මිනිසුන් කියන්නේ සංකීර්ණ ජීවින් කොටසක්. මේ සංකීර්ණ බව නිසා මිනිසුන් හැසිරීම අතින් අනෙකුත් සතුන්ට වඩා බොහෝ වෙනස්කම් දක්වනවා. නමුත්, ඇතැම් අතින් සතුන් මිනිසුන්ටත් වඩා සංකීර්ණත්වයක් දක්වනවා. නිදසුනක් වශයෙන් මල් ඇති ස්ථාන ගැන අනෙකුත් මී මැස්සන් දැනුම්වත් කිරීම සඳහා මී මැස්සන් අතර සන්නිවේදන ක්‍රමවේද පවතිනවා. ඩොල්ෆින් සතුන්ට පරාවර්තනය වන ශබ්ද ඔස්සේ වස්තූන්හි පිහිටීම සොයා ගැනීමේ හැකියාව තිබෙනවා. මේ කරුණුවලින් පෙනී යන්නේ මිනිසුන් තරමටම දියුණු සන්නිවේදන ක්‍රම සතුන් අතර පවතින බව යි.
සතුන්ගේ සමාජ හැසිරීම්
මිනිසුන්ගේ හැඟීම් අනුව උපදින හැසිරීම්වලට සමාන සමාජ හැසිරීම් පවා සතුන්ට තිබීමේ හැකියාවක් පවතිනවා. සංවේදනය, වැලපීම, ශෝකය, වැනි හැඟීම් මිනිසුන්ට පමණක් සීමාවූ හැඟීම්යැ යි අපි සිතුවත්, සැබැවින්ම ඒ හැඟීම් අනෙකුත් සතුන් අතරත් දකින්නට ලැබුණු අවස්ථා තිබෙනවා.
මිනිසා හැර, සත්ත්ව ලෝකයේ අනෙකුත් සාමාජිකයන් අතර පවතින අවමංගල්‍ය චාරිත්‍ර හෝ ශෝකය ප්‍රකාශ කරන විධි ගැන ඔබ මින් පෙර අසා තිබෙනවා ද? මේ ලිපියෙන් එවැනි සතුන් කිහිපදෙනකු ගැන විස්තර ඔබ වෙතට ගෙන එනවා. ජීවිතයෙන් සමුගත් තම සමීපතමයන් වෙනුවෙන් ශෝකය දක්වන සතුන්, බුද්ධි මට්ටමෙනුත් සාපේක්ෂව ඉහළ අය වීම විශේෂත්වයක්.
අලියා
අලින් යනු අතිශයින්ම සමාජීය, සංවේදී සහ චිත්තවේගී ජීවීන් වන අතර, ඔවුන් රංචුවේ වෙනත් අලි ඇතුන් සමඟ යම් බැඳීමකින් ජීවත් වෙනවා. මේ ගැඹුරු බැඳීම නිසාම රංචුවේ අයෙකු මිය ගිය විට අනෙකුත් සාමාජිකයින් අතිශයින්ම හැඟීම්බර වී ශෝකය ප්‍රකාශ කිරීමට පෙලඹෙනවා.
කෙන්යාවේ, අම්බොසෙලි අලි පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා සින්තියා මොස්ට වරෙක අපූරු දෙයක් නිරීක්ෂණය කිරීමට ලැබෙනවා. එක්තරා ඇතින්නක් මිය ගොස් සති කිහිපයකට පසු සින්තියා මිය ගිය ඇතින්නගේ හකු ඇටය පර්යේෂණ කඳවුරට ගෙන ආවේ ඇයගේ වයස නීර්ණය කිරීම පිණිස යි. ඉන් දින කිහිපයකට පසු ඇතින්නගේ පවුලේ සාමාජිකයන් කඳවුර වටේ සැරිසැරීමට පටන් ගත්තා. කඳවුරු බිමේ මියගිය අලින්ගේ හකු ඇට දුසිම් ගණනක් තිබුණත්, තම පවුලට අයත් සාමාජිකාවගේ අස්ථි කොටස් සොයා ගැනීමට ඔවුන් සමත් වුණා. ඔවුන් යම් කාලයක් එම අස්ථි කොටස් සමඟ කාලය ගත කළ අතර, ඒවා ස්පර්ශ කිරීමටත් ඔවුන් උනන්දු වුණා. පසුව එක් සාමාජිකයෙක් හැර අනෙක් සියල්ලන්ම පිටත්ව ගියා. ඉතිරි වූ සාමාජිකයා මිය ගිය ඇතින්නගේ සත් හැවිරිදි පුත්‍රයා බව කඳවුරේ මිනිසුන් හඳුනා ගත්තා.
සින්තියා මොස් දුටුවාට වඩා සංවේදී දර්ශනයක් වරෙක කෙන්යාවේ සම්බුරු රක්ෂිතයේදී එක්තරා ගවේෂකයෙකුට අත්දකින්න ලැබුණා. රෝගාතුරව සිටි “එලනෝර්” නමැති ඇතින්න දුර්වලව ඇද වැටුණු මොහොතේදී “ග්‍රේස්” නමැති තවත් ඇතින්නක් වහාම එලනෝර් වෙත හැඟීම්බර විලාසයකින් ළඟා වුණා.
එලනෝර්ව යළි නඟා සිටුවන්න ග්‍රේස්ට හැකි වුණත්, එලනෝර් යළි ඇද වැටුණා. ග්‍රේස් එවිට යම් ආතතියකට ලක්වූ අතර, ඇය දිගින් දිගටම එලනෝර්ව නැඟිටුවන්න උත්සහ කළත් අසාර්ථක වුණා. රාත්‍රිය වනතුරුම ග්‍රේස්, එලනෝර් අසල නැවතී සිටි අතර, රාත්‍රියේදී එලනෝර් අවසන් හුස්ම හෙළුවා.
ඊළඟ දවසේ “මවුයි” නම් අලියෙක් තම පාදයෙන් එලනෝර්ගේ සිරුර සොලවා බැලුවා. තුන්වන දවසේදී එලනෝර්ගේ සිරුර බැලීමට ඇයගේ පවුලේ සාමාජිකයන් පැමිණියා. ඉන්පසුව වෙනත් පවුලකුත්, “මායා” ලෙස නම් කළ එලනෝර්ගේ සමීපතමයෙකුත් මළ සිරුර කරා පැමිණියා. මේ සියල්ලන්ටම පසු එලනෝර්ගේ අවසාන හුස්ම දක්වා රැඳී සිටි ග්‍රේස් නම් ඇතින්න නැවත මළ සිරුර අසලට පැමිණියා. මායා, පස්වන දිනයේදී මළ සිරුර අසළ පැය එකහමාරක් ගත කළ අතර, මරණයෙන් සතියකට පසු එලනෝර්ගේ පවුලේ සාමාජිකයන් නැවත ඇය අසලට පැමිණියා.
ගෞරවයක් දක්වනවා වැනි හැසිරීමක්
ඇතැම් විට ඔවුන් වරින් වර පැමිණ එලනෝර්ට තම ශෝකය ප්‍රකාශ කළා වෙන්නට පුළුවන්. මිය ගිය සාමාජිකයාට කිසිදු සම්බන්ධතාවක් නැති පිටස්තර අලි රංචු මළ සිරුර අසලින් යනවිට, මළ සිරුර අසල නැවතී යම් ගෞරවයක් දක්වනවා වැනි හැසිරීමක් අලින්ගෙන් නිරීක්ෂණය වී තිබෙනවා.
අලි පැටවෙකු මියගිය විට පැටවාගේ මව දින ගණනාවක් මානසික අවපීඩනයෙන් පෙළෙන බව ඇතැම් අය නිරීක්ෂණය කොට තිබෙනවා. බොහෝවිට ඇය තම රංචුවට පිටුපසින්, එහෙත් බොහොම සෙමින් මේ ශෝකී කාලය තුළ ගමන් කරනවා. මිනිසා හැර මියගිය අය වෙනුවෙන් ශෝක වෙන සතුන් අතර අලියා විශේෂ තැනක් ගන්නා බව කියවෙනවා.
ඩොල්ෆින්
2000 වර්ෂයේ මැයි 6 වැනි දින ජපානයේ මිකුරා දූපත ආසන්න මුහුදේදී මියගිය ගැහැනු ඩොල්ෆින් සිරුරකට ආරක්ෂාව සපයන වැඩිහිටි පිරිමි සතුන් දෙදෙනෙකු දක්නට ලැබී තිබෙනවා. හුස්ම ගැනීම වෙනුවෙන් මතුපිටට පැමිණීම සඳහා පමණක් ඔවුන් මළ සිරුරෙන් ඈත්වී තිබෙන අතර, මරණයට හේතුව නොදන්නා බැවින් කිමිදුම්කරුවන් මළ සිරුර ගෙන යාමට උත්සහ කොට තිබෙනවා. වැඩිහිටි පිරිමි සතුන් දෙදෙනා මළ සිරුර ගෙන යෑම වලක්වන්නට ක්‍රියා කළා. දින කිහිපයක් මුළුල්ලේ ඔවුන් ඩොල්ෆින් මළ සිරුර වටා පිහිනමින් එයට ආරක්ෂාව සැලසුවා.
සාමාජිකයෙකුගේ මරණය හමුවේ ඩොල්ෆින් සතුන්ගේ හැසිරීම් ගැන විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබෙනවා. වරෙක ගල් පර්වත දෙකක් අතර සිරවූ ඩොල්ෆින් මළ සිරුර බැලීමට ඩොල්ෆින් සතුන් අවම වශයෙන් 20 දෙනෙකු පමණ සහභාගී වූ බව සඳහන් වෙනවා. කිමිදුම්කරුවන් සිරුර වෙත ළඟා වීමට උත්සහ කරන විට මළ සිරුර බැලීමට පැමිණි ඇතැම් ඩොල්ෆින් සතුන් ඔවුන්ට බාධා කරමින් ආක්‍රමණශීලි හැසිරීමක් පෙන්වා තිබෙනවා. මළ සිරුරට සෙමින් අනිමින්, තල්ලු කරමින්, යම් ආතතියකට ලක්වූ ස්වභාවයක් ඩොල්ෆින් රංචුව දක්වා තිබෙන අතර, මළ සිරුර බෝට්ටුවේ රැගෙන යන අවස්ථාවේදී පවා ඔවුන් බෝට්ටුව වටා පිහිනමින් තම ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.
චිම්පන්සියා
චිම්පන්සි මවකට තම දරුවා අහිමි වූ විට, ඇය මිය ගිය දරුවා තමාත් සමඟ රැගෙන යමින් සහ පෙර පරිදිම දරුවා පිරිසිදු කරමින් දින ගණනාවක් මළ සිරුර සමඟ ගත කරනවා. හඳුනාගත නොහැකි තරමට මළ සිරුර නරක් වී යනතුරු චිම්පන්සි මව මේ ක්‍රියා සිදු කරනවා. සත්වෝද්‍යානවල වාසය කරන චිම්පන්සි මවුවරුන් මෙවැනි අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන්නොත්, ඔවුන්ගේ හැසිරීම් රටාව ගැන දන්නා ඇතැම් සත්වෝද්‍යාන සේවකයන් මළ සිරුර සමඟ කාලය ගත කිරීමට චිම්පන්සි මවට ඉඩ දෙනවා. වරෙක එලෙස මිය ගිය තම දරුවාගේ දත් පිරිසිදු කරන චිම්පන්සි මවක් ගැන වාර්තා වුණා. බැලූ බැල්මටම එය ප්‍රාථමික අවමංගල්‍ය චාරිත්‍රයක් ලෙස පෙනෙන්නට තිබුණා. මිනිසුන් මෙන් චිම්පන්සීන් අතර ද දිගුකල් පවත්නා සමාජ බැඳීම් තිබෙන නිසා ඔවුන් මියගිය සාමාජිකයන්ට යම් ගෞරවයක් දක්වන බව පැවසෙනවා.
බැබුන්
බැබුන් සතෙකු කිසිවෙකුගේ අහිමි වීමකදී දුක තුනී කර ගැනීම සඳහා තම යහළුවන්ගේ සහාය පතන බව අනාවරණය කරගෙන තිබෙනවා. මිනිසුන් වන අප ද සමීපතමයෙකුගේ අහිමි වීමකදී නෑ සියන්, පවුලේ සාමාජිකයන් සහ යහළුවන්ගේ සහය බලාපොරොත්තු වෙනවා. නිදසුනක් වශයෙන් පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා අධ්‍යයනාංශයේ පර්යේෂකයෙකු වන ඈන් එංග්, සිල්වියා නම් බැබුන් මවක් තම දරුවාගේ වියෝව හමුවේ මානසික අවපීඩනයට ලක්වී, අනෙකුත් බැබුන් සාමාජිකයන්ගේ උපකාරය පතන අවස්ථාවක් නිරීක්ෂණය කළා.
ගෝරිල්ලා
පවුලේ සාමාජිකයන් අතර ශක්තිමත් සබඳතා පවත්වන තවත් සත්ත්ව කොටසක් ලෙස ගෝරිල්ලන් හැඳින්විය හැකි යි. පවුලේ සාමාජිකයෙකු මිය ගිය විට ඔවුන් මළ සිරුර කෙරෙහි විශේෂ උනන්දුවක් සමඟ ආතතියට ලක්වූ ස්වභාවයක් පෙන්වනවා. මළ සිරුරට මෘදුව අතින් තට්ටු කරමින් සහ ස්පර්ශ කරමින් කාලය ගත කරන ඔවුන්, කොළ අතුවලින් මළ සිරුර වැසීමට පවා පෙලඹෙනවා. චිම්පන්සීන් මෙන් මව් ගෝරිල්ලන් ද දින කිහිපයක් යනතුරු මිය ගිය දරුවාගේ සිරුර ඔවුන් යන යන තැනට රැගෙන යන අතර, මළ සිරුර වෙත ඇදෙන සතුන් පලවා හරිමින් එය ආරක්ෂා කරනවා. මළ සිරුර ටිකෙන් ටික වියෝජනය වෙද්දී ඔවුන් මළ සිරුර අතහැරියත්, දින කිහිපයක් යනතුරු මව් ගෝරිල්ලා මානසික ආතතියෙන් පෙළෙන බව සඳහන්.
පාත්තයා
පාත්තයින් යනු බොහෝවිට එක් සහකරුවෙකු සමඟ ජීවිතය ගත කරන සත්ත්ව කොටසක්. මේ නිසා සහකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු මිය ගිය විට ජීවතුන් අතර සිටින සාමාජිකයාට එම වියෝව බරපතළ ලෙස බලපානවා. ඔවුන් මළ සිරුර අසල රැඳෙමින්, එහි පියාපත් තම හොටයෙන් මෘදුව පීරමින් තම ශෝකය ප්‍රකාශ කරනවා. මේ ශෝකය මීට වඩා බරපතළ අවදියකටත් යන්නත් පුළුවන්. එවිට ඔවුන්ගේ ආහාර රුචිය අඩුවී ශරීරයේ බර පවා අඩු විමේ හැකියාවක් තිබෙනවා. මෙම කාලය තුළදී වියෝව දරා ගන්නා සාමාජිකයා තම රංචුවෙන් හුදෙකලා වීමට උත්සහ කරනවා. ඉන්පසු ඔවුන් අලුත් සහකරුවෙක් වෙත යොමුවන අතර, එම අලුත් සහකරුත් අතීතයේ දවසක සිදුවූ මරණයක් නිසා තනිකඩ වූ සාමාජිකයෙක් වන්නට පුළුවන්.
මැග්පී කුරුල්ලන්
පක්ෂී ලෝකය තුළ මැග්පී කුරුල්ලන් බොහොම කඩිසර සහ බුද්ධිමත් කොටසක් ලෙස සැලකෙනවා. කොලරාඩෝ සරසවියට අනුයුක්තව සේවය කරන ආචාර්ය බෙකොෆ්ට අනුව මැග්පී කුරුල්ලන් අතරත් යම් යම් අවමංගල්‍ය චාරිත්‍ර තිබෙනවා. මැග්පී කුරුල්ලෙකු මියගිය විට අනෙකුත් මැග්පී කුරුල්ලන් ක්‍රියා කරන අන්දම වරෙක ආචාර්ය බෙකොෆ් නිරීක්ෂණයට භාජනය කළා. මළ සාමාජිකයා වෙත ළඟා වූ මැග්පී කුරුල්ලන් දෙදෙනෙකු තම හොටයෙන් මළ සිරුරට මෘදුව තට්ටු කළ අතර, තවත් කුරුල්ලන් දෙදෙනෙකු මළ සිරුර මත තණකොළ ස්වල්පයක් තැබුවා. අනතුරුව ඒ සියල්ලන්ම මළ සිරුර වටා සිටිමින් තම ගෞරවය දක්වනවාක් වැනි ඉරියව්වක් පෙන්නුම් කළා.
සමහර විට නිවසේ සුරතල් සතකු හෝ කිහිප දෙනෙකු ඇතිදැඩි කරන ඔබ, පුද්ගලිකවම මෙවැනි හැසිරීම් රටා අත්දැක ඇති. මින් සුනඛයන් බොහොම සංවේදී සතුන් වෙනවා. තම හාම්පුතාගේ වියෝව නිසා වසර ගණනක් ශෝක වූ සුනඛයන් ගැන ලෝකයෙන් වාර්තා වී තිබෙනවා.