මිහිතලය මත විසූ ‘මැමත්’ නම්වූ අවසන් සද්දන්ත හස්ති විශේෂය කාලයේ වැලි තලාවෙන් වැසී මෙලොවින් තුරන් ව ගොස් වසර පන්දහසක කාලයක් ගෙවී ඇති බව පර්යේෂකයෝ පවසති. ඔවුන් විනාශවී යාමට හේතුව වන්නේ මෙම සත්ව විශේෂයට බීමට ජලය නොමැති කමින් බව යැයි උතුරු අමෙරිකාවේ විද්‍යාඥයෝ විශ්වාස කරති. අයිස් යුගය අවසාන වීමත් සමඟ පෘථිවිය උණුසුම් වී මුහුදු ජල මට්ටම ඉහළ යාමෙන් බීමට ජලය ඇති බිම් ප්‍රමාණය සීමිත වීම විසා ඔවුන් වඳ වූ බව විද්‍යාඥයන් විශ්වාස කරයි.
වඳ ව ගිය මැමත් හස්තීන් පිළිබඳ ව මුලින් ම විස්තර හෙළි කළේ ජර්මානු විද්‍යාඥ Johann Friedrich Blumenbach 1799 දී ය. ඔහු යුරෝපයෙන් හමු වූ අලින්ට සමාන වූ අස්ථිවලට Elephas primigenius යන නම ලබා දුන්නේ ය. ප්‍රංශයේ Blumenbacය සහ Baron Georges Cuvier යන දෙදෙනා ම ස්වාධීන ව නිගමනය කළේ මෙම අස්ථි වඳ වී ගිය අලින් විශේෂයකට අයත් බව යි. එම අස්ථි, ලොම් සහිත මැමත්ට අයත් වූ අතර පසු ව එය වෙනස් කුලයක් ලෙස සැලකුණු ලැබිණි. එම නිසා එය Mammuthus primigenius ලෙස නම් කළේ ය.
ප්‍රාථමික මිනිසුන්ගේ ගුහා සිතුවම් කලාව තුළ මැමත්වරු සැලකිය යුතු ලෙස පෙනී සිටියහ. යුරෝපයේ ගුහා වැසියෝ මෙම සතුන්ගේ රංචු යථාර්ථවාදී ව නිරූපණය කළහ. ආදිවාසී මෙම දැවැන්ත හස්ති කුලයේ සත්ත්වයා ගේ සමහර සිරුරු ආසන්න වශයෙන් වසර 30,000 ක පමණ කාලයක් තිස්සේ අධික ශීතල සහිත අයිස් කුට්ටි තුළ සිරවී හොඳින් සංරක්ෂණය වී තිබිණි. බොහෝ මැමත් වර්ග නූතන අලි ඇතුන්ට වඩා විශාල වූහ.
උතුරු අමෙරිකානු මැමත් දැවැන්තයා (M. imperator) ගේ උරහිස් උස මීටර් 4 (අඩි 14) දක්වා ප්‍රමාණයක විය. බොහෝ මැමත්වරුන්ට සෙන්ටිමීටර 2.5 (අඟල් 1) පමණ ඝනකම ඇති ලොම් සහිත, තද දුඹුරු පැහැති හිසකෙස්වලින් යුත් රළු පිටත ආවරණයක් තිබිණි. ඔවුන්ගේ හිස් කබල උස් වූ අතර ගෝලාකාර විය. අලියකුට කුඩා වූ කන් ලැබීම, අධික සීතල දේශගුණයක ජීවත් වන සතකුට එකී පරිසරයට අනුවර්තනය වීමට වාසිදායක දෙයක් විය හැකි විය. විශාල ව කැපී පෙනෙන යෝධ ඇත්දළ යුගළය පහළට යොමු වී තිබුණු අතර ඒවා දිගු විය.
