සිනාසීම යනු මිනිස් සන්නිවේදනයේ ඇති වැදගත් අංගයක්. මිනිසුන්ට එකිනෙකා සමඟ සම්බන්ධ වීමට සහ බැඳීම් ඇතිකර ගැනීමට සිනහව උපකාරී වෙනවා. නමුත්, සිනහවේ අර්ථ නිරූපණ සංකීර්ණ යි. උපහාසාත්මක අයුරින් මෙන් ම අපහාසාත්මක අයුරින් සිනාසෙන්නත් මිනිසුන් පුරුදුව සිටිනවා. සරල ව ම මිනිස් සිනහව තුළ චිත්තවේගී පරාසයක් තිබෙනවා. වින්දනය වැනි ධනාත්මක හැඟීම්වල සිට විවිධ සෘණාත්මක හැඟීම් දක්වා ඒවා වෙනස් වෙනවා. ඒ අනුව සිනහව හරහා තවත් පුද්ගලයකුගේ සිත තුළ ජනිත කළ හැකි හැඟීම්වල ස්වභාවයත් වෙනස් වෙනවා.
මිනිසුන්ට හැර සිනාසෙන්න පුළුවන් ජීවින් මේ ලොව තුළ සිටිනවා ද?
ඇතැම් විට මේ පැනයේ කිසිදු ප්‍රායෝගිකත්වයක් නැති බව කෙනකුට හිතෙන්නට පුළුවන්. මක් නිසාද යත්, සිනහව මිනිසාටම ආවේණික වූ දෙයක් ලෙස පෙනෙන්නට තිබෙන නිසා. කෙසේ වෙතත්, බොහෝ සතුන් තමන්ගේ සගයන් සමඟ ක්‍රීඩා කරන විට ප්‍රසන්න සහගත සමාජ අන්තර්ක්‍රියාවලට අනන්‍ය වූ ශබ්ද නිපදනවා. විද්‍යාඥයන් සලකන්නේ එම ශබ්ද මිනිස් සිනහවට සමාන කාර්යභාරයක් ඉටු කරන බව යි.
සිනාසෙන විශේෂ 65 ක්
මෑතකදී විද්‍යාඥයන් පිරිසක් සතුන් අතර පවතින ක්‍රීඩාශීලි නාද රටා ගැන අධ්‍යනයක යෙදුණා. එහිදී සත්ත්ව විශේෂ 65 ක් සිනාසෙන ආකාරයේ ශබ්ද නඟන බව නිරීක්ෂණය කොට තිබෙනවා. නිරීක්ෂිත සතුන්ගෙන් බොහෝමයක් ක්ෂීරපායී විශේෂ වන අතර, පක්ෂි විශේෂ කිහිපයකුත් ඒ අතර සිටිනවා. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සන්නිවේදනය පිළිබඳ මහාචාර්ය ග්‍රෙග් බ්‍රයන්ට් පවසන අන්දමට මෙවන් ලක්ෂණ දක්වන සත්ත්ව විශේෂ ගණන තවත් වැඩි විය හැකි යි. මිනිසුන් මෙන් නොව අනෙකුත් සතුන් විලෝපික අවදානමත් සැලකිල්ලට ගන්නා නිසා සිනාසෙන අන්දමේ ක්‍රියා ඔවුන් පෙන්වන්නේ අඩු ශබ්ද පරාසයකට යටත්ව යි. වනගත සතුන්ගේ සිනහව අධ්‍යයනය කිරීම මේ හේතුවෙන් වඩාත් දුෂ්කර වෙනවා.
කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ජෛව මානව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධි අපේක්ෂක සාෂා වින්ක්ලර්, Macaca mulatta නමැති වඳුරන් විශේෂය ක්‍රීඩා කරන අතරතුර සිදු කරන වේගවත්, නිහඬ හතිලෑමක් වැනි හැසීරිමක් නිරීක්ෂණය කොට තිබෙනවා. බොහෝ ප්‍රයිමේටාවුන් ක්‍රීඩා කරන අතරතුර මෙවැනි හැසීරිමක් දක්වන බව වින්ක්ලර් පවසනවා.
