ශ්‍රී ලංකාවේ කෙටිකාලීනව හෝ ජීවත් වූ අයෙක් සිය ජීවිතයේ එක්වරක් හෝ කෘමි දෂ්ටනයකට ලක් වී නොමැති නම් ඒ ඉතාමත් කලාතුරකින්. මදුරුවන්, කුහුඹුවන්, දළ කඩියන් මෙන්ම පත්තෑයන් හා ගෝනුස්සන් වැනි සන්ධි පාදකයින්ගෙන් ගහන මෙහි නිතරම පාහේ එවැනි දෂ්ටනයන් සිදුවෙනවා. ඒවා අඩු වැඩි වශයෙන් වේදනාකාරී වන අතර සමහරක් සතුන්ගේ දෂ්ට කිරීම ඉසිලිය නොහැකි තරම් වේදනාකාරි යි.
ශ්‍රී ලංකාව තුළ දැඩි වේදනාකාරී දෂ්ට කිරීම් සිදුකරන කෘමීන් ඇතුළු සන්ධි පාදකයින් කිහිප දෙනෙකුම සිටිනවා. මොවුන්ගේ දෂ්ටනයන් කෙතරම් වේදනාකාරී ද යත් ලොව වඩා වේදනාකාරී දෂ්ටනවල ප්‍රබලත්වය මනින ෂ්මිඩ්ස් පරිමාණයටත් මින් සමහරක් ඇතුළු වී තිබෙනවා. ඔබේ නිවසේ කාණු ආශ්‍රිතව, ගෙවත්තේ අඳුරු මුළුවල මෙවැන්නන් සැඟවී සිටිය හැකි යි.
වෙල්වට් කුහුඹුවන්
මොවුන් ‘කුහුඹුවන්’ ලෙස හැඳින්වූවත් විද්‍යාත්මකව අයත් වන්නේ දෙබර කුලයට යි. මොවුන්ගේ ගැහැණු සතුන් පියාපත් නොදරන අතර බොහෝ සෙයින් කුහුඹුවන්ට සමාන රූප ලක්ෂණ පෙන්නුම් කරනවා. මේ හේතුවෙන් ඔවුනට ‘වෙල්වට් කුහුඹු’ නාමය පටබැඳී තිබෙනවා. ෂ්මිඩ්ස් පරිමාණයේ නිර්මාතෘ ජස්ටින් ෂ්මිඩ්ස්ට අනුව සාපේක්ෂව විෂෙන් අඩු වූවත් දෙබර දෂ්ටන අතිශයින් වේදනාකාරි යි.
මේ වෙල්වෙට් කුහුඹු සතුන් අපූර්ව චර්යා රටා පෙන්වනවා. ඔවුන්ගේ ගැහැණු සත්ත්වයා සතුව සිය ශරීරයේ දිගින් අඩක් පමණ දිගු ඉතා නම්‍යශීලී විෂ දළ පිහිටන අතර මෙය සුවිශේෂී වූ ලිංගික අවයවයක් වෙනවා. මෙය ඩිම්බ නිකුත් කර යම් ස්ථානයක තැන්පත් කිරීම සඳහා භාවිතා වෙනවා. පිරිමි සත්ත්වයා සතුව එවැන්නක් නොපිහිටියත් සිය ගැහැණු සතුන් අනුකරණය කරමින් පහරදීමට ඔවුන් ද පෙළඹෙනවා. ඔවුන් සිය ලිංගික අවයවවල උල් සහිත කොටසින් ඇනීම සිදුකරන අතර ඉඳිකට්ටක් ඇනෙන්නා සේ එය දැනෙනවා.
මොවුන්ගේ දෂ්ට කිරීම් ඒ තරම් විෂ සහිත නොවූවත් එක් වරම දෂ්ට කළ ස්ථානය දැවී පිලිස්සී යන්නා සේ වේදනාවක් ඇතිවෙනවා. එය පැය භාගයක පමණ කාලයක් පවතිනවා. මේ කෘමීන් කලබලකාරී වන අතර දීප්තිමත් වර්ණයන්ගෙන් යුක්ත යි. ශ්‍රී ලංකා සමනල සංරක්ෂණ සංසදයට අනුව මොවුන් ශ්‍රී ලංකාවේ බහුලව වෙසෙනවා.
