ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් ජල සුරක්ෂිතතාවය

Brought to you by

පෘථිවියේ ඇති ජලයෙන් මිනිස් පරිභෝජනය සඳහා ගත හැක්කේ 1%ක් වැනි ප්‍රමාණයක් පමණ යි. එයින් මිනිස් පරිභෝජනය සඳහා ගැනීමට තරම් සුරක්ෂිත වන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. ඉතින්, ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සංවාදයට ජලය එකතු කරගැනීම මොන තරම් වැදගත් ද කියලා ඔබට හිතාගන්න පුළුවන්.

ආහාර සුරක්ෂිතතාව කියන්නේ ආහාර පරිභෝජනයට නුසුදුසු වන හේතු සහ ද්‍රව්‍යවලින් ඈත් කර තබා ගැනීමට උපකාර වන භාවිතයන් සමූහයක් එක්කම, ශ්‍රී ලංකාවේ ආහාර පිළිබඳ අනාරක්ෂිත භාවය සහ ආහාර නාස්තියට එරෙහිව සටන් කිරීම සඳහා අත්‍යවශ්‍ය ක්‍රමයකි. නමුත්, ජලය පිළිබඳව අවධානය යොමු නොකර ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා වන කිසිදු උපාය මාර්ගයක් සාර්ථක කරගන්න හැකියාවක් නැහැ.

ශ්‍රී ලංකාවේ වත්මන් ආහාර සුරක්ෂිතතා පද්ධතියට බරපතල ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන 1980 ආහාර පනතට, (2011 වසරේ දී අවසන් වරට සංශෝධිත) වේගයෙන් වෙනස්වීම්වලට ලක් වන රටේ ආහාර රටාවට ගැළපෙන යාවත්කාලින කිරීමක් අවශ්‍ය යි.

වර්තමාන නියාමන පද්ධතිය අවධානය යොමු කරන්නේ වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර ඇති (නිමි) හෝ කර ඇති නිෂ්පාදන පිළිබඳව පමණයි.

ඒ නිසා නිෂ්පාදන එන්නේ කොහේ සිට ද, එසේත් නැත්නම් ඒවා වැඩෙන්නේ/නිපදවන්නේ කොහොමද කියලා පාරිභෝගිකයන්ට අදහසක් නැහැ.

මෙය නිරන්තරයෙන් ආහාර නරක් වීමට හේතු වන අතර, එමඟින් ආහාර නාස්තිය සහ අනාරක්ෂිත ආහාර පරිභෝජනය වැඩි වීමට ද හේතු වනවා.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ (FAO) ජ්‍යෙෂ්ඨ කෘෂිකර්ම විශේෂඥ ආචාර්ය ඩබ්ලිව්. එම්.  ඩබ්ලිව්. වීරකෝන්ට අනුව වඩාත් පරිපූර්ණ ආහාර සුරක්ෂිතතා ප්‍රවේශයක් – “ගොවිපොළෙන් කෑම මේසයට” අවශ්‍ය යි. 

ගොවිපොළෙන් කෑම මේසයට යනු කුමක්ද? 

“ආහාර සුරක්ෂිතතාව ආරම්භ වන්නේ ගොවිපොළෙන්,” ආචාර්ය වීරකෝන් සඳහන් කරනවා. 

ගොවිපොළෙන් කෑම මේසයට කියන්නේ ආහාර සැපයුම් දාමයේ සියලු පුරුක් ආවරණය වන පරිදි ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම. මෙයින් සිදුවන්නේ පළමු සහ වඩාත්ම වැදගත් අවස්ථාව, කෘෂිකර්මාන්තයේ සිට, සමස්ත ආහාර සැපයුම් දාමය ම නියාමනය කිරීම.

එහෙත්, මෙම ප්‍රවේශයේ ප්‍රතිලාභ මොනවාද යන්න සම්පූර්ණයෙන්ම අවබෝධ කර ගැනීමට පෙර, අපි මුලින්ම ජල ගැටලුව විසඳා ගත යුතු වනවා.

ජල ආරක්ෂණය අපේ ආහාරවලට බලපාන්නේ කොහොමද?

අද වන විට  ආරක්ෂිතව කළමනාකරණය කළ පානීය ජලය සඳහා ප්‍රවේශය ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් හරි අඩකටත් අඩු ප්‍රමාණයකට. 

කෘෂිකාර්මික මෙහෙයුම් වලදී සිදුවන ආහාර සුරක්ෂිතතා අවදානම් සහ අනතුරු සඳහා අනාරක්ෂිත ජලය දායක වේ.

“ජලය අපගේ ජීවිතයේ සෑම අංශයකටම අදාළ යි. කෘෂිකර්මාන්තය අතරතුර ජලය දූෂ්‍ය සහ අවභාවිත වූ විට එය ආහාර දාමය පුරාවට අප ගන්නා ආහාර — ධාන්‍ය, එළවළු සහ පලතුරුවල පටන් ධීවර කර්මාන්තය වැනි අනිකුත් කෘෂි අංශ දක්වා — අපිරිසුදු කරනවා,” ආචාර්ය වීරකෝන් සඳහන් කරනවා. 

එසේ නම්, ශ්‍රී ලංකාවට සිය කෘෂිකාර්මික පද්ධතිය සඳහා ආරක්ෂිත ජල භාවිතයන් ඒකාබද්ධ කරගත හැකි වන්නේ කොහොම ද?

GAP ගැන කවදාහරි අහලා තියෙනවා ද

GAP කියල හඳුන්වන්නේ යහපත් කෘෂි යෙදවුම්/ පිළිවෙත් (Good Agricultural Practices) නමින් හඳුන්වන ගොවිපොළෙන් කෑම මේසයට කියන සංකල්පයට අනුකූලව ජල ආරක්ෂණය ක්‍රියාත්මක කරන්න අත්‍යවශ්‍ය මෙවලමක්.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය ට අනුව යහපත් කෘෂිකාර්මික පිළිවෙත් යනු ආර්ථික, සමාජීය සහ පාරිසරික තිරසරභාවය සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය සම්පන්න ආහාර සහ ආහාර නොවන නිෂ්පාදන (කෘෂිකර්මාන්තය තුළින් නිර්මාණය වන, එහෙත් ආහාර ලෙස නොව ඇඳුම් පැළඳුම්, ඉන්ධන සහ වෙනත් කාර්මික අරමුණු සඳහා භාවිත කරන ද්‍රව්‍ය) සැකසීම සඳහා ගොවිපොළ නිෂ්පාදන සහ පසු නිෂ්පාදන ක්‍රියාවලීන් සඳහා යෙදිය යුතු මූලධර්ම එකතුවක්. 

GAP ප්‍රමිතීන්ට අනුව ‘ගොවිපොළෙන් කෑම මේසයට’ ප්‍රවේශය හරහා ජල ආරක්ෂණය වැදගත් මෙහෙවරක්.

“අපගේ ආහාර, ජල දූෂණයෙන් තොර විය යුතු අතර එහි පෝෂණ ගුණය පවත්වා ගත යුතුයි. නමුත් මෙය ආරම්භ විය යුත්තේ ගොවිපළෙන්මයි,” ආචාර්ය වීරකෝන් වැඩිදුරටත් පවසනවා.

“ගොවීන්ට පුළුවන් බේරේ වැවේ ජලය යොදාගෙන ගොටුකොළ වගා කරන්න, එයින් ගොටුකොළ වැවෙනවා. නමුත් එතකොට එය බැරලෝහවලින් පිරි, ඉතා දූෂ්‍ය නිෂ්පාදනයක් වෙනවා. පාරිභෝගිකයන් විදියට ඔබ මිල දී ගන්නා එළවළු වගා කරලා තියෙන්නේ දූෂ්‍ය ජලය යොදාගෙන නෙවෙයි කියලා ඔබ කොහොමද දැනගන්නේ? ‘යහපත් කෘෂිකාර්මික පිළිවෙත්’ ප්‍රමිතීන්ගේ ඉලක්කය වන්නේ ආරක්‍ෂිත ද්‍රව්‍ය යොදාගෙන ඔවුන්ගේ වගා කටයුතු කරන්න ගොවීන් තුළ වගවීමක් ඇති කිරීම සහ ඒ පිළිබඳව සොයාබැලීමට හැකියාව ඇති කිරීමයි.”

යහපත් කෘෂිකාර්මික පිළිවෙත්වලට ජල ආරක්ෂණයට දායක වෙන්න පුළුවන් කොහොමද? 

භාවිත කරන අමතර ජලයේ හානිකර දූෂක පැතිරීම වැලැක්වීම සඳහා වාරිමාර්ග හා පෝෂණය සඳහා භාවිත කරන ජලය නියාමනය කෙරෙනවා.

