ලෝකයේ බොහෝ රටවල සමහර මල් වර්ග අනෙක්වාට වඩා ජනප්‍රිය යි. රෝස, ටියුලිප්, ලිලී, සහ සකුරා යන මල් වර්ග පිළිවෙලින් එංගලන්තය, නෙදර්ලන්තය, ප්‍රංශය, සහ ජපානය යන රටවල වඩාත් ජනප්‍රිය වීම එයට උදාහරණයක් ලෙසින් දක්වන්නට පුළුවන්. එවන් සුන්දර පුෂ්පයන් බොහෝ රටවල ජනප්‍රිය වෙද්දී, නවසීලන්තයේ ජනප්‍රිය වුණේ එරටට ආවේණික කොහායි නම් පුෂ්පය යි.
වර්තමානය වන විට නවසීලන්තයට නිල ජාතික පුෂ්පයක් නොමැති වුණත්, ඔවුන්ගේ නොනිල ජාතික පුෂ්පය ලෙසින් හඳුන්වනු ලබන්නේ කොහායි මල යි. කොහොම නමුත් කොහායි මල නවසීලන්තයේ ජනප්‍රිය වී තිබෙන්නේ එම මලේ තිබෙන සුන්දරත්වයට වඩා, ශාකයෙන් ලබාගන්නා විවිධ ප්‍රයෝජන නිසා යි.
කොහායි ශාකයේ සාමාන්‍ය ලක්ෂණ
සාමාන්‍යයෙන් මීටර් 8ක් පමණ උසකට වැඩෙන කොහායි ශාකයේ කහ පාට මලක් හටගන්නවා. ශාකයේ දක්නට ලැබෙන්නේ කුඩා කොළ. අර්ධ පතනශීලී ශාකයන් වන මෙහි මල් හටගැනීම ජූලි සහ නොවැම්බර් මාසයන් අතර සිදුවනවා. එලෙස හටගන්නා මල්වල පැණිබීම සඳහා විවිධ කෘමීන්, සහ පක්ෂීන් වර්ග පැමිණෙනවා. රනිල කුලයට අයත් ශාකයක් වන මෙහි මුල් මඟින් නයිට්‍රජන් තිර කිරීම සිදුකරනවා. එනිසා කොහායි ශාකය පරිසර හිතකාමී ශාකයක් ලෙසින් හඳුන්වනු ලබනවා. එසේම මෙම ශාකයේ සෑම කොටසකින්ම විවිධ ආකාරයේ ප්‍රයෝජන ලබාගන්නට පුළුවන්. ඈත අතීතයේ සිට මෙහි ජීවත් වුණු මාඕරි ගෝත්‍රිකයන් කොහායි ශාකයෙන් ප්‍රයෝජන රැසක් ලබාගත්තා.
මාඕරි ආදිවාසීන් කොහායි ශාකයෙන් ප්‍රයෝජන ලබාගත් හැටි
ඈත අතීතයේ සිටම නවසීලන්තය තුළ ජීවත්වුණු මාඕරි ගෝත්‍රිකයන් කොහායි ශාකය පූජනීය ශාකයක් ලෙසින් සලකනු ලැබුවා. ඒ ඔවුන්ට කොහායි ශාකයෙන් ප්‍රයෝජන රැසක් ලබාගැනීමට හැකිවුණු නිසා යි. එනිසා මාඕරි ගෝත්‍රිකයන් පූජනීය ස්ථාන ආසන්නයේ ද ජනාවාස පිහිටා තිබුණු ප්‍රදේශවල ද කොහායි ගස් වගා කළා.
එදා මාඕරි ගෝත්‍රිකයන් කොහායි ගසේ ලීය නිවාස සහ ගෘහ භාණ්ඩ සෑදීමට භාවිතා කළේ එහි තිබුණු තද බව සහ කල්පැවැත්ම නිසා යි. එසේම නිවාස වටා සවිමත් වැටවල් සෑදීම සඳහා ද කොහායි ලී යොදාගත්තා. තව ද කොහායි මුල් මඟින් සෑදූ බිලී කොකු සෑම මාඕරි ගෝත්‍රිකයෙකුගේ නිවසේම දක්නට ලැබුණා.
