චීනයේ ජාතික වස්තුවක් ලෙස සැලකෙන පැන්ඩා බොහෝ දෙනෙක් ආදරය කරන සත්ත්ව විශේෂයක්.
ඔවුන් ගැන වැඩි විස්තර දැනගන්න කැමැත්තෙන් ඉන්න ඔබට මේ ලිපිය බොහෝ ප්‍රයෝජනවත් වේවි.
සම
Aliuropoda melanoleuca යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන පැන්ඩාවන්ට තිබෙන්නේ කළු සහ සුදු පැහැ ලෝම සහිත සමක්. මෙය ඔවුන්ට වනාන්තරවලදී සහකරුවන් සොයා ගැනීමට සහ ගස් අතර සැඟවී සිටීමට උපකාර වනවා. පොදුවේ ඔවුන් සියල්ලම කළු සහ සුදු පැහැති වුවත් වර්ණ පැතිරීම එකිනෙකාට වෙනස්. මොවුන්ගේම දුඹුරු සහ සුදු මිශ්‍ර විශේෂයක්ද කලාතුරකින් දක්නට ලැබෙනවා.
වලහෙක්?
පැන්ඩා යනු වලස් විශේෂයක්ද, “රැකූන්” (Raccoon – නිශාචර මාංශ භක්ෂක ක්ෂීරපායින්) විශේෂයක්ද යන්න වසර ගණනාවක් තිස්සේ විද්‍යාඥයන් සිතමින් සිටින පැනයක්. පැන්ඩාවන්ගේ DNA පරීක්ෂා කිරීමෙන් ඔවුන් වළසුන් සමඟ යම් යම් සමානකම් පෙන්වන බව තහවුරු වුණා. පැන්ඩන්ගේ බාහිර පෙනුම, ඇවිදින ආකාරය, ගස් නඟින ආකාරය, හැසිරීම, හිස් කබලේ ස්වරූපය සහ ප්‍රජනනය බොහෝ දුරට වලසුන්ට සමානයි.
කටහඬ සහ සන්නිවේදනය
පැන්ඩන්ගේ කටහඬ භාවිතය අනෙකුත් වළසුන්ට සාපේක්ෂව ඉහළයි. ඔවුන්ගේ හඬේ සුවිශේෂත්වය වන්නේ “bleat” ශබ්දය වැඩිපුර නිකුත් වීමයි. මෙම ශබ්දය බැටළු පැටවුන් හෝ එළු පැටවුන් නිකුත් කරන හඬට සමානයි. විද්‍යාඥයන් පැන්ඩාවන් නිකුත් කරන ශබ්ද 12ක් හඳුනාගෙන තිබෙනවා.
පැන්ඩන් වෙනත් ආකාරවලින්ද සන්නිවේදනය කරනවා. පිරිමි සහ ගැහැණු සතුන් දෙකොටසටම විශේෂ ගන්ධයක් අැති ස්‍රාවයක් නිකුත් කරන ග්‍රන්ථියක් ඔවුන්ගේ කුඩා වලිගයට යටින් තිබෙනවා. එම ග්‍රන්ථියෙන් ස්‍රාවය වන ඉටි වැනි ද්‍රව්‍යයක් පැන්ඩාවන් ඔවුන් ගමන් කරන ස්ථානවල තවරා එනවා. එ් විශේෂයෙන්ම ගස්, ගල්, පඳුරු ආදියේ. ඔවුන් මෙම ගන්ධයට ඉතාමත් සංවේදී වන අතර එය එය එක් එක් පැන්ඩාවන්ට අනන්‍යයි. එයින් ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ බව, වයස, ප්‍රජනන හැකියාව සහ පැටවුන් බිහි කිරීමේ හැකියාව වැනි කරුණු වෙනත් පැන්ඩාවන්ට හඳුනාගත හැකියි.
හැසිරීම සහ ආහාර රටාව
පැන්ඩාවන්ට යෝග්‍ය භූමියක උණ ශාක විශේෂ දෙකක්වත් තිබිය යුතු අතර ජලය අත්‍යාවශ්‍ය සාධකයක් වෙනවා. ඔවුන් දවසේ වැඩි වේලාවක් ගත කරන්නේ ආහාර ගැනීමට සහ නින්දටයි. උණ ශාකය පැන්ඩාවන්ට ඉතාමත් වැදගත්. ඔවුන් දිනකට පැය 12ක් පමණ වැය කර ඒවා සැලකිය යුතු ප්‍රමාණයක් අාහාරයට ගන්නේ එය පෝෂණයෙන් ඉතා අඩු ශාකයක් නිසයි.
