විද්‍යා ප්‍රබන්ධ සිනමාවේ පෙරළිකාර නිමැවුම, “ස්පේස් ඔඩිසි”

විද්‍යා ප්‍රබන්ධ සිනමාව සෑහෙන කලක් යන තෙක් ම හුදු ෆැන්ටසි වර්ගයේ චිත්‍රපටවලට සීමා වී තිබුණා. 1950 හා 1960 දශකයේ මුල් භාගය වන තෙක් ම මේ වර්ගයේ චිත්‍රපට නොගැඹුරු තිර රචනාවලින් යුත් අත්භූත සතුන්, පිටසක්වළ ආක්‍රමණ, මිනිස් වර්ගයාට වින කරන උමතු විද්‍යාඥයන් ආදී වෙනස් නොවන වට්ටෝරුවකින් සමන්විත වුණා. සාමාන්‍යයෙන් බහුතරයක් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට හොලිවුඩයේ හැඳින්වූයේ බී ග්‍රේඩ් නොහොත් දෙවැනි ගණයේ සිනමා කෘති ලෙස යි. මෙම තත්ත්වයේ රැඩිකල් වෙනසක් ඇති වූයේ යුදෙව් සම්භවයක් සහිත ඇමරිකානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් නිසා. ලෝක සිනමාවේ අමරණීය නාමයක් රැන්දූ ඔහු නමින් ස්ටැන්ලි කුබ්රික්.

ක්ලාක් හා කුබ්රික්

ඒ වන විටත් ස්ටැන්ලි කුබ්රික්, යුද්ධ විරෝධය පාදක කොටගත් “පාත්ස් ඔෆ් ග්ලෝරි” හා විද්‍යාත්මක දියුණුව, මානව ක්‍රියාකාරකම් නිසා ම, මානව වර්ගයාගේ විනාශයට හේතු වන ආකාරය දැක්වෙන “ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ලව්” වැනි ප්‍රබල සිනමා නිර්මාණ නිසා විශ්ව කීර්තියට පත් ව සිටියා. ඔහුගේ මීළඟ සිනමා කෘතිය සඳහා පිටසක්වළ ජීවය හා පිටසක්වළ ජීවය සොයා ගැනීම මානව වර්ගයාගේ ගමන් මඟට බලපෑම වැනි තේමාවන් ඔස්සේ යන විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඔහුට අවශ්‍ය වුණා. එහෙත් ඒ සඳහා ඔහුට ගැළපෙන විද්‍යා ප්‍රබන්ධ කතුවරයෙක් අවශ්‍ය වුණා. හොලිවුඩයේ එක් විධායක නිලධාරියෙකු ඔහුට පැවසූවේ ලංකාවට වී හුදෙකලා දිවියක් ගත කරන ආතර් සී ක්ලාක් මේ සඳහා වඩාත් සුදුසු බව යි. කෙසේ වුවත් කුබ්රික්ගේ අවංක මතය වූයේ ක්ලාක් යනු “ගහක් උඩ ඉන්නා පිස්සෙක්” යන්න වුවත්, තම අදහස පරිදි නිව්යෝක් නුවර දී තමන් හමුවන ලෙස ක්ලාක් හට දන්වා යැවීමට කුබ්රික් පියවර ගන්නවා. ඒ් 1964 වසරේ දී.

ආතර් සී ක්ලාක් හා ස්ටැන්ලි කුබ්රික් 2001 දර්ශන තලයක දී- pinterest

ආතර් සී ක්ලාක් කෘත්‍රිම චන්ද්‍රිකා පිළිබඳ සංකල්පය හඳුන්වා දීම නිසා මෙන්ම, ජනප්‍රිය යථාර්තවාදී විද්‍යා ප්‍රබන්ධ නිසා ද ඒ වන විටත් කීර්තියට පත් වූ චරිතයක්. මුහුදේ කිමීදීමට ඇති ආශාව නිසාත්, තවත් එක් අප්‍රකට හේතුවක් නිසාත් 1950 දශකයේ මැද භාගයේ සිට ම ඔහු දිවි ගෙවූයේ ලංකාවේ. කෙසේ හෝ ක්ලාක් හා කුබ්රික් නිව්යෝක් නගරයේ දී මුණගැසුණු පසු ක්ලාක්ගේ “ද සෙන්ටිනෙල්” නැමැති කෙටිකතාව ඇසුරින් තිර රචනය වර්ධනය කිරීමට එකඟ වෙනවා. කතාව සඳහා විවිධ නම් යෝජනා වන නමුත් ග්‍රීක කිවි හෝමර්ගේ “ඔඩිසි” කාව්‍යය ඇසුරින් “ස්පේස් ඔඩිසි” යන නම ගැන එකඟතාවයක් ඇති වනවා. ස්ටැන්ලි කුබ්රික් හා ආතර් සී ක්ලාක් තිර රචනය සමග සමාන්තර ව නව කතාවක් ද ලියනවා. කෙසේ වුවත්, නවකතාවේ හා තිර රචනයේ යම් යම් පැහැදිලි වෙනස්කම් ද තිබෙනවා.

