කෘමිනාශක භාවිතයට අවසර ලබා දීම සම්බන්ධයෙන් දැනට ලෝකයේ පවතින නියාමන ක්‍රමවේද අතරින් තදබල ම නියාමන ක්‍රමවේදයක් භාවිතා කරන රාජ්‍යයන් සමූහයක් ලෙස යුරෝපා සංගමය හැඳින්වීම වරදක් හෝ අතිශයෝක්තියක් නොවෙයි. වර්තමානයේ දී යුරෝපය තුළ අලෙවි කරනු ලබන සියලු ම කෘමිනාශක, වෙළඳපොළට නිකුත් කිරීමට පෙර සම්පූර්ණ තක්සේරුවකට ලක් කරනවා. එහි ප්‍රාථමික අරමුණ වන්නේ අදාළ කෘමිනාශක වර්ගය, මානව සහ සත්ත්ව සෞඛ්‍යයට පමණක් නොව අවට පරිසරයට පවා හිතකර බව තහවුරු කිරීම යි.
සත්ත්ව සෞඛ්‍යයට හිතකර යැයි සැලකෙන මට්ටමේ ඉහළ ම තැනක වැජඹෙන කෘමිනාශක වර්ගයක් වුව ද එය ස්වභාවයෙන් ම මී මැස්සන්ට විෂ සහිත වීම නොවැළැක්විය හැකි දෙයක්. නමුත් එවැනි තත්ත්වයක් යටතේ පවා මී මැස්සන් නිරාවරණය නොවන ආකාරයට හෝ නිරාවරණය හැකිතාක් අවම වන ආකාරයට අදාළ කෘමිනාශක වර්ගය භාවිත කිරීම මගින් එයින් සිදු වන අහිතකර ප්‍රතිඵල බොහෝ දුරට මග හරවා ගත හැකි යි. නමුත් ලාභ අපේක්ෂාවෙන් කටයුතු කරන වගාකරුවන් වෙතින් එවැනි වැඩපිළිවෙළක් අපේක්ෂා කළ නොහැකි බැවින් මෙවැනි අවස්ථාවක දී රාජ්‍ය මැදිහත් වීම අත්‍යවශ්‍ය වෙනවා.
‘නියෝනිකෝටිනොයිඩ්’ නම් මී මැසි මාරයාට තහනමක්
ගෙවී ගිය අප්‍රේල් මාසයේ දී මී මැස්සන් රැක ගැනීමේ අරමුණෙන් යුරෝපා සංගමය එසේ මැදිහත් වීමක් සිදු කරන ලද අතර එහි අවසන් ප්‍රතිඵලය වුණේ ‘නියෝනිකෝටිනොයිඩ්’ (neonicotinoid) නම් කෘමිනාශක සංයෝගය යුරෝපය තුළ භාවිතය තහනම් කිරීම සඳහා සාමාජික රාජ්‍යයන් එකඟ වීම යි. ලෝකයේ බහුල වශයෙන් භාවිත කරනු ලබන කෘමිනාශක වර්ගයක් වන ‘නියෝනිකෝටිනොයිඩ්’ ක්ෂීරපායී සත්ත්වයින්ට සහ පක්ෂීන්ට එතරම් හානිකර නොවුණ ද මී මැස්සන් වැනි පරාගණයේ යෙදෙන කෘමීන්ට අතිශය අහිතකර බව යි සඳහන් වන්නේ.
ඒ අනුව 2018 අප්‍රේල් 27 වැනි දින යුරෝපා සංගමය විසින් එළිමහන් ප්‍රදේශවල ‘නියෝනිකෝටිනොයිඩ්’ වර්ග ත්‍රිත්වයකට අයත් කෘමිනාශක භාවිත කිරීම තහනම් කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාව සම්මත කරන ලද අතර එම තහනම බොහෝ විට 2018 වර්ෂයේ අවසානයට පෙර ක්‍රියාවට නැංවීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. යෝජනා සම්මතයේ දී එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය වැනි රාජ්‍යයන් 16 ක් ඒ සඳහා පක්ෂ ව ඡන්දය ලබා දුන් අතර රොමේනියාව, ඩෙන්මාර්කය සහ තවත් රාජ්‍යයන් 3 ක් එයට විරුද්ධ ව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. රාජ්‍යයන් 13 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී ඇති බව යි වාර්තා වන්නේ.
