Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝක ඉතිහාසය වෙනස් කළ සත්ව පවුලේ සාමාජිකයෝ

මිනිසා මෙන් ම ලොව සිටින අනෙක් සියලු ම සතුන් ද සොබාදම් මාතාවගේ අපූර්ව නිර්මාණ ය. ඒ හෙයින් ම මානවයා සහ අනෙකුත් සතුන් අතර පවතින්නේ අවියෝජනීය සම්බන්ධතාවකි. අප නොසිතූ විරූ අවස්ථාවල විවිධ ලොකු – කුඩා සතුන්ගේ ක්‍රියාකාරකම් ලෝක ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කිරීමට සුවිශේෂී අයුරින් ඉවහල් වී තිබේ. මෙම ලිපිය වෙන්වන්නේ ඒ වෙනුවෙනි.

ඔසාමා බින් ලාඩන් හඹා යාමට උපකාර වූ කයිරෝ නම් සුනඛයා

2001 සැප්තැම්බර් 11 වන දින අමෙරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයේ මහමොළකරු ඔසාමා බින් ලාඩන් බවට හඳුනා ගැනීමත් සමඟ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් මෙහෙයුම් ඇරඹිණි. පසුව ඔහු පාකිස්තානයේ අබෝටාබාද් හි සැඟ වී සිටින බවට තහවුරු කරගැනීමෙන් අනතුරුව, බින් ලාඩන් අත්අඩංගුවට ගැනීමේ රහසිගත මෙහෙයුම ඇරඹිණි. 2011 මැයි මස 2වන දින ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුමේ දී පාකිස්තාන රජය පවා දැනුම්වත් කිරීමෙන් තොරව අමෙරිකන් හමුදා පාකිස්තාන දේශ සීමාවට ඇතුළු විය. බින් ලාඩන් ඝාතනය කර ඔහුගේ සිරුර අමෙරිකාවට රැගෙන යන තුරුත් පාකිස්තානය මේ ගැන කිසිවක් දැන සිටියේ නැත.

කයිරෝ නම් සුනඛයා –  www.theatlantic.com 

මෙම මෙහෙයුමට සහභාගී වූ විශේෂ හමුදා කාණ්ඩයට කයිරෝ නම් සුනඛයකු දායක වූ අතර එම සුනඛයා පිළිබඳ වැඩිමනත් තොරතුරු තවමත් ජනතාවට අනාවරණය වී නැත. කෙසේ වෙතත් එම සුනඛයා බෙල්ජියන් මෙලින්වා (Belgian Malinois) නම් සුනඛ වර්ගයට අයත් බව හෙළි ව ඇත. ඔවුන් ජර්මන් ෂෙපර්ඩ් සුනඛයන්ට සාපේක්ෂ ව කුඩා ශරීර ප්‍රමාණයකින්, තියුණු බුද්ධියකින්, තියුණු ඉව සහ ශක්තිමත් හනු යුගළක් සහිත වීම හේතුවෙන් එම වර්ගයේ සුනඛයන් දෙවන ලෝක යුද්ධයේ සිට ම අමෙරිකන් හමුදාව සිය මෙහෙයුම් සඳහා යොදා ගෙන තිබිණි.

කයිරෝ පිළිබඳ තොරතුරු තවමත් රහසක් ව පවතින අතර පසුව වාර්තා වූයේ සාර්ථක ලෙස මෙහෙයුම නිමා කළ හමුදා කාණ්ඩයට සුබ පැතීමට එවක අමෙරිකා ජනපති බරක් ඔබාමා පැමිණි අවස්ථාවේ දී කයිරෝ පිළිබඳ විමසූ බවත්, අසල කාමරයක රඳවා සිටි කයිරෝ බැලීමට ගිය බවත් ය.

ෆිදෙල් කැස්ත්‍රෝගේ බලය තහවුරු කළ පරෙවි ජෝඩුව

වර්ෂ 1959 දී සිදු වූ කියුබානු විප්ලවයෙන් පසුව උදා වූ මුල් සති  කිහිපය සන්සුන් කාලයක් නොවී ය. විප්ලවයට  නායකත්වය ලබා දුන් ෆිදෙල් කැස්ත්‍රෝට පැවති විශාලත ම අභියෝගය වූයේ දිගු කාලයක් සිවිල් යුද්ධයකට මුහුණ දුන් එරට ජන සමාජය සන්සුන් කර තමන්ට අවනත කර ගැනීම යි. ඔහු කියුබා අගනුවර වන හවානා හි දී සිය මංගල දේශනය සිදු කරන අතරතුර සිදු වූ විස්මිත සිදුවීමක් නිසා නොසිතූ තරම් ඉක්මනින් ජනතාවගේ අවනතභාවය දිනා ගැනීමට කැස්ත්‍රෝට හැකි විය.