යහපත් කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳ FAO පුහුණු අත්පොතට අනුව, ගොවීන් ආහාරයට ගත හැකි නිෂ්පාදන සඳහා යොදන ජලයේ ගුණාත්මකභාවය පානීය ජලයේ ගුණාත්මකභාවයට සමාන විය යුතු වනවා. එබැවින්, නිෂ්පාදන ප්‍රතිකාර ද නියාමනය කෙරෙනවා.

#2 ජල මූලාශ්‍ර භාවිතය ප්‍රශස්තකරණය

“යහපත් කෘෂිකාර්මික පිළිවෙත් තුළින් යොදාගන්නා සම්පත් මඟින්, විශේෂයෙන්ම ජල සම්පත් භාවිතයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම (ප්‍රශස්ත කිරීම) බලාපොරොත්තු වෙනවා,” ආචාර්ය වීරකෝන් සඳහන් කරනවා.

Image Credit: mr_gateway

“වාරිමාර්ගවලින් ජලය ලබාගන්නා ගොවීන් ජලය අධික ලෙස භාවිතා කරනවා. නමුත් වර්ෂාවෙන් පෝෂණය වන ගොවීන් (කෘෂිකාර්මික කටයුතු සඳහා වැසි ජලය පමණක් භාවිත කරන අය) ජල භාවිතය ප්‍රශස්ත කිරීම සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වනවා. මෙයට හේතුව ඔවුන්ට වෙනත් ජල මූලාශ්‍රයක් නොමැති වීමයි.”

FAO ප්‍රවර්ධනය කරන යහපත් කෘෂිකාර්මික පිළිවෙත් උපාය මාර්ගයට, ජල භාවිතය ප්‍රශස්ත කරන සහ අපද්‍රව්‍ය අවම කරන ජල කළමනාකරණ සැලැස්මක් ඇතුළත් වනවා. ජලය අනවශ්‍ය ලෙස භාවිතයට නොගැනීම සහතික කිරීම සඳහා බෝග ජල අවශ්‍යතා, ජලය සපයා ගැනීමේ හැකියාව සහ පාංශු තෙතමන මට්ටම මත වාරිමාර්ග පදනම් වනවා.

#3 කෘෂිකර්මාන්තය අතරතුර ජල දූෂණය අවම කිරීම

ප්‍රමාණය අවම කිරීම සහ නිසි ජලාපවාහනය පවත්වා ගැනීම, නිවැරදි පළිබෝධනාශක, පොහොර සහ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම මගින් ජල දූෂණය අවම කළ හැකියි. නිසි ජලාපවාහනය ජලය එක් තැනක හිරවීම වළක්වන අතර එමඟින් දූෂණය හා ජල මූලාශ්‍රවලට පළිබෝධනාශක ගලා යාමේ අවදානම අඩු කරනවා.

අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් කෘෂිරසායන භාවිත කිරීම නියාමනය කිරීම සහ ජලයේ ගුණාත්මක බවට දැවැන්ත බලපෑමක් ඇති කළ හැකි කෘෂිරසායන සහ පොහොර භාවිතය වගවීමක් සහිතව භාවිතා කිරීම “යහපත් කෘෂිකාර්මික පිළිවෙත්” මඟින් අවධාරණය කර තිබෙනවා.

“යහපත් කෘෂිකාර්මික පිළිවෙත්”, ජෛව හායනයට ලක්විය හැකි කොටස් කොම්පෝස්ට් කිරීම සහ කෘෂි රසායනික බහාලුම් වෙන වෙනම එකතු කිරීම වැනි ක්‍රම හරහා කෘෂිකාර්මික අපද්‍රව්‍ය නියමිත පරිදි බැහැර කිරීමෙන් අවට ඇති ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම වැළැක්වීම දිරිමත් කරනවා.

ශ්‍රී ලංකාවේ ආහාර සහ ජල සුරක්ෂිතතාව සම්බන්ධයෙන් විශාල වෙනසක් කරන්න 2016 වසරේ සිට ක්‍රියාත්මක වන යහපත් කෘෂිකාර්මික පිළිවෙත් හා බැඳුණු උපායමාර්ගවලට හැකියාව තිබෙනවා. නමුත්, ආචාර්ය වීරකෝන්ට අනුව ‘යහපත් කෘෂිකාර්මික පිළිවෙත්’ (GAP) නිෂ්පාදන ආහාරයට ගන්න අපිට හැකියාව අඩුයි. ඒ ඒවා සපයා ගන්නට නොමැති නිසා.”

