පරිසර සංරක්ෂණය සඳහා වෙන් කරන ලද භූමි ප්‍රදේශයක්, සරල ව ජාතික වනෝද්‍යානයක් ලෙස අර්ථ දැක්වීමේ වරදක් නැහැ. කිසියම් රාජ්‍යයක් විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික වනෝද්‍යානයක් ස්වභාවික, අර්ධ-ස්වභාවික, හෝ සංවර්ධනය කරන ලද රක්ෂිතයක් විය හැකි අතර, ජාතික වනෝද්‍යාන ප්‍රකාශයට පත් කිරීමේ දී විවිධ රාජ්‍යයන් නොයෙක් ක්‍රමවේදයන් අනුගමනය කළ ද ඔවුන්ගේ මූලික අරමුණ වන්නේ ජාතික වශයෙන් වැදගත්කමක් ඇති ස්වභාවික සම්පත් මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම යි. පරිසර සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (International Union for Conservation of Nature හෙවත් IUCN) මඟින් ඉදිරිපත් කර ඇති නිර්වචනය අනුව මහා පරිමාණ පාරිසරික ක්‍රියාවලි ආරක්ෂා කිරීම සඳහා වෙන් කර ඇති අදාළ ප්‍රදේශයට ආවේණික ජීව විශේෂ සහ පරිසර පද්ධතීන්ගෙන් සමන්විත ආධ්‍යාත්මික, විද්‍යාත්මක, අධ්‍යාපනික, විනෝදාත්මක සහ නරඹන්නන් සඳහා අවස්ථාවන් සහිත පාරිසරික සහ සංස්කෘතිකමය වශයෙන් අනුරූප පදනමක් සපයන ස්වභාවික හෝ බොහෝදුරට ස්වභාවික විශාල භූමියක්, ජාතික වනෝද්‍යානයක් ලෙස සැලකෙනවා.
මුල්වරට ‘ජාතික වනෝද්‍යාන’ යන සංකල්පය ලොවට හඳුන්වා දී ඇත්තේ උතුරු ඇමෙරිකානුවන් වුව ද, ඈත අතීතයේ සිට ම පරිසරය සුරැකීමේ අරමුණෙන් රාජ්‍ය අනුග්‍රහය යටතේ ආරක්ෂා කරන ලද ස්වභාවික භූමි ප්‍රදේශ පැවතී තිබෙනවා. මේ ලිපිය පරිසර සංරක්ෂණයට මංපෙත් විවර කළ ලොව මුල් ම ජාතික වනෝද්‍යාන ගැන යි.
විරුංගා ජාතික වනෝද්‍යානය (කොංගෝ ජනරජය)
අප්‍රිකානු මහද්වීපය සතු පැරණි ම ජාතික වනෝද්‍යානය ලෙස සැලකෙන ‘විරුංගා ජාතික වනෝද්‍යානය’ බෙල්ජියමේ පළමුවැනි ඇල්බට් රජු විසින් 1925 දී ප්‍රකාශයට පත් කර ඇත්තේ ‘ඇල්බට් ජාතික වනෝද්‍යානය’ යන නාමයෙන්. එය පිහිටුවීමේ මූලික අරමුණ වී ඇත්තේ විරුංගා කඳුකරයේ වාසය කරන කඳුකර ගෝරිල්ලන් ආරක්ෂා කිරීම යි. 1969 දී කොංගෝ ජනරජය නිදහස ලබා ගැනීමෙන් අනතුරුව අක්කර 1,920,000ක භූමි ප්‍රදේශයක් ආවරණය කරන වනෝද්‍යානය, ‘විරුංගා ජාතික වනෝද්‍යානය’ ලෙස නම් කර තිබෙනවා. වසර ගණනාවක් තිස්සේ කොංගෝ ජනරජය තුළ පවතින යුදමය වාතාවරණය, ගල්අඟුරු කර්මාන්තය, සහ සත්ත්ව දඩයම් හේතුවෙන් විරුංගා ජාතික වනෝද්‍යානයේ වාසය කරන විශේෂ 706කට අයත් පක්ෂීන් සහ ක්ෂීරපායීන් විශේෂ 218, දැඩි අවදානමකට මුහුණ දී ඇති බව යි වාර්තා වන්නේ. විරුංගා ජාතික වනෝද්‍යානය, යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇත්තේ 1979 දී යි.
බොගද් ඛාන් උල් ජෛවගෝල රක්ෂිතය (මොංගෝලියාව)
14 වැනි සියවසේ දී පමණ මුල්වරට ශුද්ධ වූ කඳුවැටියක් ලෙස වන්දනාමාන කිරීම අරඹන ලද මොංගෝලියාවේ බොගද් ඛාන් කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශය, යුනෙස්කෝ සංවිධානය විසින් ජෛවගෝල රක්ෂිතයක් ලෙස නම් කර ඇත්තේ 1996 දී යි. 1783 දී ප්‍රථම වතාවට එය රක්ෂිත ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ චින්ග් රාජ වංශය විසින්. එතැන් පටන් අද දක්වා ම බොගද් ඛාන් උල් ජෛවගෝල රක්ෂිතය, කේතුධර වනාන්තරයන්ට, වඳ වීමේ තර්ජනයට ලක් ව සිටින කස්තුරි මුවන්ට සහ තවත් ජීව විශේෂ ගණනාවකට නවාතැන් සපයනවා. ආසන්න වශයෙන් අක්කර 166,302ක බිම් පෙදෙසක් ආවරණය කරන එය සැලකෙන්නේ ලෝකය සතු පැරණි ම රක්ෂිතය ලෙස යි.
