1800 ගණන්වල වාර්තාවකට අනුව, ස්කොට්ලන්තයේ වෙරළාශ්‍රිත පරිසරයක එක්තරා අමුතු සත්ත්වයෙකු හමුවෙනවා. මේ සතුන් එම පරිසරය ආශ්‍රිතව ජීවත්වූ මිනිසුන්ට ආගන්තුක නොවුණත්, මේ අවස්ථාවේ හමුවූ සත්ත්වයා ඇතැම්විට ලෝකයේ මෙතෙක් හමුවූ දිගම සත්ත්වයා විය හැකි බවට අදහස් පළවුණා. සාමාන්‍ය ව්‍යවහාරයේ දී මේ සතුන් “බූට්ලේස් පණුවා” නමින් හඳුන්වන අතර, 1800 ගණන්වල හමුවූ අපේ මේ බූට්ලේස් පණුවා දිගින් මීටර් 55ක් පමණ වූ බව සඳහන්. මේ සිදුවීම බොහෝ වරක් සඳහන් වී තිබුණත්, එම සත්ත්වයාගේ දිග සම්බන්ධයෙන් නිල වශයෙන් කළ සහතික කිරීමක් ඉතිහාසගත වාර්තාවල සිදුවී නැහැ. එම වාර්තාවල විශ්වාසනීයත්වය කෙසේ වුවත්, බූට්ලේස් පණුවා සාමාන්‍යයෙන් තරමක් දීර්ඝව වැඩෙන සත්ත්වයෙක් ලෙස සැලකෙනවා. නමුත් බූට්ලේස් පණුවන් විශේෂ වන්නේ ඔවුන්ගේ දිග නිසාම නොවෙයි.
ජීව විද්‍යාත්මක තොරතුරු
Lineus longissimus යන විද්‍යාත්මක නමින් හඳුන්වන බූට්ලේස් පණුවා, ජීව විද්‍යාත්මක වර්ගීකරණයට අනුව “නෙමර්ටියා” නම් වංශයට අයත් වෙනවා. මෙම වංශයට අයත් සාමාජිකයන් පොදුවේ රිබන් පණුවන් ලෙස ද හැඳින්වෙනවා. එක්සත් රාජධානිය, ස්වීඩනය, සහ නෝර්වේ වෙරළාශ්‍රිත පරිසරයේ නිතර දකින්නට ලැබෙන මෙම සතුන්, පර්වත ගහණ වෙරළ තීරයන්හි පිහිටන නොගැඹුරු කරදිය පොකුණුවල සිට, මීටර් 25ක් පමණ ගැඹුරු මුහුද දක්වා පරාසයක ජීවත් වෙනවා. ඔවුන්ගේ ශරීරය බොහෝවිට කළු හෝ දුඹුරු පැහැයට හුරු වර්ණයක් ගන්නා අතර, හිස කොටස දම් පැහැති හෝ නිල් පැහැති වර්ණයක් ගනු ලබනවා.
කලින් සඳහන් කළ පරිදි බූට්ලේස් පණුවා ලෝකයේ දිගින් වැඩිම සත්ත්ව විශේෂයක් ලෙස පිළිගැනෙනවා. සාමාන්‍ය බූට්ලේස් පණුවෙකු මීටර් 5 සිට 15 දක්වා වැඩෙන නමුත්, ඇතැම්විට ශරීරයේ දිග මීටර් 30 දක්වා වුව ද වැඩෙන්නට පුළුවන්. ඔවුන් අතිශයින් දීර්ඝ ශරීර හිමි සතුන් වුවත්, ඔවුන්ගේ නියම දිග සැබෑ ලෙස දකින්නට හැකියාවක් නැහැ. එයට හේතුව වන්නේ, ඔවුන් ජීවිතයේ වැඩි කාලයක් තම ශරීරය ගැටගැසුණු නූල් පන්දුවක් මෙන් සකස්කර ගෙන ජීවත්වෙන නිසා යි. ඔවුන්ගේ ශරීරය අඟලකටත් වඩා අඩු ඝනකමකින් යුක්ත වෙනවා.
මුහුදේ ජීවත්වන තවත් ඇතැම් පොලිකීට් පණු විශේෂවලට මෙන් මොවුන්ට ගොදුරුවලට පහරදීමට ශුණ්ඩාවක් පිහිටන්නේ නැහැ. ඒ වෙනුවට තම සම හරහා කෙලින්ම පෝෂ්‍ය පදාර්ථ උරාගත හැකිවන සේ ඔවුන් සැකසී ඇති බව විශ්වාස කරනවා. ඇතැම් විට ඔවුන් සමේ පෘෂ්ඨ වර්ගඵලය වැඩිවන අයුරින් ඉතා දිගුව වැඩෙන ජීවින් ලෙස පරිණාමය වී ඇත්තේ ඒ නිසා විය හැකියි.
විෂ සහිත ශ්ලේෂ්මල
සංචරණය ඉතා අවම, වෙරළාශ්‍රිත පරිසරයේ නොගැඹුරු කරදිය පොකුණුවල වැඩි වශයෙන් ජීවත්වන මෙවැනි සත්ත්වයෙකු විලෝපිකයන්ට ගොදුරුවීමේ හැකියාව ඉතා ඉහළ යි. නමුත් මේ පණුවන්ට සාර්ථක ආරක්ෂණ ක්‍රමයක් සොබාදහම විසින් ලබා දී තිබෙනවා. ඔවුන්ගේ ශරීරය ශ්ලේෂ්මලවලින් ආවරණය වී තිබෙන අතර, මේ ශ්ලේෂ්මලය විෂ සහිත යි. බූට්ලේස් පණුවන් කලබලයට පත්වූ විට මේ ශ්ලේෂ්මල විශාල ප්‍රමාණයක් නිකුත්කොට තම ශරීරය එයින් ආවරණය කර ගන්නවා. මේ ශ්ලේෂ්මල කකුළුවන් වැනි ක්‍රස්ටේෂියානුන් සහ කැරපොත්තන් වැනි කෘමීන් අඩපණ කිරීම හෝ මරා දැමීමට තරම් විෂ සහිත බව සොයාගෙන තිබෙනවා.
සොබාදහමේ රහස් රැසක් සඟවාගෙන, බොහොම අවිහිංසක ලෙස ජීවත්වන මේ සත්ත්වයා ගැන ලෝක අවධානය යොමු කිරීමට එක්තරා විද්‍යාඥ කණ්ඩායමක් උත්සුක වුණා. එයට හේතුව වුණේ මොවුන් අධික ලෙස ශ්‍රාවය කරන විෂ ශ්ලේෂ්මලයේ රසායනික සංයුතිය සහ එයින් ගත හැකි ප්‍රයෝජන ගැන ගවේශනය කිරීමට ඔවුන් තුළ කුතුහලයක් ඇති වුණ නිසා යි. ඒ අනුව ස්වීඩනයේ උප්සලා විශ්වවිද්‍යාලයය, ලිනේයස් විශ්වවිද්‍යාලයය, සහ ස්වීඩනයේ කෘෂිකාර්මික විද්‍යා විශ්වවිද්‍යාලයය යන ආයතනයන්වල විද්වතුන් පිරිසක් මේ කර්තව්‍යය සඳහා එක්වුණා.
මිනිසුන්ටත් බූට්ලේස් පණුවා විෂ ද?
අධ්‍යයනයන්ගෙන්, බූට්ලේස් පණුවන්ගේ ශ්ලේෂ්මලයේ ප්‍රෝටීන මත පදනම් වූ ස්නායු ධූලක අඩංගු බව සොයාගෙන තිබෙනවා. ඒ අනුව ස්වීඩනයේ ජීවත්වන සත්ත්වයන්ගෙන් මෙතෙක් වාර්තා වූ ප්‍රබලතම විෂ බූට්ලේස් පණුවාගේ ශ්ලේෂ්මල තුළ අන්තර්ගත වන අතර, එම විෂ “නෙමර්ටයිඩ් ඇල්ෆා-1” ලෙස දැන් හැඳින්වෙනවා.
විවිධාකාර වූ අයන සත්ත්ව සෛල තුළටත්, සෛලවලින් පිටතටත් පරිවහනය කිරීම නියාමනය කරන ප්‍රෝටීන් අණු අපගේ සිරුරු තුළ පිහිටා තිබෙනවා. පර්යේෂකයන් පෙන්වා දෙන පරිදි කොඳුඇට පෙළක් රහිත (අපෘෂ්ඨවංශිකයන්) සතුන්ගේ සෛල හරහා සිදුවන සෝඩියම් අයන පරිවහනයට මේ “නෙමර්ටයිඩ් ඇල්ෆා-1” විෂෙන් බාධා එල්ල වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ස්නායු සහ මාංශ පේශීවල අඛණ්ඩ විද්‍යුත් සංඥා ඇති වන අතර, අවසානයේ දී විෂ ප්‍රහාරයට ලක්වූ විලෝපිකයා අඩපණවීම හෝ මියයාම සිදුවෙනවා.
