ග්‍රෑන්ඩ් ටුවර්වලින් පටන්ගෙන ලංකාව බලන්න ආ සංචාරකයෝ

කොවිඩ් අවදානම නිසා ලෝකය පුරා සංචංරක ව්‍යාපාරයට අත්ව තිබෙන්නේ බේදනීය ඉරණමක්. අල්ලපු ගමට සංචාරය කිරීමට පවා තහංචි වැටිලා තිබුණා. සංචාරක ව්‍යාපාරය ලංකාවේ වැඩිම ජනපිරිසකට සෘජුව සහ වක්‍රව බලපාන කර්මාන්තයක්. යුද්ධය අවසන්වීමෙන් පසු එළඹි වසර 8ක කාලය තුළ 10% – 20%කටත් වඩා වාර්ෂික වර්ධනය වේගයක් පවත්වා ගනිමින්, රටේ තෙවැනියට වැඩිම විදේශ මුදල් උපයන කර්මාන්තය බවට එය පත්ව තිබුණා. ලංකාවේ බොහෝ තැන්වල විදේශීය සංචාරකයන් ගමන්කළේ තම සංචාරයේ උපරිම සතුට භුක්ති විඳිමින්. මේ දිනවල සංචාරක කර්මාන්තය ඇදවැටීම හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ නිරත ශ්‍රම බලකායෙන් 450 000ට පමණ රැකියා අහිමිවෙලා. මින් 180 000ක් පමණ කර්මාන්තය තුළ ඍජු රැකියාවන්හි නිරතවූ අතර, අනෙකුත් අය එම කර්මාන්තයට සම්බන්ධිත රැකියාවන්හි යෙදී සිටි පිරිස යි. දැන් යලිත් සංචාරක කර්මාන්තය ගොඩගැනීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියත්, රජයත් උත්සාහ ගනිමින් සිටිනවා. මේ, සංචාරක කර්මාන්තයේ අතීතයට යාමට උත්සාහ කිරීමක්.

ලෝක සංචාරක සංකල්පය 

යුරෝපයේ ග්‍රෑන්ඩ් ටුවර් සංචාරය-  britannica.com 

 

පුරාතන රෝම අධිරාජ්‍ය සමයේ දී පුරවැසියන් සහ වහලුන් ලෙස මිනිසුන් කොටස් දෙකකට බෙදා තිබුණා. ඉන් පුරවැසියන්ගේ විවේකය සඳහා වෙනමම කාලයක් වෙන්ව තිබූබව පැවසෙනවා. රෝමවාසීන් එම විවේක කාලය යොදාගත්තේ විනෝද ක්‍රීඩා, දඩයම් වැනි ක්‍රියාවන්ට යි. මේ අතර විනෝදාස්වාදය සඳහා වෙන්වූ නගරවලට ඔවුන් ගමන්කර තිබෙනවා. 

පුනර්ජීවන සමය පැවති 15 වැනි සහ 17 වැනි ශතවර්ශ අතර කාලයේ දී යුරෝපයේ වංශවත් පවුල් රටින් රට සංචාරය කළ බවත්, එය නිශ්චිත සමාජ පංතියකට පමණක් හිමිවූ වරප්‍රසාදයක් බවත් ඉතිහාසඥයන් පවසනවා. යුරෝපයේ වරප්‍රසාද ලත් පවුල්වල තරුණ පිරිස් එකතු වී 17-18  සියවස්වල දී සිදුකළ “ග්‍රෑන්ඩ් ටුවර්” නම් සංචාර එයට උදාහරණ සපයනවා. මෙය යුරෝපයේ නිශ්චිත ස්ථාන ආවරණය කරමින් නිර්මාණය වී තිබුණා. යුරෝපයේ කලා සහ සංස්කෘතික මූලයන් ගවේශනය කළ මෙම චාරිකා නූතන සංචාරක කර්මාන්තයේ ආරම්භය ලෙස සැළකිය හැකියි.

කර්මාන්ත විප්ලවය 

ඉන්දියාවට 19 වන සියවසේ පැමිණි සංචාරකයන් pbs.org 

 

කර්මාන්ත විප්ලවය සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට වැදගත් සන්ධිස්ථානයක් සටහන් කළා.

1769 දී ජේම්ස් වොට් වාෂ්ප එන්ජිම සොයාගත් අතර, ඉන්පසු එන්ජිම සහිත වාහන නිපදවීම ඇරඹෙනවා. ප්‍රවාහන සේවාවල දියුණුව සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට තීරණාත්මකම සාධකය බවට පත්වෙනවා.