ආක්ටික් ධ්‍රැව ශාඛවල කොටස්, ශීතලෙන් ආරක්ෂා වී තිබුණු මැමත් මළ සිරුරුවල ආහාර ජීර්ණ පද්ධතිය තුළ දක්නට ලැබිණී. මුල් උතුරු අමෙරිකානු දඩයම්කරුවන් මෙම දැවැන්තයා දඩයම් කර ඇති බව පැහැදිලි ය.
දැවැන්ත පරිණාමය
මැමත් පැවත ආවේ අප්‍රිකානු මැමත් ( M. africanavus) ලෙස හඳුන්වන මුතුන් මිත්තන්ගෙන් ය. මෙම දැවැන්තයන් උතුරු අප්‍රිකාවේ ජීවත් වූ අතර වසර මිලියන 3 කට හෝ 5 කට පමණ පෙර මිහිමතින් අතුරුදහන් විය. එම දැවැන්තයන්ගෙන් පැවත එන්නන් උතුරට ගොස් අවසානයේ යුරේසියාවේ වැඩි කොටසක් ආවරණය වන පරිදි වාසය කළෝ ය. මෙම “දකුණු දැවැන්තයන්” වසර මිලියන 1.8 කට පමණ පෙර මුල් ප්ලයිස්ටොසීන යුගයේදී මුළුමනින් ම අයිස්වලින් වැසී තිබුණු පහත් මුහුදු මට්ටම් ප්‍රයෝජනයට ගෙන බෙරිං සමුද්‍ර සන්ධිය හරහා පා ගමනින් උතුරු අමෙරිකාවට ගිය හ.
මිනිස් දඩයම් කරුවන් අතින් සහමුලින් විනාශ වී ගිය ප්‍රධාන භුමියේ සිටි මැමත් ගහනයට වඩා තවත් වසර දහස් ගණනක කාලයක් සාන්ත පෝල් දූපතේ සද්දන්තයන් ජීවත් වූ බවට සාධක හමුවී තිබේ යැයි බීබීසී සිංහල වෙබ් අඩවිය පවසයි.
ප්ලයිස්ටොසීන යුගය
ප්ලයිස්ටොසීන යුගය යනු මීට වසර මිලියන 2.6කට පමණ පෙර ආරම්භ වී වසර 11,700කට පමණ පෙර පැවති කාල සීමාව ලෙස සාමාන්‍යයෙන් අර්ථ දැක්වේ. එම යුගය සරල ව නිර්වචනය කරන්නේ නම් අයිස් යුගය ලෙස හැඳින්වේ. දකුණු මැමත් පසුව උතුරු අමෙරිකාව පුරා විකාශනය විය. මධ්‍ය ප්ලයිස්ටොසීන යුගයේදී, නව උතුරු අමෙරිකානු විශේෂයක් එහි දී පරිණාමය විය. එහි පරාසය වත්මන් එක්සත් ජනපදය සහ නිකරගුවාව සහ හොන්ඩුරාස් දක්වා දකුණට ආවරණය විය. නැවතත් යුරේසියාවේ, තවත් මැමත් විශේෂයක්, steppe mammoth (M. trogontherii), මීට වසර 200,000 සිට 135,000 දක්වා කාලයක ජීවත් විය.
ප්ලයිස්ටොසීන යුගයේදී, ලොම් සහිත මැමත් (M. primigenius) පහළවීම සිදු විය. තවත් අයිස් යුගයක් පැමිණීමත් සමඟම වසර 35,000 සිට 18,000 දක්වා පැවති පහත් මුහුදු මට්ටම් සමඟ, බෙරිං සමුද්‍ර සන්ධිය හරහා නව ගොඩබිම් කොරිඩෝවක් දිගේ උතුරු අමෙරිකාවට ඇතුළු වීමට ලොම් සහිත දැවැන්තයන්ට හැකි විය. ලොම් සහිත මැමත් (Woolly mammoths) ගේ දක්ෂිණ සංක්‍රමණය වර්තමාන කැන්සාස් දක්වා දකුණට විහිදේ. බොහෝ අය විශ්වාස කරන්නේ දේශගුණික විපර්යාස, රෝග, මිනිසුන් විසින් දඩයම් කිරීම හෝ සමහර විට මේවායේ යම් සංයෝජනයක් නිසා මැමත් අතුරුදහන් වූ බව යි.
