මුතුරාජවෙල තෙත්බිම ගොඩකර තැනීමට යන හෝටල් ව්‍යාපෘතියක් ගැන මාධ්‍යවලින් මෙන්ම පරිසර සංවිධානවලින් ද විරෝධය එල්ල වුණේ සති කිහිපයක සිට යි. පසුව ජනාධිපතිවරයා මුතුරාජවෙල නැරඹීමට ගොස් එම ගොඩකිරීම වහාම නවත්වන ලෙස නියෝග කර තිබුණා. ඒ සඳහා කලින් ලබා දී තිබූ අවසරය අවලංගු කළා. මුතුරාජවෙල අක්කර 406ක් ගොඩ කර ඉදිකිරීම් කිරීමට පෞද්ගලික ආයතනයකට අවසර ලබා දුන් රාජ්‍ය නිලධාරීන්ටත්, මුතුරාජවෙල අභය භූමිය නිසි පරිදි සුරැකීමට කටයුතු නොකළ රාජ්‍ය නිලධාරීන්ටත් විරුද්ධව වින්‍යානුකූල පියවර ගැනීමට යන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.
ඉතින් ඇයි මේ මුතුරාජවෙල මෙතරම් වැදගත්?
පිහිටීම
කැලණි නදී මෝයේ සිට මීගමුව කලපුව අතර මුතුරාජවෙල තෙත්බිම් පද්ධතිය පිහිටා තිබෙනවා. කොළඹට කි. මී. 20ක් උතුරෙන් ආරම්භ වී, කි. මී. 30ක් දුර පිහිටි මීගමුව කලපුව දක්වා එය විහිද යනවා. මුහුදට සමාන්තරව ඇදී යන මෙම තෙත්බිම බටහිරින් හැමිල්ටන් ඇළට සහ නැගෙනහිරින් පැරණි ඕලන්ද ඇළටත් සීමා වෙන මෙය වත්තල සහ ජාඇළ මැතිවරණ කොට්ඨාසවලට අයත්. බොහෝ දෙනෙකු ගමන් කරන කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ වැඩිම කොටසක් වැටී ඇත්තේ මේ පරිසර පද්ධතිය මැදින්.
ඉතිහාසය බලමු
මේ බිම අදින් වසර 5000කට පමණ පෙර ආරම්භ වන්නට ඇති බව භූවිද්‍යාඥයන්ගේ මතය යි. කෝට්ටේ යුගයේ දී (15-16 සියවස්) මුතුවන් සහල් ලබාදුන් විශාල වෙල්යායක් මේ ප්‍රදේශයේ පැතිර තිබුණා. ඒ නිසා මුතුරාජවෙල නම් වුණා. මෙයට යාව පිහිටි මීගමු කලපුව සහ වරාය කෝට්ටේ යුගයේ දී ප්‍රධන නැව් තොටක් වශයෙන් ද වැදගත් වුණා. පෘතුගීසින් කැලණි මෝයේ සිට මීගමුව දක්වා මේ වෙල්යාය හරහා ඇළ මාර්ගයක් කැපුවා. ඊට පසු ලුණු මිශ්‍ර ජලය වෙල්යායට කාන්දු වන්නට වුණා. මේ නිසා වෙල්යායේ සාරවත් බව අඩුවුණු බව ලන්දේසි ලේඛනවල දැක්වෙනවා.
පෘතුගීසීන්ගේ ඇළ ලන්දේසින් විසින් තවත් දියුණු කර භාණ්ඩ ප්‍රවාහනයට යොදාගත්තා. එය අද ඕලන්ද ඇළ නමින් හැඳින්වෙනවා. 1796 දී මුහුදුබඩ පළාත් යටත් කරගත් ඉංග්‍රීසින්, මුතුරාජවෙල මුහුදට ආසන්නව තවත් ඇළක් කැපුවා. ඒ හැමිල්ටන් ඇළ යි. 1802 දී එය නිමා කළා. මේ නිසා ලුණු වතුර රට තුළට ඒම තවත් ඉහළ ගොස් මුතුරාජවෙල වගුරුබිමක් බවට පත් වුණා. මේ අමන ක්‍රියාව නිසා හැමිල්ටන් ඇළට සිංහලයන් “මෝඩ ඇළ” කියන්න පටන් ගත්තා. මුතුරාජවෙල වගුරේ බහුලව ඇත්තේ අර්ධ වශයෙන් දිරාගිය පීට්. අප රටේ විශාලතම පීට් වගුර මෙයයි. පීට් කියන්නේ ගල් අඟුරුවල මූලික අවස්ථාව යි. තවත් දීර්ඝ කාලයක් ඒවා දිරාපත් වීමෙන් පසු ගල්අඟුරු බවට පත්වෙනවා.
