දක්ෂිණ ධ්‍රැවයේ පෙන්ගුයින් අධිරාජ්‍යයා

පෙන්ගුයින් රාජධානියේ සාමාජිකත්වය දරණ පෙන්ගුයින් විශේෂයන් දා හත (17) අතරින් වැඩි වශයෙන් ම අධ්‍යයනය කරන්නට යෙදුණු, වැඩියෙන් ම ඡායාරූප ගත කෙරුණු සහ වඩාත් ම විද්‍යාත්මක පර්යේෂණයන් ගණනක් සඳහා යොදා ගන්නා ලද පෙන්ගුයින් විශේෂය ලෙස එම්පරර් පෙන්ගුයින් ව හැඳින්වීම වරදක් නෙමෙයි. එයට බොහෝ විට හේතු වී ඇත්තේ තම වර්ගයා ව රැක ගැනීම සඳහා ඔවුන් කරන්නට යෙදෙන අද්විතීය කැප කිරීම් සහ තම වර්ගයා බෝ කිරීමේ කාර්යය සඳහා ම ඔවුන් සිදු කරන විශ්මයජනක චාරිකාවන්.

(coolantarctica.com)

ලෝකයේ සිටින උසෙන් සහ බරින් වැඩි ම පෙන්ගුයින් විශේෂය වීම හේතුවෙන් මොවුන් ව හැඳින්වීම සඳහා එම්පරර් (අධිරාජ්‍ය) පෙන්ගුයින් යන නාමය යොදා ගන්නා අතර, විද්‍යාත්මක නාමය වන්නේ Aptenodytes forsteri යන්නයි. දක්ෂිණ ධ්‍රැවයට ආවේණික වන එම්පරර් පෙන්ගුයින් සාමාන්‍යයෙන් අඟල් 44 – 48 ක් පමණ උස වන අතර රාත්තල් 55 – 84 (ආසන්න වශයෙන් කිලෝ ග්‍රෑම් 25 – 38) පමණ බරකින් යුක්ත යි. දැනට ගණන් බලා ඇති අන්දමට දක්ෂිණ ධ්‍රැවයේ සිටින එම්පරර් පෙන්ගුයින් ගහණය දළ වශයෙන් 595,000 ක්. රතු දත්ත පොතේ ‘අවදානමට ලක් වීමට ඉඩ ඇති’ (Near Threatened : NT) ලේබලයට යටත් වන මොවුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර 20 ක් පමණ වෙනවා.

බාහිර පෙනුම

(wallscover.com)

හොඳින් වැඩුණු එම්පරර් පෙන්ගුයින් පක්ෂියෙකුගේ හිස දෙපස තැඹිලි හෝ දීප්තිමත් කහ පැහැයෙන් යුතු වන අතර පපු ප්‍රදේශය දක්වා විහිදී යන විට එහි දීප්තිමත් බව ක්‍රමයෙන් අඩු වී යනවා. ඒ හැරුණු විට හිස, මුහුණ සහ හොටය ද සම්පූර්ණයෙන් ම කළු පැහැයෙන් යුතු යි. නමුත් තරමක වක්‍ර ගතියකින් යුතු හොටයේ අග කොටසේ රෝස හෝ තැඹිලි පැහැයෙන් යුතු වර්ණ තීරුවක් දැක ගැනීමට හැකියාව පවතිනවා. එම්පරර් පෙන්ගුයින්ගේ අවල් පත්වල පිටත ප්‍රදේශය ද ඔවුන්ගේ පිට මෙන් ම කළු හෝ අළු පැහැයෙන් යුතු වන අතර ඇතුළත කොටස උදරය මෙන්ම සුදු පැහැයෙන් යුක්ත යි. ඉදිරියට නෙරා ආ විශාල නිය සහිත ශක්තිමත් පාද යුගලය අඳුරු පැහැයක් ගන්නවා.

නමුත් එම්පරර් පෙන්ගුයින් පැටවෙකුගේ ස්වරූපය මෙයට හාත්පසින් ම වෙනස්. ඔවුන්ගේ සමස්ත සිරුර ම අළු පැහැ ගත් කුඩා පිහාටු රැසකින් ආවරණය වී ඇති අතර මුහුණ පමණක් කළු සහ සුදු පැහැ පිහාටුවලින් සමන්විත වෙනවා. ඔවුන්ගේ හොටයේ අග කොටස ද සුදු පැහැති යි. වැඩුණු පෙන්ගුයින් පක්ෂියෙකුගේ සිරුරේ දක්නට ලැබෙන අලංකාර තැඹිලි සහ කහ වර්ණයන් පෙන්ගුයින් පැටවුන් සතු වන්නේ නැහැ.

ආහාර රටා

(picfan.net)

මාංශ භක්ෂකයෙක් වන එම්පරර් පෙන්ගුයින්ගේ ආහාර වේල වැඩි වශයෙන් ම සමන්විත වන්නේ මසුන්, කවචයින් සහ බූවල්ලන්ගෙන්. සාමාන්‍යයෙන් පෙන්ගුයින් පක්ෂීන් ආහාර සොයා ගැනීම සිදු කරන්නේ මුහුදේ මීටර් 50 ක් පමණ ගැඹුරට කිමිදීම මගින්.