පත්තෑයන්
ශ්‍රී ලංකාව තුළ අඩියක් පමණ දිගින් යුතු පත්තෑයන්/ ගරුඬන් හමුවන අතර ඊට වඩා කුඩා ප්‍රමාණවලින් ද බහුලව හමුවෙනවා. මින් තැඹිලි පැහැ පාද සහිත සහිත කුඩා පත්තෑයන් නිතරම ගෙවතුවලින් හමුවන අතර අඳුරු පැහැති විශාල පත්තෑයන් ‘ගස් පත්තෑයන්’ ලෙස හඳුන්වනවා. මොවුන්ගේ දෂ්ටනයන් ඉතා වේදනාකාරී වන අතර එය පැය ගණනක් පමණ පැවතිය හැකි යි.
තැඹිලි පැහැ පාද සහිත පත්තෑයන් වඩා ආක්‍රමණශීලී ලෙස සැලකෙන අතර ඔවුන්ගේ දෂ්ටන ඉතා වේදනාකාරී මෙන්ම අසාත්මිකතා ඇතිකිරීමට සමත්. විලෝපිකයින් වන මොවුන් හට ගොදුරු අල්ලාගැනීමට හා විෂ විදීමට හා සුදුසු ආකාරයෙන් සුවිශේෂ වූ ඉදිරි පාද යුගලක් පිහිටනවා. මෙම විෂ වේදනාව, හිරිවැටීම හා ඉදිමුම ප්‍රතිඵල කරන අතර ඔබ ඊට අසාත්මිකතා ලක්ෂණ දක්වන්නේ නම් තත්ත්වය තවත් බැරෑරුම් වෙනවා. මෙම විෂ අසාත්මික වූ විට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වන අතර සමහර විටෙක හෘද රිද්මය පවා වෙනස් කිරීමට සමත්.
පත්තෑයෙක් බිත්තර දමමින් සිටි නාගයෙකු ගොදුරු කරගත් අවස්ථාවක් හා සර්පයෙකු විසින් පත්තෑයෙක් ගොදුරු කරගත් පසු එම පත්තෑයා සර්පයාගේ උදරය සිදුරු කරගෙන ඉවතට පැමිණි අවස්ථාවක් ද වාර්තා වී තිබෙනවා.
දිවි මකුළුවන්
දිවි මකුළුවා ලොව පුරා වෙසෙන සන්ධි පාදකයෙක් වන අතර, ඉන් සමහර විශේෂ අධික විෂ සහිත මෙන්ම වේදනාකාරී දෂ්ට කිරීම්වලට ප්‍රසිද්ධියක් උසුලනවා. මින් Fringed Ornamental Tarantula නම් දිවි මකුළු විශේෂය ශ්‍රී ලංකාවෙන් හමුවන අතර ඔවුන් ලොව භයානකම මකුළු විශේෂ 10 අතුරින් එක විශේෂයක් ලෙස සැලකෙනවා.
අලංකාර, වේගවත් මෙන්ම අධික විෂ සහිත දිවි මකුළු විශේෂයක් වන මොවුන්ගේ දෂ්ට කිරීමක් එක්වරම දැඩි වේදනාවක් ගෙන දෙන අතර මස් පිඬු පෙරලීම් පවා ඇති විය හැකි යි. බ්‍රිතාන්‍යය දිවිමකුළු සංගමයේ වාර්තාවකට අනුව මෙම දිවි මකුළු විෂ දැඩිව ශරීර ගත වූ විට ඉදිමුම්, හිරි වැටීම, ශ්වේද ග්‍රන්ථිවල ඉදිමුම හා මස්පිඩු පෙරළීම වැනි රෝග ලක්ෂණ අත් කර දිය හැකි යි.