ස්ටැන්ලි කුබ්රික් ආතර් සී ක්ලාක්ට ආරාධනා කරමින් ලංකාවට එවූ ලිපිය bfi.org

කතාව සැකෙවින්.

චිත්‍රපටයේ කතාව සරලයි. වසර මිලියන ගණනකට පෙර අප්‍රිකාවේ වෙසෙන, ආහාර හිඟකම, විලෝපික තර්ජන, හා සීමිත සම්පත් සඳහා ඇති අන්තර් විශේෂ තරගය කෙමෙන් වඳ වී යාමේ අවදානමකට මුහුණ දී සිටින මානව පූර්වජ වානරයන් පිරිසක් ආරම්භයේ අපට දිස්වනවා. එක් රැයක අවකාශයෙන් පතිත වී උදෑසන ඔවුන් ඉදිරියේ දිස්වන්නේ සිරස් ඝණකාභමය හැඩැති අද්භූත අඳුරු වස්තුවක් නොහොත් ඒ්කලිතයක් (monolith). මේ අඳුරු වස්තුව වටහා ගැනීමට වානරයන් අසමත් වන නමුත් ඉන්පසු ව, ඔවුන් මියගිය සතුන්ගේ ඇටකටු ආයුධ ලෙස භාවිතා කිරීමටත් ඒවා උපයෝගී කරගෙන අවට පරිසරයේ බහුල ව සිටින සතුන් දඩයම් කොට ආහාර හිඟකම මඟහරවා ගැනීමටත් මෙන්ම, අන්තර් විශේෂ තරගයෙන් ජය ගැනීමටත් සමත් වනවා. මේ පිරිසේ නායකත්වය ගන්නා වානරයා (ආතර් සී ක්ලාක්ගේ නවකතාව අනුව නම් Moonwatcher) තමන්ගේ නව ආයුධ වන සත්ත්ව ඇට කැබැල්ලක් අහසට විසි කරනවා. කාලය ගලා යාම හා මානව පරිණාමය සනිටුහන් කරමින් ඒ් ඇටකටු කැබැල්ල නවීන අභව්‍යකාශ යානයකට ඡේදනය වනවා.  

මානව පරිණාමය හා කාලය ගලා යාම සමග තාක්ෂණික දියුණුව යන සියල්ල කැටිකොට ගත් ජවනිකාව 

2001 වසර වන විට සඳ මත මානව ජනාවාස පිහිටුවා තිබෙනවා. සඳ මත පර්යේෂණවල දී හමුවන්නේ ඉහත වානරයන් දුටු ඒ්කලිතයට සමාන වස්තුවක්. එය සොයා ගැනීමත් සමග අවුරුදු ලක්ෂ ගණනකට පසු නැවතත් හිරුට නිරාවරණ වන ඒ්කලිතය මඟින් තරංග සංඥාවක් නිකුත් කරනු ලබනවා. ඒ්කලිතය තැන්පත් කළ පිටසක්වළ ජීවය සොයා බ්‍රහස්පති වෙතට යන ඩිස්කවරි යානය ඉන්පසු නිරූපණය කරනවා. මෙම යානය මෙහෙයවනු ලබන්නේ හැල් 9000 නම් කෘත්‍රිම බුද්ධියක් සහිත පරිගණයක් මඟින්. එහෙත් සුපිරි බුද්ධිය සමග එන යම් සංකූලතා නිසා අභ්‍යවකාශගාමි ඩේව් බෝමන් හැරුණු විට සියලුම අනෙක් අභ්‍යකාශගාමින් හැල් අතින් මිය යනවා. හැල් සමග සටන් කොට ගමනේ අරමුණ ඉටු කරගැනීමට අභව්‍යකාශයේ තනි වූ ඩේව් බෝමන්ට හැකිවේ ද යන්න චිත්‍රපටයේ අවසන් කොටසට අයත් වනවා. බොහෝ දුරට චිත්‍රපටයේ අවසාන ජවනිකා ප්‍රේක්ෂකයාගේ පරිකල්පනයට බර තබමින් නිර්මාණය කොට තිබෙනවා. මානව පරිණාමයේ ