දකුණු අමෙරිකාවේ ඇමේසන් වැසි වනාන්තරය කියන්නේ ලෝකයේ අවම ගවේෂණයට ලක්වු ස්ථානවලින් මූලිකම ස්ථානයක්. ඇමේසන් ගංගාව ආශ්‍රිත කොටගෙන රටවල් 8ක් පුරා වර්ග කිලෝමීටර් මිලියන 6.7ක වපසරියක පැතිරි තිබෙන ඇමේසන් වැසි වනාන්තරයේ සැඟවී ඇති රහස් සම්බන්ධ ව විවිධාකාරයේ කතා පුවත් මැවී තිබෙනවා.
මේ අතරින් වඩාත් ම ජනප්‍රියත ම ජනප්‍රවාදය ලෙස මැපින්ගුවාරි නොහොත් ඇමේසන් වනයේ සැරිසරන යෝධ රාක්ෂයාගේ කතාව සැලකිය හැකියි. ඇමේසන් ගංද්‍රෝණියේ වෙසෙන මිනිසුන් අදටත් බියගන්වන මැපින්ගුවාරිගේ කතාවයි මේ.
කවුද මේ මැපින්ගුවාරි?
ඇමේසන් වනාන්තරය පළමු වරට පිටස්තරයන්ගේ ගවේෂණයට භාජනය වන්නේ 16 වෙනි සියවසෙන් පසුව යි. ඊට පෙර සිට වසර දහස් ගණනක කාලයක් ඇමේසන් වනයේ බ්‍රසීලියානු හා බොලීවියානු ප්‍රදේශවල ජීවත් වූ ඇමසෝනියානු ගෝත්‍ර, පරම්පරා දහස් ගණනක් තිස්සේ එක්තරා මෘගයන් විශේෂයකට අධික බියක් දැක්වුවා.ඒ මෘගයා ඔවුන් හැඳින්වූයේ මැපින්ගුවාරි (mapinguari) යන නමින්.
මැපින්ගුවාරි යන්නෙහි අරුත ‘ගර්ජනා කරන්නා’ යන්න යි. ඇතැම් ගෝත්‍ර ව්‍යවහාර අනුව මේ නම “දුර්ගන්ධ මෘගයා” ලෙස පරිවර්තනය වෙනවා. ඇමසෝනියානු ජනශ්‍රැතියට අනුව මේ සත්ත්වයා දෙපයින් සිට ගත් විට අඩි 7ක් පමණ උස, සිරුර ම රතු ඝන ලොමින් ගැවසුණු දැවැන්ත සත්ත්වයෙක්. මොවුන් ගාත්‍රා හතරෙන් ම ඇවිදින විට ඔවුන්ගේ නියපොතු පිටුපසට පිහිටන ලෙස ගාත්‍රා පිහිටා තිබීම විශේෂ ලක්ෂණයක්.
අධික දුර්ගන්ධයකින් යුත් සත්ත්වයා
මේ මෘගයා පෙකරි ඌරු රංචු සමඟ නිතර ගැවසෙන බවත්, ජල මූලාශ්‍ර මඟහරින බවත් ගෝත්‍රික විශ්වාසය යි. මේ මැපින්ගුවාරි අධික දුර්ගන්ධයකින් යුත් සත්ත්වයකු බවත් පැවසෙනවා. මේවා මැපින්ගුවාරි ගැන සියලු ගෝත්‍ර දරන පොදු විශ්වාස යි. ප්‍රාදේශීය ව වසන විවිධ ගෝත්‍ර මේ සතා ගැන පරස්පර විශ්වාස දරනවා.
ඒ ඇතැම් විශ්වාසවලට අනුව මේ ජීවියාට ඇත්තේ එක ඇස යි. මොහුගේ මුඛය පිහිටා තිබෙන්නේ මොහුගේ බඩේ යි. මැපින්ගුවාරි, ගෝත්‍රිකයන් ඇති කරන ගවයන් වැනි සතුන්ට පහර දෙන මාංශභක්ෂක රුදුරු සතකු ලෙස බොහෝ ගෝත්‍රිකයන් සැලකුවත්, ඇතැමුන් මේ සතා ශාක භක්ෂක එහෙත් දරුණු සතකු ලෙසයි දකින්නේ.
ගවේෂකයන්ගේ වාර්තා
ඇමේසන් වනයේ මේ සත්ත්වයා දුටු බවට වන වාර්තා ස්වදේශික ගෝත්‍රිකයන්ට සීමා වන්නේ නෑ. ඇමේසන් වනයේ දඩයම් සහ ගවේෂණ සඳහා ගිය විදේශිකයන් කිහිප දෙනකු පවා මේ සතා සියැසින් දැක වාර්තා කොට තියෙන බවයි පැවසෙන්නේ.