පැන්ඩාවන්ට උණ දඬු ඇඟිලිවලින් බදා අල්ලා ගන්නට විශේෂයෙන් පිහිටා ඇති මහපට අැඟිල්ලකට හුරු ඉන්ද්‍රිය (pseudo-thumb) උපකාර වනවා. පැන්ඩාවන් ඔවුන්ගේ දත් මඟින් උණ දඬුවල පිටත රළු කොටස ඉවත් කර ඇතුළත ඇති මෘදු කොටස මතු කර ගන්නවා. ශක්තිමත් යටි හකු ඇට සහ මසින් පිරුණු කම්මුල් ඔවුන්ට උණ ශාකය අඹරා ආහාරයට ගැනීමට උපකාර වෙනවා. උණ දඬුවලට අමතරව පැන්ඩාවන් උණ ශාක පත්‍රත් ආහාරයට ගන්නා අතර තණකොළ, අල, පළතුරු, සමහර කෘමි සතුන් සහ සත්ත්ව මළකුණුද ඔවුන්ගේ ආහාර ලැයිස්තුවේ ඇතුළත්.
වනයේ ජීවත්වන පැන්ඩාවන් තනිව වාසය කරන අතර ඔවුන් වනයේ ඇවිද යන්නේ ආහාර සොයා ගැනීමට පමණයි. පැන්ඩාවන් දෙදෙනෙකු මුණගැසුණ විට ඔවුන් එකිනෙකාට ගොරවා ගැනීම, පහර දීම, ඇඟට පැනීම වැනි දෑ සිදුකර ගන්නවා. ඇතැම්විට සපා කෑමටද හැකියි.
පැන්ඩා පැටවුන්
මොවුන් පැටවුන් බිහි කරන සීඝ්‍රතාවය අඩු අතර වැඩුණු පැන්ඩා ගැහැණු සත්ත්වයකු අභිජනනය කරන්නේ වසර දෙකකට හෝ තුනකට වරක් පමණයි. ඔවුන්ගේ ජීවිත කාලයෙන් පස්වරක් පැටව් ලබන්නට හැකියි. ඔවුන්ගේ සාමාන්‍ය ගර්භණී කාලය දින 135ක් පමණ වන අතර උපතේදී පැන්ඩා පැටවුන් ඉතාම කුඩායි. ඔවුන්ගා් බර ග්‍රෑම් 85-142 අතර පවතිනවා.
අළුත උපන් පැන්ඩා පැටවකු මව මෙන් 800 ගුණයක් කුඩා වන අතර පැටවුන්ට පැන්ඩා මව්වරුන් ඉතා හොඳ රැකවරණයක් ලබාදෙනවා. පැටවා ඉපදීමෙන් දින කිහිපයක් ගතවන තුරුම මව ආහාර සඳහාවත් ගුහාවෙන් පිටතට යන්නේ නැහැ.
පැන්ඩා පැටවුන් ඇස් අරින්නේ ඔවුන්ගේ වයස දින 50ක් 60ක් පමණ වූ විටයි. 10 වැනි සතියේදී පැටවා බඩගෑම ආරම්භ කරනවා. 14 වැනි සතියේදී ඔවුන්ගේ දත් දැකගත හැකියි. 21 වෙනි සතිය වන විට පැටවාට ඉතා හොඳින් ඇවිදීමේ හැකියාව ලැබෙනවා. මේ අවස්ථාව වනවිට පැටවා පැන්ඩා මව සමඟ සෙල්ලම් කිරීම අරඹනවා. මාස 7 සිට මාස 9 අතර කාලයේදී මොවුන් උණ ශාකය ආහාරයට ගැනීම ආරම්භ කරනවා. පැටවාට මාස 18ක් වයස වූ විට ස්වාධීනව ජීවත් වීමේ හැකියාව තිබෙන අතර ඒ වන තෙක් පැටවා මව් පැන්ඩා සමඟම රැඳෙනවා. මෙම පැටවුන් බලා ගැනීම සඳහා කිසිදු සහයක් පිරිමි පැන්ඩාගෙන් ලැබෙන්නේ නැහැ.
ආයු කාලය
පැන්ඩාවන් වනාන්තරයේදී නම් වසර 14-20ක් පමණ ජීවත් වන අතර සුරැකුම් මධ්‍යස්ථානයකදී වසර 30ක පමණ කාලයක් ජීවත් වෙනවා. ගැහැණු පැන්ඩාවෙකු අවුරුදු 4-5 වන විටත්, පිරිමි පැන්ඩාවෙකු අවුරුදු 6-7 වන විටත් පරිණත වනවා. පැන්ඩෙකු මීටර 1.5ක් පමණ දිගු වන අතර උරහිස තෙක් උස සෙන්ටිමීටර 70-80ක් පමණ වනවා. ගැහැණු පැන්ඩාවකුගේ සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 70-100ත් අතර වනවා. පිරිමි පැන්ඩාවෙකුගේ සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 86-125 අතර අගයක් ගන්නවා.
පැන්ඩාවන් දිනකට 50 වතාවක් පමණ මළපහ කරනවා. කුතුහලය උපරිමව පවතින සතුන් විශේෂයක් වන මොවුන් සෙල්ලම් කිරීමට ඉතාම ප්‍රිය කරනවා. ගැහැණු පැන්ඩාවෙකු පැටවුන් දෙදෙනෙකු සහිතව ගර්භණී විය හැකි වුවත් බොහෝ විට උපත ලබා දෙන්නේ එක් පැටවෙකුට පමණයි. මව් පැන්ඩාගේ ශරීරය විසින් අනෙක් කලලය අවශෝෂණය කර ගන්නවා. නමුත් එකවර පැටවුන් දෙදෙනෙකු උපත ලද අවස්ථාද නැතුවාම නොවෙයි.
වාසස්ථාන විනාශ වීම
චීනයේ ජනගහණය බිලියනයකට වැඩි අතර ඔවුන්ගේ අවශ්‍යතාවලට අනුව නිවාස, මංතීරු, නගර ආදිය ඉදිවීමත්, ස්වභාවික සම්පත් අධිකව භාවිතයත් නිසා වන විනාශය සිදු වුණා. මේ නිසා 1974 -1985 කාලය තුළ පැන්ඩන්ට වාසයට සුදුසු ස්ථාන අඩකින් අඩු වුණා. සුදුසු ගුහාවක් නැති වීම නිසා පැන්ඩා පැටවුන් සීතලට නිරාවරණය වන අතර විවිධ ලෙඩ රෝගවලට සහ සතුන්ට ගොදුරු විය හැකියි. පැන්ඩාවන් වඳවී යාමට නිසි වාසස්ථාන නොමැති වීමත්, ආහාර හිඟයත් ප්‍රධානවම බලපෑවා.
පාලනය සහ සුරැකීම
වර්තමානයේදී ලොව පුරා පැන්ඩාවන් 1600ක් පමණ ජීවත් වනවා. 2016 දක්වා ඔවුන් අන්තරායට ලක්වූ (Endangered) ජීවී විශේෂයක් ලෙස කාණ්ඩගත කර තිබුණත් මේ වන විට ඔවුන් අන්තරායට ලක්විය හැකි (Vulnerable) විශේෂයක් යන තත්ත්වයට පැමිණ තිබෙනවා. මෙය පැන්ඩාවන් සුරැකීම වෙනුවෙන් කැපවී කටයුතු කරන හැමදෙනාගේම ජයග්‍රහණයක්.
පැන්ඩාවන් සුරැකීම චීනය විසින් ආරම්භ කළේ 1957 වර්ෂයේදීයි. 1989දී චීනයේ වනජීවී අමාත්‍යාංශය සහ ලෝක වන සත්ත්ව අරමුදල එක්ව පැන්ඩාවන් සහ ඔවුන්ගේ වාසස්ථාන සුරැකීම වෙනුවෙන් වැඩසටහනක් ආරම්භ කළා. මීට අමතරව පැන්ඩාවන් සුරැකීම වෙනුවෙන් ලොව පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.
උණ ශාකය
පැන්ඩන්ට ආහාරයට ගත හැකි උණ ශාක විශේෂ 25ක් පමණ තිබෙනවා. මෙම ශාකයේ තිබෙන අසාමාන්‍ය බව වන්නේ එක් වපසරියක හට ගන්නා එක් විශේෂයක උණ ශාක එකම කාලයේදී මිය යාමයි. එම ශාක මිය ගියපසු පැන්ඩන් වෙනත් ප්‍රදේශයකට යා යුතු වෙනවා. මේ නිසා එකම ප්‍රදේශයක වුවත් පැන්ඩාවන්ට ආහාරයට ගත හැකි විවිධ විශේෂවල උණ ශාක තිබීම වැදගත් වෙනවා.
රතු පැන්ඩාවන්
පැන්ඩාවන් ගැන කතා කළ නිසා රතු පැන්ඩාවන් (Red panda) ගැනත් කතා කරමු. මොවුන් ඇත්තටම පැන්ඩාවන් නෙවෙයි. බළල් මුහුණක් සහ කුරුඳු රතු පැහැ ලොම් සහිත මෙම සත්ත්වයා චීනය, නේපාලය, ඉන්දියාව, බුරුමය සහ භූතානය යන රටවල ජීවත් වෙනවා. මොවුන් Ailurus fulgens යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙනවා. රතු පැන්ඩාවන් සහ සාමාන්‍ය පැන්ඩාවන් අතර ජානමය සබඳතාවක් පවතීද යන්න විද්‍යාඥයින්ට බොහෝ කාලයක සිට ඇති ගැටළුවක්. මොවුන් ගැන වැඩි තොරතුරු ඉදිරි ලිපියකින් සාකච්ඡා කරමු.
කවරයේ පින්තූරය: (trunkweed.com)
මූලාශ්‍ර:
animals.sandiegozoo.org
www.kidzone.w
animals.sandiegozoo.org