මෙම දිවි මකුළු විශේෂය 2013 දී ගවේෂණය කර ඇති අතර ඔවුන් දිවි මකුළු විශේෂ අතුරින් දෙවැනි විශාලතම විශේෂය වෙනවා. මොවුන් සිය පාද සම්පූර්ණයෙන් දිගහැරි විට අඟල් 8 සිට 10 දක්වා දිගින් යුතු වෙනවා. මොවුන්ගේ ශරීරයේ වර්ණවත් වයිරම් පිහිටන අතර මොවුන්ගේ විද්‍යාත්මක නම වන Poecilotheria rajaei ලැබී තිබෙන්නේ දේශීය පොලිස් නිලධාරියෙකුගේ නාමය අනුසාරයෙනුයි.
ගෝනුස්සන්
ගෝනුසු දෂ්ටනයක් ඉතා වේදනාකාරී මෙන්ම වැඩි වේලාවක් පවතිනවා. මොවුන් දෂ්ට කරන්නේ සිය වලිගයේ අගිස්සේ ඇති කොටසකින්. ඉන්දියානු සාම සාධක හමුදාව සමග ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු රතු ගෝනුස්සා මරණීය දෂ්ටන කිරීමට සමත් අතර අනෙකුත් ගෝනුසු විශේෂ සියල්ලටම වඩා ශ්‍රී ලංකාව තුළ මරණ සිදුකර තිබෙනවා. 2012 හා 2013 වසරවල මේ ගෝනුසු දෂ්ට කිරීම් නිසා ශ්‍රී ලංකාව තුළ පමණක් මරණ 80ක් පමණ වාර්තා වී තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ ලොව කුඩාම හා විශාලතම ගෝනුසු විශේෂ දෙක ඇතුළුව ගෝනුසු විශේෂ 18ක් වාර්තා වී තිබෙනවා. මින් කුඩාම විශේෂය ‘සරදියෙල්’ යනුවෙන් නම් කර තිබෙනවා. ශ්‍රී ලංකාව ගෝනුස්සන්ගෙන් කෙතරම් ගහන ද යත් පසුගිය වසරේ ගම්පහ ප්‍රදේශයෙන් ගෝනුස්සන් 2000ක් පමණ සිටි ඝණාවාසයක් හමු වී තිබෙනවා.
කුහුඹුවන්
ශ්‍රී ලංකාව තුළ කුහුඹු විශේෂ රාශියක් හමුවෙනවා. මෙයින් ‘දල කඩියන්’ ලෙස හැඳින්වෙන කුහුඹු විශේෂය වේදනාකාරී හා විෂ සහිත දෂ්ට කිරීම් සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා. දල කඩියන් 7 දෙනෙකු හෝ 12 දෙනෙකු දෂ්ට කළ විට නයි විෂ තරම් ප්‍රබල විෂක් ශරීර ගත වන බව ප්‍රකට ශ්‍රී ලාංකීය කියමනක්. 2010 දී දඹුල්ල ප්‍රදේශයේ කාන්තාවක් දල කඩි විෂ හේතුවෙන් ඇති වූ අසාත්මිකතාවයකින් මිය ගියා.
කුහුඹු දෂ්ටනවල වේදනාව හා විෂ සහිත බව එම කුහුඹු විශේෂය මත පදනම් වෙනවා. කළු කඩියන් කැක්කුම, ඉදිමුම මෙන්ම කැසීම අත්කිරීමට සමත් අතර, රතු කුහුඹුවන්ගේ දෂ්ට කිරීමත් අපහසුතා ගෙනදෙනවා. ශ්‍රී ලංකාවට නුහුරු ගිනි කුහුඹුවන් හා Bullet Ant නම් විශේෂය ෂ්මිඩ්ස් පරිමාණයේ ඉහළින්ම සිටින අතර ඔවුන්ගේ දෂ්ටන හේතුවෙන් ඇති වන වේදනාව දරා සිටීමට පවා නොහැකි යි.
කවරයේ පින්තූරය -videoblocks.com
මූලාශ්‍රය –Meet Five Sri Lankan Creepy-Crawlies With The Most Painful Bites- By Aisha Nazim