Reenactment of Fidel Reaching Havana - Havana Times
ෆිදෙල් කැස්ත්‍රෝගේ බලය තහවුරු කළ පරෙවි ජෝඩුව – havanatimes.org 

ඒ “එකදු ලේ බිංදුවක් වත් හැලීමකින් තොරව තමා කියුබාවේ සියලු ප්‍රශ්න විසඳන බවට” ප්‍රතිඥා දීමත් සමඟ හදිසියේ කඩා වැදුණු සුදු පරවියන් දෙදෙනෙක් කැස්ත්‍රෝගේ මයික්‍රෆෝනය රඳවා තිබු පෝඩියමය මත ලැගුම් ගැනීමත් සමඟිනි. මෙම අනපේක්ෂිත සිදුවීම සාමය පිළිබඳ ස්ථාවර හැඟීමක් කියුබානු ජනතාව තුළ ස්ථාපිත කළ හැකි වූ අතර එතැන් පටන් වසර 49ක් නිරුපද්‍රිත ව සිය පාලනය ගෙන යාමට කැස්ත්‍රෝ සමත් විය.

 රජකු මරා දැමූ වඳුරා

ඒ වර්ෂ 1920 ඔක්තොම්බර් මස මුල් දිනයකි. ග්‍රීසියේ රජ වූ ඇලෙක්සැන්ඩර් රජු තම සුරතල් සුනඛයා සමඟ උද්‍යානයේ සෙල්ලම් කරමින් සිටි අතර ක්ෂණයෙන් එහි කඩා වැදුණු වඳුරකු බලු පැටියා සපා කන්නට විය. තම සුරතලා බේරාගැනීමට රජතුමා උත්සාහ කරමින් සිටිය දී හදිසියේම එතනට පැමිණි තවත් වඳුරෙකු රජු ද සපා කෑවේ ය. එයින් රජු තදබල ලෙස රෝගී වූ අතර එම වසරේ ම ඔක්තෝබර් 25 වන දින අභාවයට පත් විය. වසර 27 තරම් තරුණ වයසේ දී ඇලෙක්සැන්ඩර් රජු මිය යන්නේ, පාලනයේ ඉතා අසමත් වූත් එනිසා ම තම පුතුට රජකම පවරා දීමට සිදුවූත් ඔහුගේ පියා වූ කොන්ස්ටන්ටයින් වෙත ම නැවත රජකම උරුම කරමිනි.

ග්‍රීසියේ රජ වූ ඇලෙක්සැන්ඩර් රජු – sites.google.com

කොන්ස්ටන්ටයින් රජුගේ දෙවන ධූර කාලය තුළ ග්‍රීසිය තුර්කිය සමඟ යුද වැදීමත්, වසර 1922 දී ග්‍රීසිය ඉන් දරුණු ලෙස පරාජයට පත් වීමත් සිදු විය. මෙම අභාග්‍යසම්පන්න සිද්ධි දාමය ම ග්‍රීසියට උදා කළේ වඳුරකු වූ අතර, හිටපු බ්‍රිතාන්‍ය අගමැති සර් වින්ස්ටන්ට් චර්චිල්වරක් ප්‍රකාශ කර සිටියේ එම වඳුරා ඇලෙක්සැන්ඩර් රජුගේ පමණක් නොව යුද්ධය නිසා අහිමි වූ ලක්ෂ දෙකහමාරක් පමණ මිනිස් ජීවිතවලට වගකිව යුතු බව යි.