මෙසේ යුරෝපා සංගමය විසින් තහනමට ලක් කර ඇත්තේ මී මැස්සන්ට වඩාත් අහිතකර යැයි සැලකෙන ක්ලෝතියනඩින් (clothianidin), ඉමිඩේක්ලොප්රිඩ් (imidacloprid) සහ තයිමතොක්සම් (thiamethoxam) නම් කෘමිනාශක වර්ග ත්‍රිත්වය යි. මේවා මී මැස්සන් ගැවසෙන එළිමහන් ප්‍රදේශයන් හි භාවිත කිරීම සපුරා තහනම් වුව ද ස්ථිර හරිත ගෘහයන් තුළ දී භාවිත කිරීම සඳහා තහනමක් නොමැති බව යි වාර්තා වන්නේ. යුරෝපා සංගමය විසින් මෙවැනි යෝජනාවක් සම්මත කිරීමට හේතු වී ඇත්තේ ‘නියෝනිකෝටිනොයිඩ්’ භාවිතය හේතුවෙන් මී මැස්සන් විශාල වශයෙන් මරණයට ලක් වන බව සහ බිත්තර දැමීමෙන් වැළකෙන බව පර්යේෂණ මගින් හෙළිදරව් වීම යි.
මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව ද ‘නියෝනිකෝටිනොයිඩ්’ භාවිතය තහනම් කිරීම සඳහා නීතිරීති සම්පාදනය කරමින් සිටින බව යි වාර්තා වන්නේ.
දශක තුනක් පුරා මී මැස්සන්ට මරු කැඳ වූ කෘමිනාශක
1980 දශකයේ අග භාගයේ දී ‘නියෝනිකෝටිනොයිඩ්’ හඳුන්වා දී ඇත්තේ එවකට භාවිතා කරන ලද අධික විෂ සහිත කෘමිනාශක වෙනුවට භාවිත කළ හැකි ආරක්ෂිත විකල්පයක් ලෙස යි. නමුත් කාලය ගත වුණේ ලෝකයේ මී මැසි ප්‍රජාව සඳහා ‘නියෝනිකෝටිනොයිඩ්’ සත්‍ය වශයෙන් සිදු කරන බලපෑම අනාවරණය කරමින්. පර්යේෂණ මගින් හෙළිදරව් වුණේ ‘නියෝනිකෝටිනොයිඩ්’ උකහා ගැනීම මගින් කෘමින්ගේ ස්නායු සෛල සම්පූර්ණයෙන් ම පාහේ විනාශ වන බව යි. වර්තමානයේ දී ඉරිඟු, සෝයා සහ තිරිඟු වගාවේ දී ‘නියෝනිකෝටිනොයිඩ්’ බහුල වශයෙන් යොදා ගන්නා අතර එවැනි බෝග ක්‍රමයෙන් වර්ධනය වන්නේ ඒවායේ පටක තුළ අදාළ කෘමිනාශක තැන්පත් කර ගනිමින්. වගා කටයුතු සඳහා කෘමිනාශක යොදා ගත් පසු අදාළ බෝගයේ පරාග, මල් පැණි සහ යුෂ තුළ මෙන් ම මිය ගිය පත්‍රවල පවා ‘නියෝනිකෝටිනොයිඩ්’ අන්තර්ගත වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ පරාගණයේ යෙදෙන කෘමීන්ගේ ශරීර තුළට කෘමිනාශක ඇතුළු වීම යි.
මාන්‍යයෙන් ‘නියෝනිකෝටිනොයිඩ්’ තුළ DDT (දෙවැනි ලෝක සංග්රාම සමයේ දී මැලේරියා පාලනය සඳහා යොදා ගන්නා ලද රසායනික සංයෝගයක් වන මෙය පසු කාලීන ව තහනමට ලක් කර තිබෙනවා) මෙන් 5,000 – 10,000 ක පමණ විෂ ප්‍රමාණයක් අඩංගු වන බව සඳහන්. එසේ ම ‘නියෝනිකෝටිනොයිඩ්’ භාවිත කිරීම, මී මැස්සන්ගේ ප්‍රජනන හැකියාව පහළ දැමීම සඳහා දායක වන බව වාර්තා වෙනවා. එසේ ම පරිසරවේදීන් පෙන්වා දෙන්නේ ‘නියෝනිකෝටිනොයිඩ්’ ශරීරගත වූ මී මැස්සන් ආහාරයට ගන්නා කුඩා පක්ෂීන් සහ වවුලන් ද ක්‍රමයෙන් වන්ධ්‍යකරණයට (sterilization) ලක් විය හැකි බව යි. එසේ ම ජලය හා මුසු වන ‘නියෝනිකෝටිනොයිඩ්’ හේතුවෙන් ගැඩවිලුන් වැනි ප්‍රයෝජනවත් සත්ත්වයන් විනාශ වී යාමේ අවධානමක් ද පවතිනවා.
කවරයේ පින්තූරය : © Emmanuel Dunand / AFP / Getty Images