රජ කාලේ වෙසක් සමරපු හැටි   

වෙසක් දිනය මෙවර යෙදී ඇත්තේ මැයි 5 වන සිකුරාදාට හෙවත් අදට යි. ශ්‍රී ලාංකිකයන් පමණක් නොව ලොව පුරා බෞද්ධ ජනකාව වෙසක් දිනය මහත් භක්තියෙන් සැමරීම දකින්න ලැබෙනවා.

කොවිඩ් අවදානම පහව ගොස් ඇති නිසා මෙවර වෙසක් සැමරුම වඩාත් ආකර්ශනීය වනු ඇතැයි අපට පේනවා. ලංකාවෙත් පුරාණයේ පටන්ම සම්බුදු තෙමඟුල සිදුවූ වෙසක් දිනය විවිධ අන්දමින් සමරා තිබෙනවා. මේ ඒ ගැන සිදුකළ විමසුමක්.

වෙසක් දින උපන් සිදුහත් කුමරුගේ ප්‍රාතිහාර්යය දැක්වෙන සාංචි කැටයමක්-  wikipedia.org

බුද්ධ කාලයේ වෙසක්

බුදුන් වහන්සේ  ජීවමානව වැඩ සිටි ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ දී  උන්වහන්සේට සහ ශ්‍රාවකයන්ට ගෞරව කිරීම සඳහා ජනතාව විවිධ උත්සව සංවිධානය කර තිබෙනවා. ඒවාට බුදුන්වහන්සේ සහ ශ්‍රාවක පිරිස ද සහභාගී වූ බව දීඝනිකාය, බුත්සරණ වැනි කෘතිවල සඳහන් වෙනවා. අටුවා සහ පැරැණි සාහිත්‍ය කෘතිවල සඳහන් වන්නේ සූවිසි බුදුවරුන් සියලු දෙනාගේ ම ඉපදීම, බුදු වීම හා පිරිනිවන් පෑම වෙසක් දිනවල ම සිදු වූ බව යි.

කාම්බෝජයේ වෙසක් සමරමින් –  tricycle.org

බුදුන්වහන්සේගේ  පරිනිර්වාණයෙන් පසු ශ්‍රී දේහය ආදාහනය කිරීම සඳහා  විශාල උත්සවයක් පැවති අතර  ඉන් පසු වසරක් පාසා ඉන්දියාව ඇතුළු  බෞද්ධ රටවල අද දක්වා ම වෙසක් උත්සවය සැමරීම සිරිතක්.

ලංකාවේ දුටුගැමුණු රජු

අප රටට බුදුදහම ලැබුණේ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ දී දෙවැනි පෑතිස් රජ කාලයේදි යි. බුදුදහම වැලඳගැනීමෙන් පසුව ක්‍රිස්තු පූර්ව  251 වැනි වසරේ වෙසක් පෝය දින දේවානම්පියතිස්ස රජු දෙවැනි වරට අභිෂේක උත්සවය පැවැත්වා තිබෙනවා. වෙසක් උත්සව සැමරුම ගැන ඓතිහාසික තොරතුරු හමුවන්නේ  දුටුගැමුණු රජුගේ  (ක්‍රිස්තු පූර්ව 161-137)  කාලයේ සිට යි.

රුවන්වැලි සෑයේ පැරණි සේයාරුවක්- Royalasiaticsociety.lk

 රජුගේ පිං පොතේ අවුරුද්දක් පාසා වෙසක් පූජා 24ක් කරවූයෙමි යනුවෙන් සඳහන් වෙනවා. ඒ අතරින් වෙසක් පුන් පොහොය දින පැවැත්වූ ප්‍රධාන උත්සවය වී ඇත්තේ දුටුගැමුණු රජුගේ සහ නිලධාරින්ගේ මෙන් ම රට පුරා බෞද්ධ නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ  රුවන්වැලි මහා සෑයේ සර්වඥධාතූ  නිදන් කරවන උත්සවය යි.  ප්‍රමාණයෙන් ද්‍රෝණයක් වූ සර්වඥ ධාතූන් සෑ ගර්භයේ තැන්පත් කිරීම වෙනුවෙන් මේ උත්සවය පවත්වා තිබෙනවා.    