මාරියෝ පෙරෙයිරා ඩි සූසා නම් දඩයක්කාරයෙක් ඇමේසන් ගංගාවේ ජමෞකිම් (Jamauchim) අතු ගංඟාව අසබඩ පෙකරි දඩයම් කරමින් සිටිය දී වක්‍ර නිය සහිත වලසෙක් වැනි සත්වයෙක් ගං ඉවුරේ දී දුටු බව සඳහන් කරනවා. මෙම මෘගයා දුටු අවස්ථාවේ අවට වාතයේ ඉතා කටුක දුර්ගන්ධයක් තිබූ බවත්, ඒ දුගඳ ඔහුට කරකැවිල්ල ඇති කළ බවත් ඔහු සඳහන් කරනවා.
දැවැන්ත රතු පැහැ වලසා
1990 වර්ෂයේ අග භාගයේදී, දඩයක්කාර මැනුවෙල් ඩොස් සැන්ටෝස් සුදු තොල් සහිත පෙකරි සතුන් දඩයමක දී ඔහුගේ කණ්ඩායමට දඩයම් ස්ථානයට නුදුරින් තද දුර්ගන්ධයක් සමඟ විශාල ඝෝෂාකාරී ගෙරවුමක් ඇසී තිබෙනවා. මැපින්ගුවාරි පිළිබඳ ජනප්‍රවාද අසා තිබූ මේ කණ්ඩායමේ සාමාජිකයන් දඩයම අතහැර ඇමේසන් ගඟ දෙසට දුව ගොස් තිබෙනවා.
ඉන්පසු ඔවුන් ගඟට පැන ජලයේ සිට බලා සිටියදී මැපින්ගුවාරි සත්ත්වයා ගං ඉවුරට පැමිණ තිබෙනවා. සැන්ටෝස්ගේ වාර්තාවේ මේ සත්ත්වයා විස්තර කර ඇත්තේ වඳුරකුගේ මුහුණක් සහිත දිග නිය ඇති දැවැන්ත රතු පැහැ වලසකු ලෙස යි.
මැපින්ගුවාරි සියැසින් දුටු බවට සටහන්
ඇමසෝනියානු ජෛව විවිධත්වය පිළිබඳ විශේෂඥයෙකු මෙන්ම පක්ෂි විද්‍යාඥයකු වන ඩේවිඩ් සී. ඔරෙන් 1994 සිට මැපින්ගුවාරි සොයා ඇමේසන් වෙත ගවේෂණ කිහිපයක් මෙහෙයවූවා. රෝගකාරක කෘමී දෂ්ටන, පරපෝෂිතයන්, මාරාන්තික රෝග සහ වෙනත් උපද්‍රවයන්ගෙන් පිරී ඇති කටුක තත්වයන්ට මුහුණ දෙමින් මැපින්ගුවාරි සොයා ගිය ඔහු ස්වදේශික ගෝත්‍රිකයන්ගෙන් මැපින්ගුවාරි සියැසින් දුටු බවට සටහන් සිය ගණනක්, මැපින්ගුවාරිගේ යැයි සැලකෙන පා සටහන්, මැපින්ගුවාරිගේ ලොම් යැයි සැක කෙරුණු විවිධ ලොම් සාම්පලත් එකතු කර ගන්නට සමත්වුණා.
ඒත් මේ සාක්ෂි ඔහුට ”සැබෑ සාක්ෂි” ලෙස දිස්වූයේ නැහැ. තම ගවේෂණ අවසන් කරමින් ඩේවිඩ් නිගමනය කළේ මේ සත්ත්වයා මිථ්‍යාවක් මිස අන් කිසිවක් නොවන බ වයි. එනිසා ඔහු එකතු කර ගත් ලෝම සාම්පල, පාසටහන් පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කිරීමත් අතහැර දැමුණා.
ජනප්‍රවාදයේ උපත
බ්‍රසීලියානු කථාවලට අනුව, මැපින්ගුවාරි යනු සැබවින් ම වසර දහස් ගණනකට පෙර අමරණීයත්වයේ යතුර සොයා ගත් ඇමසෝනියානු ගෝත්‍රයක යක්දෙස්සෙක්. ඔහුගේ ක්‍රියාව නිසා දෙවිවරුන් කෝපයට පත් ව දඬුවම් වශයෙන් ජීවිත කාලය පුරා මෘගයකු ලෙස සැරිසරීමට සිදුවන ලෙස ශාප කළ බව ඔවුන්ගේ විශ්වාසය යි.
මැපින්ගුවාරි ජනප්‍රවාදයේ ආරම්භය ගැන ගෝත්‍රික මතය එය වුණත් විද්වතුන් කියන්නේ මැපින්ගුවාරි සත්‍යයක් මත පදනම් වූ ජනප්‍රවාදයක් කියා යි. ඔවුන්ගේ මතය නම් මීට වසර දස දහස් ගණනකට පෙර ඇමසෝනියානු භූමිවල සුලබ ව විසූ මිහිපිටින් තුරන් ව ගිය යෝධ බිම් මන්දයන් (giant ground sloths) මේ ජනප්‍රවාදයට පදනම වූ බව යි.
