පුරාණයේ පටන් අලිඇතුන් ගෞරවනීය සත්ත්වයින් ලෙස යි ශ්‍රී ලංකාවේ සැලකුණේ. නමුත් ඇත් දළ සහ අලි අපනයනය පුරාණ ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වුණා. අනුරාධපුර යුගයේ සිට උඩරට රාජධානිය දක්වා සියලු රාජධානිවල රජකම් කළ රජවරුන් අලිඇතුන් වෙළෙදාම කරගෙන ගිය බව විදේශිකයන්ගේ වාර්තාවල සදහන් වෙනවා. 1505 දී මුහුදුබඩ පළාත් අල්ලා ගත් පෘතුගීසීන ද, පසුව ලන්දේසි සහ බ්‍රිතාන්‍ය පාලකයන් ද මෙරට අලි ඇතුන් අල්ලා එතෙර රටවලට විකුණා ආදායම් උපයාගත්තා. ඉන්දියානු රජවරුන් යුද වාහනයක් ලෙසත්, රාජකීය හමුදාවේ අලංකාරත්වය වැඩි කර ගැනීමටත් අලංකාර පෙනුමකින් යුත් ලංකාවේ අලි ඇතුන් මිල දී ගැනීමට පෙළඹී සිටියා. වසර දහස් ගණනක් තිස්සේ ලංකාව හා ඉන්දියාව අතර අලි ඇතුන් වෙළෙඳාම සිදුව තිබෙනවා. අදත් බලවතුන්ගේ ආශිර්වාදයෙන් කෙරෙන නීතිවිරෝධී අලි වෙළෙදාම ගැනත්, හද කම්පා කරන අලි දඩයම ගැනත් අපට නිතර අහන්න ලැබෙනවා.
අලි රට පටවා සල්ලි හෙවීම
අලි ඇල්ලීම කර ඇත්තේ මුස්ලිම් ජාතික පනික්කියන් විසින්. ඔවුන් මදු ගසා අලි ඇල්ලීමට දක්ෂයන් වුණා. 1662 වසරේ දී ලන්දේසි මුදල් ඒකකය වූ ගිල්ඩර් එක්ලක්ෂ හතළිස් නවදාහක් අලි ඇතුන් අපනයනයෙන් ලන්දේසීන් උපයා ගෙන තිබුණා. එය ඔවුන් ලංකාවෙන් ලැබූ ආදායමෙන් සියයට විසිපහක්.
යටත්විජිත සමයේ දී ශ්‍රී ලංකාවේ ඇත්දළ හා අලිඇතුන් අපනයනය මහාපරිමාණ වශයෙන් සිදුවූ බව පෙනෙනවා. කුරුණෑගල, ලබුගම වැනි ප්‍රදේශ ගණනාවක ඇත්ගාල් සාදා අපනයනය සඳහා එකවර අලිඇතුන් සිය ගණනින් අල්ලා ගත්තා. මාතර දිස්ත්‍රික්කයේ වර්ෂ 1800 ආසන්න කාලයේ වර්ෂයකට ඇත්ගාල් තුනක් පවත්වන බව ජේම්ස් කෝඩිනර් සදහන් කරනවා. මීගමුවට නුදුරින් ද අලිගාල් පැවැත්වූ බව කෝඩිනර්ගේ පොතේ සදහන්. ඒ අතර ඇත්ගාල්වල අලි අල්ලනවා බැලීම පොහොසතුන්ගේ ත්‍රාසජනක ක්‍රීඩාවක් බවටත් පත්ව තිබුණා.
ඉංග්‍රීසින්ගේ අලි සංහාරය
පෘතුගීසි සහ ලන්දේසින් අලි නැව්වල පටවා පිටරට යවා මුදල් ඉපයුව ද, අලි නිකරුණේ මරා දැමීමක් ගැන සදහන් වන්නේ නැහැ. ඉංග්‍රීසින් මෙරට යටත් කරගත් පසු 19 වැනි සියවසේ මැද භාගය වන විට වාණිජ බෝග වගාව හඳුන්වා දෙනවා. මුලින්ම කෝපිත්, ඊට පසු තේ හා රබර් වතුත් වනාන්තර වනසාගෙන මතු වෙනවා. අලි ඇතුන් නිදහසේ සැරිසැරූ වනබිම් අහිමි වීම නිසා උන් වගාවලට හානි කරනවා. මේ ගැන අනුවේදනීය කතාවත් රොබට් ස්ටැන්ඩිෂ් ලියූ Elephant Walk නවකතාවේ සදහන්.
අලි ඇතුන්ගෙන් වගාවලට එල්ල වු තර්ජනයට පිළිතුර වුයේ වෙඩි උණ්ඩය යි. මහා මාර්ග හා දුම්රිය මාර්ග ඉදිකිරීම ආරම්භ කිරීම නිසාත් අලිඇතුන්ගේ අනතුරුවලට ඉංග්‍රීසින් මුහුණ දුන්නා. ඒ අවස්ථාවේත් අලින්ට වෙඩි තැබීම සිදුවුණා. පසුව විනෝදයට අලි මරා තම නම කීර්තිමත් කර ගන්නා දඩයක්කාර සුද්දන් පිරිසක් බිහි වුණා. දහස් ගණන් අලි දඩයම් කළ අතර උන්ගේ මළ සිරුරු සමග සේයාරූ ගැනීමත් විනෝදාංශයේ කොටසක් බවට පත් වුණා. මේජර් තෝමස් ස්කිනර්, සැමුවෙල් බේකර්, මේජර් විලියම් රොජර්ස්, හැරී ස්ටෝරි, ඊ. එල්. වෝකර් වැනි දඩයම්කරුවන් එකල ප්‍රකටව සිටි අලි ඝාතකයන්ගෙන් කිහිප දෙනෙක් පමණ යි. කැප්ටන් ගැල්වේ, කර්නල් ලින්ඩ්සේ, ලුතිනන් හොලිඔක් යනාදීන් ද ඉංග්‍රීසි පාලන සමයේ දී වන අලි ඇතුන් සිය ගණන් මරා දැමූ පුද්ගලයන් ලෙස සැලකෙනවා. කැප්ටන් ගැල්වේ පමණක් මෙසේ අලි – ඇතුන් 700ක් දෙනා මරා දැමූ බවට වාර්තා වෙනවා. වර්ෂ 1831 දී ආණ්ඩුව විසින් අලි විනාශ කිරීමට ත්‍යාග පිරිනැමීම ආරම්භ කළා. වර්ෂ ගණනාවක් යනතුරු තෑගි ලබාගැනීමට වාර්ෂිකව අලි හොඬ හා වල්ග කච්චේරිවලට ඉදිරිපත් කිරීම සිදු වුණා.
අලි දඩයම ගැන හෙන්රි චාල්ස් සර් ලියන්නේ මෙලෙසයි;
අලි ඇතුන් වෙඩි තැබීමේ පළපුරුදුකම් ඇත්තෝ ඔවුන්ගේ ඉලක්කයට හසුකොට ගැනෙන හස්තියා එක පහරකින් බිම හෙළිය හැකි මර්මස්ථානය, එනම් නළල් තලය එල්ල කර ප්‍රබල ආලෝක ධාරාවක් නිපදවීමේ උපක්‍රමයක් හැකි සෑම අවස්ථාවකදීම යොදා ගනිති. වෙඩි උණ්ඩයකින් හස්තියකුගේ මොළයම සිදුරු වුවහොත් විනා සිරුරේ අනෙක් තැනක ඉන් සිදුවන තුවාලයකින් ඌ බිම හෙළීම උගහට ය. බහුල වශයෙන් අලිඇතුන් දඩයම් කරන්නන් මැරුණු අලි සංඛ්‍යාව මතක තබාගැනීමට උන්ගේ වලිගය කපා තබාගැනීම සිරිතක් කර ගෙන සිටිති.
(ලංකාව සහ සිංහලයෝ- 126 පිට)
මේජර් ස්කිනර්
මේජර් තෝමස් ස්කිනර්ගේ ලංකාවේ පනස් වසරක් (Fifty Years of Ceylon) නැමති ග්‍රන්ථයේ ඔහු ආඩම්බරයෙන් සදහන් කරන්නේ මුල්ම අලියා අඹේපුස්සේ දී වෙඩිතැබුවේ වයස අවුරුදු 15 දී බව යි. ඔහු ලංකාවේ හමුදා සේවයට එක්වූයේ 1827 දී යි. දක්ෂ වෙඩිකරුවෙකු වු මේජර් ස්කිනර් ලක්දිව ගත කළ කාලය තුළ අලි ඇතුන් 700කට ආසන්න ප්‍රමාණයක් මරා දමා තිබෙනවා. ස්කිනර් සිය කෘතියේ මෙසේ සදහන් කරනවා:
1827- 29 කාල සීමාවේ දී කොළඹින් සැතපුම් 30-40 ඈතින් අලියකු ගැවසෙන ඕනෑම අවස්ථාවක දී ගම්පති විසින් මට ඒ බව දැන්වූ විට උන්ට වෙඩි තැබීම සදහා මම මගේ නිලධාරින් ද කැටුව එහි ගියෙමි.