පාරිසරික වැදගත්කම
මුතුරාජවෙල මීගමු කලපුවත් සමඟ ගත්විට හෙක්‌ටයාර් 6232කට ආසන්න ප්‍රදේශයක ව්‍යාප්ත වී තිබෙනවා. තෙත්බිම පමණක් විශාලත්වයෙන් හෙක්ටයාර් 3068ක් වෙනවා. ශ්‍රී ලංකාවේ වැදගත්ම තෙත්බිම් 12 අතරට ද මුතුරාජවෙල අයත්.
පරිසර සුන්දරත්වය නැරඹීම
ලාභ නොලබන ප්‍රජා ක්‍රියාකාරී ආයතනයක් වන මුතුරාජවෙල පරිසර කේන්ද්‍රය මගින් තෙත්බිම හරහා බෝට්ටු චාරිකා පවත්වාගෙන යනවා. පරිසර කේන්ද්‍රය පිහිටා ඇත්තේ ජාඇළ තුඩැල්ලෙන් හැරී යන බෝපිටිය-වැලිකැටිය හන්දියට නුදුරින්, හැමිල්ටන් ඇළ ඉවුරේ. මෙහි ගියොත් ධීවර කර්මාන්තය, තෙත්බිමක විවිධත්වය නරඹන්න වගේම මීගමුව කලපුව සහ දඩුගම්ඔය ඉහත්තාවටත් බෝට්ටු සවාරි යාමට ඔබට පුලුවන්. මුතුරාජවෙල වැදගත්කම ගැන වාර්තා චිත්‍රපට නැරඹීමටත් එහි දී අවස්ථාව ලැබෙනවා.
අභය භූමිය
තෙත් බිමේ උතුරු දෙසට වන්නට හෙක්‌ටයාර 1028.62ක භූමි ප්‍රදේශයක් 1996 ඔක්‌තෝබර් 31වැනි අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කළා. අභය භූමියට ඇති විය හැකි බලපෑම අවම කිරීම සඳහා ප්‍රේරණ කලාපයක් (Buffer Zone) නම් කළා. අභය භූමියට ප්‍රබල පරිසර හානි සිදු වීම නිසා විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රේරණ කලාපය, පාරිසරික ආරක්‍ෂණ කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කොට තිබෙනවා. මෙලෙස නීතිමය ආරක්ෂාවක් ලැබුණ ද මෙම පරිසර පද්ධතියට වන හානි නම් දිනෙන් දින වැඩිවෙනවා මිස අඩුවක් නැහැ.
මීගමු කලපුව
මුතුරාජවෙල මෙන්ම ආසියානු තෙත්බිම් නාමාවලියේ ලේඛනගත වී ඇති මීගමු කලපුව, ශී‍්‍ර ලංකාවේ පිහිටි මුහුදු තෘණ බිම් හා කඩොලාන පරිසර පද්ධති මගින් මසුන් හා කකුළුවන් ඇතුළු ජලජ සත්ත්ව විශේෂ රාශියකට පෝෂණය හා රැකවරණය ලබා දෙන බිමක්. එහි විශාලත්වය හෙක්ටයාර් 3164ක් පමණ වෙනවා. එය ධීවරයන් 3500කට පමණ සෘජුවම රැකියා සපයමින්, ධීවර යාත‍්‍රා 2500කට පමණ නැංගුරම් පහසුකම් සපයනවා.
මීගමු කලපුවට වැටෙන දඩුගම්ඔය මෝයට නුදුරින් පිහිටි වනවදුලින් වැසුණු දූපත් වලින් යුතු ඉසව්ව අගනා පාරිසරික කලාපයක්. මුතුරාජවෙලින් වාර්තා වන ක්ෂීරපායීන් රැසක් මේ දූපත්වල ද ජීවත් වෙනවා. ඒ අතර රිළවා සුලබයි.
තුරුලතා
මුතුරාජවෙල ශාක විවිධත්වය සැලකීමේ දී ප්‍රධාන ශාක ප්‍රජාවන් 07ක් නියෝජනය කරන, විශේෂයන් 192ක තුරුලතාවලට මෙය තෝතැන්නක් වෙලා. මෙහි ඇති ඉතා වැදගත් ශාක ප්‍රජාව ලෙස කලපු ගංමෝය අවට පැතිර තිබෙන කඩොලාන හැඳින්විය හැකි යි. ශ්‍රී ලංකාවේ හඳුනාගෙන ඇති කඩොලාන විශේෂ 22න් 18ක්‌ම මුතුරාජවෙල හා මීගමු කලපුව ආශ්‍රිතව නිරීක්‍ෂණය කිරීමට පරිසරවේදීන්ට හැකියාව ලැබී තිබෙනවා.
පක්ෂීන්
අප රට තුළ දැනට වාර්තා වී ඇති පෘෂ්ඨවංශීන් ගෙන් විශේෂ 232ක් මෙහි ජීවත් වෙනවා. මේ තෙත් බිම් පරිසර පද්ධතිය නියෝජනය කරන ඉතා වැදගත් සත්ත්ව විශේෂය වන්නේ පක්‍ෂීන්. මෙහි කුල 42කට අයත් පක්‍ෂි විශේෂයන් 102ක් වාර්තා වන බව ලෝක සංරක්‍ෂණ සංගමය සඳහන් කරනවා. මුතුරාජවෙල අභය භූමියේ උතුරු හා මධ්‍යම ප්‍රදේශ ඉතා වැදගත් පක්ෂි අභිජනන මධ්‍යස්‌ථාන ලෙස ද, මීගමු කලපු ආශ්‍රිත ප්‍රදේශය ගොදුරු හා විවේක ස්‌ථානයක් ද වශයෙන් වැදගත් වෙනවා. මේ පක්ෂි විශේෂ 102න් 19ක් සිසිර සෘතු සංක්‍රමණික පක්‍ෂීන් වීම ද විශේෂ කරුණක්. දියකාවන්, කොකුන්, විවර තුඩුවන්, කෑදැත්තන්, සේරුන්, උකුස්‌සන්, කුරුලුගොයන්, කිරලුන්, සිලිබිල්ලන්, බටගොයන්, බිඟුහරයන්, ගිරවුන්, පිළිහුඬුවන්, හා වැහිළිහිණියන් වැනි පක්‍ෂි විශේෂයන් බොහොමයක් මුතුරාජවෙල දී සුලබව දැකගත හැකියි. කුස ඇලි සයුරුකුස්‌සා, පුංචි දියකාවා, පුංචි ගෙඹි තුරුවා, අළු කොකා, කරවැල් කොකා, පොදු දම් කිතලා, කළුපිය ඉපල් පාවා, යුරෝපියානු ගොළු කිරලා, මල් පිළිහුඩුවා, පොම්පදෝරු බටගොයා වැනි පක්‍ෂීන් සුලබ යි. එසේම, සංචාරක පක්‍ෂින් අතර බටහිර වගුරු හැරිකුස්‌සා, ගෝමර හැරිකුස්‌සා, අළුපිය කාඟුල් ළිහිණියා, නිල් පෙඳ බිඟුහරයා ආදී පක්‍ෂීන් ද සුලබව දැකගත හැකි යි. මීගමුව කලපුවේ කඩොලාන වනාන්තර අවට සහ දඩුගම්ඔය මෝය අවට ප්‍රදේශය පර්යටනික පක්ෂීන් නැරඹීමට කදිම යි.
ක්ෂීරපායීන් සහ අනෙකුත් සතුන්
මුතුරාජවෙලින් කුල 14කට අයත් ක්‍ෂීරපායීන් විශේෂ 22ක් වාර්තා වෙනවා. රිළවා, උණහපුළුවා, ඉත්තෑවා, උරුලෑවා, දිය බල්ලා, හඳුන් දිවියා, කොළ දිවියා, මීමින්නා ඒ අතර සිටිනවා. ගැට කිඹුලා (Crocodylus porosus) ද මුතුරාජවෙල දිවිගෙවනවා. අතීතයේ දී මෙහි ඉතා විශාල ගැට කිඹුලන් ගහනයක් වාර්තා වුව ද මිනිසුන් මස් පිණිස දඩයම් කිරීම නිසා උන් දැඩි තර්ජනයකට මුහුණ පා සිටිනවා. හැමිල්ටන් ඇළේ දී ද කිඹුලන් නැරඹීමට සමහරවිට අවස්ථාව ලැබෙනවා.
ශ්‍රී ලංකාවේ හමු වන ඉතා දුර්ලභ සර්ප විශේෂයක් වන කඩොලාන දියබරියා ද මුතුරාජවෙලින් හමුවන උරගයෙක්. දැනට ශ්‍රී ලංකාවෙන් කඩොලාන දියබරියා ගේ (Gerarda prevostiana) නිදර්ශක හමු වී ඇත්තේ පහක් පමණක් වන අතර, එයින් තුනක්‌ම හමු වී ඇත්තේ කැලණි ගඟ, මීගමු දූව, හා මුතුරාජවෙල අභය භූමිය ආශ්‍රිතව යි.
ආශ්‍රිත මූලාශ්‍ර
ශ්‍රී ලංකාවේ රක්ෂිත වනාන්තර- කුසුම්සිරි විජයවර්ධන
Muthurajawela Wetland- IUCN Report
පුවත්පත් වාර්තා