වාසස්ථාන
ලොම් සහිත දැවැන්තයන් ආක්ටික් ප්‍රදේශයේ දැඩි ශීතල මධ්‍යයේ ජීවත් වූවා යැයි සොයා ගත්ත ද, සත්‍ය වශයෙන් ම මැමත් එහි පැමිණියේ වඩාත් උණුසුම් කලාපයක සිට ය. කැනඩාවේ විනිපෙග් හි මැනිටෝබා විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක් කළ පර්යේෂණයකින් සොයා ගෙන ඇත්තේ මැමත් සහ ආසියානු අලින් යන දෙඅංශයේ ම මුතුන් මිත්තන් මීට වසර මිලියන 6.7 සිට මිලියන 7 කට පෙර අප්‍රිකාවෙන් ආරම්භ වූ බව යි. ඔවුන් දකුණු යුරෝපයට යාමට පෙර වසර මිලියන 4 ක් පමණ එහි රැඳී සිටි බව පෙනේ. ඉන්පසු වසර මිලියනයකට පමණ පසුව, ඔවුන් සයිබීරියාව සහ කැනඩාවේ උතුරු තැනිතලා ප්‍රදේශය දක්වා පැතිර ගොස් තිබිණි.
ස්වභාව සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN)ට අනුව, ලොම් මැමත් වර්ගය අඩි 13 (මීටර් 4) පමණ උස සහ ටොන් 6 (මෙට්‍රික් ටොන් 5.44) පමණ බරින් යුක්ත විය. ලොම් සහිත මැමත් දැවැන්තයන්ගේ සමහර හිසකෙස් අඩි 3 (මීටර් 1) දක්වා දිගු වූ බව පැවසෙයි.
පරම්පරා විකාශනය
වසර මිලියන 1.2 ක් පමණ පැරණි මැමත් අවශේෂවලින් ලබා ගත් DNA ජාත්‍යන්තර පර්යේෂක කණ්ඩායමක් අනුපිළිවෙළට සකසා ඇත. එහි ප්‍රතිඵල Nature සඟරාවේ පළ කර තිබේ. එක්සත් ජනපද ජාතික විද්‍යා පදනම අරමුදල් සැපයූ විශ්ලේෂණ පෙන්නුම් කරන්නේ පසුගිය අයිස් යුගයේ උතුරු අමෙරිකාවේ වාසය කළ කොලොම්බියානු දැවැන්තයා ලොම් මැමත් සහ කලින් නොදන්නා ජානමය පරම්පරාවක් අතර දෙමුහුන් වූ බව යි. මැමත්වරුන් සීත දේශගුණයට අනුවර්තනය වූයේ කවදාද සහ කෙසේද යන්න පිළිබඳ නව අවබෝධයක් ද අධ්‍යයනයෙන් සපයයි. මෙම සාම්පල වයිකිං අවශේෂවලට වඩා දහස් ගුණයකින් පැරණි වන අතර මිනිසුන්ගේ සහ නියැන්ඩර්තාල් මානවයාගේ පැවැත්මට පෙර දක්වා පැතිර යන බව විද්‍යාඥයෝ පවසති.