සිනහවේ පරිණාමය
මිනිසාගේ සිනහවට ආදේශ කළ හැකි මෙවැනි ප්‍රාථමික ඉරියව්, සත්ත්ව කාණ්ඩ අතර සිතනවාටත් වඩා පුළුල් විවිධත්වයකින් යුතුව පවතින බව පර්යේෂකයන් විශ්වාස කරනවා. ඒ අනුව ක්‍රීඩාවේ දී වාචික සංඥා ලබාදෙන සතුන් දුසිම් ගණනක් ඔස්සේ පර්යේෂණ පවත්වමින් සිටිනවා. කෘන්තක සතුන්, සමාජශීලි හැසිරීම් දක්වන ක්ෂීරපායී මාංශ භක්ෂකයන්, සමුද්‍ර ක්ෂීරපායීන් අතරත් ක්‍රීඩාව අතර සිදුවන වාචික සංඥා හඳුනා ගෙන තිබෙනවා.
මිනිස් සිනහවේ පරිණාමීය මූලාරම්භය ගැන අවබෝධයක් ලබා ගැනීමේ පසුබිමකුත් මේ හරහා ඇති කළ හැකි බව ඔවුන් විශ්වාස කරනවා. අපිට වඩාත් සමීප වානරයින් සතුව හුස්ම ගැනීමෙන් හෝ හති දමන ආකාරයෙන් නිපදවන ක්‍රීඩාශීලි සංඥා තිබෙනවා. මිනිසුන්ගේ සිනහව පරිණාමය වුණෙත්, වානරයන් මෙන් ක්‍රීඩා කරන අතරතුර දැක්වූ ප්‍රාථමික සංඥා හරහා බව විද්‍යාඥයන් අනුමාන කරනවා. එම කරුණ සිද්ධාන්තයකට සහාය කරගත හැකි අන්දමත් ඔවුන් සැලකිල්ලට ගෙන තිබෙනවා.
රණ්ඩුවක් නෙවෙයි, සෙල්ලමක්!
සුනඛයන්, බළලුන් වැනි ගෘහාශ්‍රිත සතුන් සිය තියුණු දත් භාවිතයෙන් අනෙකාට අනතුරක් නොවන ලෙස ක්‍රීඩා කරන අයුරු ඔබත් දැක ඇති. එවැනි ක්‍රීඩා හැසිරීම් බැලූ බැල්මට ම පෙනෙන්නේ ගැටුමක් ආකාරයෙන්. සතුන්ගේ ක්‍රීඩා විලාසය සහ ගැටුම්වල ස්වභාවය අතර විශාල වෙනසක් නැහැ. ක්‍රීඩාව අතරතුර අන්තර් ක්‍රියාකාරීත්වය හෝ ආක්‍රමණශීලි බව උත්සන්න නොවීම පිණිස ඔවුන් සිනහවට සමාන හඬ නැංවීම් සිදු කරන්න පුළුවන්.
“සන්සුන් වන්න. අපි මෙතන සෙල්ලම් කරනවා විතරයි. ආරක්ෂා වීමට අවශ්‍ය නැහැ.” වැනි පණිවිඩයක් එම ශබ්ද තුළ ගැබ් ව පවතින බව පර්යේෂකයන් අනුමාන කරනවා. කෙසේ නමුත්, මේ සන්නිවේදනය ඇතැම් වේලාවල්වල බිඳ වැටෙන්න පුළුවන්. අවසාන ප්‍රතිඵලය වන්නේ ක්‍රීඩාශීලිභාවය ප්‍රචණ්ඩ ස්වරූපයකට හැරී ගැටුමක් ඇතිවීම යි.
