු ලබන ගුප්ත වෘක්ෂ දඩයම්කරු (Cryptic Treehunter) ලෙස පොදුවේ නම් කර ඇති බ්‍රසීලයට ආවේණික පක්ෂි විශේෂය අවසන් වරට දැකගැනීමට ලැබී ඇත්තේ 2007 දී යි. දිගු කාලයක් තිස්සේ සිදු වූ, වන විනාශය හේතුවෙන් වාසස්ථාන අහිමි වූ බ්‍රසීලියානු ගුප්ත වෘක්ෂ දඩයම්කරු මේ වන විට සදහට ම මිහිමතින් සමුගෙන ඇති පක්ෂි විශේෂයක් ලෙස සැලකිය යුතු බව යි ‘BirdLife International’ ආයතනය විසින් නිර්දේශ කර ඇත්තේ.

ඇලගොආ කොළඅතු ඇහිඳින්නා

© Uta Strelive

රතු පැහැයට හුරු දුඹුරු පැහැති සිරුරක් හිමි ඇලගොආ කොළඅතු ඇහිඳින්නා (Alagoas foliage-gleaner) විද්‍යාත්මක ව හඳුන්වන්නේ Philydor novaesi ලෙස යි. තර්ජනයට ලක් වී ඇති ජීව විශේෂයන්ගේ රතු ලැයිස්තුව විසින් 1994 දී වඳ වී යාමේ උග්‍ර තර්ජනයට ලක් වූ පක්ෂි විශේෂයක් ලෙස නම් කරන ලද ඇලගොආ කොළඅතු ඇහිඳින්නා බ්‍රසීලයට ආවේණික වන අතර, 2011 දී අවසන් වරට දැකගැනීමට ලැබී තිබෙනවා. ඔවුන් සදහට ම මිහිමතින් තුරන් වීමට මූලික වශයෙන් හේතු වී ඇත්තේ මුරිචි වනාන්තරය සතු භූමි ප්‍රමාණය අඩු කිරීම, දැව කර්මාන්තය, සහ බ්‍රසීලය තුළ ජනප්‍රිය උක් වගා කිරීම යි.

පූ-උලී

© Paul E. Baker

හවායි දූපත් සමූහයේ මවුයි දිවයිනට ආවේණික පූ-උලී (Po’ouli) පක්ෂීන් අවසන් වරට දැකගැනීමට ලැබී ඇත්තේ 2004 දී යි. කළු පැහැති මුහුණක් හිමි විද්‍යාත්මක ව Melamprosops phaeosoma ලෙස හඳුන්වනු ලබන පූ-උලී පක්ෂීන්, 1994 දී තර්ජනයට ලක් වී ඇති ජීව විශේෂයන්ගේ රතු ලැයිස්තුව විසින් වඳ වී යාමේ උග්‍ර තර්ජනයට ලක් වූ පක්ෂි විශේෂයක් ලෙස නම් කර තිබෙනවා. ගෙවී ගිය දශකය තුළ පූ-උලී පක්ෂීන් වඳ වී යාම සඳහා මූලික වශයෙන් බලපා ඇත්තේ, වන විනාශය හේතුවෙන් ස්වභාවික වාසස්ථාන අහිමි වීම සහ පහත්බිම් ආශ්‍රිත ව රෝග වාහක මදුරුවන්ගේ ගහනයේ සැලකිය යුතු වැඩි වීමක් සිදුවීම යි.

නව කැලඩෝනියානු ලොරිකීට්

© John Gerard Keulemans

විද්‍යාත්මක ව Charmosyna diadema ලෙස හඳුන්වනු ලබන නව කැලඩෝනියානු ලොරිකීට් (New Caledonian Lorikeet), දේදුන්නක් මෙන් වර්ණවත් පක්ෂියෙක් බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. නව කැලිඩෝනියාවේ මෙලනේෂියා දූපත් සමූහයට ආවේණික ඔවුන් අවසන් වරට දැකගැනීමට ලැබී ඇත්තේ 1987 දී වන අතර, තර්ජනයට ලක් වී ඇති ජීව විශේෂයන්ගේ රතු ලැයිස්තුව විසින් 2000 දී වඳ වී යාමේ උග්‍ර තර්ජනයට ලක් වූ පක්ෂි විශේෂයක් ලෙස නම් කර තිබෙනවා. නව කැලඩෝනියානු ලොරිකීට් පක්ෂීන් වඳ වී යාම සඳහා මූලික වශයෙන් හේතු වී ඇත්තේ මෙලනේෂියා දූපත් සතු පහත්බිම් ප්‍රදේශවල පැවති අර්ධ-පතනශීලි වනාන්තර ප්‍රමාණය අඩු වීම යි.