සංචාරය, විනෝදාස්වාදය සඳහා එතෙක් පුද්ගල අයවැයෙන් වෙන්වූ අවම මුදල වෙනුවට, සැළකිය හැකි අතිරික්ත ආදායමක් වෙන්කරලීමට හැකිවූයේ කර්මාන්ත විප්ලවයෙන් පසු කර්මාන්ත හිමියන්ගේ අතිරික්ත ධන ප්‍රමාණය ඉහළයාම නිසා යි. මේ නිසා ධනවතුන් සිය විනෝදාස්වාදය වෙනුවෙන් සැළකිය යුතු මුදල් ප්‍රමාණයක් වැය කරමින් රටරටවල ඇවිදීම පටන් ගත්තා. 

තෝමස් කුක්ගේ සංචාරක කාර්යාලය- staffordshire-live.co.uk 

 

19 වන සියවසේ දුම්රිය ප්‍රවාහනය ආරම්භ වෙනවා. 1841 දී එංගලන්තයේ තෝමස් කුක් “නිවාඩු කෝච්චිය” නම් දුම්රිය සේවයක් ආරම්භ කරනවා. ඒ, විනෝදාස්වාදය පිණිස සංචාරය කරන පිරිස් වෙනුවෙන්. එංගලන්තයේ ලෙස්ටර් නගරයේ සිට ලාෆ්බරෝ නගරය දක්වා එම දුම්රිය ධාවනය කෙරුණා. ගමන අතරතුර තේ සහ බිස්කට් පිරිනැමුණු අතර, සංගීත වාදනයක් ද සපයා තිබෙනවා. සැතපුම් 10ක විනෝදාස්වාද ගමනට සිලිං 01ක මුදලක් එක් අයෙකුගෙන් අයකරගත් අතර, 570ක පිරිසකට එකවිට මේ දුම්රියේ ගමන් කිරීමට හැකිවුණා. මෙවැනි වැඩසටහන් අනෙක් යුරෝපීය රටවලටත් ව්‍යාප්ත වී ගියා. 1841 – 1914 වසර සංවිධානාත්මක සංචාරක කර්මාන්තයේ මූලාරම්භය ලෙස සැලකෙනවා.

ලංකාවට සංචාරකයන්

ෆාහියන් භික්ෂුව ඉන්දියාවේ අශෝක රජුගේ නටබුන් නරඹමින්- wikipedia.org 

අනුරාධපුර යුගයේ ලංකාවට පැමිණි විදෙස් වෙළෙන්දන් පිළිබඳ ඉතිහාසයේ සඳහන් වෙනවා. ක්‍රිස්තු පූර්ව 900 සිට 400 දක්වා කාලයේ දී ලංකාවේ කඳුකර ප්‍රදේශවල ඛනිජ කැණීම් සිදුකොට, ඒවා උතුරු ඉන්දියාවට අපනයනය කොට ඇති බව මහාචාර්ය සුදර්ශන සෙනෙවිරත්න පවසනවා. මන්නාරම මාන්තායි වරාය පුරාණ ජාත්‍යන්තර වරායක් වශයෙන් පැවති තැනක්. ලංකාවට විදේශිකයන් ආවේ ඒ ඔස්සේ බව කැණීම්වල දී ලද සාක්ෂ්‍ය පවසනවා. තපස්සු භල්ලුක වෙළඳුන් ලංකාවේ වෙළද ව්‍යාපාර සිදුකොට තිබෙන්නේ බුදුන් ජීවමාන කාලයේ බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙනවා. අන්තර්ජාතික වෙළදාමේ දියුණුතම සමය වූ 6 වැනි සියවස තුළ වරකට පර්සියානු නැව් 35ක් පමණ ලංකාව වටා රඳවා තිබූ බව සදහන් වෙනවා. ඓතිහාසික සේද මාවතේ කේන්ද්‍රීය ස්ථානයක් ශ්‍රී ලංකාවට හිමිව තිබුණා. ක්‍රි. ව. පස්වැනි සියවසේ දී චීන ජාතික පාහියන් භික්ෂුව ලංකාවට ආවේ සේද මාවත හරහා යි. ඉබන් බතුතා, මාර්කෝ පෝලෝ, හියුං සාං වැනි සංචාරක සටහන් ද පුරාණ ලෝකයේ ලංකාව ගැන නමක් තැබීමට සමත්වුණා.

සුද්දන් ලියූ පොත්

නොක්ස් ලියූ පොත -scolarcardiff.wordpress.com

 

ලංකාව යුරෝපීය යටත් විජිතයක් වූ පසු ලංකාවේ සංචාරය කරන සුද්දන් රට ගැන ආකර්ශනීය තොරතුරු අඩංගු කර ලියූ පොත් පෘතුගාලයේ, නෙදර්ලන්තයේ, සහ එංලගන්තයේ මුද්‍රණයවුණා. ඒ අතරින් ලොව වඩාත්ම කතාබහට ලක්වූ පොත, මෙරට සිරකරුවකු ලෙස සිටි රොබට් නොක්ස් ලංකාවේ රටවැසියන්, ඔවුන්ගේ සිරිත් විරිත්, සහ කෘෂිකාර්මික හා ආගමික උත්සව ආදිය පිළිබඳව ලියූ A Historical Relation of the Island of Ceylon නමැති කෘතිය යි. එය 1681 දී එංගලන්තයේ දී මුද්‍රණයෙන් නිකුත් කරනවා. එම පොත ලංකාවේ ජන ජීවිතය හා රජවරුන්ගේ වැඩවසම් පාලනය පිළිබඳව යුරෝපීය දෘෂ්ඨි කෝණයෙන් දුටු කදිම විවරණයක් ලෙස ලොව පුරා සැලකෙනවා. ‍රට ගැන විදේශිකයන් තුළ කුතුහලයක් ඇති කිරීමටත් එම පොත ඉවහල්වී තිබෙනවා.

ලන්දේසි ජාතික ජේකොබ් හාෆ්නර් යාපාපටුනේ සිට කොළඹ දක්වා දුෂ්කර චාරිකාවක් ගිය සංචාරකයෙක්. ඔහු චාරිකා සටහන් කෘතීන් කිහිපයක්ම ලියා ලංකාව ලෝකයට හඳුන්වා දී තිබෙනවා. 1754 මැයි 13 දා උපත ලැබූ හාෆ්නර් මියගියේ 1809 සැප් 4 දා අවුරුදු 55 දී යි. ඔහු ලංකාව ගැන ලියූ කෘතියක් “යාපාපටුනේ සිට කොළඹට පා ගමනක්” නමින් කුමාර සිරිවර්ධන අතින් සිංහලට පරිවර්තනය වුණා. 

ජේම්ස් කෝඩිනර්- nationalgalleries.org

 

A Description of Ceylon ලියූ ජේම්ස් කෝඩිනර් 1799 සිට 1804 දක්වා කොළඹ බ්‍රිතාන්‍ය බලකොටුවේ හමුදා සේනාංකයේ සේවය කළ දේවගැතිවරයෙක්. ඒ වගේම ලංකාවේ සියලුම යටත්විජිත පාසල්වල ප්‍රධානාචාර්ය ලෙසත් කෝඩිනර් සේවය කළා. එවකට බ්‍රිතාන්‍ය යටත්විජිතවල සිටි එංගලන්ත සභාවට අනුයුක්ත එකම පූජකවරයා වුණේ ද ඔහු යි. ඔහු කොළඹ නගරය හා රට ගැන තම අත්දැකීම් විස්තරාත්මකව එම පොතට එක්කර තිබෙනවා. ලංකාව සුද්දන්ට යටත්කර ගැනීමට විශාල වැඩකොටසක් කළ ජෝන් ඩොයිලි උඩරට රාජධානිය සහ යටත්විජිත ලංකාව ගැන ලියූ කෘතියත් ඉතා රසවත්. ජෝන් කැපර් ලියූ Old Ceylon පොතත්, හෙන්රි චාල්ස් සර්ගේ Ceylon and the Sinhalese පොතත් 19 වැනි සියවසේ ලංකාව ගැන ලෝකයට පවසන්නට දායක වූ කෘති දෙකක්. මේවා බටහිර සංචාරකයන් මෙරටට අද්දවා ගැනීමට අදත් ඉවහල් වෙනවා.

පැරණි සුපිරි හෝටල්

ගෝල්ෆේස් හෝටලය 1900 දී -lankapura.com

 

නිශ්චිත සංචාරක ඉලක්ක නොවූ සමයක ලංකාවේ සුඛෝපභෝගී නවාතැන්පොළවල් බිහිවන්නේ වැවිලි ක්ෂේත්‍රයේ පොහොසතුන් වූ යුරෝපීයයන් වෙනුවෙන්. යටත්විජිත සමයේ ලංකාවේ වැවිලි කර්මාන්තයේ නැගීමත්, ඒ වෙනුවෙන් වන යටිතල පහසුකම් සහ සුපිරි නවාතැන් බිහිවීමත් පසුව සංචාරක කර්මාන්තයේ වර්ධනයට උදව්වුණා. මුලින්ම වතු වගාවට පැමිණි ධනවතුන් නවාතැන්ගත් මේ හෝටල්වල පසුව ලංකාව නැරඹීමට පැමිණෙන යුරෝපීයයන් කාමර වෙන්කර ගත්තා. මේවායේ ආගන්තුක සත්කාර සේවයත් ලංකාවට ආවේණික ලෙස පැවතුණා.

නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය-youtube.com

 

කොළඹ ගෝල්ෆේස් හෝටලය, කොටුවේ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, ගල්කිස්ස මහ හෝටලය,  මහනුවර ක්වීන්ස් හෝටලය, නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය සහ ශාන්ත ඇන්ඩෲ හෝටල ලංකාවේ පැරණි හෝටල් අතරට අයත්. මීට අමතරව රටපුරා විහිදී තිබූ “තානායම්” සංචාරක ක්ෂේත්‍රය ආරම්භයේ දී අතිශයින්ම වැදගත් සේවාවක් ඉටුකළා. ලංකාවේ සත්කාරක සේවාවල පුරෝගාමී සේවයක් ඉටුකළ මෙම තානායම් අතිශය අලංකාර ස්ථානයන්හි පිහිටා තිබෙනවා. හෝටන් තැන්න ෆාර් ඉන් තානායම, ඇල්ල, බෙලිහුල්ඔය, පුස්සැල්ලාව, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල, තිසා වැව, නුවර වැව, කිතුල්ගල, බෙන්තොට, තිස්සමහාරාමය, තංගල්ල ඇතුළු ස්ථාන රාශියක මේවා පිහිටා තිබුණා. මුලින්ම ඉංග්‍රීසි ආණ්ඩුවට අයත්ව තිබූ මේ තානායම් පසුව ලංකා ආණ්ඩුවට අයත්ව තිබී ලංකා හෝටල් සංස්ථාවට පැවරුණා. මේ වන විට  ඒවා පවත්වාගන යාම පෞද්ගලික අංශයට ලබා දී තිබෙනවා.

සිලෝන් ටුවර්ස්

පී. ඒ. එදිරිවීර- srilankatourismdialogue.blogspot.com

 

අද නම් ලංකාවේ සංචාරක සමාගම් බහුල යි. ජාත්‍යන්තර සමාගම් පවා මෙරට ක්‍රියාත්මක යි. නමුත් කවුරුවත් සංචාරක ව්‍යාපාරයට අතගැසීමට උනන්දුවක් නොතිබූ කාලෙක පී. ඒ. එදිරිවීර නම් ලේක්හවුස් වාර්තාකරුවා එයට මුල්වෙනවා. ඒ වන විට මඟී නෞකාවලින් මෙරටට පැමිණ බස්රථ සහ කුලී රථවලින් ලංකාවේ සිරි විඳගත් විදේශිකයින් පිළිබදව ඔහු පුවත්පත් වාර්තා කිහිපයක් පළකළ අතර, පසුව බ්‍රිතාන්‍ය අයිතිය සහිත “ටයිම්ස් ඔෆ් සිලෝන්” පුවත්පතට සම්බන්ධ වෙනවා. ඔහු දෙවන ලෝක යුද සමයේ යුද වාර්තාකරුවෙකු බවට පත්වෙනවා. 1946 වසරේ දී ඔහු ජස්ටින් කොතලාවල සමග එක්ව සිලෝන් ටුවර්ස් ආරම්භ කරනවා. සිලෝන් ටුවර්ස් දැනටත් ක්‍රියාත්මක ලංකාවේ ප්‍රමුඛතම සංචාරක සමාගමක්. එදිරිවීර පසුකාලීනව ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය සහ ගල්කිස්ස හෝටලය තමන් සතුකරගත්තා.

සංචාරක මණ්ඩල පනත

තංගල්ල තානායම- booking.com

 

ලංකාවේ සංචාරක කර්මාන්තය වඩාත් විධිමත් ලෙස පවත්වාගෙන ඉන් ආදායමක් ලබාගැනීමට ආණ්ඩුව උනන්දු වුණේ 1960 දශකයෙන් පසුව යි. 1966 දී වසර 10ක සංචාරක සැලසුම් සකස් කෙරුණු අතර ඒ වෙනුවෙන් 1966 අංක 10 දරන සංචාරක මණ්ඩල පනත, සහ 1968 අංක 14 දරන සංචාරක සංවර්ධන පනත සම්මතකර ගැනුණා. 2007 වර්ෂයේ දී එතෙක් පැවති 1966 පනත වෙනුවට 2005 අංක 38 දරන පනත ක්‍රියාවට නැංවුණා. මීට සමාන්තවරව සංචාරක මණ්ඩලය වෙනුවට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ස්ථාපිත කළ අතර ශ්‍රී ලාංකික සංචාරක ප්‍රවර්ධනය සඳහාම වෙන්වූ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය ද පිහිටුවා තිබෙනවා.

කවරය: Gift.LK

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

Sri Lanka Tourism Dialogue –fb

srilankatourismdialogue.blogspot.com

www.britannica.com/topic/Grand-Tour

Related Articles

Exit mobile version