දැවැන්තයන්ගේ ජානමය විශ්ලේෂණය
වසර මිලියනයකට පමණ පෙර, ලොම් හෝ කොලොම්බියානු දැවැන්තයන් සිටියේ නැත. ඒ වනවිට ඔවුන් පරිණාමය වී නොතිබිණි. සයිබීරියානු නිත්‍ය හිම තුහින බිම්වල වසර මිලියන 0.7-1.2ක් පුරා වැළලී තිබූ දැවැන්ත දත්වලින් ලබාගත් DNA යොදා ගනිමින් පැරණි දැවැන්තයන්ගේ ජානමය විශ්ලේෂණයක් කිරීමට පර්යේෂකයන් දැන් සමත් වී ඇත. ජාන විශ්ලේෂණයෙන් පෙන්නුම් කළේ, ආසන්න වශයෙන් වසර මිලියන 1.2ක් පැරණි පැරණිත ම මැමත් නිදර්ශකය, කලින් නොදන්නා ජාන පරම්පරාවකට අයත් බව යි. පර්යේෂකයන් එය සොයා ගත් ප්‍රදේශය මත පදනම්ව ඔවුහු එම සතුන් ක්‍රෙස්ටොව්කා මැමත් ලෙස හැඳින්වූහ.
ප්‍රතිඵලවලින් පෙනී යන්නේ ක්‍රෙස්ටොව්කා මැමත් මීට වසර මිලියන දෙකකට පෙර අනෙකුත් සයිබීරියානු දැවැන්තයන්ගෙන් අපසරණය ව ඇති බව යි. මීට වසර මිලියන 1.5 කට පමණ පෙර උතුරු ඇමරිකාව ක්‍රෙස්ටොව්කා පරම්පරාවට අයත් දැවැන්තයන්ගේ යටත් විජිතයක් බවට පත් වී තිබූ බවට පර්යේෂකයන් යෝජනා කරයි. මීට අමතර ව, විශ්ලේෂණ පෙන්නුම් කරන්නේ පසුගිය අයිස් යුගයේ උතුරු අමෙරිකාවේ වාසය කළ කොලොම්බියානු දැවැන්තයා දෙමුහුන් බව යි. එහි ජානමය ගති ලක්ෂණ අඩක් පමණ පැමිණියේ ක්‍රෙස්ටොව්කා පරම්පරාවෙන් වන අතර අනෙක් භාගය ලොම් මැමත්ගෙන් බව යි.
මැමත්වරුන්ගේ පරිහානිය
ලොම් සහිත මැමත් සහ වර්තමාන ආසියානු අලි ඇතුන් අතර සමීප සම්බන්ධකම් තිබේ යයි අප සඳහන් කළා ඔබට මතක ද?
ලොම් සහිත දැවැන්තයන් වඳ වී ගිය ද, ඔවුන් ජීවත් වූ ස්ථානය නිසා මිනිස්සු ඔවුන් ගැන බොහෝ දේ දැන සිටිති. ආක්ටික් ප්‍රදේශයේ නිත්‍ය හිම තුහින මගින්, ලොම් සහිත දැවැන්ත සිරුරු බොහොමයක් පාහේ නොවෙනස් ව ආරක්ෂා විය. ගං ඉවුරු සහ ඇළ දොළ ආශ්‍රිත පොළව ඛාදනය වන විට, එයින් බොහෝ විට මතු වන්නේ දිගු කලකට කලින් මිය ගිය දැවැන්තයකුගේ මළ සිරුරක් වන අතර එය ඒ මොහොතේ මියගිය සත්ත්වයකු මෙන් පෙනේ.
2007 දී සයිබීරියාවේ දී, මමීකෘත මැමත් පැටවුන් යුගළයක් සොයා ගැනිණි. සිරුරු කෙතරම් හොඳින් සංරක්ෂණය වී ඇත්ද යත්, CT ස්කෑන් පරීක්ෂණයෙන් වසර 40,000 කට පෙර මඩේ හිරවීමෙන් මැමත් මිය ගිය බව සොයා ගන්නට හැකි විය. ඔවුන් මියගොස් සිටියේ ස්වසනාලයේ මඩ සිරවීමෙන්ය. ලොම් සහිත දැවැන්තයන් පසුගිය අයිස් යුගයේ ජීවත් වූ අතර කාලගුණය උණුසුම් වූ විට සහ ඔවුන්ගේ ආහාර සැපයුම වෙනස් වූ විට ඔවුන් මිය යන්නට ඇතැයි තවත් උපකල්පනයකි. දඩයම් කිරීම හේතුවෙන් ඔවුන් අතුරුදහන් වීමට මිනිසුන් ද අර්ධ වශයෙන් වගකිව යුතුය.
