පසුගිය වසරේ ලංකාවේ වගා බිම් ආශ්‍රිතව සීඝ්‍රයෙන් පැතිරී ගිය සේනා දළඹු වසංගතය නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත් වුණා. එම වසංගතය අවසන් වීමෙන් පසුව ගොවීන් යළි සාර්ථකව සිය වගා කටයුතුවල නිරතවෙමින් සිටින අවස්ථාවක පළඟැටි වසංගතයක් ලංකාවේ ප්‍රදේශ කිහිපයක් පුරා පැතිර යමින් තිබෙනවා. ගොවි බිම් සහ ගෙවතු ආශ්‍රිතව ව්‍යාප්ත වෙමින් තිබෙන පළඟැටි වසංගතය මර්දනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වන විටත් පියවර ගෙන තිබුණත්, එය රට පුරාම පැතිර යාමේ අවදානමක් තිබෙනවා. එසේ නම් මෙම ලිපිය ලිවීමේ අරමුණ වන්නේ සේනා දළඹු වසංගතය සහ මෙම පළඟැටි වසංගතය පිළිබඳව ඔබට අවබෝධයක් ලබාදීම යි.
සේනා දළඹු වසංගතය ලංකාවට පැමිණි ආකාරය
භයානක සේනා දළඹු විශේෂය 2016 වසරේ දී මුල්ම වරට අමෙරිකාවෙන් හමු වුණා. ඉන් අනතුරුව අප්‍රිකාව කරා වේගයෙන් සංක්‍රමණය වුණු සේනා දළඹුවන් පසුව ආසියානු සහ යුරෝපීය රටවල්වලට ඉක්මනින්ම ව්‍යාප්ත වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ගෙවුණු වසර දෙක තුළ රටවල් බොහෝමයක් සේනා දළඹු උවදුරට ගොදුරු වුණා. නමුත් ශ්‍රී ලංකාවට මුල්ම වරට සේනා දළඹුවා බලපෑම් කළේ 2018 වසරේ අග භාගයේ දී යි. එහි දී මුලින්ම බඩ ඉරිඟු වගාව ආක්‍රමණය කළ එම දළඹුවන් පසුව වෙනත් වගාවන්ට ද හානි කරනු ලැබුවා.
බඩ ඉරිඟු වගාවට සිදුකළ හානිය
සේනා දළඹුවා මුල්ම වරට ශ්‍රී ලංකාව තුළ වාර්තා වුණේ 2018 වසරේ ඔක්තෝබර් මාසයේ දී යි. ඒ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රදේශයේ බඩ ඉරිඟු වගාවකින්. ඉන් පසුව ලංකාව පුරාම පිහිටි බඩ ඉරිඟු වගා බිම් රැසකට හානි කළ සේනා දළඹුවා බඩ ඉරිඟු කරල් තුළට පාර්ශ්විකව ඇතුඵ වී බීජ කා දමන ආකාරය දක්නට ලැබුණා. එසේම එම දළඹුවන් ශාක පත්‍ර කා දැමීම නිසා වගාව තුළ ඉරුණු හා කඩතොලු වුණු පත්‍ර බහුලවම දක්නට ලැබුණා. ඊට අමතරව ළපටි පත්‍රවල ගොබයේ කීටයන් ද විශාල වශයෙන් දක්නට ලැබුණා. වසංගතය ආරම්භ වුණු අවධියේ බඩ ඉරිඟු වගාවට විශාල වශයෙන් හානි කළ සේනා දළඹුවා පසුව වෙනත් වගාවලට ද හානි කරනු ලැබුවේ ඔවුන්ගේ ප්‍රියතම ශාකය වුණු බඩ ඉරිඟු ක්‍රමයෙන් විනාශ වීමත් සමග යි.
