මධ්‍ය කඳුකරය ගැන කතා කරන වැඩි දෙනෙක් සබරගමුවේ සුන්දර කඳු ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. මේ කඳුකරය මධ්‍ය කඳුකරයෙන් ඈත් ව පිහිටි වෙන ම කඳු කලාපයක් බව ගූගල් සිතියම නිරීක්ෂණය කළොත් ඔබට දැකගන්නට ලැබේවි. මෙම කදු මුදුන පිහිටි සබරගමුව කඳුකර කලාපය බුළුතොට – රක්වාන කඳු ලෙස තමයි භු විද්‍යාඥයන් නම් කර තිබෙන්නේ.
සබරගමුව කඳුකර කලාපයේ උස ම කඳු මුදුන වන්නේ ගොන්ගල කඳු මුදුන යි. දෙණියාය නගරයට ආසන්න ව පිහිටි ඉතා සුන්දර පරිසරයක් සහිත ගොන්ගල කන්ද තරණය කිරීම සොබාදහමට ළැදි පිරිස් නිතර පැමිණෙනවා.
එහි යන්නේ කොහොමද?
කොළඹ සිට ගොන්ගල කඳු මුදුන තරණයට පැමිණෙන්නේ නම් මාර්ගය මෙසේ ය.
පැල්මඩුල්ල – මාදම්පේ – රක්වාන – සූරියකන්ද – බොරලුවගේඉන්න – Hayes Estate හරහා ගොන්ගල කඳු පාමුලට පැමිණිය හැකි යි. මාතර හරහා දෙණියායට පැමිණීමෙන් ද ගොන්ගල පාමුලට එන්න පුළුවන්. Hayes තේ කර්මාන්ත ශාලාව දක්වා වාහනයකින් ගමන් කළ හැකි අතර එතැන් සිට ගමන් කළ යුත්තේ පාගමනින්. තේ වතු අතරින් ගමන් කරන මාර්ගයේ දිගට ම ගමන් කළ විට කඳු මුදුනට සේන්දු විය හැකි යි.
එහි දී රූපවාහිනී කුලුණු හා නාවික හමුදා කඳවුරක් හමුවෙනවා. නියම ගොන්ගල කඳු මුදුනට යාමට නම් නාවික කඳවුර අසල සිට තවත් කිලෝමීටර් 3ක් පමණ ඝන වනය මැදින් ඉහළට ගමන් කළ යුතු යි. ගොන්ගල මුදුනට ගමන් කිරීමට නම් එම නාවික හමුදා කඳවුර දැනුම්වත් කර ඔවුන්ගේ අවසරය ලබා ගැනීම අනිවාර්ය වෙනවා.එම යන මඟ අතරමං වීමට ඉඩ තිබෙන බැවින් මාර්ගය දන්නා කෙනෙක් සමඟ ගමන් කරන්නේ නම් වඩාත් සුදුසු යි. සංචාරකයන් ස්වභාවික පරිසරය සුරැකෙන සේ තම චාරිකාවේ දී හැසිරීම වැදගත් බවත් මතකයට නඟා ගන්න.
කඳුවැටියේ පිහිටීම
ගොන්ගල කඳු මුදුන පිහිටා ඇත්තේ මාතර දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටි දෙණියාය නගරයට ආසන්න ව යි. සබරගමුව පළාතෙන්, දකුණු පළාත වෙන් කරන සීමාව දිව යන්නෙත් මේ කන්ද හරහා යි. ඔබට දෙණියාය රක්වාන මාර්ගයේ ගමන් කිරීමේ දී නිසැකව ම මේ කඳු මුදුන දැකගත හැකි යි. සිංහරාජ වනාන්තරයේ නැඟෙනහිර පෙදෙසට මායිම් වෙමින්, රක්වාන සිට බටහිරට මාතර දිස්ත්‍රික්ක සීමාව දක්වා විහිදෙන කඳුවැටිය ඇදී යනවා.
ගිනිකොනට සහ දකුණට මුහුණ දී පිහිටා ඇති එය මුහුදු මට්ටමේ සිට මීටර් 600 – 1358 අතර උසකින් පැතිර යනවා. උස ම කඳු මුදුන වන ගොන්ගල උසින් මීටර 1358 ( අඩි 4455) ක්. භූගෝලීයව හා ජෛව විද්‍යාත්මක ව අතිශය වැදගත් එමෙන් ම සංවේදී, පාරිසරික කලාපයක් ලෙස රක්වාන ගොන්ගල කඳු පන්තිය වැදගත් වෙනවා.
බෙවර්ලි වත්තේ සිට සූරියකන්ද දක්වා පැතිරුණු මෙම කඳුවැටිය මාතර දිස්ත්‍රික්කයේ, කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කන්දිල්පාන හා විහාරහේන යන ග්‍රාම නිලධාරී වසම් දෙකටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උල්ලිදුවාව හා බොරළුවාගේ අයින යන ග්‍රාම නිලධාරී වසම් දෙකටත් අයත්. ගොන්ගල යන ලැබීමට හේතු වී ඇත්තේ මෙම කඳු මුදුනේ ගොනකුගේ හිස ආකාර ගල් පර්වතයක් පිහිටීමත් එකල මෙම ප්‍රදේශය ගෝනුන්ගේ රාජධානියක් වීම නිසාත් යැයි පැවසෙනවා.
කඳු මුදුන බැලුම් ගලක්
උස ම ස්ථානයේ තිබෙන ගල් තලාව වෙත පැමිණි විට දකුණු පළාතේ හා සබරගමුව පළාතේ විශාල ප්‍රදේශයක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාව උදාවෙනවා. මේ චාරිකාවේ දී අතරමඟ කුඩා ජල පහරවල් හමු වන නිසා ඒවායෙන් ජලය සපයා ගැනීමත් කළ හැකි යි. මෙහි අත්හැරි එනසාල් වගාවක් ද දැකිය හැකි යි. ඉතා සුන්දර දසුන් මවන ගොන්ගල කඳු මුදුන නිතර මිහිදුමෙන් වැසී ඇති අන්දම දැකගත හැකි යි. ඉතා සිසිල් දේශගුණයක් ද මෙහි දී විඳ ගත හැකි යි.
රක්වාන කඳු, කලවාන දෙසට ඇති කඳුවැටි, සිංහරාජ වනාන්තරයේ සිංහගල ඇතුළු කඳුවැටි, උඩවලව ජලාශය, දෙණියාය, බලංගොඩ ආදී පෙදෙස් මෙහි දී දැක ගැනීමට ලැබෙනවා. කඳු මුදුන දී කඳුකර වනාන්තර නිරීක්ෂණය කිරීමටත් පුළුවන්.
නිවර්තන වැසි වනාන්තරයක්
තෙත් කලාපයේත්, වියළි කලාපයේත් දකුණු මායිමට ඉහළින් විහිද යන කඳු පන්තියක් ලෙස මෙම රක්වාන කඳු ක්‍රියා කරනවා. නිරිත දිග සුළං බාධකයක් ලෙස ද එය වැදගත් වනවා. මෙහි වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 5000 සීමාව ඉක්මවනවා. මෙම දේශගුණ තත්ත්වය නිසා හට ගන්නා නිරිත දිග මෝසම් වැසි වැටීමෙන් සෘජුව ම මාතර දිස්ත්‍රික්කයත්, රත්නපුර දිස්ත්‍රික්කයේ දකුණු හා බටහිර සීමාවත් සාරවත් කිරීමට ගොන්ගල කන්දේ වනාන්තර දායක වෙනවා. මෙම ප්‍රදේශයේ සමස්ත ආර්ථිකය රැඳී ඇති තේ වගාව සුරක්ෂිත වී ඇත්තේත් මෙම ජල පෝෂක වනාන්තර පද්ධතිය මත යි.
