Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අමුතු ම ආකාරයේ කැදලි තනන පක්ෂීන් වර්ග 4ක්

ලෝකයේ විවිධ රටවල් ආශ්‍රිත ව එකිනෙකට වෙනස් ලක්ෂණ සහිත පක්ෂීන් ප්‍රභේද රැසක් ජීවත් වනවා. එම පක්ෂි ප්‍රභේද අතරට පෙනුමෙන් ලස්සන පක්ෂීන්, කටහඬින් ලස්සන පක්ෂීන් සේ ම විවිධ ආකාරයේ අපූරු ගති ලක්ෂණ ඇති පක්ෂි වර්ග ද අයත්. ඒ විදිහට අපූරු ගති ලක්ෂණ ඇති පක්ෂි ප්‍රභේදයන් අතුරින් අමුතු ම ආකාරයේ කුඩූ නිර්මාණය කරන පක්ෂීන් කාගේත් අවධානය දිනා ගන්නවා. ඒ ඔවුන් පරිසරය තව තවත් සුන්දර කිරීම උදෙසා වෙහෙස මහන්සි වී කැදලි තනන නිසා යි. 

එලෙස අලංකාර කූඩු නිර්මාණය කරන පක්ෂීන් අප රටේ ද සිටිනවා. ඒ අතුරින් වඩාත් ජනප්‍රියත්වයට පත් ව සිටින්නේ වඩු කුරුල්ලා යි. වඩු කුරුල්ලා කූඩු තනන ආකාරය පිළිබඳ ව මීට පෙර ලිපියකින් අපි ඔබ වෙත තොරතුරු ඉදිරිපත් කළා. එනිසා මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ වෙනස් ම ආකාරයේ කූඩු නිර්මාණය කරන විදෙස් පක්ෂි ප්‍රභේද 4ක් පිළිබඳව යි. 

1) මොන්ටෙසුමා ඔරොපෙන්ඩෝලා 

ලතින් අමෙරිකානු කලාපයේ බොහෝ රටවල් ආශ්‍රිත ව සුන්දර වෙරළ තීර දක්නට ලැබෙනවා. එම වෙරළ තීර ආසන්නයේ පිහිටි පහත් බිම් ප්‍රදේශවල සරුවට වැඩී ඇති සුවිසල් ගස්වල පහළට එල්ලෙන පලතුරු ගෙඩි මෙන් වන කුරුළු කූඩු වර්ගයක් සුලබ ව දැක්ගන්නට පුළුවන්. එම අමුතු ම ආකාරයේ කූඩු වර්ගය තනන්නේ මොන්ටෙසුමා ඔරොපෙන්ඩෝලා නම් පක්ෂි විශේෂය යි. ගිනිකොනදිග මෙක්සිකෝව, උතුරු ග්වාතමාලාව, නිකරාගුවා, හොණ්ඩුරාස්, නිරිතදිග කොස්ටරිකා, බෙලිස්, මධ්‍යම පැනමා යන ප්‍රදේශ  ආශ්‍රිත ව මෙම පක්ෂි විශේෂය වාසය කරනවා. ලතින් අමෙරිකාවට අයත් වන දකුණු ග්වාතමාලාව සහ එල් සැල්වදෝරය යන ප්‍රදේශ ආශ්‍රිත ව මොන්ටෙසුමා ඔරොපෙන්ඩෝලා කුරුළු විශේෂය දක්නට නොලැබීම විශේෂත්වයක්.

මොන්ටෙසුමා ඔරොපෙන්ඩෝලා පක්ෂීන් වාසය කරන කූඩු – Bird Spot

සාමාන්‍යයෙන් මෙම කුරුල්ලන් වාසය කරන එක් ජනපදයක කූඩු 30ක් පමණ දැකගන්නට ලැබෙනවා. කූඩු තැනීම සඳහා අවශ්‍ය වන දිග කෙඳි සහ විවිධ වැල් වර්ග සොයා දීමේ වගකීම පිරිමි පක්ෂියාට පැවරෙනවා. එය විසිතුරු අයුරින් තැනීම ගැහැනු පක්ෂීන් සිදුකරනවා. ඒ අයුරින් වෙහෙස මහන්සි වී සාදා ගන්නා නව නිවාසවල පදිංචියට යන කුරුළු ජෝඩු පසුව බිත්තර දැමීම සිදු කරනවා. දින 15ක පමණ කාලයක් ගෙවුණු පසුව එම බිත්තරවලින් පැටවුන් එළියට එනවා. අලුතින් ලැබුණු පැටවුන්ට ටිකක් ලොකු මහත් වන තුරු සැප සේ ජීවත් වීමට හැකියාව ලැබෙන්නේ මොන්ටෙසුමා ඔරොපෙන්ඩෝලා කුරුල්ලන් නිර්මාණය කරන අපූරු කූඩු විශේෂය නිසා යි.