භාතිකාභය රජ ප්‍රතිමාව- රුවන්වැලි සෑ මළුව – wikipedia.org

භාතිකාභය රජු

බුදුදහමට ඉමහත් ළැදියාවක් දැක්වූ භාතිකාභය රජු (ක්‍රිස්තු පූර්ව 20 – ක්‍රිස්තු වර්ෂ 09) වෙසක් උත්සව 28ක් පවත්වා ඇති බව මහාවංශය සඳහන් කරනවා.  එම වෙසක් උත්සව  අතරින් කිහිපයක දී ලංකාව පුරා  වැඩසිටි සියලු ම භික්ෂූන් වහන්සේ වෙත තුන් සිවුරු පූජා කළ බව මහාවංශයේ 32 පරිච්ඡේදයේ 35 වැනි ගාථාවෙන් කියැවෙනවා. බුද්ධ රූපයක් තනා සැරසූ අශ්ව රථයක තැන්පත්කොට වීදි සංචාරය කරමින් පැවැත්වූ මෙම උත්සවයේ දී දුගී මගී යාචකාදීන්ට කෑම් බීම් දීමේ සිරිත ද පැවැතුණා. 

වසභ රජු

වාරිමාර්ග සංවර්ධනයට විශාල උනන්දුවක් දැක්වූ වසභ රජු (ක්‍රිස්තු වර්ෂ 65 – 109) පවත්වා ඇති වෙසක් උත්සව සංඛ්‍යාව 44ක්.  වෝහාරිකතිස්ස රජු  (ක්‍රිස්තු වර්ෂ 210-232) මහා වෙසක් පූජා පවත්වා සියලු ම භික්ෂූන්ට තුන් සිවුරු පූජා කළ තවත් රජ කෙනෙක්. ගෝඨාභය රජු  (ක්‍රිස්තු වර්ෂ 249-262) වසරක් පාසා මහා වෙසක් පූජා පවත්වා සංඝයාට ෂට් චීවර පූජා කර තිබෙනවා.

වසභ රජු පිළිසකර කළ සිතුල්පව්ව – Dinamina.lk

පළමු වැනි​ ජෙට්ඨතිස්ස  රජු  (ක්‍රිස්තු වර්ෂ 262-272) වෙසක් උත්සවය උත්කර්ෂවත් අන්දමින් පවත්වා ෂට් චීවර පූජාව ද කරවු තවත් පාලකයෙක්.  පාහියන්ගේ දේශාටන වාර්තා අනුව ක්‍රිස්තු වර්ෂ පස් වැනි සියවසේ දී මෙරට සිටි භික්ෂු සංඛ්‍යාව හැටදහසක් පමණ වෙනවා.

එකල දළදා වහන්සේ මුල් කරගෙන අනුරාධපුරයේ පැවැත්වූ උත්සව තෙමසක් පමණ පැවැතුණු බව ද පාහියන් හිමි සඳහන් කරනවා. වෙසක් දිනය ද ඊට ඇතුළත් වෙන්නට ඇති බවයි පෙනෙන්නේ.    

පදවිය වැව-   lankapradeepa.lk

දෙවැනි මුගලන් රජු

මහා වංශයේ දැක්වෙන පරිදි දෙවැනි මොග්ගල්ලාන රජු (ක්‍රිස්තු වර්ෂ 618-623) වෙසක් උත්සවය මෙන්ම අනෙකුත් බෞද්ධ උත්සව ද පැවැත්වූ සැහැදැවත් රජකෙනෙක්.  පණ්ඩිත භාවයෙන් මෙන්ම ශ්‍රද්ධා භක්තියෙන් මේ රජු  පිරිපුන් ව සිටි බව සඳහන් වෙනවා. ලංකාවේ පවත්නා විශාල වාරි කර්මාන්තයක් වූ පදවිය වැව කරවන ලද්දේත් දෙවැනි මුගලන් රජු යි.

දෙවෙනි සේන රජු (ක්‍රිස්තු වර්ෂ 855-557) වෙසක් උත්සව පවත්වා දුප්පතුන්ට ආහාර පාන, වස්ත්‍රාභරණ ලබා දී ඔවුන් සමඟ ප්‍රීති වූ බව මහාවංශය සඳහන් කරනවා. සේන රජ කාලය වනවිට වෙසක් උත්සවය  ආගමික උත්සවයක් පමණක් නොව ජාතික උත්සවයක් බවට ද පත්ව තිබූ බව පැහැදිලි වෙනවා.  මහාවංශයේ ද වෙසාඛ කීලං නොහොත් වෙසක් කෙළි යනුවෙන් සඳහන් වෙනවා.

පැරකුම් රජු කරවූ ගල් විහාරය- Attractionsinsrilanka.com

පොළොන්නරු යුගය

පොළොන්නරු යුගයේ සිටි රජවරුන් අතරින් වෙසක් උත්සවයට මුල් තැනක් දී ඇත්තේ පළමු වැනි පරාක්‍රමබාහු රජුයි ( ක්‍රිස්තු වර්ෂ 1153-1186). පැරකුම් රජු දළදා පූජා, වෙසක් කෙළිය, තුලාභාරය , දිය කෙළි  පැවැත්වූ බව පූජාවලියේ සඳහන් වෙනවා. පොළොන්නරු යුගය අවසාන කාලයේදී කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් පසුව වෙසක් උළෙලට තිබුණ ගෞරවනීය ස්ථානය අහිමි වී දෙමළ පූජා විධි ප්‍රචලිත වන්නට ඇති බව පේනවා.  