ගිං ගඟ ගොන්ගල කඳු මුදුනින් ආරම්භ වී ගිං තොටින් මුහුදට වැටෙන තෙක් සිංහරාජයෙන් පෝෂණය වෙනවා. එහි ජල පෝෂක පෙදෙස වර්ග කිලෝමීටර් 922.2ක්. මේ කඳු පන්තියේ සිට උතුරට ගලන ජල ධාරා කළු ගඟ පෝෂණය කිරීමට දායක වෙනවා.
වලවේ ගඟටත් දිය දෙයි
සිංහරාජයේ නැඟෙනහිර පෙදෙසින් වලවේ ගඟ පෝෂණය කිරීම සඳහා විසල් ජල ධාරාවක් සපයන බව හෙළි වී තිබෙනවා. ඇඹිලිපිටියේ සිට රත්නපුර දක්වා දිවෙන මාර්ගයේ ගොඩකවෙල තෙක් වම්පසට ඇති සියලු ජල ධාරාවන්ගේ උපත ගොන්ගල කඳු පන්තිය හා සිංහරාජයේ කඳුවැටි යි. දෙණියායේ සිට මාදම්පේ දක්වා දිවෙන ඒ 17 මාර්ගයේ 93 කිලෝමීටර් කණුව අසල සිට රක්වාන 132 කිලෝමීටර් කණුව දක්වා වූ කිලෝමීටර 39 තුළ ගොන්ගල සහ සිංහරාජයෙන් ආරම්භවී වලවේ ගඟ පෝෂණය කරන සක්‍රීය ජල ප්‍රවාහ ප්‍රමාණය 44 ක් බව පරිසරවේදීන් පවසනවා.
මේ අනුව ගොන්ගල ප්‍රධාන කොට ගත් රක්වාන කඳු පන්තිය ශ්‍රී ලංකාවේ දකුණු කලාපයේ විශාල පෙදෙසකට වැසි ජලය ලබා දීමට දායකත්වය දක්වනවා.
කුරු වනාන්තර
කඳුවැටිය හරහා අධික සුළං ධාරා හමා යනවා. මේ සුළං තත්ත්වයත්, භූමියේ ස්වභාවයත් හේතු කොටගෙන කඳු මුදුන අවට ගස්වැල් වර්ධනය වන්නේ සෙමින්. මුහුදු මට්ටමේ සිට අඩි 3000 ඉක්ම වූ භූගෝලීය කලාපයක් හෙයින් කඳුකර කලාපීය වෘක්‍ෂලතා බහුල යි.
එහි තුරුමුදුන් හත්තක් සේ පැතලි ව අතු අක්වක් වී වැවී තිබෙනවා. ශාක පත්‍ර සිහින් වි ඝනකම් ව වේගවත් සුළං ධාරාවන්ට මුහුණ දී සිටිනවා. ඉහළ ආර්ද්‍රතාව නිසා එහි අපිශාක සුලබ යි. වල් කුරුඳු, රන්දෝතලු, වල් සපු, කටු කිතුල්, කුඩු දවුල, වේවැල්, ගල් වෙරළු, දවට, කැකිරිවරා, කීන මේ වනපෙතේ හමුවන ශාක විශේෂ කිහිපයක්. ගොන්ගල දී ඕකිඩ් වර්ග රාශියක් ද දැකගත හැකි යි.
අලියා සහ කොටියා ද ඇතුළු ක්ෂීරපායී විශේෂ ගණනාවක් ගොන්ගල වනාන්තරවල දිවි ගෙවනවා. උගුඩුවා, ගෝනා, වල්ඌරා, දියබල්ලා, ඕලුමුවා, මීමින්නා, කලවැද්දා, කබැල්ලෑවා, මුගටියා ඒ ක්ෂීරපායින් අතරින් කිහිප දෙනෙක්. ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂි විශේෂ රාශියක් ඇතුළු ව පොහොසත් පක්ෂි ගහණයක් ද මෙහි දැකගත හැකි යි. අර්ඩලන්ගේ අං කටුස්සා, කරුණාරත්න ගේ අං කටුස්සා, එරංග විරාජ්ගේ තුඩුල්ලා, රක්වාන මහ කැළෑහුනා ආදී අප රටට ආවේණික දුලබ සත්ව විශේෂ ගණනාවකගේ එක ම වාස භූමියත් මෙම පුදේශය යි.
