කකුළු පෙළපාලියට පාරවල් වසන ක්‍රිස්මස් දූපත

වාර්ෂිකව පවත්වන අපගේ නිදහස් සැමරුමේ හැත්තෑ තුන්වැන්න, පසුගිය පෙබරවාරි හතර වැනිදා අභිමානවත් ලෙස සැමරුණා. සාමාන්‍යයෙන් එදිනට පැවැත්වෙන ත්‍රිවිධ හමුදා පෙළපාලි සහ අනෙකුත් සංස්කෘතික​ අංගවල පුහුණු සැසියන් හේතුවෙන්, නිදහස් සැමරුම් උත්සවයට පෙරාතුව දින කිහිපයක් තිස්සේ විශේෂ රථ වාහන සැලැස්මක් අනුගමනය කිරීමට සිදුවීම සාමාන්‍ය කරුණක්. ඇතැම් මාර්ග වසාදැමීම නිසා කොළඹට පැමිණෙන බොහෝ දෙනාට විකල්ප මාර්ග භාවිතා කොට තම ගමනාන්තයට ළඟා වෙන්න සිදුවෙනවා. අපට විශේෂ රථ වාහන සැලැස්මකට අනුගත වෙන්න සිදුවන්නේ නිදහස් සැමරුම වෙනුවෙන් හෝ කම්කරු දිනය වෙනුවෙන් හෝ පමණක් වුණත්, රතු පාට කකුළු විශේෂයක පෙළපාලියක් නිසා විශේෂ මාර්ග සැලැස්මක් අනුගමනය කරන දූපත්වාසීන් සමූහයක් ගැන ඔබට හිතාගන්නවත් පුළුවන් ද? සැබැවින්ම එය සොබාදහම තුළ වූ ඉතා අපූරු වූත් විචිත්‍රවත් වූත් ස්වභාවික සංසිද්ධියක්. මේ රතු කකුළු පෙළපාලිය දැක ගන්නට ලැබෙන්නේ ක්‍රිස්මස් දූපතේ යි. 

ක්‍රිස්මස් දූපතේ පිහිටීම/britannica.com/

රතු කකුළු රජ දහන

ක්‍රිස්මස් දූපත, ඉන්දුනීසියාවේ ජාවා දූපතට කිලෝ මීටර් 360ක් පමණ දකුණු දෙසින් ද, ඕස්ට්‍රේලියාවට කිලෝ මීටර් 1400ක් පමණ වයඹ දෙසින් ද ඉන්දියන් සාගරයේ පිහිටි කුඩා දූපතක්. ඕස්ට්‍රේලියාවේ පරිපාලනය යටතේ පවතින මෙම දූපතේ ජනගහණය 1900ට ආසන්න වන අතර, දූපතේ වාසය කරන බොහෝමයක් චීන සම්භවයක් සහිත උදවිය යි. එමෙන්ම යුරෝපීය සහ මැලේ සම්භවයකින් යුතු පිරිසක් ද ක්‍රිස්මස් දූපතේ වාසය කරනවා. මේ පදිංචිකරුවන් කලකට ඉහත දූපතේ ෆොස්ෆේට් පතල් කැණීම සඳහා පැමිණි කම්කරුවන්ගෙන් පැවතගෙන එන අය වෙනවා.

දර්ශනීය වෙරළ තීරයක් මෙන්ම නිවර්තන දේශගුණයක් සහ සාරවත් වන ගහණයකින් පිරිපුන් ක්‍රිස්මස් දූපතේ භූමි ප්‍රමාණයෙන් 63%ක්ම ජාතික වන උද්‍යානයක් ලෙස නම් කර තිබෙනවා. මනස්කාන්ත දියඇලි ආදියෙන් පිරි මේ වනාන්තර මඟින් දුර්ලභ ගණයේ ශාක සහ පක්ෂීන්ට අමතරව, අපගේ කතා නායකයන් වන රතු කකුළුවන්ට ද වාසස්ථාන සපයා දෙනවා

ජීව විද්‍යාත්මක කරුණු

සාමාන්‍ය ව්‍යවහාරයේ දී “ක්‍රිස්මස් දූපතේ රතු කකුළුවන්” ලෙස හඳුන්වන මෙම භෞමික කකුළු විශේෂයේ විද්‍යාත්මක නාමය Gecarcoidea natalis ලෙසින් දැක්වෙනවා. මොවුන් ක්‍රිස්මස් දූපතේ වනාන්තරවලට ආවේණිකව දිවි ගෙවන සත්ත්ව විශේෂයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ප්‍රමාණයෙන් තරමක් විශාල මෙම කකුළුවන් දිවා කාලයට වඩාත් ක්‍රියාකාරී වන නමුත්, හිරු එළියට සෘජුව නිරාවරණය වීමෙන් මියයෑම පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා මොවුන් තම ශරීරයේ තෙතමනය ආරක්ෂා වෙන පරිදි සෙවණ සහිත ස්ථානවල ඉන්න තමයි වඩාත් කැමැත්තක් දක්වන්නේ. වැටී ඇති කොළ රොඩු, බීජ පැළ, වැටී ඇති පළතුරු සහ මල් වර්ග මත යැපෙන මොවුන්, කසළ ශෝධකයන් ලෙස පෝෂ්‍ය පදාර්ථ ප්‍රතිචක්‍රීකරණයට දායක වෙමින් දූපතේ ශාකවල ව්‍යාප්තිය උදෙසා වැදගත් මෙහෙයක් ඉටු කරනවා. ඒ නිසා ක්‍රිස්මස් දූපතේ වනාන්තර පද්ධතිය තුළ මොවුන්ගේ භූමිකාව සුවිශේෂී සහ තීරණාත්මක යි.

තෙතමනයට සංවේදී නිසාම අවුරුද්දේ වැඩි හරියක් මොවුන් වනාන්තරය අභ්‍යන්තරයේ හාරාගත් ගුල් තුළ වාසය කරනවා. වියළි කාලය එළඹෙන විට ගුල තුළ වැඩි තෙතමනයක් පවත්වා ගැනීම සඳහා, ඔවුන් සිය ගුල් තුළට පිවිසෙන දොරටුව ආවරණය කර ගැනීමට පෙළඹෙන අතර, ඊළඟ වැසි සමය ආරම්භ වන තෙක් මාස තුනක පමණ කාලයක් ඔවුන් මේ නිවෙස් තුළ වාසය කරනවා. සාමාන්‍යයෙන් රතු කකුළුවන් හුදෙකලාව අගයමින් ජීවත් වෙන සතුන් වුණත්, අභිජනන සමය එළඹුණ වහාම මේ හුදෙකලා සතුන් මහා සමාජයක් වන්නේ මුළු දූපතම රතු පළසක් බවට පත් කරමින්!

කකුළු සංක්‍රමණය නිසා දූපතේ මාර්ග අවහිර වීම සාමාන්‍ය කරුණක්/redfernadventures.com

මුහුද බලා යන රතු පෙළපාලිය

වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් අතර කාලය ක්‍රිස්මස් දූපතේ රතු කකුළුවන්ට මෙන්ම එහි දූපත් වැසියන්ටත් වැදගත් කාල පරිච්ඡේදයක්. එම දූපතේ තෙතමනය සහිත පරිසරයක් දක්නට ලැබෙන කාල පරාසය තුළ රතු කකුළුවන් තම අභිජනන කාර්යය සඳහා සූදානම් වෙනවා. රතු කකුළුවන් අවුරුද්දේ වැඩි කාලයක් මිනිසුන් හමුවට නොපැමිණ වනාන්තර තුළ පාඩුවේ ජීවත් වුණත් තම අභිජනන කාලය තුළ වෙරළ තීරය බලා සංක්‍රමණය වෙමින් මුළු දූපතම අත්පත් කරගන්නේ, දූපතේ සැබෑ අයිතිකරුවන් කවුරුන්දැ යි ලොවට පෙන්වමින්.

ඔවුන්ගේ මෙම අභිජනන කාර්යය චන්ද්‍ර දින දර්ශනය, නැතහොත් සඳෙහි අවධීන්, සමග සමීප සබඳතාවයක් දක්වනවා. රතු කකුළුවන් වෙරළ තීරයට සංක්‍රමණය වූ පසු සංසර්ග ක්‍රියාවලියේ යෙදෙන අතර මේ සඳහා අවම වශයෙන් සතියක කාලයක්වත් ගත වෙනවා. දූපත මධ්‍යයේ වූ වනාන්තරයේ සිට වෙරළ තීරය දක්වා මිලියන ගණනකින් සිදුවන මේ මහා සංක්‍රමණයේ දී පෙරමඟ ගැනීම බොහෝ දුරට පිරිමි කකුළුවන් අතින් සිදුවන අතර, ඔවුන් ගැහැණු කකුළුවන්ට කලින් වෙරළට පැමිණ, ගුල් හාරා ගෙන, තම වාසස්ථානය අනෙක් පිරිමි කකුළුවන් ගෙන් ආරක්ෂා කර ගැනීමට වෙහෙසෙනවා. හාරාගත් ගුල් ආසන්නයේ සංසර්ග ක්‍රියාවලිය සිදුකිරීමෙන් පසුව පිරිමි කකුළුවන් නැවතත් වනය තුළට සංක්‍රමණය වුණත්, ගැහැණු සතුන් තවත් අමතර කාලයක් ගුළ තුළම රැඳී සිටිමින් බිත්තර නිපදවීම සහ රැක ගැනීමේ කාර්යයේ නිරත වෙනවා. චන්ද්‍ර දින දර්ශනයේ අවසාන කාර්තුව සහ නව සඳ අතර කාලය තුළ දී පමණක් බිත්තර මුහුද වෙත නිකුත් කිරීමට තරම් මෙම ගැහැණු සතුන් ප්‍රවේශම් වීම සිත් ගන්නා සුළු යි. එම කාලය අතරතුර මුහුදේ වඩදිය බාදිය නැඟීම අවම වශයෙන් සිදු වන නිසා බිත්තර මුහුදු ජලයට මුසුකිරීමට පහසු ප්‍රවේශයක් ලැබෙනවා. නමුත් ඒ කාලය තුළ කාලගුණයේ වෙනසක් සිදුවුවහොත්, ඊළඟ චන්ද්‍ර මාසය එනතෙක් බිත්තර දැමීම කල් දමන්නත් ඔවුන් පෙළඹෙනවා. 

