ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ සයීටීස් (CITESCoP18) ජාත්‍යන්තර සමුළුව හෙවත් “වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති වන සතුන් හා ශාකවල අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ සම්මුතිය” සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ සමුළුව ජිනීවාහි පිහිටි සයිටීස් මහලේකම් කාර්යයාලයේ ඉල්ලීම මත කල්දමා ඇති බව සඳහන් වෙනවා.
ඊට හේතුව ලෙස සඳහන් වෙන්නේ ශ්‍රී ලංකාවේ පවතින අයහපත් ආරක්ෂක තත්ත්වය යි. මෙම සමුළුව පැවැත්වීමට නියමිතව තිබුනේ මෙම වසරේ මැයි 23 සිට ජූනි 3 වන දා දක්වා යි. 4/21 පාස්කු ප්‍රහාරයත් සමග ඇති වී තිබෙන අර්බුදකාරී වාතාවරණය තවම පහව ගොස් නොමැතිවීම මීට ප්‍රධානතම හේතුව යි.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලම සමුළුවක් වන මෙය රටවල් 183ක නියෝජිතයන් 4500කගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුණා. සමුළුව කල් ගිය නමුත් මෙරට දී මෙම සමුළුව පැවැත්වීම සම්පූරණයෙන් අවලංගු කර නැති බවත්, එය නුදුරු දිනක දී පැවැත්වෙනු ඇති බවත් පැවසෙනවා. එය මෙම වසරේ සැප්තැම්බර් මාසයේ බොහෝ විට පැවැත්වෙනු ඇති. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකාව, සමුළුව පැවැත්වීමට තරම් ආරක්ෂාකාරී බව නිවේදනය කිරීමෙන් අනතුරුව සමුළුව පැවැත්වීමට කටයුතු කරන බවට සයිටීස් මහලේකම්වරයා දන්වා තිබෙනවා.
සයිටීස් (CITES) සම්මුතියේ 18 වැනි මහා සමුළුව
CITES (The Convention on International Trade in Endangered Species of WildFauna and Flora) යනු තර්ජනයට ලක් වූ වනජීවී හා ශාක විශේෂ ශාක විශේෂ අන්තර්ජාතික වෙළඳාම පිළිබඳව වූ සම්මුතිය යි. මෙය පළමු වරට ක්‍රියාවට නංවන්නේ 1975 වසරේ ජූලි මාසයේ යි. ආරම්භයේ දී ඒ සඳහා රටවල් 80ක් අත්සන් තැබූ අතර මේ වන විට මෙම සම්මුතිය පිළිගෙන ඇති රටවල් ප්‍රමාණය 186ක් වෙනවා. 1979 දී ශ්‍රී ලංකාව මෙම සම්මුතියට අත්සන් කරනවා. මෙහි මූලස්ථානය පිහිටා තිබෙන්නේ ඇමෙරිකාවේ වොෂින්ටන් ඩි.සිහි යි. සයිටීස් මහ ලේකම්වරයා එහි ප්‍රධාන තනතුර හොබවනු ලබනවා.
සම්මුතියේ මූලික අරමුණ වන්නේ වන සතුන් හා ශාක ඒවාගේ ස්භාවික ස්ථානයන්ගේ පැවැත්ම කෙරෙහි තර්ජනයක් ඇති නොවන අන්දමින් ඒවාගේ අන්තර්ජාතික වෙළඳාම නියාමනය කිරීම යි. ඒ සඳහා විවිධ කොන්දේසි යටතේ මෙම රටවල් 186ම බැදී සිටිනවා.
