ශ්‍රී ලංකාවේ වනාන්තරවල අලංකාරත ම සිව්පාවා වශයෙන් සැලකෙන්නේ කොටියා යි. කහ පැහැති සමකින් යුත් කළු පැහැති පුල්ලි සහිත මේ සත්වයා නැරඹීමට දෙස් විදෙස් සොබා රසිකයන් තුළ ඇත්තේ විශාල කැමැත්තක්. විල්පත්තු සහ යාල වනෝද්‍යාන කොටින්ට ප්‍රකට වන උද්‍යාන සේ සැලකෙනවා.
ලෝක ස්වභාව ආරක්ෂණ සංගමයේ රතු දත්ත පොතට අනුව වඳවී යාමේ දැඩි අන්තරායට ලක් ව සිටින අපේ කොටියා විශාල ලෙස ඝාතනයට ලක්විම පිළිබඳ ව පසුගිය වසර කිහිපය තුළ වාර්තා වුණා.
ශ්‍රී ලංකා කොටියා
ශ්‍රී ලංකා කොටියා යනු ශ්‍රී ලංකාවේ වනාන්තරවල පමණක් දැකිය හැකි විලෝපීය ක්‍ෂීරපායි සතෙක්. දැනට ලොව සිටින කොටි විශේෂ අටෙන් එක් උප විශේෂයක් ලෙස ශ්‍රී ලංකා කොටියා නම් කොට තිබෙනවා. මොවුන් සත්ත්ව විද්‍යාත්මකව පැන්තරා පාර්ඩුස් කොටියා (Panther Pardus Kotiya) යනුවෙන් හඳුන්වනවා.
දහවලදීත් දැකගත හැකි වුණත් ඌ නිශාචර සතෙක්. ඌ වැඩිපුර ම ගොදුරු සොයා ඇවිදින්නේ රාත්‍රියේදි යි. ඒ නිසා රාත්‍රියේ දී මදුවලට අසුකර ගැනීම දඩයම්කරුවන්ගේ අරමුණ බව පේනවා. යටත්විජිත යුගයේ දී සුද්දන් කොටින් බහුල ව දඩයම් කළා. පසුව කොටියා ශ්‍රී ලංකාවට ආභරණයක් තරම් වටිනා ආරක්ෂිත වනසීපාවෙක් බවට පත් වුණා.
පශු වෛද්‍ය විජිත පෙරේරා පවසන්නේ ශ්‍රී ලංකාවේ කොටින් පිළිබඳ සමීක්ෂණයක් කර නැතත් කොටින් 800කට වැඩි ප්‍රමාණයක් වියළි කලාපයේ සහ තෙත් කලාපයේ වනාන්තරවල පැතිරී සිටින බව යි. පරිසරවේදී රුක්ෂාන් ජයවර්ධන සඳහන් කරන්නේ ඒ සංඛ්‍යාව දහස ඉක්මවන බව යි.
කඳුකරයේ ජීවත්වන කොටි කඳුකර කොටියා කියාත් හඳුන්වනවා. මිට අමතර ව ලෝකයේ බිලාල පවුලේ කුඩා සත්ව විශේෂ 33ක් සිටින අතර, ඒ සත්ත්ව විශේෂ අතරින් විශේෂ තුනක් ලංකාවේ දැකගත හැකි යි.
ඒ තමයි කොළ දිවියා, හඳුන් දිවියා සහ වල් බළලා. මේ අතරින් කොළ දිවියා සහ හඳුන් දිවියා යන වර්ග දෙකත් කඳුකර ප්‍රදේශවල ජීවත් වෙනවා.
කොටි ඝාතනය
මදු හා උගුල් අටවා වන සතුන් දඩයම් කර ගැනීම මෙරට බහුලව සිදුවෙන දෙයක්. බොහෝ වනාන්තර ආශ්‍රිත ව වන සතුන් දඩයම් කර මදු හා උගුල් ඇටවීම දැකගත හැකි යි. කඳුකරයේ තේ වතු ආශ්‍රිත වනාන්තරවල වල් ඌරෝ, මීමින්නෝ, ගෝනුන් වැනි වනසතුන් අල්ලා ගන්න වතු කම්කරු ජනතාව මදු ඇටවීම පුරුද්දක් ලෙස කරනවා. කැලෑවේ ඉඳලා ආහාර හොයාගෙන ජනාවාස අසලට එන කඳුකර කොටින් මේ මදුවලට අහුවෙනවා.
ඊට අමතරව කොටියාගේ සිරුරේ විවිධ කොටස් ලබා ගැනීම සඳහාත් උන් දඩයම් කිරීම සිදුවන බව පේනවා. ගිය අවුරුද්දේ මාර්තුවල අවුරුදු 10 පමණ වයසැති කඳුකර කොටියෙක් බෝපත්තලාව මැණික්පාලම රක්ෂිතයේ දී මන්දකට හසු වී සිට හමුවුණා. එම කොටියාට ප්‍රතිකාර කළත් බේරා ගැනීමට හැකි වුණේ නැහැ. ඔක්තෝබර් මාසයේ දී මද්දකට අසු වී මියගිය තවත් කඳුකර කොටියකුගේ සිරුරක් නොර්වුඩ් වෙන්චර් වත්තේ ඉහළ කොටසේ තිබී හමු වුණා. මේ සිද්ධි දෙකක් පමණයි.
පසුගිය 2021 වසරේදී මධ්‍යම පළාත තුළ පමණක් කඳුකර කොටියන් 7 දෙනකු විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මිය ගොස් ඇති බව වනජීවී නිලධාරීන් සඳහන් කර සිටිනවා.ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශවලින් ද කොටි මරණ දෙකක් වාර්තා වුණා. අවුරුද්දක් තුළ ඝාතනය කර ඇති සමස්ත කොටින් සංඛ්‍යාව 9ක්. මදුවලට හසු ව සිට අසු වූ කොටින් දෙදෙනෙක්ගේ ජීවිත බේරා ගැනීමටත් වන ජීවී පශු වෛද්‍යවරුන් සමත් වුණා.
ආගරපතන, බෝපත්තලාව, දික්ඔය, මුල්ඔය, රජ්ජම්මන, කැනියෝන් සහ මහගලහින්න යන ප්‍රදේශවල දී පසුගිය වසරේ කඳුකර කොටියන් මිය ගොස් ඇති බවට වාර්තා වී තිබෙනවා. කොටින් අතරින් වැඩි සංඛ්‍යාවකට දිවි අහිමි වන්නේ සතුන් දඩයම් කර ගැනීමට ඇට වූ කම්බි මදුවලට හසුවීම නිස යි.
පසුගිය වසර කිහිපය තුළ ම කොටියන් හා වන සතුන් ඉලක්ක කර ගනිමින් අටවා තිබු කම්බි මදු හා වෙනත් මරඋගුල් රැසක් ඉවත් කිරීමට වන ජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩසටහන් ක්‍රියාත්මක කළා. වනෝද්‍යාන ආශ්‍රිත ප්‍රදේශවල මෙන් ම වතුකරයේ ද එම කටයුතු සිදු වුණා.
කළු කොටින් සිව්දෙනෙක් මරුට
කළු කොටින් සිව්දෙනෙක් පසුගිය කාලයේ මදුවලට හසු වී මියගොස් තිබෙනවා. මුලින් ම සිංහරායට නුදුරු වැද්දාගලින් ද, 2009 දෙනියායේ හත්මාලේ ඇල්ල ප්‍රදේශයේදී ද, 2011 දී නැවත දෙනියායේදී ද, 2020 මැයි මාසයේ නල්ලතන්නියෙන් ද මදුවලට දිවි දුන් කළු කොටින් ගැන වාර්තා වුණා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නල්ලතන්නිය සහ අවට වතුආශ්‍රිත ප්‍රදේශවලින් 2015 සිට 2020 දක්වා මදුවලට හසුවීමෙන් කොටි මරණ 14ක් වාර්තා වූ බව වනජිවී දෙපාර්තමේන්තුවේ සමනල ස්වභාව රක්‍ෂිතයේ වනසත්ත්ව අඩවි ආරක්‍ෂක ඩී.පී සියාසිංහ පවසා තිබෙනවා.
මද්දකට හසුකර මියගිය කොටියකු සම්බන්ධ ව අන්තර්ජාලය වෙත මුදා හැරි ජායාරූප පිළිබඳ ව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නල්ලතන්නිය අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විමර්ශන සිදු කළා. ඉන් පසුව පසුගිය වසරේ ජුනි මාසයේදී සැකකරුවන් තිදෙනකු හේවාහැට දී අත් අඩංගුවට ගැනුණා. සැකකරුවන් කොටියකු මද්දකට හසුකර මරා පසුව සිරුරෙන් සම ඉවත් කර වියළා ගැනීමට සකස් කර තිබිය දී සම, අස්ථි හා දන්ත කොටස් කිහිපයක් ද සොයා ගත්තා. සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.
මදු හදන්නේ බ්‍රේක් කේබල්වලින්
මෝටර් බයිසිකල්වල බ්‍රේක් කේබල් හෝ ත්‍රීවිලර්වල ක්ලච් කේබල් එක යොදා ගෙන මදු අටවන බව හෙළි වී තිබෙනවා. මෙම වානේ කම්බි ඉතා ශක්තිමත් නිසා සතුන්ට ඒවා කඩා ගැනීමට හැකියාවක් නැහැ. කේබල් එකෙන් මද්ද තනා කොටි ගමන් කරන පාරේ නැවෙනසුලු ගසක එය ගැටගැසීම කරනවා. මද්දට අසුවූ විට බියට පත්වන සතා කම්බිය වේගයෙන් අදින්න පටන්ගන්නා අතර, එවිට සිදුවන්නේ ඌ තව තවත් මද්දට හිරවීම යි. බෙල්ල, උදරය වැනි ප්‍රදේශයක් මද්දට හසුවුණොත් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් තුවාල වීමෙන් මරණය සිදුවෙනවා. පශු වෛද නිලධාරීන්ට පවා මදුවලට හසු වූ සත්වයා බේරා ගැනීම අසීරු වන්නේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්වලට බරපතළ හානි සිදුව තිබීම නිස යි.
මෙරට ඉතාමත් දුර්ලභ සතකු ලෙස හඳුනා ගෙන සිටි කළු කොටියා ද මද්දකට හසු ව අවාසනාවන්ත ලෙස මරණයට පත් වූයේ උඩරට කඳුකරයේදී යි. ඒපසුගිය 2020 දී. නල්ලතන්නිය අවට ලැහැබක දී මද්දකට හසුව සිටි කළු කොටියා හමුවුණා. ඌට ප්‍රතිකාර කළත් බේරා ගැනීමට හැකි වුණේ නැහැ.
පසුගිය වසර කීපය තුළ දී කඳුකර කොටියන් රැසක් මදුවලට හසුවීමත් සමඟ උඩරට වතුකරය තුළ කඳුකර කොටියන් බේරා ගැනීමේ විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.
මදු ගැලවීමේ මෙහෙයුමක්
වන සතුන් හා කොටින් ඇල්ලීම සඳහා මදු හා උගුල් ඇටවීම හා වෙනත් උපක්‍රම භාවිත කරන ප්‍රදේශවල මදු හා උගුල් ගලවා ඉවත් කිරීමේ වැඩ සටහනක් ද වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරනවා. මදු ගලවන ප්‍රමාණයට සරිලන සේ නැවත මදු ඇටවීම ද වතුකරයේ සිදුවන බව වනජීවි නිලධාරීන් පවසනවා.
බෝපත්තලාව මැණික්පාලම ප්‍රදේශයේ දී කඳුකර කොටියා මද්දකට හසුවීමත් සමඟ එම ප්‍රදේශයේ රක්‍ෂිත ආශ්‍රිත ව වන සතුන් හා කඳුකර කොටියන් ඉලක්ක කර ගනිමින් අවටා තිබු මදු හා මර උගුල් ගැලවීමට නුවරඑළිය, හග්ගල අඩවි ආරක්‍ෂක වනජීවි කාර්යාලයේ නිලධාරීන් පියවර ගත්තා. එම ප්‍රදේශවල අටවා තිබූ කම්බි මදු සියයකට අධික ප්‍රමාණයක් ගලවා ඉවත් කිරීමට හැකිවූ බව වාර්තා වුණා. ඊට අමතර ව පසුගිය කාලයේ වනජීවී නිලධාරීන් ශ්‍රී ලංකාව පුරා වනෝද්‍යාන ආශ්‍රිත පෙදෙස්වල අටවා තිබූ මදු ඉවත් කිරීමේ මෙහෙයුමක් අරඹා තිබුණා.
ඒ අතර ම මදුවලට හසුවීමෙන් පසු ව හමු වන කොටිබේරා ගැනීමට වනජීවි නිලධාරීන්ට ප්‍රමාණවත් තරම් උපකරණ හා මෙවලම් උඩරට වතුකරය ආශ්‍රිත වනජීවි කාර්යාලවලට ලබා දීම ද අත්‍යවශ්‍යයි. පසුගිය දිනවල උඩරට වතුකරයේ මදුවලට හසු ව සිටි කොටි බේරා ගැනීමට ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීමට වනජීවී නිලධාරින්ට නොහැකි වුණේ පහසුකම් අවම වීම නිස යි.
දැනුම්වත් කිරීම්
බහුල වශයෙන් කඳුකර කොටියන් අනතුරට හෝ මරණයට පත්වන ප්‍රදේශවලට වැඩි ප්‍රමුඛතාවක් ගෙන දෙමින් වතු ජනතාව හා වතු නිලධාරීන් දැනුම්වත් කිරීමට වනජීවී නිලධාරින් පියවර ගෙන තිබෙනවා. සිරිපා අඩවියේ සහ නල්ලතන්තිය අවට මෙන් ම පුස්සැල්ලාව, කඳපොළ, ආගරපතන ආදී වතුකරයේ එවැනි දැනුම්ත් කිරීම් සිදු කර තිබෙන බව වාර්තා වුණා. මෙම වැඩසටහන උඩරට වතුකරයේ සෑම ප්‍රදේශයක් ම ආවරණය වන පරිදි වරින්වර අඛණ්ඩ ව සිදුකර ගෙන යාම කාලෝචිත බව උඩරට පරිසර සංගම් පෙන්වා දෙනවා. වතුආශ්‍රිත ජනතාවට අවබෝධයක් ලබාදීම සඳහා පිංතූර වගේම වීඩියෝ වැඩසටහන් ද ප්‍රදර්ශනය කිරීම සිදුවෙනවා.