 

2) මාලීෆවුල්

මාලීෆවුල් නම් පක්ෂි විශේෂය බටහිර ඕස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් වාසය කරනවා. ඊට අමතර ව වික්ටෝරියා, නිව් සවුත්වේල්ස් සහ දකුණු ඕස්ට්‍රේලියාව යන ප්‍රාන්තවලට අයත් ඇතැම් ප්‍රදේශ ආශ්‍රිත ව මාලීෆවුල් පක්ෂි ජනාවාස දැකගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් බොහෝ කුරුළු විශේෂ උස් ස්ථානවල කූඩු නිර්මාණය කිරීම සඳහා පුරුදු ව සිටියත් මාලීෆවුල් පක්ෂීන් පොළව මතුපිට සිය කූඩු නිර්මාණය කිරීම විශේෂයි. ඒ නිසා මාලීෆවුල් පක්ෂීන්ගේ කූඩු බොහෝ දෙනකුගේ අවධානයට යොමු වනවා.

මාලීෆවුල් පිරිමි පක්ෂීන් සිය කූඩුව සෑදීම සඳහා පඳුරු සහිත ගස් අතර ඇති බිම් ප්‍රදේශයක් තෝරා ගන්නවා. ඉන් පසුව උන් එම ස්ථානයේ වට ප්‍රමාණයෙන් විශාල මීටර් 2-3ක් පමණ ගැඹුරු වළක් හෑරීම සිදු කරනවා. දින කිහිපයක් පුරාවට මහන්සි නොබලා සිදු කරන එම ක්‍රියාවෙන් පසුව මාලීෆවුල් පක්ෂියාට තවත් අසීරු කාර්යයක් පැවරෙනවා. ඒ හෑරූ වළ පිරවීම සඳහා කාබනික ද්‍රව්‍ය එකතු කිරීම යි. එහි දී උන් ගස්වල කොළ, පොතු, දිරාගිය කොළ වැනි දේවල්වලින් හෑරූ වළ පුරවනවා. වළ පිරවීමෙන් පසු ව එහි මුදුනේ බිත්තර දැමීම සඳහා වෙන ම කුටියක් සකස් කරනවා. මාලීෆවුල් කිරිල්ලිය එම කුටියේ බිත්තර දැමීමෙන් පසු ව එම කුටියට උඩින් තුනී වැලි තට්ටුවක් යෙදීම පිරිමි පක්ෂියාට පැවරෙන තවත් රාජකාරියක්. ඒ අයුරින් වැලි තට්ටුව පිරවීමෙන් පසු ව කූඩුව කුඩා කන්දක් සේ දිස්වනවා.

ගස් අතර ඉදිකොට ඇති මාලීෆවුල් කූඩුවක් – ABC

බිත්තර කුටියට පහළින් තිබෙන කාබනික ද්‍රව්‍ය අඩංගු කුටීරයෙන් බිත්තර කුටිය වෙත තාපය ගලා යාම අඛණ්ඩ ව සිදුවනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් කුටියේ ඇති බිත්තර පුපුරා කුරුළු පැටවුන් එළියට එන ආකාරය දැකගන්නට පුළුවන්. එලෙස බිත්තරවලින් එළියට එන මාලීෆවුල් පැටවුන්ට වැලි ස්ථරය හරහා ඉවතට පැමිණීමට සිදුවන්නේ මහත් පරිශ්‍රමයක් දැරීමෙන් පසුව යි. ඒ අනුව මාලීෆවුල් පක්ෂීන් සාදන කූඩු විශේෂය පක්ෂීන් සතු ව තිබෙන නිර්මාණශීලීත්වය පෙන්වීමට හොඳ ම උදාහරණයක්.

3) පතොක් ෆෙරියුගිනස් පිග්මි බකමූණා 

මිනිසුන්ගේ නොමනා ක්‍රියාකාරකම් සහ ස්වභාවික හේතූන් නිසා සමහර පක්ෂී විශේෂ වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටිනවා. උතුරු අමෙරිකාවේ සමහර ප්‍රදේශ  ආශ්‍රිත ව වාසය කරන පතොක් ෆෙරියුගිනස් පිග්මි බකමූණන් ද ඒ වගේ වඳවී යමින් පවතින පක්ෂි විශේෂයක්. මෙම බකමූණන් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ අමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තය තුළ යි. ඊට අමතර ව දකුණු ටෙක්සාස් සහ උතුරු මෙක්සිකෝ යන ප්‍රදේශවල දීත් මෙම බකමූණු විශේෂය දැකගන්නට පුළුවන්. 

මෙම අපූරු බකමූණු විශේෂය කූඩු තැනීම සඳහා පතොක් ගස් භාවිත කිරීම විශේෂත්වයක්. සාමාන්‍යයෙන් අඩි 30-40ක් තරම් උසට වැඩෙන විශාල පතොක් ගස් සිය කූඩු තැනීම සඳහා යොදා ගැනීමට මෙම පක්ෂීන් පුරුදු ව සිටිනවා. එහි දී මුලින් ම පතොක් ගස සිදුරු කරන පිග්මි බකමූණා එම සිදුර හරහා පතොක් ගස තුළට ඇතුළු වනවා. ඉන් පසු ව පතොක් ගස ඇතුළත සිය කැදැල්ල නිර්මාණය කරනවා. ඒ අයුරින් පතොක් ගස්වල තැනූ ෆෙරියුගිනස් පිග්මි බකමූණන්ගේ කූඩු ඇරිසෝනා ප්‍රදේශයේ සුලබ ව දක්නට ලැබෙනවා.