අළුත උපන් රතු කකුළු පැටවුන්ගෙන් වැසී ඇති වෙරළ තීර/dailymail.co.uk/

බිත්තරවලින් බිහිවන පැටවුන් නැවත මුහුදු වෙරළ කරා පැමිණීමට පෙර මාසයක පමණ කාලයක් මුහුදේ දිවි ගෙවන අතර ඉන්පසු තම ජීවන චක්‍රයේ ඉතිරි කොටස සම්පූර්ණ කිරීමට නැවත වනාන්තරය තුළට සංක්‍රමණය වීම අරඹනවා.

යෙලෝ ක්‍රේසිගේ තර්ජනය

සාමකාමී සහ හුදෙකලා පරිසර පද්ධතියක සිටින රතු කකුළුවන්ට භෞමික පරිසරයේ ස්වභාවික විලෝපිකයන් සිටියේ නැහැ. නමුත් වර්ෂ 1915-1934 අතර කාලය තුළ දූපතට පැමිණි “යෙලෝ ක්‍රේසි” නම් ආක්‍රමණික කුහුඹු විශේෂය නිසා මේ සාමකාමී රතු කකුළුවාට නරක දසාවක් එළඹුණා. 1990 දශකය වන විට කුහුඹුවන් මිලියන ගණනක් මේ දූපතේ ජනපද පිහිටුවා ගෙන තිබූ බව කියැවෙනවා. 

යෙලෝ ක්‍රේසි කූඹින් තමන්ගේ ආරක්ෂාව සලසාගන්නේ තර්ජනය දෙසට ෆෝමික් අම්ලය විදීමෙන්. ෆෝමික් අම්ලයට කකුළුවන් මරාදමන්නට පුළුවන්. ඉතින් කූඹින් දූපතට පැමිණි දා පටන් මේ කුහුඹුවන් අතින් රතු කකුළුවන් මිලියන ගණනක් විනාශ වී ඇති බව මෙල්බර්න් නගරයේ පිහිටි ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලයයේ පර්යේෂකයන් විශ්වාස කරනවා. එමඟින් දූපතේ පාරිසරික පද්ධතියට විශාල වශයෙන් බලපෑම් එල්ලවිය හැකි බව ඔවුන් අනතුරු අඟවා තිබුණා.

ආක්‍රමණික යෙලෝ ක්‍රේසි කුහුඹුවන්ට එරෙහිව සටන් කිරීමට පළමුව භාවිතා වුණු ක්‍රමය වූයේ උන්ගේ ජනපදවලට විෂ දැමීම යි. නමුත් පසු කලෙක විද්‍යාඥයින් කුඩා දෙබර විශේෂයක් දිවයිනට හඳුන්වාදුන් අතර, ඔවුන් කුහුඹුවන්ගේ ප්‍රධාන ආහාර ප්‍රභවය විනාශ කර දමනවා. මේ දෙබරුන් මාර්ගයෙන් “යෙලෝ ක්‍රේසි” කුහුඹුවන් සම්පූර්ණයෙන්ම දූපතෙන් අතුගා දැමිය නොහැකි වුණත්, ඔවුන්ගේ සහයෝගයෙන් ක්‍රිස්මස් දූපතේ පාරිසරික සමතුලිතතාවය රැකගනිමින් රතු කකුළු ගහණය ආරක්ෂා කර ගැනීමට විද්‍යාඥයින් සමත් වුණා.

කකුළු පෙළපාලියට සුභ පතන දූපත් වැසියන්

කකුළු සංක්‍රමණය සිදුවන කාලවල දී විශේෂ මාර්ග සැලැස්මක් දූපතේ ක්‍රියාත්මක යි/placeandsee.com/

කලකට පෙර, තම අභිජනන කාර්යය උදෙසා මිලියන ගණනින් අහිංසක ගමනක යෙදෙන මේ රතු කකුළුවන් මනුෂ්‍ය වාසයට ළඟාවීමත් සමග බොහෝ අනතුරුවලට මුහුණ දුන්නා. මාර්ග හරහා ගමන් කිරීමේ දී මොවුන් වාහනවලට අසුවී දහස් ගණනින් මියයෑමේ අවදානමක් තිබුණ අතර, ඔවුන්ගේ පිටසැකිල්ල වාහනවල රෝද සිදුරු කිරීමට තරම් ශක්තිමත් නිසා අනතුරු ඇතිවීමේ හැකියාවකුත් තිබුණා.

කෙසේ නමුත් පසුකලෙක පාරිසරික විද්‍යාත්මකව පවතින වැදගත්කම සහ සංචාරක ආකර්ශනය සලකා, සංක්‍රමණය සමය අතරතුර කකුළුවන්ට සහ මිනිසුන්ට ඇති වන අපහසුතා මඟහරවා ගැනීමට සඳහා පිළියම් රැසක් මේ වනවිට දූපත තුළ ක්‍රියාත්මක වෙනවා. මේ කාලය තුළ වනෝද්‍යානය සංචාරකයන් උදෙසා වසා තැබෙන අතර, මහා මාර්ගයන් රතු පලසක් මෙන් පෙනෙන තරමටම කකුළුවන්ගෙන් වැසී යන නිසා බොහෝමයක් මාර්ගයන ද වසා දැමෙනවා. දූපත්වාසීන්ගෙන් පවා මේ අහිංසක ජීවී ප්‍රජාවගේ මතු උන්නතිය වෙනුවෙන් යන ගමනට ලැබෙන්නේ නොමඳ ආශිර්වාදයක්. ඇතැම් මිනිසුන්, කකුළුවන් ආරක්ෂිතව ඉවත් කරමින් ගමන් කළ හැකි ආවරණයන් තම වාහනවල රෝදවලට ඉදිරියෙන් සවි කරගෙන සිටිනවා.

මීට අමතරව මාර්ග හරහා, මාර්ගයට යටින් අනෙක් පසට ආරක්ෂිතව ගමන් කිරීමට හැකි වන පරිදි ඇළුමීනියම් බාධක යොදා, සංක්‍රමණය වන කකුළුවන්ව උමං මාර්ග තුළට යොමු කිරීමත්, මාර්ග හරහා ඉදි කළ කකුළු පාලම් හරහා මාර්ගයට උඩින් ගමන් කිරීමට ඉඩ සලසන ස්ථානත් මේ දූපත තුළ ගොඩනඟා තිබෙනවා.

රතු කකුළුවන්ගේ ගමන වෙනුවෙන් මාර්ග යටින් තනා ඇති පාලම්/christmas.net.au/

 

එමෙන්ම පර්යටනය සිදුවන අවස්ථාවේ දී, තෙතමනය ප්‍රියකරන මේ කකුළුවන් විජලනය වීම වැලැක්වීම පිණිස මඟ දෙපස සිටින මිනිසුන් ඔවුන්ව ජලයෙන් තෙත් කරන්නත් පුරුදු වී සිටිනවා. වාර්ෂිකව මිලියන ගණනින් සිදුවන මේ මහා කකුළු සංක්‍රමණය නිසා ක්‍රිස්මස් දූපත ලෝකය පුරා ප්‍රසිද්ධ වී ඇති අතර, ඒ නිසාම ඔක්තෝබර්-නොවැම්බර් අතර කාලය තුළ සැළකිය යුතු සංචාරකයන් ප්‍රමාණයක් දූපතට පැමිණෙනවා. 

කෙසේ හෝ වේවා මානව ක්‍රියාකරකම් හේතුවෙන් දිනෙන් දින ජිවී විශේෂ දහස් ගණනින් වඳවීමේ තර්ජනයට මුහුණපාන අවධියක, ක්‍රිස්මස්වාසීන් සිය මහා මාර්ග පවා වසා දමා, තම දෛනික චර්යාවන් ද යම් තරමකින් කැප කරමින් මේ කකුළු පෙළපාලියට සහයෝගය දැක්වීම සැබැවින්ම පැසසිය යුතු කාරණාවක්.

Cover photo - කොළයක් කන කකුළුවෙක්/Swell Lodge

මූලාශ්‍රයයන්: nationalgeographic.com

britannica.com

dw.com/

abc.net.au

Related Articles

Exit mobile version