නමුත් මේ විෂෙන් මිනිසාට බලපෑමක් සිදුවෙනවා ද? විද්‍යාඥයින් එම කරුණත් සොයාබැලීම්වලට ලක් කළා. ඒ අනුව බූට්ලේස් පණුවාගේ විෂ මඟින් ක්ෂීරපායීන්ගේ සෛල අතර සෝඩියම් අයන පරිවහනයට කරන බලපෑම ශක්තිමත් නොවනබව සොයාගත්තා. එම නිසා, පර්යේෂකයන් විශ්වාස කරන්නේ මෙම විෂ බොහෝවිට මිනිසුන්ට හෝ වෙනත් ක්ෂීරපායින්ට බලනොපාන බව යි. මේ සොයාගැනීම් නිසා බූට්ලේස් පණුවාගේ විෂ ලෝකයේ එක්තරා වැදගත් ක්ෂේත්‍රයකට ප්‍රයෝජනවත් විය හැකි බව පර්යේෂණවලට දායක වූ විද්‍යාඥයින් පිරිස අනුමාන කළා.
කෘෂිකර්මාන්තයට බලාපොරොත්තුවක්
අද වන විට සර්පයන්, මකුළුවන්, සහ කේතු ආකාර කවචයක් සහිත බෙල්ලන් විශේෂ මඟින් නිස්සාරණය කරගන්නා ස්නායු ධූලක, ඖෂධ කර්මාන්තය, ජෛව තාක්ෂණය හා කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍රවල විවිධ අරමුණු උදෙසා භාවිතා වෙනවා. ඒ අනුව යමින් පර්යේෂකයන් විශ්වාස කරන්නේ බූට්ලේස් පණුවාගේ විෂ ද කෘෂිකර්මාන්තයේ දී සාර්ථක කෘමිනාශයක් ලෙස භාවිතා කළ හැකි බව යි. බූට්ලේස් පණුවාගේ විෂ මඟින් පැහැදිලිවම කෘමී සතුන්ට බලපෑම් ඇතිකරන නිසාත්, මිනිසා ඇතුළු ක්ෂීරපායීන් හමුවේ එම විෂ ශක්තිමත්ව ක්‍රියා නොකරන නිසාත්, කෘමිනාශයක් ලෙස එය ඉතා සුදුසු විය හැකියි. වර්තමාන ලෝකය තුළ මිනිසාට පවා ප්‍රබල සෞඛ්‍යමය ගැටලු ඇති කරන කෘමිනාශක භාවිතා වෙනවා. නමුත් සතුන්ගෙන් ස්වභාවිකව නිපදවෙන, මිනිසුන්ට බලපෑම් නොකරන විෂ සංයෝගයන් භාවිතයෙන් පරිසර හිතකාමීව කෘෂිකර්මාන්තයේ යෙදීමට අවකාශ ලැබෙනවා.
කොහොම නමුත්, මෙම සොයාගැනීම වාණිජ නිෂ්පාදයක් දක්වා වර්ධනය කිරීම සඳහා කළ යුතු තවත් බොහෝ වැඩ කටයුතු ඉතිරිව තිබෙනවා. එය එසේ වුවත්, නුදුරු අනාගතයේ දී බෝග විනාශ කරන, රෝග පතුරුවන කෘමී පලිබෝධකයින් පාලනය කිරීමට පරිසර හිතකාමී නමුත් ප්‍රබල කෘමිනාශයක් නිෂ්පාදනය කිරීමට බූට්ලේස් පණුවාගේ විෂ මඟින් මිනිසාට උදව් ලැබෙන බව මෙම විද්‍යාඥයින් පිරිස විශ්වාස කරනවා. ලෝකයේ දිගින් වැඩිම සත්ත්ව විශේෂයක් ලෙසින් ලැබෙන ගෞරවයටත් වඩා වැඩි ගෞරවයක් ඒ අනුව බූට්ලේස් පණුවාට ලැබීමට නියමිත යි.