කොහායි ශාකයේ දැවවලින් ප්‍රයෝජන ලබාගත් මාඕරි ගෝත්‍රිකයන් ශාකයේ පොතු සහ ගෙඩි ඖෂධ වශයෙන් භාවිතයට ගත්තා. තැලුම්, කැපුම් තුවාල, සෙම්ප්‍රතිශ්‍යාව, ලිංගාශ්‍රිත රෝග, උගුරේ අමාරුව වැනි රෝග සඳහා කොහායි පොතු සහ ගෙඩිවලින් සාදන ලද විවිධ ඖෂධ ලබාදුන්නා. එම ඖෂධ සාදනු ලැබුවේ මාඕරි ගෝත්‍රික ජනතාව පාරම්පරිකව භාවිතා කළ වට්ටෝරුවලට අනුව යි. එසේම මෙම වටිනා ශාකයේ මල්, අතු සහ පොතු භාවිතා කරමින් කහ සහ දුඹුරු යන වර්ණයන් සෑදීමට ද මාඕරි ගෝත්‍රිකයන් පුරුදුව සිටියා. එලෙස සාදාගත් වර්ණයන්ගෙන් සිය නිවාසවල ගෘහ භාණ්ඩ ආදිය වර්ණ ගැන්වීම සිදුකළා.
ඊට අමතරව, සිය සතුරන්ව මරා දැමීම සඳහා විෂ පාන වර්ග සැදීමට ඔවුන් කොහායි ගෙඩිවල බීජ භාවිතා කළා.
කොහායි ශාකය පිළිබඳව මුළු ලෝකයම දැනගත් ආකාරය
1642 වසරේ දී අබෙල් තස්මන් නැමැති ලන්දේසි දේශ ගවේෂකයා මුල්ම වරට නවසීලන්තයට පැමිණියා. ඔහුගේ පැමිණීමෙන් පසුව 1769 වසර වන තුරු නවසීලන්තයට යළි යුරෝපීය ජාතිකයෙකු පැමිණියේ නැහැ. නමුත් 1769 වසරේ දී කපිතාන් ජේම්ස් කුක් ඇතුළු පිරිසක් නවසීලන්තයට පැමිණියා. එම ගමන සඳහා ජෝශප් බෑන්ක්ස් සහ ඩැනියල් සොලන්ඩර් යන උද්භිද විද්‍යාඥයන් දෙදෙනා ද සහභාගි වුණා. එදා වනයෙන් වැසී තිබුණු නවසීලන්තයේ සංචාරය කළ කුක් ඇතුළු පිරිසට කහ පාට මල්වලින් පිරුණු අපූරු ශාකයක් දක්නට ලැබුණා. බෑන්ක්ස් සහ සොලන්ඩර් යන උද්භිද විද්‍යාඥයන් දෙදෙනා එවැනි ශාකයක් ඊට පෙර දැක තිබුණේ නැහැ.
මේ ශාකයේ එකිනෙකට වෙනස් ප්‍රභේද 2ක් ඇති බව උද්භිද විද්‍යාඥයන් දෙදෙනාට නිරීක්ෂණය කරන්නට ලැබුණා. නමුත් ඒවායේ තිබුණු වෙනස්කම් හඳුනාගැනීම සඳහා රසායනාගාර පරීක්ෂාවක් කළ යුතු බව ඔවුන් දෙපළ අවබෝධ කරගත්තා. එනිසා බෑන්ක්ස් සහ සොලන්ඩර් යන උද්භිද විද්‍යාඥයන් දෙදෙනා එකිනෙකට වෙනස් කොහායි ශාකවල කොටස් යුරෝපය වෙත රැගෙන ගියා. ඩැනියල් සෝල්ඩර් කොහායි ශාකවල කොටස් පිළිබඳව පර්යේෂණ කිරීමෙන් පසුව එකිනෙකට වෙනස් ප්‍රභේද කිහිපයක් හඳුනාගත්තා.