සේනා දළඹුවා මර්දනය කිරීමට ගත් පියවර
වෙනත් විලෝපික සත්ත්වයන්ට හසු නොවී, කෘමි නාශක ආදියට ඔරොත්තු දෙමින් පරිසරය තුළ ජීවත් වුණු සේනා දළඹුවා දරුණු පළිබෝධකයකු ලෙසින් හඳුනාගෙන තිබුණා. වරකට බොහෝ බිත්තර ප්‍රමාණයක් දමන සේනා සළඹයන්ට එකවර බිත්තර එකසිය පණහක පමණ ප්‍රමාණයක් දැමීමේ හැකියාව තිබුණා. එනිසා එම දළඹුවන් වගාවන් තුළ සීඝ්‍රයෙන් පැතිරයන ආකාරය දක්නට ලැබුණා. එසේම සේනා දළඹුවන් මර්දනය කිරීම සඳහා කෘමිනාශක සොයාගනු ලැබුවත් ඔවුන් එම කෘමිනාශකවලට ඉතා ඉක්මණින් ඔරොත්තු දිය හැකි තත්ත්වයකට පත් වුණා. එහි දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් තාවකාලික ඒකාබද්ධ පාලන ක්‍රම කිහිපයක් හඳුන්වා දෙනු ලැබුවා. ඒ අනුව අසාදිත බෝග අවශේෂ පුඵස්සා මුළුමනින්ම විනාශ කිරීම සහ පසේ සිටින පිලා අවස්ථා විනාශ කිරීම සඳහා වගාවන්වල දී ගැඹුරට සී සෑම වැනි ක්‍රම සේනා දළඹු උවදුර පාලනය කිරීම සඳහා යෝජනා වුණා. එලෙස විවිධ උපක්‍රම අනුගමනය කරමින් සේනා දළඹු වසංගතය තාවකාලිකව පාලනය කළත් එය ඉදිරියේ දී යළි අප රටට බලපෑම් කිරීමට ඉඩ තිබෙනවා.
පළඟැටි උවදුරේ ආරම්භය
පසුගිය මැයි මාසයේ මාවතගම ප්‍රදේශයේ මීපල්ලේගම නම් ග්‍රාමයෙන් මුල්ම වරට පළඟැටි වසංගතය ගැන අසන්නට ලැබුණා. ඔවුන් එම ප්‍රදේශයේ තිබුණු බඩ ඉරිඟු, පොල්, පේර, පුවක්, මඤ්ඤොක්කා, කෙසෙල් වැනි ශාකවලට හානි කර තිබුණා. මෙම වසංගතය ගැන අසන්නට ලැබුණු මුල් දිනවල දී බොහෝ දෙනෙකු අනුමාන කළේ කාන්තාර පළඟැටියන් ලංකාවට පැමිණ ඇති බව යි. නමුත් අතීතයේ සිටම ලංකාව තුළ ජීවත් වී තිබෙන මෙම පළඟැටි විශේෂය කහ තිත් පළඟැටියා ලෙසින් හඳුන්වනවා.
මෙම පළඟැටියන් මීට පෙරත් ලංකාව තුළ පැතිරී ගොස් තිබෙනවා
70 දශකයේ දී පොල් පර්යේෂණ ආයතනයේ සේවය කළ මහින්දපාල නම් විද්‍යාඥයා එම අවධියේ දී තැබූ වාර්තාවක දැක්වෙන ආකාරයට 1975/76 කාල වකවානුවේ දී කහ තිත් පළඟැටියන් පොල් වගාවට විශාල වශයෙන් හානි කර තිබෙනවා. එදා එක් එක් ප්‍රදේශවල රංචු වශයෙන් මතු වී තිබුණු මෙම පළඟැටි විශේෂය මර්දනය කිරීම සඳහා විවිධ පියවර අනුගමනය කළ බව සඳහන් වනවා. එම පළඟැටියන් අතින් එකතු කර ඉවත් කිරීම, පස බුරුල් කිරීම සහ පස පිච්චීම (පළඟැටියන් බිත්තර දමන්නේ පොළවේ නිසා) වැනි උපක්‍රම එහි දී භාවිතා කර තිබෙනවා. ඉන් පස බුරුල් කිරීම සහ පස පිච්චීම යන උපක්‍රම දෙක වඩාත් සර්ථක වී තිබුණේ එමඟින් සැලකිය යුතු පළඟැටි බිත්තර ප්‍රමාණයක් විනාශ කිරීමට හැකිවුණු නිසා යි.
කහ තිත් පළඟැටියා පසුගිය කාල සමයේ දීත් දක්නට ලැබුණා
දිගු කාලයක සිට ලංකාව තුළ ජීවත්වන මෙම පළඟැටි විශේෂය වර්ෂා සමයක් අවසන් වීමෙන් පසුව පැතිරී යන බව වාර්තා වනවා. සාමාන්‍යයෙන් වර්ෂාවෙන් පසුව ශාකවල ළපටි දළු හටගැනීම සිදුවනවා. එම ළපටි දළු මෙම පළඟැටි විශේෂයේ ප්‍රියතම ආහාරයක් බව සඳහන් වනවා. ඒ අනුව ආහාර සුලභ වීමත් සමගම පළඟැටියන් රංචු පිටින් මතුවීම නිරීක්ෂණය කළ හැකියි. මෙම තත්ත්වය පසුගිය දශකය කිහිපය තුළ අවස්ථා රැසක දී ඇතිවී තිබෙන බව වාර්තා වනවා. මෙම පළඟැටි විශේෂය දිගු කලක සිට ලංකාවේ ජීවත්වන නිසා අප රට තුළ ඔවුන්ගේ ස්වභාවික සතුරන් සිටීමේ විශාල ඉඩකඩක් තිබෙනවා. එම ස්වභාවික සතුරන් විවිධ හේතූන් මත ක්‍රමයෙන් විනාශ වීම නිසා මෙලෙස පළඟැටි ගහණය වැඩිවීම සිදුවිය හැකියි.
පළඟැටි උවදුර නිසා මෙතෙක් සිදුවී ඇති හානිය
මාවතගම ප්‍රදේශයෙන් ආරම්භ වුණු කහ තිත් පළඟැටි උවදුර මේ වන විට කෑගල්ල, රත්නපුර, මාතර, මාතලේ, හම්බන්තොට වැනි දිස්ත්‍රික්ක දක්වා පැතිරී ගොස් තිබෙනවා. පසුගිය මාසයේ සිට භෝග වර්ග රැසකට හානිකරමින් සිටින මෙම පළඟැටි විශේෂය ඉතාමත් වේගයෙන් භෝගවල කොළ ආහාරයට ගැනීම වඩාත් භයානක තත්ත්වයක් වනවා. යම් ආකාරයකින් මෙම පළඟැටියන් රට පුරාම ව්‍යාප්ත වුණොත් අපගේ වගාවන් සහ ශාක පද්ධතියට ප්‍රබල තර්ජනයක් එල්ල විය හැකි බව කෘෂි විද්‍යාඥයන්ගේ අදහස යි.
පළඟැටි උවදුර මර්දනයට ගෙන ඇති පියවර
කෘෂි විද්‍යාඥයන් සඳහන් කරන ආකාරයට මෙම පළඟැටියන් තවමත් පියාසර තත්ත්වයේ නැහැ. ශිශු අවස්ථාවන් 5ක් තිබෙන මෙම පළඟැටි විශේෂය පස්වන ශිශු අවස්ථාවේ දී පියාසර තත්ත්වයට පත්වනවා. ඊට පෙර කෘමිනාශකවලින් මෙම පළඟැටියා මර්දනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තු විද්‍යාඥයන් හා කෘෂිකර්ම උපදේශකවරුන් කඩිනම් පියවර ගනිමින් සිටිනවා. එසේම ඔවුන්ගේ අරමුණ වී තිබෙන්නේ මිනිසුන්ට සහ පරිසරයට අවම හානියක් කරමින් පළඟැටි ගහණය අඩු කිරීමයි.
මෙම උවදුර සේනා දළඹු උවදුරටත් වඩා භයානක විය හැකියි
මෙම පළඟැටි විශේෂය පස්වන ශිශු අවස්ථාවට පැමිණ පියාසර තත්ත්වයට පත්වුණොත් ඉතාමත් භයානක ප්‍රතිඵල අත්විය හැකියි. මෙම පළඟැටි විශේෂය භෝග වර්ග රැසක කොළ ආහාරයට ගන්නා නිසා එවිට වගාවන්ට විශාල හානියක් සිදුවීම නැවැත්විය නොහැකියි. අදාළ බළධාරීන් නිසි පරිදි ක්‍රියාත්මක වී මෙම උවදුර මැඬලීමට නිසි ක්‍රියාමාර්ග නොගතහොත් සේනා දළඹුවාට වඩා විනාශයක් මෙම පළඟැටියන් සිදුකරන බවට සැකයක් නැහැ.