පතොක් ෆෙරියුගිනස් පිග්මි බකමූණු කූඩුවක් – pinterest

ඈත අතීතයේ දී ඇරිසෝනා වැනි ප්‍රදේශවල ජනගහනය ඉතාමත් අඩු අගයක් ගත්තා. එනිසා මෙම බකමූණු විශේෂයට කිසිදු ගැටලුවකින් තොර ව ජිවත් වීමට අවස්ථාව ලැබුණා. නමුත් ඇරිසෝනාවේ ජනගහනය ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙද්දී පතොක් කැලෑ විනාශයට පත්වුණා. ඒ සමඟ ම ෆෙර්යුගිනස් පිග්මි බකමූණන්ට උන්ගේ වාසස්ථාන අහිමි වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම පක්ෂි විශේෂය වඳවී යාමේ තර්ජනයට ලක් වුණා. ඊට අමතර ව නිතර ලැව් ගිනි ඇතිවීම ද මෙම බකමූණු ප්‍රභේදයේ වාසස්ථාන විනාශ වීමට හේතුවක් වුණා. 

4) සෝෂබල් වීවර් 

අඳුරු මහද්වීපය ලෙසින් හැඳින්වෙන අප්‍රිකානු මහද්වීපය ආශ්‍රිත ව වනාන්තර ප්‍රදේශ රැසක් දක්නට ලැබෙනවා. එම වනාන්තර තුළ පක්ෂි විශේෂ රැසක් වාසය කරනවා. සෝෂබල් වීවර් නම් අපූරු පක්ෂි විශේෂය ද ඒ අතරට අයත්. මෙම පක්ෂි විශේෂය පිළිබඳ ව 1790 වසරේ දී මුලින් ම ලොවට අනාවරණය කළේ ජෝන් ලේතම් නම් පක්ෂි විද්‍යාඥයා යි. වර්තමානය වන විට මෙම පක්ෂි විශේෂය වයඹදිග දකුණු අප්‍රිකාව, නිරිතදිග බොට්ස්වානා, නැමීබියාව ආශ්‍රිත ප්‍රදේශවල දී දැක්ගන්නට පුළුවන්. ඊට අමතර ව කලහාරී කාන්තාරයේ ඇතැම් ප්‍රදේශවලින් ද සෝෂබල් වීවර් පක්ෂීන්ගේ ජනාවාස හමුවනවා.

සෝෂබල් වීවර් කුරුළු විශේෂයට අයත් කූඩුවක් – Labroots

සෝෂබල් වීවර් නම් පක්ෂි විශේෂය මේ තරම් ජනප්‍රියත්වයට පත්ව තිබෙන්නේ උන් සාදන අපූරු කූඩු නිසා යි. සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් ඉතාමත් විශාල කූඩු තනන මෙම පක්ෂි විශේෂය, කූඩුව සෑදීම සඳහා සවිමත් ගසක් තෝරා ගැනීම මුලින් ම සිදුකරනවා. ස්ථානයක් තෝරා ගැනීමෙන් පසුව දිග කෙඳි සහ විවිධ වැල් වර්ග රැගෙන විත් කූඩුව සෑදීමේ කාර්යය සිදු කරනවා. එහි දී කුටීර රැසකින් යුත් විශාල ප්‍රදේශයක පැතිරුණු කූඩුවක් නිර්මාණය කිරීම සඳහා දින ගණනාවක් ගතවෙනවා. එලෙස නිර්මාණය කරන කූඩුවල එක් එක් කුටීරයට ඇතුළුවීම සඳහා විවර සාදා තිබීම සුවිශේෂී ලක්ෂණයක්.

ඒ අයුරින් සාදන ලද කූඩුවේ ඇතුළත කුටීර සිසිල් ගතියෙන් යුක්ත යි. වීවර් පක්ෂීන්ගේ ජනපද පිහිටා තිබෙන ප්‍රදේශ දිවා කාලයේ දී වැඩි උෂ්ණත්වයකින් යුක්ත යි. එනිසා දිවා කාලයේ දී ඇතුළත කුටීරවල වාසය කිරීමට පක්ෂීන් පුරුදුව සිටිනවා. සැප පහසුකම් අතින් ඉහළ වීවර් කුරුළු කූඩුවල කුටීර විශාල ප්‍රමාණයක් පිහිටා තිබෙන නිසා පක්ෂීන් වැඩි ප්‍රමාණයකට එහි වාසය කරන්නට පුළුවන්. සාමාන්‍යයෙන් පක්ෂි විද්‍යාඥයන් පවසන්නේ එලෙස සාදාගන්නා එක් කූඩුවක වීවර් පක්ෂි පරම්පරා කිහිපයක් වාසය කරන බවයි. 

කවරයේ ඡායාරූපය- දැවැන්ත සෝෂබල් වීවර් කුරුළු කූඩුවක් - getty images

මූලාශ්‍ර-

www.thoughtco.com

National Geographic  

Related Articles