සිනහව, මිනිසා නොවන සතුන් අතර පවතින්නේ බොහොම සරල ආකාරයෙන්. ඒවායින් හැඟවෙන පණිවිඩ ප්‍රාථමික යි. මිනිසා නම් සිනහව හරහා විවිධ අදහස් ප්‍රකාශ කෙරෙනවා. සිනහව නිසා පුද්ගලයන් අතර බැඳීම් ශක්තිමත් වෙනවා වගේම, මිනිස් සිනහවට ඉතා අඳුරු පැත්තකුත් තිබෙනවා. සමච්චල් කිරීමට, හැඟීම් සැඟවීමට සහ කුරිරු චේතනාවල උද්දීපනයක් ලෙසත් සිනහව මිනිස් භාවිතයේ දකින්න පුළුවන්.
අවංක හිනාවේ විද්‍යාව
සිනහව සන්නිවේදන ආකාරයක් වුණත්, භාෂාවට සමාන කළ හැකි දෙයක් නොවේ. එය මුළුමනින් ම වෙනස් චිත්තවේග සමඟ බැඳුණු ස්වර පද්ධතියක් ලෙස හැඳින්විය හැකි යි. මිනිසා හැර අනෙකුත් ක්ෂීරපායී සතුන්ගේ ශබ්දය බොහෝ දුරට එකම නිශ්චිත ස්වර පද්ධතියකින් ව්‍යුත්පන්න වී තිබෙනවා. එහෙත්, මනුෂ්‍යා ස්නායුමය අතින් සහ ක්‍රියාකාරීත්වයෙන් බොහෝ ලෙස වෙනස් වූ කථන නිෂ්පාදන ක්‍රමයකට උරුමකම් කියනවා. ඒ අනුව මිනිසාගේ සිනහව සහ කථනය පැමිණෙන්නේ එකිනෙකට වෙනස් සන්නිවේදන පද්ධති දෙකකින් බව ග්‍රෙග් බ්‍රයන්ට් පවසනවා. ව්‍යාජ සිනහවක් නඟා ගැනීමට මිනිසාට දුෂ්කර වන්නේත්, මේ එකිනෙකට වෙනස් පද්ධතීන් නිසා විය හැකි යි.
අපි සිතාමතා ම සිනාසෙන්න උත්සහ කළහොත්, ඒත් සමඟ ම කථන පද්ධතියත් භාවිත කිරීමට අපි උත්සහ කරනවා. එය ව්‍යාජත්වය සැඟවීමට ලැබුණු තෑග්ගක් හා සමාන යි. ග්‍රෙග් බ්‍රයන්ට්ගේ පර්යේෂණවලට අනුව මනුෂ්‍ය සිනහව අඩංගු කෙටි හඬ පටයකට සවන් දීමෙන් ඒවා ව්‍යාජ ද අව්‍යාජ ද යන්න වග හඳුනා ගත හැකි යි. සංස්කෘතික වෙනස්කම් හමුවේ පවා ඒ ව්‍යාජත්වය සැඟවෙන්නේ නැහැ. සතුන්ට එලෙස අරමුණු සහගතව සිනාසෙන්න (සිනහවකට සමාන ඉරියව්) බැහැ. සාමාන්‍ය දැනීමෙන් ම අප එය දන්නා කාරණාවක් විය හැකි නමුත්, ඒ පිටුපස ඇති විද්‍යාත්මක පදනම වන්නේ මනුෂ්‍ය නොවන සතුන්ගේ ශබ්දය එකම පද්ධතියකින් ව්‍යුත්පන්න වීම යි. සතුන්ගේ සිනහවට සමාන ඉරියව් සෑමවිට ම අවංක බව එයින් ගම්‍ය වෙනවා.
අපි මෙහෙම යි හිනාවෙන්නේ !
