Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලාංකේය ට්විටර් ලොව එක් කරලන TweetupSLහි 7වන වෙළුම

ලංකාවේ වාර්ෂිකව පැවැත්වෙන, වැඩිම ලාංකික පරිශීලක සංඛ්‍යාවක් සහභාගී වන එකම සමාජ ජාල සමුළුව වන TweetupSL මේ වසරේත් 7වැනි වරට පැවැත්වුණා. පෙර වසරේ දී මෙන්ම මරදානේ TRACE Expert Cityහි පවත්වන ලද මෙය දෙසැම්බර් මස 16 වැනි සෙනසුරාදා දහවල් 12 සිට රාත්‍රී 7 දක්වා දිවුණා. ලාංකේය ට්විටර් පරිශීලකයන්ගේ විවිධ වයස් පරාසයන්හි අය මෙන්ම ඔවුන්ගේ දරුවන් ද මෙවර සහභාගීව සිටි අතර ඒ හැම කෙනෙක්ටම අලුතින් අය හඳුනාගන්නට, තම මිතුරන් සමඟ විනෝද වන්නට, සහ ඔවුන් සමඟ හොඳ ඡායාරූප ටිකක් අරගෙන සුන්දර මතකයන් රැසක් එක් කරගන්නට පමණක් නොව අවුරුද්ද මුළුල්ලේ තමන් අනෙකුත් ට්වීප්ස්ලා වෙනුවෙන් කරන ලද දේවල් වෙනුවෙන් ඇගැයීමට ලක්වන්නට අවස්ථාව ද ලැබුණා.

ට්විටර්හි ඇති අමුතුම රසය

https://www.youtube.com/watch?v=-ZwP8ACHb2M ට්විටර්හි පළවුණු හෑෂ්ටැග් එකක් මුල් කොටගෙන සැකසූ වීඩියෝවක්

ෆේස්බුක් එකට වඩා ට්විටර්හි විශාල වෙනස්කමක් තිබෙනවා. එහි එක් ටීවීට් දැමිය හැක්කේ අකුරු 140ක් පමණක් වන අතර (මෑතකදී එය 280ක් බවට පත් කෙරුණා) එයට ගොනුවී සංක්ෂිප්තව අදහස් බෙදාගත යුතු වනවා. මේ නිසාම පැදුරු තරම් දිග ස්ටේටස් මෙහි දකින්නට නොලැබෙන අතර ස්ක්‍රෝල් කරද්දී හමුවන සෑම ට්වීට් එකක්ම කියවීමට සිත් දෙනවා. හෑෂ්ටැග් හරහා ට්වීට්ස් වර්ගීකරණය කිරීමට හැකිවන නිසා විවිධ මාතෘකා මුල් කර ගනිමින් හෑෂ්ටැග් වෙත ට්වීට් කිරීම සිදුවන අතර ඒ හරහා වෙනත් මානයක විනෝදයක් ලබා ගන්නට ට්විටර් පරිශීලකයන් හෙවත් ‘ට්වීප්ස්ලා’ සමත් වෙනවා. මෙහි සිටින බොහෝ දෙනෙක් තමාගේ සත්‍ය නමින් හෝ ඡායාරූප පළ කිරීමෙන් තොරව සිටින නිසා හුදෙක් handle එකෙන් (පරිශීලක නාමයෙන්) දැන සිටි අයව දුරකථනයට සහ නිවසේ කාමරයට කොටු නොවී TweetupSLහිදී සත්‍ය වශයෙන්ම මුණගැසීමට අවස්ථාව ලැබීම විශේෂත්වයක් වෙනවා. එහිදී ඔවුන් එකිනෙකාව ආමන්ත්‍රණය කරගන්නේ ද තමාට හුරුපුරුදු ආරුඪ නාමවලින්. බොහෝ අය අන් අයගේ සත්‍ය නාමයන් දන්නේම නැති තරම්.

ආරම්භය

TweetupSL 2හිදී ගත් ඡායාරූපයක් (@udithaumesh)

TweetupSL (@TweetupSL) හි ආරම්භය සනිටුහන් වන්නේ උදාර (@udaraumd), මොෂාන්ති (@moshanthi), ලසන්ත (@rebelinpurple) යන තිදෙනා 2010 අගෝස්තු පළමුවැනිදා එකිනෙකා Coco Verandaහිදී පෞද්ගලික හමුවක් පැවැත්වීමෙනු යි. ට්විටරය හරහා හඳුනාගත් ඔවුන්ගේ මේ හමුව TweetupSL 0 ලෙස හැඳින්වීමට හැකි වන්නේ ඔවුන්ට එක්වූ ශස්ලි (@mark005) විසින් මෙය සියළු ට්වීප්වරුන්ට එක්විය හැකි අවස්ථාවක් බවට පත්කරන්නැයි කළ යෝජනාවත් සමඟයි. ඒ අනුව 2010 අගෝස්තු 26 වැනිදා කොළඹ Coco Verandaහිදී ම TweetupSL 1 සංවිධානය කළ අතර ඊට සැලකිය යුතු පිරිසක් සහභාගී වුණා.