සොලන්ඩර් විසින් සිදුකළ පර්යේෂණය සාර්ථක වීමෙන් පසුව ඔහු සොයාගත් කරුණු පිළිබඳ පොතක් ලිවීම ආරම්භ කළා. නමුත් ඔහුගේ අකල් මරණයත් සමග පොතේ වැඩ කටයුතු නතර වුණා. පසු යුගයක පිලිප් මිලර් නම් උද්භිද උද්‍යාන අධ්‍යක්ෂවරයා කොහායි ශාකයක ගැන පර්යේෂණ සිදුකළා. ඉන් අනතුරුව මිලර්ගේ සහායකයෙකු වුණු විලියම් අයිටන් පර්යේෂණ කටයුතු දිගටම කරගෙන ගියා. කොහායි ශාකය පිළිබඳව මෙසේ පර්යේෂණ කටයුතු පසුගිය සියවස් 2ක පමණ කාලය තුළ විවිධ පුද්ගලයන් යටතේ සිදුවුණා. එලෙස කොහායි පිළිබඳව පර්යේෂණ කළ පුද්ගලයන් අතරට ජෝශප් හූකර්, ජෝර්ජ් බෙන්තම්, ජෝර්ජ් සිම්ප්සන්, ජෝන් තොම්සන්, හැරී ඇලන්, ජිපී යකොව්ලෙව්, ඇස් ට්‍රෙපාප්ටර්, ට්සොං පූ-චියූ, මා චී-යුන්, පීටර් ලෑන්ග්, පීටර් හීනන් වැනි අය අයත් වුණා.
අද වන විට හඳුනාගෙන තිබෙන කොවායි ප්‍රභේද
කොහායි ශාකය පිළිබඳව සියවස් ගණනාවක සිට කරන ලද පර්යේෂණවලින් පසුව එකිනෙකට වෙනස් ශාක ප්‍රභේද 9ක් පමණ හඳුනාගෙන තිබෙනවා. එසේම වර්තමානය වන විට කොහායි ශාකය නවසීලන්තයේ පමණක් නොව ආසියාව, දකුණු ඇමරිකාව සහ උතුරු ඇමරිකාව යන මහද්වීපවල ඇතැම් රටවල්වල ද දක්නට ලැබෙනවා. තවද ඕස්ට්‍රේලියාව තුළ දී විවිධ කොහායි ශාක ප්‍රභේද දැකගන්නට පුළුවන්. පහත දක්වා තිබෙන්නේ දැනට හඳුනාගෙන තිබෙන කොහායි ශාක ප්‍රභේද 8 යි.
1) Sophora chathamica
2) Sophora fulvida
3) Sophora godleyi
4) Sophora longicarinata
5) Sophora microphylla
6) Sophora molloyi
7) Sophora prostrata
8) Sophora tetraptera
නවසීලන්තයේ සංස්කෘතික සහ ජාතික සංකේතයක් ලෙසින් යොදාගන්නවා
නවසීලන්ත ජාතිකයන් කොහායි මල පූජනීය මලක් ලෙසින් සලකනු ලබනවා. එනිසා කොහායි මල දේශීය කලා කෘතිවලට ඇතුළත් කර තිබෙනවා. එසේම ඇතැම් නවසීලන්ත ජන කතාවල ද කොහායි මල හා සබැඳි කතා සහ සිතුවම් දක්නට ලැබෙනවා. ඇතැම් නවසීලන්ත තැපැල් මුද්දරවලට ද කොහායි මලේ රූප ඇතුලත් කරනු ලැබ ඇත්තේ ජාතික වශයෙන් එහි ඇති වැදගත්කම නිසා යි.
ඊට අමතරව 1967 වසරේ දී පමණ නිකුත් කරන ලද සත දෙකේ කාසියේ පසු පිටේ කොහායි මලක රූපයක් ඇතුළත් වුණා. එසේම පසු කලෙක නිකුත් කරන ලද ඩොලර් 1ක කාසියේ ද කොහායි මල සහ කිවි පක්ෂියා ඇතුළත් වුණා.