සතුන් ක්‍රීඩා කරන අතරතුර නඟන ශබ්දවල විවිධත්වයක් තිබෙනවා. වර්වට් වඳුරන්ගේ (Chlorocebus aethiops) “පර්ර්” ශබ්දය, Rattus norvegicus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මීයන් විශේෂයේ අතිධ්වනික කම්පනය, බොට්ල් නෝස් ඩොල්ෆින් සතුන් (Tursiops truncatus) නඟන විසිල් ශබ්දය සහ තදින් හඬලෑම, Saimiri sciureus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන වඳුරන් නිකුත් කරන කුරුළු පැටවුන්ට සමාන ශබ්දය, මේ විවිධත්වය සඳහා උදාහරණ ලෙස දැක්විය හැකි යි.
චිම්පන්සීන්, ගෝරිල්ලන්, බැබුන් වැනි සතුන් සැබෑ සිනහවකට තරමක් සමාන ඉරියව්වක් දක්වන බව නිරීක්ෂණය වී තිබෙනවා. මීට අමතර ව, කට වසාගෙන සිනාසන අන්දමේ ඉරියව්, තලුගසන අන්දමේ ශබ්ද සහ කෙඳිරි ගෑම දක්වා වූ ශබ්ද විවිධත්වයක් ක්‍රීඩාශීලි අවස්ථාවල ඔවුන්ගෙන් අසන්න ලැබෙනවා. අනෙක් සතුන්ට සාපේක්ෂව චිම්පන්සීන් සහ ගෝරිල්ලන්ගේ සිනහව ආකාරයේ ඉරියව්, ශබ්ද තරමක් දියුණු අවධියකට පැමිණ ඇතැයි සිතන්න පුළුවන්.
සිනහවේ ප්‍රාථමික ලක්ෂණ
සිනහවේ ප්‍රාථමික ලක්ෂණ වැඩි දෙනෙක් දක්වන්නේ ක්ෂීරපායීන් වුවත්, පක්ෂීන් කිහිප දෙනකුත් ඒ අතර සිටින බව ලිපියේ ඉහත සඳහන් වුණා. ඕස්ට්‍රේලියානු මැග්පී (Gymnorhina tibicen) සහ නවසීලන්තයේ වෙසෙන “කෙයා ගිරවා” (Nestor notabilis) ඒ අතරින් විශේෂ යි. ඔවුන් එකිනෙකා සමඟ ක්‍රීඩා කරන විට විශේෂිත ශබ්දයක් නිකුත් කරනවා. 2017 දී සිදු කළ අධ්‍යයනයක් අතරතුර විද්‍යාඥයන් පිරිසක් කෙයා ගිරවුන් ක්‍රීඩා කිරීමේදී නඟන ශබ්ද පටිගත කළා. පසුව එම ශබ්දය කෙයා ගිරවුන් පිරිසකට ශ්‍රවණය වීමට සැලැස්වූ අතර, ඔවුන් එකිනෙකා සමඟ ක්‍රීඩා කරන්න සුදානම් වුණා. මෙම ශබ්දය එක්තරා අන්දමක ආරාධනාවක් විය හැකි බව පර්යේෂකයන් අනුමාන කරනවා. උරගයන්, උභය ජීවින් අතර මෙවැනි ක්‍රීඩාශීලි නාද රටා නොමැති බවත් නිරීක්ෂණය වී තිබෙනවා. ඔවුනොවුන් අතර ක්‍රීඩාශීලි හැසිරීම් ඉතා අවම හෝ නොමැති වීම ඊට හේතුවක් විය හැකි යි.
“ක්‍රීඩාවේදී බොහෝ සතුන් සමාන ශබ්ද නඟන ක්‍රියාකාරීත්වයක් පෙන්වීම සිත් ඇදගන්නා සුළු කාරණයක්. මිනිස් සිනහවේ තිබෙන සුවිශේෂත්වයත් අපට ඉතා වැදගත්. අනාගත අධ්‍යයන කටයුතු සඳහා ඒවා අපිට වැදගත් වේවි.”
සාෂා වින්ක්ලර්, ඔවුන්ගේ අනාගත පර්යේෂණ ගැන සුබභවාදී ආකල්පයකින් යුතුව පවසා සිටිනවා.