වාසස්ථාන

(kids.nationalgeographic.com)

දක්ෂිණ ධ්‍රැවයට ආවේණික එම්පරර් පෙන්ගුයින් වැඩි වශයෙන් ම තම වාසස්ථාන ලෙස තෝරා ගන්නේ මුහුදේ පාවෙන විශාල අයිස් කුට්ටි, තද බෑවුමක් සහිත අයිස් කඳු හෝ සීතල මුහුද යි. දක්ෂිණ ධ්‍රැවයේ දී දළ වශයෙන් පෙන්ගුයින් ජනපද 46 ක් පමණ හඳුනා ගත හැකි අතර රොස් මුහුදේ බටහිර දෙසට වන්නට ක්‍රෝසියර් තුඩුව, වොෂිංටන් තුඩුව, රොජේ තුඩුව හා කූමන් දූපත ආශ්‍රිත ව පිහිටා ඇති එයින් 6 ක් වෙන් කර ඇත්තේ බිත්තර දැමීම සඳහා යි.

සාමාන්‍යයෙන් එම්පරර් පෙන්ගුයින් බිත්තර දැමීම සඳහා තෝරා ගන්නේ මුහුදු වෙරළින් කිලෝ මීටර් 18 ක් පමණ ඇතුළට වන්නට පිහිටා ඇති ස්ථායී අයිස් කුට්ටියක්. එසේ ම අදාළ ප්‍රදේශය සුළඟින් ආරක්ෂා වන ලෙස උස අයිස් කඳු මගින් ආවරණය වී තිබෙනවා.

කුසලතා

(nationalgeographic.com)

ප්‍රමාණයෙන් විශාල එම්පරර් පෙන්ගුයින් පක්ෂියෙකුට අඩි 1,800 ක් පමණ ගැඹුරට කිමිදිය හැකි අතර මුහුද යට මිනිත්තු 18 ක පමණ කාලයක් ගත කළ හැකි යි. එසේ ම ඔවුන් ජීවත් වන දක්ෂිණ ධ්‍රැවය සැලකීමේ දී මොවුන්ට පැයට සැතපුම් 112 ක වේගයෙන් හමාගෙන එන දැඩි සුළඟ ද, සෙල්සියස් අංශක ඍණ 40 තරම් අඩු උෂ්ණත්වයක් ද දරා ගැනීමේ හැකියාව පවතිනවා.

එසේ ම මොවුන්ට අවස්ථානුකූල ව හඬ නැගීමට ද හැකි යි. පෙන්ගුයින් ජනපදයක සාමාන්‍යයෙන් පක්ෂීන් දහසක් පමණ එකවර හඬ නැගුව ද තම සහකරුගේ හෝ සහකාරියගේ සහ දරුවන්ගේ හඬ එයින් වෙන් කර හඳුනා ගැනීමේ හැකියාව ද මොවුන් සතු වෙනවා. පොදුවේ එම්පරර් පෙන්ගුයින් පක්ෂීන් සන්නිවේදන කටයුතු සඳහා වෙනස් සංඛ්‍යාතයන් ඔස්සේ ආකාර දෙකකට හඬ නැගීම සිදු කරනු ලබනවා. ඒ අනුව දුරින් සිටින අවස්ථාවල දී කෙටි හඬක් ද මීටර් කිහිපයක් ඈතින් සිටින විට දී දීර්ඝ හඬක් නැගීම ද සුලබ යි.

මේ කුසලතාවන්ට අමතර ව පීඩනය සහ අඩු ඔක්සිජන් තත්ත්වයන් දරා ගැනීමේ හැකියාව ද මොවුන් සතු වෙනවා. ගැඹුරු මුහුදේ කිමිදීමේ දී ඇති වන පීඩනය දරා ගැනීමට හැකි වන ලෙස ඔවුන්ගේ අස්ථි හැඩගැසී තිබෙනවා. කුරුළු වර්ග බොහොමයකගේ මෙන් වාත කුහර පවතිනවා වෙනුවට  මොවුන්ගේ අස්ථි වැඩි සවියක් ඇති ඒකඝන ව්‍යුහයක් ගන්නවා.

(en.wikipedia.org)

එසේ ම ගැඹුරු මුහුදේ කිමිදීමේ දී මුහුණ දීමට සිදු වන ඔක්සිජන් ඌනතාවයට පිළියමක් ලෙස මොවුන්ගේ හදගැස්ම විනාඩියකට 15 – 20 වැනි අඩු අගයක් ගන්නා අතර කිමිදීම සඳහා අත්‍යවශ්‍ය නොවන සියලු ම ශරීරාංග තාවකාලික ව ක්‍රියා විරහිත වීම ද සිදු වෙනවා.