 අමෙරිකානු හමුදා සතුරන්ගෙන් ගලවා ගත් පරෙවියා

චෙයා අමි (Cher Ami) නම් පරෙවියා යොදා ගැනුණේ අමෙරිකානු සහ ප්‍රංශ හමුදා අතර පණිවිඩ හුවමාරුව පිණිස ය. වර්ෂ 1918 ඔක්තොම්බර් මස දී දරුණු ලෙස වෙඩි පහරකට ලක් ව සිටියදීත් එය නොසලකා පණිවිඩයක් නිසි ස්ථානය දක්වා රැගෙන යාම නිසා අමෙරිකානු හමුදා ඛණ්ඩයක් සතුරන්ගෙන් ගලවා ගැනීමට එම පරෙවියාට හැකි විය.

Cher Ami: The Pigeon that Saved the Lost Battalion - World War I Centennial
චෙයා අමි (Cher Ami) නම් පරෙවියා – www.worldwar1centennial.org 

වරක් ඊසානදිග ප්‍රංශයේ සිදු කළ මියුස් ආගොන් මෙහෙයුමේ නිරත ව සිටිය දී මේජර් ජෙනරාල් චාර්ල්ස් විටල්සි සහ 77වන අනුඛණ්ඩයට අයත් භට පිරිසක් අතුරුදහන් විය. මේජර් ජෙනරාල්වරයාගේ පණිවිඩය නිසි ලෙස  අමෙරිකානු හමුදා වෙත ලබා දීම නිසා අතුරුදහන් ව සිටි භට පිරිස් මුදා ගැනීමට හැකි විය. 1919 ජූලි මස දී මෙම පරෙවියා මිය ගිය පසු සංරක්ෂණය කර අමෙරිකාවේ ස්මිත්සොනියන් (Smithsonian) කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ.  

පළමු වරට විශ්වයට ගිය ලයිකා නම් සුනඛ ධේනුව

ලෝකයේ පළමු වරට ජීවීන් සහිත යානාවක් පෘථිවියෙන් එපිට විශ්වයට යැවීමේ ගෞරවය හිමිවන්නේ සෝවියට් රුසියාවට යි. ඒ වර්ෂ 1957 නොවැම්බර් මස 03 වන දින ලයිකා නම් බැල්ල රැගත් ස්පුට්නික් 2 කැප්සූලය ගුවන්ගත කිරීමත් සමඟ ය. අභ්‍යවකාශගත වී සතියක කාලයක් ලයිකා හොඳින් ජීවත් වූ බව රුසියානුවන් මුලින් ප්‍රකාශ කළ ද වසර 2002 දී අනාවරණය වූයේ අධික උණුසුම හා මානසික පීඩනය නිසා අභ්‍යවකාෂගත ව කෙටි කලකින් ඇය මිය ගොස් තිබූ බවයි.

Laika, the first animal in space | Space lessons | DK Find Out!
පළමු වරට විශ්වයට ගිය ලයිකා නම් සුනඛ ධේනුව – www.dkfindout.com 

ඉන් ඉක්බිති වර්ෂ 1960 දී බෙල්කා සහ ස්ට්‍රෙල්කා නම් සුනඛයන් දෙදෙනා රුසියාව යළිත් අභ්‍යවකාශගත කළ ද නිරුපද්‍රිත ව නැවතත් මෙලොවට පැමිණීමට ඔවුන්ට හැකි විය. රුසියානු ජාතික විද්‍යාඥයකු වූ යූරි ගගාරින් අභ්‍යවකාශයට යාමත් සමඟ වර්ෂ 1961 වාර්තා පොත් අතරට එක් වන්නේ මිනිසකු ප්‍රථම වරට අභ්‍යවකාශගත වූ වසර වශයෙනි. මෙහි කූඨප්‍රාප්තිය 1969 ජූලි 20 වන දින අමෙරිකා එක්සත් ජනපදය මිනිසුන් සහිත යානාවක් සඳ මත නිරුපද්‍රිත ව ගොඩ බැස්වීම සමඟ එළඹිණි. මේ සමස්ත ඓතිහාසික ක්‍රියාදාමයෙහි පළමුවන පියවර සනිටුහන් වන්නේ ලයිකා නම් සුනඛ ධේනුවගේ ජීවිත පරිත්‍යාගයෙනි.

ක්ලෝනකරණ සිහිනය යථාර්ථයක් කළ ඩොලී නම් බැටළුවා 

වර්ෂ 1996 ජූලි 05 වන දින ඩොලී (Dolly) උපත ලැබුවේ ඇගේ මව්වරුන් තිදෙනාගෙන් එක් අයකුගේ කුස තුළිනි. මෙහි දී වැඩුණු සත්ත්ව සෛලයක් කෘත්‍රිම ව වර්ධනය කර ගර්භාෂයක් තුළ තැන්පත් කිරීමක් සිදු කර තිබිණි. පෙනහල්ලේ සිදු වූ ආසාදනයක් නිසා ඩොලී වසර 06 ක් තරම් කුඩා වියේ දී මෙලොව හැර ගිය ද පසුකාලීන ව ක්ලෝනකරණය නිසා උපන් සතුන් ඉතා නීරෝගී විය.

Professor Ian Wilmut stands beside Dolly the Sheep, who he helped clone. Image courtesy: The Roslin Institute
මහාචාර්ය ඉයන් විල්මුට් ඩොලී නම් බැටළුවා සමඟ  – www.firstpost.com 

මිනීමැරුමක් හෙළිදරව් කළ ස්නෝබෝල් නම් බළලා 

1994 දී කැනඩා වෙරළ තීරයට ආසන්නයේ පිහිටි කුඩා දූපතක් වන එඩ්වර්ඩ් අයිලන්ඩ් හි ජීවත් වූ 32 හැවිරිදි ශර්ලි ඩුවග්වායි නම් කාන්තාවක් අතුරුදන් වූවා ය.  පසුව ඇය ඝාතනය කර සිටිය දී සොයා ගැනිණි. ඇගේ මරණය සඳහා ඇගේ සැමියා වගකිවයුතු බවට සැකයක් පැවතිය ද අපරාධය අනාවරණය කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි හමු නොවී ය. ඇගේ රුධිරය තැවරුණු ජැකට්ටුවක් සහ තවත් උපකරණ ප්‍රදේශවාසියකු වනාන්තරයෙහි තිබී සොයා ගත් අතර ඒවායෙහි තැවරී තිබූ සුදු පැහැති බළල් ලොම් සියලු දෙනාගේ අවධානයට ලක් විය.

පසුව යුනයිටඩ් කැන්සර් ඉන්ස්ටිටියුට් (United Cancer Institute) හි දී සිදු කළ ඩී.එන්.ඒ. පරීක්ෂණයකින් අනාවරණය වූයේ එම සුදු පැහැති ලොම් ඇගේ සැමියා වූ ඩග්ලස් බීමිෂ් සුරතලයට ඇති දැඩි කරන ස්නෝබෝල් නම් බළලාගේ බව යි. පසුව වෙනත් කුඩා ප්‍රමාණයේ සාක්ෂි ද උපයෝගී කර ගනිමින් ඩග්ලස්ගේ වරදකාරීත්වය තහවුරු කරගත හැකි විය. මෙය සැලැකෙන්නේ අපරාධයක් විසඳීමට සත්ත්ව ඩී.එන්.ඒ. යොදා ගත් පළමු අවස්ථාව වශයෙනි. එතැන් පටන් ලෝකයේ සිදු වූ අපරාධ රාශියක් අනාවරණය කරගැනීමට සත්ත්ව ඩී.එන්.ඒ. ආශ්‍රිත ව සිදුකළ පර්යේෂණ ඉවහල් වී තිබේ.  

Snowball: The Cat That Convicted a Killer - NONFICTION MINUTE
මිනීමැරුමක් හෙළිදරව් කළ ස්නෝබෝල් නම් බළලා  – www.nonfictionminute.org 

ඒ අනුව කිව හැක්කේ මානව වංශකතාවේ සෑම පිටුවක් ම මිනිසා අතින් පමණක් ලියවුණු ඒවා නොවන බව යි. ඉහත කුඩා සිදුවීම් පෙළ අපට මතක් කර දෙන්නේ එහි බොහෝ පරිච්ඡේද විවිධ සත්ත්ව රූපවලින් ද හැඩ වී ඇති බව යි.

කවරයේ ඡායාරූපය- www.sheknows.com 

මූලාශ්‍ර:

Daily mirror - Russian tea ban; insect detection an isolated incident-SL 

Elizabeth Nix, 5 Animals That Helped Change History - www.history.com 

Tim Flight, 40 Animals that Changed History - www.history.com

Mara Bovsun, Killer didn't have a 'Snowball's' chance as cat's DNA puts him away in the murder of gal pal - www.nydailynews.com  

Related Articles