පසුගිය අවුරුද්දෙ නම් කාටවත් සමනල වන්දනාවේ වගේම ඒ අවට සොඳුරු පරිසරය දැකගැනීමට යාමටත් කොවිඩ් වංසංගතය අවස්ථාව ලබාදුන්නේ නැහැ. මේ අවුරුද්දේ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සීමිත පිරිසකට පමණක් සමනල කන්ද නැගීමට අවස්ථාව උදාවෙලා. අපි මේ කතාකරන්නේ සමනල චාරිකාවේ දී වැඩිදෙනෙකුට මඟහැරෙන එහි පාරිසරික වැදගත්කම ගැන යි.
සමනල ලෝක උරුම වන භූමිය
සමනල කන්දේ පාරිසරික වැදගත්කම මෙන්ම ඓතිහාසික සහ සංස්කෘතික වැදගත්කම ද එක සේ වටිනවා. මේ වැදගත්කම හින්දා දුම්බර කඳුවැටියත් සමග මේ කඳුවැටිය ද යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත් වූයේ 2010 දී යි. ලෝක උරුම වනපෙත් අතරට අයත්වීම නිසා සමනල කන්දට වැඩි ජාත්‍යන්තර අවධානයක් ලැබී තිබෙනවා.
රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල පිහිටා ඇති සමනල කඳුකරය මස්කෙළිය ප්‍රදේශයේ සප්තකන්‍යා කඳුවල සිට බලංගොඩ බෙලිහුල්ඔය සහ දෙතනගල කඳු දක්වා පැතිර තිබෙනවා. මෙම වනය අභයභූමියක් බවට පත් කෙරුණේ 1940 අංක 8675 දරන ගැසට් නිවේදනය අනුව යි. අභය භූමි සීමාවේ තේ වතු කිහිපයක් ද පිහිටා තිබෙනවා. නන්පේරියල් වතුයාය, බ‍්‍රෑම්ප්ටන්, සහ මැදහින්න වතුයායවල කොටස් කිහිපයක් ද මෙම සීමාවට අයත්.
ශ්රී ලංකාවේ එකම නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය වන සමනල අඩවිය විශාලත්වයෙන් හෙක්ටයාර් 22379ක්. ගැසට් නිවේදනයට අනුව එය පැතිරී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයට හෙක්ටයාර් 3897, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට හෙක්ටයාර් 17483ක් වශයෙනුයි. 2007 සැප්තැම්බර් 21දා මේ අතරින් හෙක්ටයාර් 12979ක් ස්වභාව රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.
සුන්දර කඳුවැටිය
සමනල අඩවියේ පාරිසරික සුන්දරත්වය ඉහළ නංවන්නේ එහි භූ විෂමතාවය යි. විවිධ ස්ථානවල දී එකිනෙකට වෙනස් උස මට්ටමක එය පැතිරී තිබෙනවා. දකුණු සීමාවේ වූ කුඩාව සහ රත්ගඟ දී එය උසින් මීටර් 457ක් වෙනවා. උසම ස්ථානය මීටර් 2243ක් වූ සමනල කඳු මුදුන යි. උතුරු සහ වයඹ සීමාවල දී උස මීටර් 457 සිට 762 දක්වා පැතිරී යනවා. අභය භූමියේ එක් සීමාවක් හෝටන්තැන්න ජාතික උද්‍යානයට සම්බන්ධ වෙනවා.
සමනල කඳුවැටියට පිවිසීමට පුරාණයේ සිට වන්දනාකරුවන් භාවිතා කරන මාර්ග තුනක් පවතිනවා. ඒ රත්නපුර පාර, කුරුවිට පාර, සහ හැටන් පාර යි. මේ පාරවල්වලට කන්දේ අතරමඟින් සම්බන්ධ වන දෙහෙනකන්ද පාර, දැරණියගල උඩමාලිබොඩ පාර, රාජමලේ පාර, ගවරවිල මස්කෙළිය පාරත් තිබෙනවා.