(ලංකාවේ පනස් වසරක්- මේජර් ස්කිනර්, පරි. පරාක්‍රම ඇස්. විජේවර්ධන, 52 පිට)
විලියම් රොජර්ස්
ලංකා රයිපල් රෙජිමේන්තුවේ සේවය කළ මේජර් තෝමස් විලියම් රොජර්ස් විසින් 1834-1845 කාලය තුළ අලිඇතුන් 1400ක් මරා දමා තිබෙනවා. ලක්දිව අලි දඩයමේ ඉහළම වාර්තාව තැබූ දඩයක්කරු ලෙස ඔහු ඉතිහාසගත වී සිටිනවා. සමහර අය ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛනවලට අනුව මේ ගණන මීටත් වඩා වැඩි යි. රොජර්ස්ගේ නිල නිවස සැරසී තිබුණේ ඇත් දළ, අලි වල්ගාවලට අමතරව මුව, ගෝන, වලස් ආදී සතුන්ගේ සම්වලින්. මේජර් රොජර්ස් විසින් කරන ලද බිහිසුණු අලි දඩයම් ගැන ඉංග්‍රීසින් එකල ලියූ පොත්වල වර්ණනා කර තිබෙනවා. වරක් එක වෙඩිල්ලකින් අලි දෙදෙනෙකු බිම හෙළා පෙන්වන බවට ඔට්ටුවක් ඇල්ලූ රොජර්ස් සුද්දන් පිරිසක් සමග දඩයමේ ගොස් පැටවකු සමග සිටි ඇතින්නියකට වෙඩි තැබුවා. ඇතින්නිය මිය ගියේ පැටවා මත වැටෙමින්. ඇතින්නියට යට වූ පැටවා ද මිය ගියෙන් රොජර්ස් ඔට්ටුවෙන් ජය ගත්තා. ඔහු විසින් ඝාතනය කරන ලද ඇතුන්ගේ දළ 60ක් වෙන්දේසි කළ බවත් සඳහන්.
1846 ජුනි 7 දා හපුතලේ තානායමේ දී අකුණක් වැදී මියයන විට ඔහුගේ වයස අවුරුදු 41ක් පමණ යි. නුවරඑළියේ පිහිටි රොජර්ස්ගේ සොහොනට අදටත් අකුණු පතිත වන බවට කටකතාවක් ගැමියන් අතර පැතිර තිබෙනවා.
සැමුවෙල් බේකර්
ලංකාවේ පමණක් නොව ලොව වටා ගොස් සත්ත්ව ඝාතනයේ යෙදුණු සුප්‍රකට චරිතයක් සැමුවෙල් බේකර්. අප්‍රිකානු වනාන්තරවල ඇතුන් වෙඩි තැබූ බේකර් පසුව ලංකාවට පැමිණෙනවා. නුවරඑළිය ජනාවාස කිරීමට පුරෝගාමී වන ඔහු මෙරට අලි ඇතුළු සතුන් දඩයම ප්‍රධාන විනෝදාංශය බවට පත් කරගත් අයෙක්. ඔහු ශ්‍රී ලංකාවේ දඩයම් අත්දැකීම් ගැන ඊළග පරම්පරාවට දඩයම් පිළිබඳව මාර්ගෝපදේශක ග්‍රන්ථයක් ලෙස “ලංකාවේ ගිනි අවි සහ දඩයම්” (The Rifle and the Hound in Ceylon) පොත ලිව්වා. වසර 9 ක් තිස්‌සේ අප්‍රිකාවේ දඩයමේ නිරත වූ කාලයේ මරා දැමූ වන අලින් සංඛ්‍යාව නොගිනිය හැකි තරම් බව පවසනවා. එසේම ශ්‍රී ලංකාවේ වසර 30ක් ගතකළ කාලයේ දී ඔහු හා ඔහුගේ කණ්‌ඩායම විසින් මරා දමන ලද අලි – ඇතුන්ගේ සංඛ්‍යාව ද අතිවිශාලයි. සැමුවෙල් බේකර් සහ ඔහුගේ සොයුරු ලුතිනන් වී. බේකර් ද හිතේ හැටියට අලි – ඇතුන් මරා දැමූ දෙදෙනෙක් .
1851 නොවැම්බර් 06 වැනිදා තමන් ලංකාවේදී සිදුකළ දඩයම් පිළිබඳව ඔහුගේ ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර තිබෙනවා:
“මා සහභාගි වූ හොඳම දඩකෙළිය මෙය බව කිව හැකියි. අලි පසුපස හඹා යෑම පැයක පමණ කාලයක් පැවතිණ. ඒ රැළේ අලි 13 දෙනකු සිටි අතර, සෑම අලියෙකුම හඹා ගොස් මරා දැමීමට අපි සමත්වීමු. එක් ඇතින්නක් මරා දැමීමට වෙඩි 15 ක් තැබීමට සිදුවිය. එදින අපි අලි – ඇතුන් 14 දෙනකු දඩයම් කොට තිබිණි. අපි අම්බලමට (මියගිය මේජර් රොජර්ස්‌ගේ අම්බලම) ආපසු පැමිණියේ ලංකාවේ දී දඩයක්‌කරුවකුට දිනකට දඩයම් කළ හැකි උපරිම අලින් සංඛ්‍යාව දඩයම් කිරීමෙන් පසුව යි.