දඹදෙණිය විජයසුන්දරාරාම රජමහා විහාරය- lanka- excursions- holidays.com

දඹදෙණි යුගය

දඹදෙණි යුගයේ පැවැති අලංකාර  වෙසක් උත්සවයක් පිළිබඳ විස්තරයක් “පූජාවලිය” පොතේ හමුවෙනවා.

එ දවස් මේඝ රාජයාණන් හස්තිරූප ව්‍යාජයෙන් බුදු මගුලට බැස මිහි මඩලෙහි ඇවිදිනා සේ ඒ ඒ දිග් හි යන්ත්‍ර බලයෙන් ඇවිඳිනා හස්තිරූප පංක්තීන් හා පූජා ලෝලීන් දිවූ සමුද්‍ර රාජයා ගේ මහ රළ පෙළ සේ ඒ ඒ දිග්හි යන්ත්‍ර බලයෙන් දිවන අශ්වරූප පංක්තීන් හා බුදුන් ගේ මහා මංගල්‍යයෙහි අලංකෘත වූ පූජාවෙන් වෙහෙර සරසා සහස් සුවහස් ගණන් සංඝයා හා මුළු ලක්දිව සියලු මනුෂ්‍ය සේනා රැස්කොට වෙහෙර සිසාරා ගවු ගවු මානයෙහි පූජා පෙළහරින් සිටගත් මනුෂ්‍ය සේනාවම අතුරු නොදී සිටිනා සේ නියෝග කොට….”

මෙම වෙසක් උත්සවය සිදු කර ඇත්තේ දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රජු ගේ (ක්‍රි.ව. 1250 – 1285) මූලිකත්වයෙන්. වෙසක් උත්සවයක තිබිය යුතු සියලුම අංගෝපාංග එහි ඇතුළත් වෙනවා.   

හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා භික්ෂුන් වහන්සේ සමඟ – wikipedia.org

වෙසක් නිවාඩුව

දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ සිට ජනතාව භූක්ති විඳි වෙසක් නිවාඩුව ලන්දේසි ආණ්ඩුකාරයා මුහුදුබඩ පළාත්වල තහනම් කරනවා. ඒ නිවේදනය කළේ 1770 නොවැම්බර් පළමුවැනිදා යි. නමුත් මහනුවර රාජධානියට එම තහනම ක්‍රියාත්මක වුණේ නැහැ.  බ්‍රිතාන්‍යයන් 1815 දී මුළු රට ම යටත් කරගත් පසුව 1817 අප්‍රෙල් 5 දා  ඉරිදා නිවාඩුව හඳුන්වා දී වෙසක් නිවාඩුව තහනම් කරනවා. ඉන් පසුව රජයේ ආයතනවල සහ කොම්පැනිවල වැඩකරන බෞද්ධයන්ට වෙසක් දිනයෙත් රාජකාරියේ යෙදීමට සිදුවෙනවා. 

දුරබැහැර ගොවි ජනතාව විහාරවලට ගොස් වෙසක් සැමරීම සිදු කළා. මේ අතර බෞද්ධයන්ට සිදුවන නොපණත්කම් ඉවසීමට නොහැකි තැන  බෞද්ධ නායකයන් එක්වී බෞද්ධ ආරක්ෂක කමිටුව යනුවෙන් කමිටුවක් පත් කර ගැනීම සිදුවෙනවා. මේ කමිටුව ගත් තීරණයක් අනුව සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා යටත් විජිත ලේකම් හමුවීමට 28.01.1884 දින ලන්ඩනය බලා පිටත්ව ගොස් ඉල්ලීම් හයක් ඉදිරිපත් කරනවා. ඒ  අතුරින් වෙසක් පොහෝ දින නිවාඩුව ලබා දීමට යටත් විජිත ලේකම් එකඟ වෙනවා.  එය 1885 මාර්තුවලදී ගැසට් පත්‍රයේ පළකර ප්‍රසිද්ධ කරනවා.  ඒ අනුව 1885 වෙසක් පෝය මහ ඉහළින් සැමරීමට මෙරට බෞද්ධයන් ක්‍රියාත්මක වෙනවා.

 

කවරයේ ඡායාරූපය- වෙසක් උත්සවයට අලංකාර කර ඇති රුවන්වැලි සෑය- pinterest.com
මූලාශ්‍ර:
Lankadeepa.lk
Silumina.lk
Dinamina.lk

Related Articles

Exit mobile version