සමස්ථ රක්ෂිතය තුළම උස මීටර් 2000ට වැඩි කඳු 4ක් පවතිනවා. ඒ කඳු නම් සමනල, තවත් කන්දක් (මී. 2050), ක්ලෙව්ලන්ඩ් (මී. 2040), සහ බෑන සමනල (මී. 2012) යි. ඊට අමතරව මීටර් 1900ත් 2000ත් අතර පවතින කඳු 6ක් තිබෙනවා. ඒවා නම් මහා ගවරවිල (මී. 1980), ගාට්මෝර් කන්ද (මී. 1960), ගවරවිල කන්ද (මී. 1960), යකා ඇඬූ ගල (මී. 1940), බල්ලන් බැඳි ගල (මී. 1920), සහ කුඩා බෑන සමනල (මී.1920) යන කඳු යි.
මහා ගංගාවල තිඹිරිගෙය
ප්‍රධාන ගංගා තුනක් උපත ලබන්නේ මේ අඩවියෙන් නිසා එය ඉතා වැදගත් ජල පෝෂක වනාන්තරයක්. ඒවා නම් කළු, කැලණි, සහ වලවේ යන ගංගාවන්. කැලණි නදියේ ආරම්භක දිය මාර්ගය වන මස්කෙළි ඔය ඇරඹෙන්නේ අප්කොට් ප්‍රදේශයට ඉහළින් සමනල අඩවියේ බටහිර කඳු බෑවුම්වලින්. දකුණු ප්‍රදේශයේ කුණුදිය පර්වතය අවට කඳුවැටිවලින් කළු ගඟේ ආරම්භය වන කුරු නදිය උපත ලබනවා. උඩ මාලිබොඩ මාර්ගයේ හමුවන සීත ගඟුල මහ පිදුරුතලාව බෑවුමෙන් පටන් ගෙන ගලාගෙන පැමිණ මැදහින්න අම්බලම කිට්ටුව දී එරත්න සීත ගඟුල බවට පත්වී කුරුගඟ හා සම්බන්ධ වෙනවා. මෙම කුරුගඟ පටන්ගන්නේ බෑන සමනල කන්දෙන්. මෙම ගංගාවට එරත්නේ සිට කුරුවිට හරහා බටතොටලෙන අසලින් බෝපත් ඇල්ල ද නිර්මාණය කරමින් හඳගල ආදී ප්‍රදේශ හරහා ගොස් ඉඩංගොඩ ආසන්නයේ කුරුගං මෝදර යන ස්ථානයේ දී කළු ගඟට එකතු වෙනවා.
රත්ගඟ සහ බඹරබොටුව ඔය යන කළු ගංගාවේ ශාඛා ද මෙම කලාපයෙන් ආරම්භ වෙනවා. වලවේ ගඟේ එක් ප්‍රධාන ශාඛාවක් ඇරඹෙන්නේ ගිනිකොණ දිසාවේ බලංගොඩ වලේබොඩ ප්‍රදේශයේ සමනල අඩවි අභයභුමියට අයත් වනාන්තරවලින්. ඒ ප්‍රදේශයත් තේ වගාව නිසා බොහෝ දුරට වැනසී ගිහින්.
දියඇලි
සමනල අඩවිය සුන්දර කරනා දියඇලි අතර මස්කෙළිය ඔය ජලාශයට එකතු වන සමනල කඳු ඇල්ල උසින් මීටර් 10ක්. ලක්ෂපාන දියඇල්ල ජල විදුලි බලාගාරය නිසා ප්‍රසිද්ධියට පත්ව ඇති විශාල දිය ඇල්ලක්. ගාට්මෝර් ඇල්ලට එම නම වැටී ඇත්තේ ගාට්මෝර් වතුයාය අසල පිහිටි නිසයි. ඒ වෙතට නල්ලතන්නියේ සිට වතුයාය හරහා ගමන් කිරීමෙන් පැමිණිය හැකියි. ෆෙයාර්ලෝන් ඇල්ල, දෙහෙන ඇල්ල, පාඬිඔය ඇල්ල, බඹරබොටුව ඇල්ල, අලුපොල ඇල්ල, මාපනාන ඇල්ල, දෝතුරුගල ඇල්ල, මෝහිණී ඇල්ල වැනි දිය ඇලි රාශියක් මෙම අභයභූමිය විචිත්‍රවත් කරනවා.
ජෛව විවිධත්වය
ඇෂ්ටන් සහ ගුණතිලක යන උද්භිද විද්‍යාඥයන් 1987 දී ශ‍්‍රී ලංකාවේ වෘක්ෂලතාවල පැතිරීම අනුව කලාප 15කට බෙදා දැක්වූ අතර, ඉන් 9 වැනි කලාපය සමනල කඳු පාමුල ප‍්‍රදේශය යි. 14 වැනි කලාපය සමනල කන්ද නියෝජනය කරනවා.
මෙහි දියමාර්ගවල ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ රැසක් දිවිගෙවනවා. ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය විශේෂ අතරින් විශේෂ 21ක් සමනල අඩවි වනාන්තරයේ ඇළ දොළවල වාසය කරනවා. ඒ අතරින් ආවේණික විශේෂ සංඛ්‍යාව 11ක්. සමනල කන්ද පාමුල ජල මාර්ගවල ආවේණික විශේෂ අතරින් ගල්පාඬියා සහ කඳුකර ඉරි අහිරාවා වාසය කරන අතර සමනල කන්දට මඳක් එපිට වනාන්තරයේ ජල මාර්ගවල හීත මස්සා, ලේ තිත්තයා, බුලත් හපයා, මගුරා, තල්කොස්සා, කොළකණයා, දෙපුල්ලියා වැනි ආවේණික මසුන් පැතිරී සිටිනවා. අප රටට ආවේණික, ඉතා දුර්ලභ උප විශේෂයක් වන කඳුකර උණහපුලුවාගේ එක් වාසස්ථානයක් වන්නේ ද සමනල අඩවියේ ඉහළ සීමාව යි.
වඳවී ගිය සතුන් /ශාක
1998 දී වනජීවී උරුම භාරයේ රොහාන් පෙතියාගොඩ සහ කැලුම් නලින්ද මනමේන්ද්‍ර ආරච්චි විසින් කළ ගවේශනයක දී රාජමලේ වතුයායේ පිෂිං හට් අසල දී වඳවී ගොස් ඇතැයි සැලකුණු ඉතා දුර්ලභ ආවේණික ගෙඹි විශේෂයක් වූ Dasi’s Dwarf Toad සොයාගත්තා. එලෙස සැඟවුණු තවත් වනජීවීන් රුසක් මෙම වනාන්තරයේ වාසය කරන බව නිසැක යි.
සමනල අඩවියේ මීටර් 600 සිට 900 දක්වා උස මට්ටම්වල දූන විශේෂ සමග වැවෙන මැන්දෝර විශේෂයක් වන Stemonoporus rigiduse ගස ශ්‍රී ලංකාවට ආවේණික වඳ වී ගොස් ඇතැයි සැලකුණු ගසක්. මෙම මැන්දෝර ශාකය 1981 දී මෙම වනාන්තරයෙන් නැවත සොයාගත්තා.
කුඩා හැඩයා, මහ හැඩයා
ඉරමුසු, වෙනිවැල්, ඉරුරාජ, වනරාජ, ජටාමාංශ, සඳරාජ, කුඩා හැඩයා, මහ හැඩයා, හාතාවාරිය වැනි ඖෂධීය ශාක වනපෙතෙහි යටි රෝපණයෙහි පැතිරී පවතිනවා. අවට ගම්වල වැසියන්ට අවශ්‍ය වනපල වර්ග රැසක් ද මෙයින් සැපයීම සිදුවෙනවා. මියන දළු, මුගුණ, තෙබු, ගොනිකා, වැල් අල, දියබෙරලිය, කිරිඅඟුණ, කැලෑ කොහිල, රන් දෝතලු, හල් ඒ අතර ප්‍රධාන යි. වේවැල්, කුකුළු වැල්, බට ආදිය ද මෙහි පැතිරී තිබෙනවා. ගෘහ භාණ්ඩ සඳහා මහා පරිමාණයෙන් ඉවත්කිරීම නිසා මාවේවැල් බොහෝ ස්ථානවලින් සමුගෙන අවසන්.
කුරු වනාන්තර
සමනල කන්දේ ඉහළ බෑවුම්වලට ගමන්කරන විට වනාන්තර වැස්ම කුරු ආකාරයක් ගන්නා අයුරු අපට පෙනෙනවා. අධික ශීතල සහ අධික සුළඟ නිසා ශාඛ එලෙස අනුවර්තනය වී තිබෙනවා. කීන, බඹන දඹ, රතු මිහිරිය, වැරණිය, බෝවිටියා, Colophylum trapezifolum වැනි ශාක මේ ඉහළ ප්‍රදේශයේ වැවෙනවා. වල් එනසාල්, නෙලු, මඩොල් වැනි විශේෂ ද ඒ අතර දැකගත හැකියි. පහළ කඳු බෑවුම්වල තැන තැන කැපී පෙනෙන අයුරින් වැවී ඇත්තේ කිතුල් ගස්. කිතුල් ගස කඳුකර වැසියන්ගේ කප්රුකක් වැන්න. මීටර් 1000ට ඉහළ කඳු බෑවුම්වල පැතිරී ඇති අලංකාර තාල වර්ගයේ ශාකයක් තමයි රන්දෝතලු.
මෙහි රුක්වාසී ක්ෂීරපායින් වන්නේ උණහපුලුවා, රිලවා, සහ කොළ වඳුරා සහ කඳුකර උණහපුලුවා යි. වනයේ වල්ඌරා ද බහුල යි. මෙම වනපෙතෙහි කුඩා අලි රංචුවක් ද වාසය කරනවා. උන් වන්දනා කාලයට වනයේ ඈත ප්‍රදේශවලට සංක්‍රමණය වේ. ගෝනා සහ ශ්‍රී ලංකා කොටියාද මෙහි වසන ක්ෂීරපායීහු අතර සිටිනවා.
පරිසර විනාශය
සමනල අඩවියේ පරිසරය හෙමින් සීරුවේ විනාශ වන බවත් දැකගත හැකියි. බොහෝ විට මෙම විනාශය සිදුවන්නේ බලංගොඩ සහ රත්නපුර ප්‍රදේශවල පවතින අභය භූමි සීමා අසල දී යි. වනසතුන් දඩයම ද මේ ප්‍රදේශවල සිදුවන බව ගම්වැසියෝ පවසනවා. අනවසරයෙන් තේ වගාව, මැණික් ගැරීම සහ වන්දනා සමයේ දී දර සඳහා ගස් කැපීම ආදී කටයුතු මෙම වනයට තර්ජන ගෙන එන කරුණු අතරට අයත්.
පසුගිය කාලේ වල්ඌරු දඩයමට තිබූ සීමා ඉවත්කළ නිසා ඒ සතුන් දඩයම ද සමනල අඩවියට යාබද ගම්මානවල සුලබ වී ඇති බව පැවසෙනවා. පොලිතින් හා ප්ලාස්ටික් සමනල කන්දට ගෙන ඒම සීමාකර තිබුණත් වන්දනා වාරය අවසන් වනවිට විශාල පොලිතින් ප්ලාස්ටික් තොගයක් වන්දනා මාර්ග දෙපස එකතුවීම දැකගත හැකියි.
වන්දනා සමයේ දී ස්නානය කරන වන්දනාකරුවන් ගෙන එන ෂැම්පු, හෙයාර් ජෙල් වැනි පැකට් ඇසුරැම් සීත ගඟුලට එක්වීමත් පරිසර ප්‍රශ්නයක්. එමෙන්ම ෂැම්පු සහ සබන්වල ඇති රසායනික දෑ ද සමනල අඩවියේ ජල මාර්ගවලට බහුලව එක්වෙනවා. මේ නිසා සියුම් පරිසර තත්ත්වවලට හැඩ ගැසුණු ආවේණික මත්ස්‍ය විශේෂවලට සහ උභයජීවීන්ට එය තර්ජනයක් වෙලා. තේ වගාව වනාන්තරය ආක්‍රමණය කිරීමත් සමනල අඩවියේ සිදුවන සමාව දිය නොහැකි නීති විරෝධී කටයුත්තක්.