(The Rifle and the hound in Ceylon- Samuel Baker)
බේකර් සහ ඔහුගේ සොහොයුරා 1850 නොවැම්බර් මාසයේ කළ එක් දඩ ගමනක දී දින කිහිපයක් තුළ අලිඇතුන් 31 දෙනෙක් මරාදමා තිබෙනවා. 1851 නොවැම්බරයේ බේකර් තවත් දඩයක්කරුවන් පිරිසක් සමග මින්නේරියේ සිට බිබිල දක්වා වනය මැදින් දඩයම් ගමනක යෙදෙමින් අලිඇතුන් 75 දෙනෙක් මරා දැමූ බව සදහන් කරනවා.
බේකර්ගේ පොත 1874 දී පළ කරන විට වනජීවී සංරක්ෂණ නීතියක් ආණ්ඩුව සම්මත කරගෙන තිබුණා. ඔහු තම ග්‍රන්ථයේ මෙසේ සටහනක් කරනවා:
“මීට වසර 20 කට පෙර දඩයම් කිරීම සඳහා රජයෙන් ත්‍යාග පිරිනැමුවත්, අද වන අලි වන සංරක්‌ෂණ නීති රීති මඟින් ආරක්‌ෂාකොට ඇත. එනිසා මාගේ ග්‍රන්ථය තවදුරටත් ලංකාවේ දඩ කෙළිය සඳහා මාර්ගෝපදේශක පොතක් වශයෙන් සැලකීමට නොහැකිය.”
(The Rifle and the hound in Ceylon- Samuel Baker)
දඩකෙළි නීති
වනසතුන් සුද්දන් විසින්ම හේතුවක් නැතිව මරා දැමීම ඉංග්‍රීසි ආණ්ඩුවටත් හිසදරයක් වූ නිසා 1891 අංක 10 දරන සතුන් හිතුවක්කාර ලෙස විනාශ කිරීම වැළැක්වීමේ පනත ගෙනාවා. එයට අනුව අලියකු වෙඩි තැබීමට රු. 100ක් ගෙවා යටත් විජිත ලේකම්ගෙන් හෝ ආණ්ඩුවේ ඒජන්තවරයකුගෙන් බලපත්‍රයක් ලබාගත යුතු වුණා. බලපත්‍ර රහිතව ඇතෙකු මැරුවොත් රු. 1000ක දඩයකුත්, අලියකු මරුවොත් රු. 250ක දඩයකුත් නියම කර තිබුණා. නමුත් මේ නීති නමට පමණක් සීමාවූ බව යි පේන්නේ. ලක්දිව පහතරට දඩකෙළි සැරිසර (Sport in the low country of Ceylon) පොත 1901 දී ලියන ඇල්ෆ්‍රඩ් ක්ලාක් සදහන් කරන්නේ එම ආසන්න කාලයේ දී වර්ෂයකට අලිඇතුන් 300ක් මරා දැමීමෙන් හෝ වෙනත් ආකාරයකින් මියගිය බව යි.
1938 දී ප්‍රකාශිත වන සත්ත්ව හා තුරුලතා ආරක්‌ෂා කිරීමේ ආඥාපනත මඟින් ද තවදුරටත් අලි – ඇතුන් ආරක්‌ෂාකාරී සතුන් කොටසක් ලෙස සැලකුණා. නමුත් විටින් විට අලි – මිනිස් ගැටුම් හා දඩයම් හේතුවෙන් අලි ඇතුන් දඩයම් නීති විරෝධීව සිදුකෙරුණා. එවකට පැවැත්වුණු අලි ගාල්වලින් අල්ලන අලිඇතුන් කිහිප දෙනෙකු තුවාල නිසා මියයාමත් සාමාන්‍ය දෙයක් වුණා. පනාමුරේ ඇත්ගාල අවස්ථාවේ එහි නායක ඇතා තම එඩිතරභාවය ලොවට ප්‍රදර්ශනය කරමින් අනික් සතුන් ඇල්ලීම වැළැක්වීම නිසා ඌ වෙඩි තබා දැමීමට අණ කළේ ඇත්ගාලේ හිමිකරුව සිටි ෆ්‍රැන්සිස් මොළමුරේ. ඇතාට වෙඩි තැබූවේ සෑම් කදීර්ගාමර් විසින්. ඉන් පසු ලංකාවේ ඇත්ගාල් පැවැත්වීම තහනම් කෙරුණා. කොපමණ නීති තිබුණත් අලිඇතුන්ගේ කලදවස නම් අදත් අදුරු බවයි අපට පේන්නේ.