ජාවා දූපත් හි ලැප්වින්ග්

© Nicolas Huet

1994 දී අවසන් වරට දැකගැනීමට ලැබී ඇති ජාවා දූපත් හි ලැප්වින්ග් (Javanese Lapwing), ඉන්දුනීසියාවේ ජාවා දූපත්වලට ආවේණික වන අතර, තර්ජනයට ලක් වී ඇති ජීව විශේෂයන්ගේ රතු ලැයිස්තුව විසින් 2000 දී වඳ වී යාමේ උග්‍ර තර්ජනයට ලක් වූ පක්ෂි විශේෂයක් ලෙස නම් කර තිබෙනවා. දඩයම් කිරීම සහ කළු වෙළඳපොළේ දී අලෙවි කිරීම සඳහා අල්ලාගැනීම හේතුවෙන් මිහිමතින් සදහට ම තුරන් වී ගිය ජාවා දූපත් හි ලැප්වින්ග් විද්‍යාත්මක ව හඳුන්වන්නේ Vanellus macropterus ලෙස යි.

පර්නැම්බුකෝ වාමන බකමූණා

© BirdLife International

දුඹුරු පැහැති හිසක් සහ සුදු පැහැති තිත් වැටුණු සිරුරක් හිමි පර්නැම්බුකෝ වාමන බකමූණා (Pernambuco Pygmy Owl) විද්‍යාත්මක ව හඳුන්වන්නේ Glaucidium mooreorum ලෙස යි. තර්ජනයට ලක් වී ඇති ජීව විශේෂයන්ගේ රතු ලැයිස්තුව විසින් 2007 දී වඳ වී යාමේ උග්‍ර තර්ජනයට ලක් වූ පක්ෂි විශේෂයක් ලෙස නම් කරන ලද පර්නැම්බුකෝ වාමන බකමූණා බ්‍රසීලයේ පර්නැම්බුකෝ ප්‍රාන්තයට ආවේණික වන අතර, 2001 දී අවසන් වරට දැකගැනීමට ලැබී තිබෙනවා. ඔවුන් සදහට ම මිහිමතින් තුරන් වීමට මූලික වශයෙන් හේතු වී ඇත්තේ නාගරීකරණය යි.

නීලහරිත මැකෝ ගිරවා

© Juan Carlos Chebez

විද්‍යාත්මක ව Anodorhynchus glaucus ලෙස හඳුන්වනු ලබන නීලහරිත මැකෝ ගිරවා (Glaucous Macaw), අලංකාර නිල් පැහැයක් හිමි වර්ණවත් පක්ෂියෙක් බව පැවසීම වරදක් නොවෙයි. දකුණු ඇමෙරිකානු මහද්වීපයට ආවේණික ඔවුන් අවසන් වරට දැකගැනීමට ලැබී ඇත්තේ 1998 දී වන අතර, තර්ජනයට ලක් වී ඇති ජීව විශේෂයන්ගේ රතු ලැයිස්තුව විසින් 2000 දී මොවුන් ද වඳ වී යාමේ උග්‍ර තර්ජනයට ලක් වූ පක්ෂි විශේෂයක් ලෙස නම් කර තිබෙනවා. නීලහරිත මැකෝ ගිරවුන් වඳ වී යාම සඳහා මූලික වශයෙන් හේතු වී ඇත්තේ ගංගා ද්‍රෝණි ආශ්‍රිත ප්‍රදේශවල මිනිස් වාසස්ථාන ගොඩනැංවීම සහ තාල වර්ගයේ උප වනාන්තර කපා දැමීම යි.

කවරයේ පින්තූරය: © Pinterest

‘Rio’ චිත්‍රපටයේ දැක්වෙන ස්පික්ස්ගේ මැකෝ ගිරා පවුල

Related Articles