අභිජනනය

එම්පරර් පෙන්ගුයින් පක්ෂීන්ගේ අභිජනන සමය ආරම්භ වන්නේ අප්‍රේල් මස දී යි. අනෙකුත් පෙන්ගුයින් විශේෂ මෙන් කූඩු නොතනන මොවුන් මුහුදු වෙරළෙන් ඈතට වන්නට පිහිටි බිත්තර දැමීම සඳහා වෙන් කරන ලද ජනපද කරා සෙමින් ගමන් කිරීම ආරම්භ කරනු ලබනවා. සාමාන්‍යයෙන් තම ගමනාන්තය කරා ළඟා වීමට පෙන්ගුයින් යුවළකට දින තුනක් පමණ ගත වන අතර පෙර වසරේ දී එකට සිටි යුවළ මේ වසරේ දී ද එකට සිටිනවා නම් ඒ ඉතාමත් කලාතුරකින්.

(oceanwide-expeditions.com)

සාමාන්‍යයෙන් වයස අවුරුදු 5 – 6 වූ විට පෙන්ගුයින් පක්ෂීන් ප්‍රජනන සඳහා පරිණත වන අතර එක් වරකට එක් බිත්තරයක් පමණක් දැමීම සිදු කරනවා. මෙම බිත්තරය පුරා දින 63 ක් තිස්සේ රැකීම සිදු කරනු ලබන්නේ පෙන්ගුයින් පියා විසින්.

මොවුන්ගේ අභිජනන ක්‍රියාවලියේ වැඩිම අවදානමක් සහිත කටයුත්ත ලෙස සැලකෙන්නේ පෙන්ගුයින් මව විසින් පෙන්ගුයින් පියාට ප්‍රවේශම් සහිත ව බිත්තරය ලබා දීම යි. යම් හෙයකින් සුළු අතපසු වීමක් හෝ සිදු වුවහොත් අයිස් මතට ලිස්සා යන බිත්තර තත්පර කිහිපයක් ඇතුළත මිදීමට ලක් වන්නේ නූපන් පෙන්ගුයින් පැටවාට මරු කැඳවමින්.

(reddit.com)

බිත්තරය ආරක්ෂිත ව පියාට ලබා දීමෙන් අනතුරු ව පෙන්ගුයින් මව යළිත් මුහුද බලා ගමන් අරඹන අතර දෙමසක් තිස්සේ හොඳින් ආහාර ගැනීමෙන් පසු ව ඇය බිත්තරය පිපිරීමට පෙර ආපසු ජනපදය කරා පැමිණෙනවා. ඇය විසින් ගන්නා ලද ආහාර වැමෑරීමට හැකි වන ලෙස ඇය කුස තුළ තැන්පත් කර ගන්නේ පැටවා උපන් පසු ඔහුට ආහාරයට දීම සඳහා යි. යම් හෙයකින් පෙන්ගුයින් මවට බිත්තරය පිපිරීමට පෙර පැමිණිය නොහැකි වුවහොත් පෙන්ගුයින් පියා සුදු පැහැයට හුරු ස්‍රාවයක් වමාරන අතර මව පැමිණෙන තෙක් පෙන්ගුයින් පැටවා දින කිහිපයක් එය ආහාරයට ගන්නවා.

මව පැමිණීමෙන් පසු ව පැටවා ව ඇයට භාර දෙන පෙන්ගුයින් පියා මුහුදු වෙරළ කරා ගමන් ගන්නා අතර මේ අයුරින් මව සහ පියා හය වාරයක් ගමනේ යෙදෙමින් පැටවාට ආහාර රැගෙන එනවා. දින 140 ක් ගත වීමෙන් පසු ව දෙමව්පියන් පැටවාට ආහාර ගෙන ඒම නතර කරන අතර කුඩා පැටවුන් එකට එකතු වී සමූහයන් ලෙස ආහාර සොයා යාම අරඹනවා.

(en.wikipedia.org)

තර්ජන‍

ඔවුන්ගේ සිරුරේ ප්‍රමාණය සහ වාසස්ථානවල ස්වභාවය නිසා හොඳින් වැඩුණු එම්පරර් පෙන්ගුයින් පක්ෂීන් විලෝපිකයන්ට ගොදුරු වන්නේ ඉතාමත් කලාතුරකින් වුව ද පෙන්ගුයින් පැටවුන්ට එවැනි වාසනාවක් හිමි වී නැහැ. දක්ෂිණ ධ්‍රැවයේ ජීවත් වන ස්කුවා නම් මුහුදු පක්ෂි විශේෂය නිරන්තරයෙන් ම පෙන්ගුයින් බිත්තර සහ කුඩා පැටවුන් පැහැර ගන්නා අතර ඉතුරු වන පැටවුන් මුහුද කරා ගමන් කිරීමේ දී ලෙපර්ඩ් සීල් මසුන්ට සහ ඕකා තල්මසුන්ගේ ග්‍රහණයට හසු වන්නේ ඔවුන්ගේ මරණ අනුපාතය 90% දක්වා ඉහළ දමමින්.

කවරයේ පින්තූරය: (hdwallpaperbackgrounds.net)

මූලාශ්‍ර :

  1. penguins-world.com
  2. en.wikipedia.org
  3. coolantarctica.com
  4. animals.nationalgeographic.com
  5. animalfactguide.com

Related Articles

Exit mobile version