පරිසරය සුරකිමින් සංචාරය කරන්න
මේ වනවිට නිවාඩු දිනවල මෙන් ම සති අන්තයේත් අති විශාල පිරිසක් ගොන්ගල කන්ද මුදුනට සංචාරය සඳහා පැමිණෙනු දැකගත හැකි යි. මේ අතරින් වැඩි දෙනෙක් තරුණ පිරිස්. ඔවුන් අතරින් සමහරුන් පැමිණෙන්නේ පරිසරය ගැන අවබෝධයකින් තොරවයි. මේ හේතු කොටගෙන බරපතළ අර්බුදකාරී තත්වයක් මතුව ඇති බවයි පරිසරවේදීන් නිරීක්ෂණය කර ඇත්තේ. පැමිණෙන පිරිස් කඳවුරු ඉදිකිරීම සඳහා අතිශය සංවේදී කඳු මුදුනේ ස්ථාන ගණනාවක් එළිපෙහෙළි කර ඇති බව නිරීක්ෂණය කළ හැකි යි. මෙහිදී ගස්වැල් කපා දමා ඇති බවත් පෙනෙනවා .ගල් කුළු මත පස් තට්ටු, ශාඛ ඉවත්කර නිරාවරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඒවා සෝදාපාළුවට ලක්වෙමින් පවතිනවා.
ගිනි මැල ගැසීම, පොලිතීන්, ප්ලාස්ටික් සහ වෙනත් අපද්‍රව්‍ය තැන තැන දැමීමත් බරපතළ ගැටලූවක්. විශාල පිරිසක් එකවර පැමිණීම, වනාන්තරය තුළ මංපෙත් විශාල ප්‍රමාණයක් නිර්මාණය වීම,ඝෝෂා කිරීම්, රාත්‍රී කාලයේ ගිනි දැල්වීම සහ ශබ්ද නැඟීම් හේතු කොටගෙන ශාක සහ සත්ව විශේෂවල පැවැත්ම අවදානමට ලක් ව තිබෙන බව සිංහරාජ පරිසර මිතුරෝ සංවිධානය පවසනවා.
දැව ඉවත් කිරීම්, වල්ලපට්ටා කැපීම, වේවැල් කැපීම, එළිපෙහෙළි කිරීම්, තේ වගාව හරහා පැමිණි ආක්‍රමණික ශාක වනාන්තරය තුළට ප්‍රචාරණය වීම, එනසල් වගාව,මාර්ග ඉදිකීරිමට විශාල ලෙස පස් කඳු කැපීම, අනවසර ඉදිකිරීම් ඇතුළු කරුණු මෙහි ස්වභාවික පරිසරය වැනසීමට හේතු වී තිබෙනවා.
ගොංගල කන්ද සිංහරාජයට පවරා ගන්නැයි ඉල්ලීමක්
යුනෙස්කෝ ලෝක උරුම සිංහරාජ වනාන්තයට යාබදව පිහිටි එයට පවරා නොගත් රත්නපුර දිස්ත්රික්කයට අයත් වනාන්තරයක් ලෙසයි ගොන්ගල කන්ද පවතින්නේ. ඒ රක්ෂිත සිංහරාජයට එකතු කරන ලෙසට 2004 වසරේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණත් එය ක්‍රියාත්මක නොවුණු බව පරිසරවේදීන් පෙන්වා දෙනවා. සිංහරාජයට පවරා නො ගත් රත්නපුර දිස්ත්රික්කයට අයත් හෙක්ටයාර 1512.4ක් වන වනාන්තර අතර විශාලත ම කොටස ගොන්ගල කන්ද වනය යි.