ප්ලෙයිටොසීන යුගයේ දකුණු අමෙරිකානූ භූමියේ වාසය කළ විශාලත ම සත්ත්වයන් වුණේ යෝධ බිම් මන්දයන්. වර්තමානයේ ජීවත්වෙන මන්දයන්ගේ (sloth) පුරාතන සද්දන්ත මුතුන්මිත්තන් වූ මේ ක්ෂීරපායින් විශාල නියපොතු සහ දත්වලින් සමන්විත ශාක භක්ෂකයන්. බොහෝ දුරට ගස් හා පඳුරු කොළ මත පෝෂණය වූ මේ මන්දයන් අතරින් පුරාණ ඇමසෝනියානු භූමියේ මයිලොඩොන් (milodon) සහ මෙගාතෙරියම් (megatherium) යන යෝධ මන්ද විශේෂ දෙක සුලබ වුණා.
මෙගාතෙරියම් සත්තු
මේ අතරින් විශාලතමයන් වුණු මෙගාතෙරියම් සතුන් මීටර් 6ක් දිගට ටොන් 4ක්වත් බරට වර්ධනය වුණා. මේ ප්‍රමාණය නූතන අලියකුගේ ප්‍රමාණයට ආසන්න යි. මේ යෝධ මන්දයන් වසර 11700-10000 කට පෙර මිහිපිටින් තුරන් වුණා.ඒ අනුව දකුණු අමෙරිකාව ජනාවාස කළ මුල් ජනතාව මේ සතුන් සමඟ වාසය කළා. මේ සතුන් පිළිබඳ පාරම්පරික මතකය මැපින්ගුවාරි ජනප්‍රවාදයට පදනම් වන්නට ඇතැයි විශ්වාස කරන්නට පුළුවන්.
තවත් පිරිසකගේ මතය වන්නේ මේ සතුන් වසර 10000කට පෙර වඳ වී නො ගිය බව යි.
1955 ප්‍රකාශයට පත් On the track of unknown animals ග්‍රන්ථයේ මේ මැපින්ගුවාරි සතුන් පිළිබඳ විශාල කරුණු දැක්වීමක් එහි කර්තෘ වූ සත්ත්ව විද්‍යාඥ බර්නාඩ් හියුවෙල්මන්ස් (Bernard Heuvelmans) සිදු කරනවා.
ඔහු පෙන්වා දෙන්නේ තවම ගවේෂණයට ලක්වී නැති ඇමේසෝනියානු වනාන්තර තුළ මේ දැවැන්ත මන්දයන් වැනි වඳ වී ගියා යැයි සැලකෙන ප්‍රාග් ඓතිහාසික සතුන් තවමත් ජීවත් වීමේ විශාල සම්භාවිතාවක් ඇති බව යි.
වානර මිනිස්සු
මැපින්ගුවාරි සම්බන්ධ මේ මතයට හාත්පසින් ම වෙනස් මතධාරීන් පිරිසකුත් සිටිනවා. ඔවුන්ගේ මතය වන්නේ මැපින්ගුවාරි යනු මානවයාගේ සැඟවුණු පුරුකක් බඳු වානර මිනිසෙක් කියා යි.ඒ සම්බන්ධ සාක්ෂි ලෙස ඔවුන් ඇමේසන් වනාන්තරයේ සැඟවුණු ප්‍රදේශ රැසක් මුල්වරට ගවේෂණය කර සිතියම් ගත කළ පර්සි ෆෝසෙට් (Percy Fawcett) ගවේෂකයා ඇමේසන් වනයේ අභ්‍යන්තරයේදි මුණගැසුණු අද්භූත ගෝත්‍රයක් ගැන සඳහන් කරුණු ඉදිරිපත් කරනවා.
මේ වානර මිනිසුන් ෆෝසෙට් හඳුන්වා දී ඇත්තේ මැරිකොක්සි නමින් (maricoxi). ඇමේසන් වනය මධ්‍යයේ වෙසෙන, සිරුර පුරා වැවුණු හිසකෙස් ඇති මේ වානර රූපීන් වතාවක් ෆෝසෙට් ඇතුළු පිරිසට දුනු හා ඊතල එල්ල කරමින් ප්‍රාථමික සත්ත්වාකාර නාදවලින් තර්ජනය කර තිබෙනවා. ෆෝසෙට් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ විට බිය වූ මැරිකොක්සීන් පලා ගොස් තිබෙනවා. මේ අවස්ථාවේදි වාමන ප්‍රමාණයේ සිට අඩි 12ක් උස දක්වා මැරිකොක්සි වර්ග කිහිපයක් දුටු බව ඔහු විස්තර කර තිබෙනවා. ඉතින් මේ වානර රූපි මිනිසුන් මැපින්ගුවාරි ජනප්‍රවාදයට පාදක වන්නට ඇතැයි ඇතැමුන් තර්ක කරනවා.