“මැමට්” යන වචනයේ තේරුම “විශාල” යන අර්ථය ඇති වුව ද, ලොම් සහිත දැවැන්තයන් අප්‍රිකානු අලින්ගේ ප්‍රමාණයට සමාන විය හැකි ය. ඔවුන්ගේ කන් අද සිටින අලි ඇතුන්ට වඩා කුඩා විය. ඔවුන්ගේ දළ ඉතා දිගු, අඩි 15 (මීටර් 5) පමණ වූ අතර, සටන් කිරීමට සහ ගැඹුරු හිම මත වළවල් හෑරීමට ඒවා භාවිතා විය. මැමත් දැවැන්තයා ශාකභක්ෂකයන් වූ අතර ඔවුහු බොහෝ දුරට තණකොළ අනුභව කළ නමුත් වෙනත් ශාඛ හා මල් ද අනුභව කළහ.
දැවැන්තයන්ගේ ව්‍යුහය සහ චර්යා
ලොම් සහිත, උතුරු හෝ සයිබීරියානු දැවැන්තයා (Mammuthus primigenius) මැමත් වර්ගයා අතරින් වඩාත් ප්‍රසිද්ධ ය. සයිබීරියාවේ ස්ථීර ශීත හිම තුහින භූමියෙන් හමු වූ මෙම විශේෂයේ මළ සිරුරුවලින් මෙම දැවැන්තයන්ගේ ව්‍යුහය සහ චර්යා පිළිබඳව බොහෝ තොරතුරු ලැබී ඇත. ෆොසිල මැමත් ඇත්දළ, ඉතිහාසය තුළ කෙතරම් බහුල වූවා ද කිවහොත් එය මධ්‍යතන යුගයේ පටන් සයිබීරියාවේ සිට චීනයට සහ යුරෝපයට අපනයනය කරන ලද බැව් වාර්තා වේ.
විද්‍යාත්මක සාක්ෂිවලින් පෙනී යන්නේ ලොම් සහිත මැමත්වරුන්ගේ කුඩා ජනගහනයක් මීට වසර 10,500 ත් 7,600 ත් අතර කාලයකට පෙර උතුරු අමෙරිකාවේ ජීවත් වන්නට ඇති බව යි. 2015 දී සොයා ගත් ෆොසිල දත් පරීක්ෂාවකින් පෙන්නුම් කළේ, වසර 4,300 කට පෙර උතුරු රුසියාවේ වෙරළට ඔබ්බෙන් පිහිටි ආක්ටික් දූපතක් වන රැන්ගල් දූපතේ මැමත්වරුන්ගේ කුඩා ජනගහනයක් ජීවත් ව ඇති බව ය.
පසු විපරම
වසර 30,000 ත් 45,000 ත් අතර කාලයකට පෙර බෙරිංගියා හි විවෘත බෑවුම් භූමියේ සාපේක්ෂ වශයෙන් බහුල තෘණ සහ විලෝ ගස් සමඟ ලොම් සහිත දැවැන්තයන් සමෘද්ධිමත් විසූ බව ඔවුන්ගේ දත්ත විශ්ලේෂකයන්ගේ නිරීක්ෂණ ප්‍රතිඵලවලින් හෙළි විය. එම ප්‍රදේශය එදා අද මෙන් උණුසුම් නොවූවත් අයිස් යුගයේ තරම් දැඩි සීතලක් ද නොතිබිණි. එදා මිනිසුන් මැමත් සමඟ සහජීවනයෙන් ජීවත් වූ අතර, පැහැදිලිව ම ඔවුන්ව වඳ වී යාමට මිනිසුන් හේතු වූයේ නැත. වසර 20,000 ත් 25,000 ත් අතර අයිස් යුගයේ “අවසාන උපරිම ග්ලැසියර “, බලපෑම හේතුවෙන් උතුරු ලොම් සහිත දැවැන්ත ගහනය පහත වැටුණේ, එම ප්‍රදේශය මොවුන්ට ජීවත්වීමට යෝග්‍ය නොහැකි තරම් නිසරු වූ නිසා විය හැකි ය.
බොහෝ ලොම් සහිත දැවැන්තයන් දළ වශයෙන් වසර 10,000 කට පෙර උණුසුම් දේශගුණයක් සහ පුළුල් ව පැතිරුණු මිනිස් දඩයම් මධ්‍යයේ වඳ වී ගියේ ය. හුදකලා වූ ජනගහණයෙන් අවශේෂ පිරිස පසුව වසර දහස් ගණනක් බේරින්ග් මුහුදේ ශාන්ත පෝල් දූපතේ සහ ආක්ටික් සාගරයේ වැන්ගල් දූපතේ ජීවත් විය. ඉන් ඉක්බිති වැන්ගල් දූපත් ජනගහනය ද වසර 4,000 කට පමණ පෙර මිහිමතින් අතුරුදහන් විය.
පර්යේෂකයන් වැන්ගල් දූපත් මැමත් ගේ DNA, වැඩිහිටි මැමත් දෙදෙනකුගේ මෙන් ම සමීප ඥාතියකු වන ආසියානු අලින් තිදෙනකුගේ DNA සමඟ සංසන්දනය කර ඇත. ඔවුන් එහි ජාන විකෘති එකතුවක් හඳුනා ගෙන ඒවායේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා රසායනාගාරයේ දී මෙම ජාන සංස්ලේෂණය කළහ. එහිදී ඔවුන් කරුණු රාශියක් හෙළිදරව් කරගන්නට සමත් ව ඇත. ලොව අවසන් ලොම් සහිත දැවැන්තයන් පරම්පරා ගණනාවක් තිස්සේ අභිජනනය නිසා ඇති වූ බරපතල ජානමය දෝෂයන්ගෙන් පීඩා විඳිමින් සිටි බවත්, ඔවුන් අවසාන කාලයේදී සුවඳ දැනීම සහ පිරිමි සශ්‍රීකත්වය පිරිහීම වැනි ලක්ෂණවලට මුහුණ දුන් බවත් ඉන් සොයා ගත්හ.
විද්‍යාඥයන් පැවසුවේ සයිබීරියාවේ වෙරළට ඔබ්බෙන් වූ රැන්ගල් දූපතේ අවසන් දැවැන්තයකුගේ ජාන ජනගහනය හානිකර විකෘතිවලින් පිරී ඇති බව පෙන්නුම් කළ බව යි. වර්ගයා බෝ කිරීම සඳහා අත්‍යාවශ්‍ය ශුක්‍රාණු නිපදවීම, ගඳ සුවඳ, ස්නායු වර්ධනය සඳහා වගකිව යුතු ජාන සහ රුධිරයේ ඇති ග්ලූකෝස් සෛලවලට ශක්තිය ලබා දීම සඳහා වගකිව යුතු ඉන්සියුලින් හෝමෝනය සම්බන්ධ ක්‍රියාවන් පිලිබඳ ගැටලු ද එහිදී ඔවුහු සොයා ගත්හ. අවසානයේ වසර දසදහස් ගණනක් ස්වභාව ජාන විකෘතියට ලක්වෙමින් මිහිමත ජීවත් වූ, හස්තීන්ගේ හස්තියා හෙවත් මැමත් දැවැන්තයා, ඝණ අයිස් තට්ටු යට බොහෝ හෝඩුවා ඉතිරි කර තබා, කිසිවකුටත් නොකියා මිහිමතින් අතුරුදහන් ව ගියේ ය.