ඉන් අනතුරුව 2011 වසරේ දී TweetupSL 2 Dialog FutureWorldහිදී අගෝස්තු 27දා පැවැත්වුණා. මෙම හමුවේ දී TweetupSL වෙනුවෙන් පැමිණෙන හැම කෙනෙක් වෙනුවෙන්ම ටී ෂර්ට් එකක් මුද්‍රණය කොට නිකුත් කිරීම ඇරඹුණු අතර මෙයට පෙරට වඩා විශාල පිරිසක් සහභාගී වුණා. එතැන් පටන් පැවතීගෙන ට්විටර්හි සංස්කෘතික දිනයක් බඳුවූ වාර්ෂික මහා හමුව, TweetupSL ට්විටර්හි හැම කෙනෙක්ම පුල පුලා බලා සිටින දිනයක් සහ අවස්ථාවක්.

මෙවර නව වෙනසක්

@LetMeKnowLK

මෙතෙක් පැවතගෙන ආ TweetupSL අවස්ථාවන්ට වඩා මෙවර විශේෂත්වයන් කිහිපයක් දකින්නට ලැබුණා. මුලදී මෙයට තනිව සහභාගී වූ ට්වීප්ස්ලා බොහොමයක් මේ වන විට විවාහ වී සහ දරුවන් ද ලබා සිටිනවා. මේ නිසා ට්විටර්හි පමණක්ම සිටින අයට අවුරා තිබූ මෙය මේ වසරේ දී විවාහිත ට්වීප්ලාට තමන්ගේ සැමියා හෝ බිරිඳ සමඟ එන්නටත් දරුවකු සිටිනවා නම් ප්‍රවේශපත්‍රයක් නොමැතිව නොමිලේම සහභාගී කරවාගන්නටත් අවස්ථාව ලැබුණා. ඒ අනුව TweetupSL යනු පවුලේ හමුවක් ද බවට මෙවර පත්වූ අතර දරුවන් හෝ වෙනත් ඒ ආශ්‍රිත හේතු නිසා මෙයට සහභාගී වන්නට නොහැකිවීමේ ගැටළුව බොහෝ දෙනෙක්ට සමනය වුණා.

@dialoglk

මෙම අවස්ථාව ගෘහස්ථව පැවතුණ ද පැමිණි හැම කෙනෙක්ටම නිදහසේ කතාබහ කරන්නට ඉඩ සැලසීමත් එකිනෙකා සමඟ අන්තර්සබඳතාව වර්ධනය කරගැනීම සඳහා සහ හැකියාවන් ප්‍රදර්ශනය කිරීම සඳහා නවමු අවස්ථාවන් රැසක් අඩංගු කර තිබූ අතර මෙවර TweetupSL ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධායක මණ්ඩලයේ සියළු සාමාජිකයන් අලුතින් පත්වූයේ එම සංස්කෘතිය නව පරම්පරාවක් භාරගත් බවට සනිටුහන් කරමින්.

මෙතෙක් අකුරු පෙළට සීමාව තිබූ TweetupSL ලෝගෝවද ට්විටර් ලාංඡනය, සිංහයෙක් සහ වාර අංකය අඩංගු කරමින් සකසා තිබුණා. උත්සවය මෙහෙයවීමට ද සම්පූර්ණයෙන්ම සිංහල භාෂාව යොදා ගැණුනා.

TweetupSL 7 අරුමය

@LetMeKnowLK

නිල වෙබ් අඩවිය වන tweetupsl.org හරහා ලියාපදිංචි කිරීම් මෙවරත් සිදුවුණු අතර එහිදී තමන් ප්‍රිය කරන ට්වීප්ස්ලාව ඇගයීම් (සම්මාන) සඳහා යෝජනා කිරීමට අවස්ථාව සලසා තිබුණා. එම තෝරාගැනීම් සඳහා නාම යෝජනා වලට අමතරව ඡන්ද විමසීමක් නොතිබූ අතර වැඩිපුරම යෝජනා කෙරුණු නම් අනුව ඇගයීම් සඳහා ස්ථාන තුනක් සඳහා සම්මාන 12කට පුද්ගල නිර්දේශයන් ලබා ගැණුනා.

Paper Dance තරගය පැවැත්වුණු අයුරු (@LetMeKnowLK)

එසේ තේරී ආ අය අතුරින් ද පුවත්, ඡායාරූපකරණ ආදී ආයතන ඉවත් කරනු ලැබූ අතර හුදෙක් තනි පුද්ගලයන්ට ම අවස්ථාව ලබා දෙනු ලැබුවේ අනිකුත් සමාජ ජාල උත්සවයන්ට වඩා විශේෂ වෙනසක් ඇති කරලමින් ඒකීය මිනිස්සුන්ට ද ඉදිරියට ඒමේ අවස්ථාව සලසා දෙමින්. මෙම සම්මාන අතර,

  • වඩාත්ම උපකාරශීලී
  • හෑෂ්ටෑග් සඳහා ප්‍රිය කරන්නා
  • කෑමවලට ප්‍රිය කරන්නා
  • එසැණ පුවත් ගෙන එන්නා
  • තාක්ෂණිකලෝලියා
  • හාස්‍යජනක ට්වීප්
  • ක්‍රීඩාලෝලියා
  • හොඳම ඉන්ස්ටග්‍රෑම් ගිණුම
  • ආන්දෝලනාත්මක ට්වීප්
  • ට්විටර්ලෝලියා
  • මිස් ට්වීප්
  • මිස්ටර් ට්වීප්

අඩංගු වූවා. මේ හැම එකකටම වසර තුළ දක්වන ලද හැකියාවන් අනුව සාධාරණව නාම යෝජනා ලබාගෙන තිබූ අතර ඒ හැම කෙනෙක්ටම අනුග්‍රාහයන් හරහා වටිනා ත්‍යාග ද ලබාදෙනු ලැබුවා. උත්සවයේ විශේෂාංග ලෙස පේපර් ඩාන්ස්, කැරෝකේ, සහ රහස් කෝච්චිය වැනි ක්‍රීඩා අවස්ථාවන් ද අඩංගු කර තිබූ නිසා හැම කෙනෙක්ම පාහේ ඒවා රසවින්දේ නව යහළුවන් සමඟ සබඳතාවන් ද ගොඩනගා ගන්නට අතරේයි. මෙහි ට්විටර් කුමරා සහ කුමරිය බඳු මිස්ටර් ට්වීප් සහ මෙවර මිස් ට්වීප් ජයගත්තේ නිලූෂණ (@Nilushana) සහ ගිමල්කා (@gimalka) විසින්.

ට්විටර් සමාජය සමඟ බොහොම ළඟින් ඇසුරු කරන ආයතනයක් වශයෙන් Dialog සමාගම ප්ලැටිනම් අනුග්‍රාහයකයා ලෙස TweetupSL7 සඳහා අනුග්‍රහය සැපයූ අතර එදින සජීවීව එම අවස්ථාවේ ඡායාරූප සහ ට්වීට් හරහා හැමෝම සමඟ මුහුවන්නට තරම් ඔවුන් කුළුපග වුණා.

Mr Tweep ජයග්‍රාහකයින් – වම්පස සිට: කසුන්, නිලූෂණ සහ අමිල (@dialoglk)

නිතර භාවිත වන ඉමෝජි පිළිබඳව ඊට පෙර ගෙන ගිය #TweetYourRecentEmoji නම් හෑෂ්ටැග් එකක් ආශ්‍රය කරගෙන මෙවර ටී ෂර්ට් එකේ පසුපසට ඉමෝජි අඩංගු කර තිබූ අතර සාම්ප්‍රදායිකව ලබාදෙන තමන්ගේ handle එක ලියා එහි අලවා ගත හැකි ස්ටිකරයක් ද ලබා දෙනු ලැබුවා. අනුග්‍රාහයකයන් විසින් පැමිණ සිටි සෑම කෙනෙක්ටම ත්‍යාගයක්/සිහිවටනයක් ලැබෙන ආකාරයට කටයුතු යොදා තිබූ අතර ඒ හැමදේටම වඩා වැදගත් වූයේ දවස පුරා ට්විටරය හරහා දුටු අසහාය මිතුරන් වසරකට වරක් හැම කෙනෙක්ම එකම තැනකදී හමුවීමේ ප්‍රීතිය අත්විඳීමයි.

මෙවර සංවිධායක මණ්ඩය – වම්පස සිට: රණුක, අඛිල, පබසරා, තඹරු සහ සශේන් (@LetMeKnowLK)

“2014 වර්ෂයේ ඉඳලා අපේ අවුරුදු (@ApeAwurudu) නමින් ඔන්ලයින් අවුරුදු ක්‍රීඩා උත්සවයක් ට්විටර් එකේ සංවිධානය වුණා. එය සංවිධානය කරන්න සහභාගී කරගත් අය අතරින් හොඳම පිරිස මෙවර TweetupSL 7 සවිබල ගන්වනවා. අඛිල සුධාරක (@akhilasg), පබසරා පල්ලෙතැන්න (@Lovely_Paba), සශේන් පසිඳු (@SashenMe) සහ රණුක දිල්හාර (@ranukad) යන මේ පස් දෙනා අතේ ඇඟිලි පහ වගේ විවිධ හැකියාවන්ගෙන් සමන්විත නිසා මේ සංවිධායක කටයුතු සාර්ථක කරගන්න බොහොම පහසුවක් වුණා. ඊළඟ වතාවේත් වඩාත් හොඳ අත්දැකීමක් ලාංකේය ට්විටර් ලොවට ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා.” සංවිධායක මණ්ඩලයේ සභාපති, තඹරු විජේසේකර (@thambaru) අප සමඟ පැවසුවා.

මෙය අවසන්වූ දිනයේ සිටම TweetupSL 8 ලබන වසරේදී පැවැත්වෙන හැටි ගැන දැනටමත් ට්වීප්ස්ලා උනන්දුවෙන් සිටින බව නම් නොරහසක්. ට්විටර් වලට ප්‍රිය කරන්නෙක් ලෙස මේ අවස්ථාව ගැන ඔබේ අදහස කොහොමද?

Related Articles