ශ්‍රී ලංකාව තුළ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සාර්ථක වී නැත්තේ ඇයි?

ප්‍රධාන හේතුව – මහජනයා තුළ දැනුම්වත්භාවයක් නොතිබීම

“මේ ගොවිපොළෙන් කෑම මේසයට ප්‍රවේශය සහ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ගැන දන්නේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ඉතා අඩු ප්‍රමාණයක් පමණයි.” ආචාර්ය වීරකෝන් පවසනවා. 

“පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් නැත්නම් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරන්න ගොවීන් කැමැත්තක් දක්වන එකක් නැහැ. පසුගිය වසර පහ තුළ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් වැඩසටහන සඳහා ගොවින් 2,000ක් ලියාපදිංචි කරගන්නවත් ඔවුන්ට හැකි වී නැහැ. මේ නිසා තමයි පාරිභෝගිකයාගේ මට්ටමින් දැනුම්වත්භාවය අත්‍යවශ්‍ය වෙන්නේ.”

ගොවිපොළෙන් කෑම මේසයට ප්‍රවේශය සඳහා විපරම් කිරීමේ හැකියාව වැදගත් මූලිකාංගයක් වන අතර, ඒ තුළින් පාරිභෝගිකයින්ට ඔවුන්ලබාගන්නා ආහාර පැමිණෙන්නේ කොහෙන්ද, ඒවා වගා කරන්නේ කවුරුන්ද සහ එය වගා කරන්නේ කෙසේද යන්න පිළිබඳ දැනුමක් ලබා දෙනවා.

ගොවියාගේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ තොරතුරු සපයන ක්ෂණික ප්‍රතිචාර  (QR) කේත හරහා ද අවසන් නිෂ්පාදන සොයා ගත හැකියි.

ආචාර්ය වීරකෝන් පැවසූ පරිදි, යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සඳහා එක රැයක් තුළ ගොවින් යොමු කරන්න බැහැ. නමුත් පාරිභෝගික ඉල්ලීම වර්ධනය වෙනවා නම් “යහපත් කෘෂිකාර්මික පිළිවෙත්” සංකල්පය හා සම්බන්ධ ගොවින් ලෙස ලියාපදිංචි වෙන්නට ගොවින් යොමු වනු ඇති. 

ජලය සහජයෙන්ම ජීවයට සම්බන්ධයි

ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදය මධ්‍යයේ, ආහාර සුරක්ෂිතතාව යනු ආහාර නාස්තියට එරෙහි ආයුධයක්. ආහාර ආරක්ෂා කිරීම සහ ප්‍රශස්ත පරිභෝජනය සඳහා එහි ආරක්ෂාව පවත්වා ගත යුතු යි. නමුත් ආහාර සුරක්ෂිතතාව ජල සුරක්ෂිතතාව මත රඳා පවතිනවා.

‘ගොවිපොළෙන් කෑම මේසයට’ ප්‍රවේශය තිරසාර ආහාර සුරක්ෂිතතා පද්ධතියක් වෙත අපගේ සංක්‍රමණය වේගවත් කිරීමට උදව් කරනවා – නමුත් එහි ජයග්‍රහණය පෝෂණය කළ හැක්කේ වෙනසක් සඳහා අප තුළ ඇති කැමැත්ත මත පමණයි.


යුරෝපීය සංගමය (EU) අරමුදල් සපයන “කෘෂි ආහාර අංශය සඳහා වන හොඳම පිළිවෙත්” (BESPA-FOOD) ව්‍යාපෘතිය හරහා ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන්, ධාරිතාව, සහ ආහාර සුරක්ෂිතතා නියාමන පද්ධතිය ප්‍රතිසංස්කරණය සහ වැඩිදියුණු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO), සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) ශ්‍රී ලංකා රජයට සහාය වේ. 

ලෝක ආහාර දිනයේ තේමාව වන ‘ජලය පෝෂණය කරයි, ජලය ජිවය සපයයි’ අනුව යමින් ජල සුරක්ෂිතතාව සහ අප සියලු දෙනාට වඩා හොඳ ජීවිකාවක් සඳහා එහි ඇති සම්බන්ධතාවය පිළිබඳව අවබෝධය තවදුරටත් ඉහළ නැංවීමට අපි අදිටන් කර ගනිමු.

Related Articles

Exit mobile version