අප මීට පෙර ලිපියකින් ටැටූ කලාව ගැන කතා කළා ඔබට මතක ඇති. ටැටූ කලාවේ ආරම්භයේ පටන් වර්තමානය දක්වා එහි විකාශනය ගැන එහිදී කියැවුණා. ඔබ ටැටූවලට ආදරය කරන්නෙක් නම් මෝඩ් වොග්නර් කියන්නෙ ඔබ දැනගත යුතුම චරිතයක්.
උතූරු ඇමරිකානු කාන්තාවන් පච්ච කෙටීම ඇරඹුවේ මෝඩ් වොග්නර්ගෙන් නොවන බව ඇත්තයි. ටැටූ කලාවේ ඉතිහාසය ඊට වඩා බොහෝ පැරණීයි. ඒ වගේම කාන්තාවන්ගේ ශරීරයේ පච්ච කෙටීමත් මෝඩ් විසින් ආරම්භ කළ දෙයක් නොවෙයි. නමුත් කලාවක් විදියට ටැටූ ප්‍රගුණ කළ පළමු කාන්තාව ඇයයි. කාන්තාවකට තමන්ගේ ශරීරය ගැන තමන්ට තීරණ ගැනීමට හැකි බව ඇය පෙන්වා දුන්නා.
මුල් අවධිය
මෝඩ් උපන්නේ 1877 පෙබරවාරියේ කැන්සාස්හිදීයි. විවාහයට පෙර ඇගේ නම වුණේ මෝඩ් ස්ටීවන්ස්.
මෝඩ්ගේ පියා David Van Buran Stevens වන අතර ඇගේ මව Sarah Jane McGee වනවා. ඇමරිකානු ජාතික කාන්තාවක් වන මෝඩ් සර්කස් ශිල්පිනියක් ලෙස රැකියාව කළා. ඇය විවිධ සර්කස් කණ්ඩායම් සමඟ වැඩ කරමින් බොහෝ තැන්වල සංචාරය කළ අතර 1990 දශකයේ මුල් කාලයේදී ඇයට ගස් වොග්නර් (Gus Wagner) මුණගැසෙන විටත් ඇය සර්කස් කණ්ඩායමක සේවය කරමින් සිටියා.
ගස් වොග්නර්
1872 ජූනි 16 වැනිදා ඔහියෝහි උපත ලැබූ ගස් වොග්නර් හඳුන්වනු ලැබුවේ ‘Tattooed Globetrotter’ යන නමින්. සුප්‍රසිද්ධ ටැටූ ශිල්පියෙක් වූ ඔහු, ඔහුගේම ශරීරය කැන්වසයක් ලෙස භාවිතා කළා. ඔහුගේ ශරීරයේ ටැටූ 264ක් තිබෙන බව වොග්නර් පවසා තිබෙන අතර ඒ නිසා ඔහුව ඇමරිකාවේ වැඩිම කලාත්මක ආකර්ෂණය ඇති පුද්ගලයා ලෙසත් හඳුන්වා තිබෙනවා.
19 වන සියවසේ අග භාගයේදී නාවිකයෙක් ලෙස සේවය කළ වොග්නර් එම සංචාරයන්ගෙන් පසු මව් රටට පැමිණියේ ශරීරය පුරා ටැටූ ඇඳගෙනයි. ඉන්පසු ඔහු අවුරුදු 40ක් තිස්සේ වෘත්තීය ටැටූ ශිල්පියෙක් ලෙස කටයුතු කර තිබෙනවා. ගස් වොග්නර් 1941 ජූනි 10 වැනිදා 69 වන වියේ සිටියදී කැන්සාස්හිදී මිය ගියා.
වොග්නර් යුවළ
මුලින් සඳහන් කළ පරිදි මෝඩ් ස්ටීවන්ස්ට ගස් වොග්නර්ව මුණ ගැහෙන්නේ සර්කස් සංදර්ශනයකදීයි. ඇතැමෙක් පවසන්නේ මෝඩ් ඔහුව හමුවන්නට ගිය දිනයක ඔහු ඇයට ටැටූ අඳින අයුරු ඉගැන්වූ බවයි. තවත් සමහරුන් පවසන්නේ මෝඩ් ටැටූ උගන්වන බවට ගස් වොග්නර්ගෙන් පොරොන්දුවක් ලබාගෙන ඔහුව මුණ ගැසීමට ගිය බවයි. කෙසේ නමුත් වොග්නර්, මෝඩ්ට ඇයගේම ශරීරයේ ටැටූ අඳින්නට උගන්වා තිබෙනවා. මෝඩ් ඉතා ඉක්මණින් ටැටූ කලාව ප්‍රගුණ කළ අතර ගස් වොග්නර්ගේ සජීවී කැන්වසය වෙනවාට අමතරව අනෙක් සර්කස් සංදර්ශනවල ශිල්පීන්ගේ ශරීරයේ ටැටූ ඇඳීමත් ආරම්භ කළා.
මෝඩ්ගේ ශරීරය ටැටූවලින් පිරෙන්නට වැඩි කලක් ගත වුණේ නැහැ. මේ නිසා සර්කස් සංදර්ශනවලදීත් ඇයට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන අවධානය වැඩි වුණා. ඇයව ඒ කාලයේදී Inked woman ලෙස හඳුන්වා තිබෙනවා. මෝඩ්ගේ ශරීරය වඳුරන්, සමනලයින්, සිංහයන්, අශ්වයන්, සර්පයන්, ගස්, කාන්තාවන් ආදිය අඩංගු ටැටූවලින් පිරී තිබුණා. මෝඩ් ඇයගේ නමත් තම වමතේ ටැටූ කරගෙන තිබූ බව පැවසෙනවා.
විවාහයෙන් පසු මෝඩ් සර්කස් සංදර්ශනවල රැකියාවෙන් ඉවත් වූ අතර වොග්නර් යුවලම පූර්ණ කාලීන ටැටූ ශිල්පීන් ලෙස කටයුතු කිරීමට තීරණය කළා. යුවලක් ලෙස ඔවුන් දෙදෙනා බොහෝ අයගේ ආකර්ෂණය දිනා ගත්තා. වෝග්නර් මෙන්ම මෝඩ්ද ටැටූ ඇන්දේ කූරක් සහ උලක් භාවිතා කරමින්. ටැටූ නිර්මාණයට යන්ත්‍ර තිබියදී සහ අනෙක් ටැටූ ශිල්පීන් ඒවා භාවිතා කරද්දීත් ඔවුන් පැරණි ක්‍රමයම භාවිතා කළා. තියුණු කටුවක්, තීන්ත, අවධානය, ඉවසීම සහ නිර්මාණශීලී බව පමණයි මෙතනදී අවශ්‍ය වුණේ.
ලොවෙටා වොග්නර්
“ලොවෙටා” වොග්නර් යුවළගේ දියණියයි. මෝඩ් ටැටූ කලාවෙහි අති දක්ෂ වූ පසු ඇගේ දියණියටත් මෙය ඉගැන්වීම ආරම්භ කළා. ලොවෙටා ටැටූ ඇඳීම ආරම්භ කරන විට ඇයට වයස අවුරුදු 9යි. නමුත් ලොවෙටාගේ ශරීරයේ ටැටූ අඳිනවාට මෝඩ් අකමැති වූ අතර ඊට ඇගේ සැමියාටත් ඉඩක් ලබා දුන්නේ නැහැ. මේ නිසා ලොවෙටා වොග්නර් තම ශරීරයේ කිසිදු පච්චයක් නැති ටැටූ ශිල්පීන් අතලොස්ස අතරට එකතු වුණා. ඇතැමුන් පවසන්නේ ඇගේ පියාගෙන් ඇයට ටැටූ ඇඳගන්නට නොලැබුණු නිසා වෙන කිසිදු අයෙකුගෙන් ශරීරයේ ටැටූ ඇඳ ගැනීමෙන් වැළකී සිටීමට ඇය තීරණය කළ බවයි. ලොවෙටා වොග්නර් 1993දී මිය ගියා.
සම්මතයෙන් ඔබ්බට
මෝඩ් වොග්නර් 1961 ජනවාරි 30 වැනිදා මිය ගියා. එවිට ඇගේ වයස අවුරුදු 84ක්. ඇය ඇමරිකාවේ කාන්තාවන් ටැටූ ඇඳීම සම්බන්ධව තිබූ මිත්‍යා මත බිඳ දැම්මා. ඇය ජීවත් වුණු වික්ටෝරියානු යුගයේදී බොහෝ කාන්තාවන් මඳක් යටහත් පහත්ව ජීවත් වුණා. ඉතා වැදගත් ලෙස ඇඳුම් පැළඳුම් කිරීමටත්, ටැටූ කලාව පුරුෂ පක්ෂයට පමණක් අයත් දෙයක් ලෙස සිතන්නට සහ පිළිගන්නටත් ඔවුන් පුරුදු වී සිටියා.
එවන් යුගයක ජීවත් වූ මෝඩ් වොග්නර්ට පුරුෂ පාර්ශවයේ වැඩි දායකත්වයක් ඇති ටැටූ ක්ෂේත්‍රය තුළ කටයුතු කිරීමේදී බොහෝ අපහසුතා ඇති වන්නටත් ඇති. නමුත් ඇය ටැටූ පිළිබඳ ඇයගේ තිබූ දැඩි ආශාව හෝ ඇයට ජීවත් වෙන්නට අවශ්‍ය වූ ජීවන විලාශය හෝ වෙනස් කළේ නැහැ.
ඇය අපූර්ව කාන්තාවක් වන්නේ ටැටූ වලින් පිරුණු ඇගේ ශරීරය නිසා පමණක්ම නොවෙයි. මෝඩ් ඉතා ඉහළ මට්ටමේ වෘත්තීය ටැටූ ශිල්පිණියක් වූවා. ඇය කාන්තාවකටත් ටැටූ ඇඳ සුන්දරව සිටීමේ හැකියාවක් ඇති බව සියළු දෙනාටම ඔප්පු කර පෙන්නුවා. එසේම ඒ නිසා කිසිදු කාන්තාවක් අයහපත් අන්දමට විනිශ්චයට ලක් විය යුතු නැති බවත් ඇය විශ්වාස කළා.
කවරයේ පින්තූරය – Library of Congress