පැළෑටි, සතුන්, සහ නාමකරණය සඳහා වෙන වෙනම උපදෙස් ලබා දෙන කමිටු තුනක් මෙම සම්මුතිය විසින් නිර්මාණය කර තිබෙනවා. එම කමිටු විසින් සාමාජික රටවල ඉහත කාණ්ඩ තුන යටතේ සොයා බැලීම් හා පර්යේෂණ සිදු කරනවා. තව ද සාමාජික රටවල් සඳහා වසර තුනකට වරක් මහා සමුළුවක් පැවැත්වෙන අතර එම රටවල් එහිදී මුණගැසී සතුන් හා ශාකවල අන්තර්ජාතික වෙළෙඳාමට අදාළ තීරණ ගැනීම සිදු කරනවා. ඒ ඒ රටවල පිහිටි සයිටීස් කළමනාකරණ අධිකාරිය මඟින් ප්‍රධාන ලේකම් කාර්යයාලය සමග සම්බන්ධීකරණ කටයුතු කරන අතරම රට තුළ මෙම සම්මුතිය ක්‍රියාත්මක කිරීමට ද බැඳී සිටිනවා. ශ්‍රී ලංකාවේ ද මෙවැනි කළමනාකරණ අධිකාරියක් පිහිටා තිබෙනවා.
ශ්‍රී ලංකාව 18 වැනි මහා සමුළුවට සුදානම් වීම
2016 වසරේ සැප්තැම්බර් 05 වන දා ශී‍්‍ර ලංකා රජය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම සමුළුවේ සත්කාරකත්වය මෙරටට හිමිවෙනවා. මෙහි පළමු සමුළුව ස්විස්ටර්ලන්තයේ පැවති අතර අවසන් වරට පැවති 17 වන සමුළුව පැවැත්වෙන්නේ 2016 වසරේ දී දකුණු අප්‍රිකාවේ යි. මෙහිදී ශ්‍රී ලංකාව කළ ඉල්ලීමක් අනුව 18 වන සමුළුව 2019 වසරේ මෙරට පැවැත්වීමට සයිටීස් මහලේකම් කාර්යාලය තීරණය කරනවා.
සමුළුවේ මූලික අරමුණ සංරක්ෂණ සංකල්පය (Conservation Concept) වන බැවින් එය පරිසර හිතකාමී ලෙස සංවිධානය කිරීමට රජය විසින් විවිධ උපායමාර්ග සැලසුම් කරන ලද අතර, ඊට සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ද ඇතුළු කිරීමට තීරණය කොට තිබුණා.
ලංකාවට හිමි වීමට නියමිතව තිබූ ප්‍රතිඵල
“වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති වන සතුන් හා ශාකවල අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ සම්මුතිය” හි සමුළුව මෙරට පැවත්වූවා නම් එය ලෝකයේම අවධානය යොමුවෙන ප්‍රධාන පෙලේ සමුළුවක් වනු ඇති. ඒ හේතුවෙන් ලංකාව ලෝක සංචාරක ආකර්ෂණයට ලක් වීමේ හැකියාවක් ද තිබුණා. ලංකාවේ ජෛව විවිධත්වය, ශාක හා සත්ත්ව විශේෂ පිළිබඳව ලෝක ප්‍රජාවගේ අවධානය ලබා ගැනීමට තිබූ ඉතා වැදගත් අවස්ථාවක් ලෙසත් මෙය නම් කළ හැකි යි.
සමුළුව සඳහා ප්‍රබල රටවල් සමූහයක් සහභාගී වෙන බැවින් එය විදෙස් සම්බන්ධතා තර කරගැනීමට මහඟු පිටුවහලක් වන්නට ද ඉඩ තිබුණි.
නමුත් අවසානාවන්ත ලෙස පාස්කු ඉරිදා පුපුරා ගිය බෝම්බ සමූහය අප රට අත් කරගන්නට නියමිතව තිබූ මෙම ඉලක්ක සම්පුර්ණයෙන්ම කඩා වැට්ටවූ අතර, රටේ ආරක්ෂක තත්ත්වය යථා තත්වයට පත්වීමෙන් පසුව “වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති වන සතුන් හා ශාකවල අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ සම්මුතිය” හි සමුළුව සාර්ථකව පැවැත්වීමට හැකිවනු වනු ඇතැ යි අපි විශ්වාස කරමු.