රාජකීය ජාතික වනෝද්‍යානය (ඕස්ට්‍රේලියාව)
වෙරළබඩ ප්‍රපාතයන්, දුලබ විහඟුන් සහ සොඳුරු කලපු බහුල ‘රාජකීය ජාතික වනෝද්‍යානය’ එසේ නම් කර ඇත්තේ එක්සත් රාජධානියේ දෙවැනි එළිසබෙත් රැජිනට කරන ගෞරවයක් ලෙස යි. අක්කර 37,120ක භූමි ප්‍රදේශයක් ආවරණය කරමින් පිහිටා ඇති එය සියවස් ගණනාවකට පෙර ග්වෙගල් ඇබොරිජිනල්වරුන්ගේ වාසස්ථානයක් ලෙස පැවතී තිබෙනවා. වර්තමානයේ දී දැකගැනීමට ලැබෙන ජාතික වනෝද්‍යානය නිව් සවුත් වේල්ස් හි මහා අමාත්‍ය ලෙස කටයුතු කළ සර් ජෝන් රොබට්සන් විසින් පිහිටුවා ඇත්තේ 1879 දී යි. ගෙවී ගිය කාලය තුළ දී රාජකීය ජාතික වනෝද්‍යානයේ ප්‍රමාණය දෙගුණයකින් ඉහළ ගොස් තිබුණ ද නිරන්තරයෙන් ම ඇති වන ලැව්ගිනි, එහි පැතිරීමට බරපතළ තර්ජනයක් එල්ල කරන බව යි වාර්තා වන්නේ.
සාරෙක් ජාතික වනෝද්‍යානය (ස්වීඩනය)
ග්ලැසියර සියයකට මැදි ව දැවැන්ත ගෝනුන් දහස් ගණනකට නවාතැන් සපයන ‘සාරෙක් ජාතික වනෝද්‍යානය’ ස්වීඩනයේ පුෂ්ප සහ සත්ත්ව විවිධත්වය නිරීක්ෂණය කිරීම සඳහා අපූරු ස්ථානයක්. යුරෝපයේ ප්‍රථම ජාතික වනෝද්‍යානය ලෙස සැලකෙන එය පිහිටුවීම සඳහා මුල්වරට අදහසක් ඉදිරිපත් කර ඇත්තේ ඇඩොල්ෆ් එරික් නෝඩන්ස්කිල්ඩ් නම් ෆින්ලන්ත ජාතික ගවේෂකයා යි. ඒ අනුව 1909 දී ස්වීඩනයේ පාර්ලිමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කරන සාරෙක් ජාතික වනෝද්‍යානය සතු ව මුහුදු මට්ටමේ සිට උස මීටර් 2,000 ඉක්මවන කඳුවැටි 6ක් පවතින බව යි වාර්තා වන්නේ.
යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානය (ඇමෙරිකා එක්සත් ජනපදය)
1872 දී ‘ජාතික වනෝද්‍යාන’ යන සංකල්පය ලොවට හඳුන්වා දෙමින් ස්ථාපනය කරන ලද ‘යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානය’ වයෝමිං, මොන්ටානා, සහ ඉඩාහෝ යන ප්‍රාන්ත ආවරණය වන අයුරින් අක්කර 2,221,766 භූමි ප්‍රදේශයක් පුරා විහිදී තිබෙනවා. යූලිසීස් එස්. ග්‍රාන්ට් ජනාධිපතිවරයා මැදිහත් වීම මත ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කරන ලද එය 1978 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇත්තේ භූ විද්‍යාත්මක වශයෙන් එහි ඇති වැදගත්කම සැලකිල්ලට ගෙන යි. එසේ ම ලොව විශාලතම උණුදිය උල්පත් එකතුව දැකගැනීමට ලැබෙන්නේ ද යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානයේ දී වන අතර වසර 11,000 අධික කාලයක් තිස්සේ එය මනුෂ්‍ය වාසස්ථානයක් ලෙස පැවතී ඇති බව පුරාවිද්‍යාත්මක සාක්ෂ්‍ය මඟින් අනාවරණය වී තිබෙනවා.
නැහ්‍යුල් හූපි ජාතික වනෝද්‍යානය (ආජන්ටිනාව)
දකුණු ඇමෙරිකාවේ පැරණි ම ජාතික වනෝද්‍යානය ලෙස සැලකෙන ‘නැහ්‍යුල් හූපි ජාතික වනෝද්‍යානය’ පිහිටා ඇත්තේ අක්කර මිලියන 2කට ආසන්න භූමි ප්‍රදේශයක් පුරා විහිදී ඇති නැගෙනහිර දිග පැටගෝනියාවේ (ආජන්ටිනාවේ සහ චිලී රාජ්‍යයේ දකුණු ප්‍රදේශය) කඳුවැටි සහ ග්ලැසියර මැදි කරගෙන යි. 1903 දී ෆ්‍රැන්සිස්කෝ මොරීනෝ නම් ගවේෂකයා විසින් අදාළ බිම් පෙදෙස ආජන්ටිනා රජයට පරිත්‍යාග කර ඇත්තේ එය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කරන බවට වූ පොරොන්දු මත වන අතර 1934 දක්වා ම ඔහුගේ පොරොන්දුව ඉටු වී නැහැ. වර්තමානයේ දී ආජන්ටිනා රජය මඟින් පරිපාලනය වන නැහ්‍යුල් හූපි ජාතික වනෝද්‍යානයේ දී දක්ෂිණ ගංගා දියබල්ලා, ටොරන්ට් තාරාවා, සහ ඉම්පීරියල් කෝමරන්ට් වැනි දකුණු ඇමෙරිකාවට ආවේණික ජීව විශේෂ රැසක් දැකගැනීමට ලැබෙනවා.
කවරයේ පින්තූරය: (© Lyndon Schmidt) යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානය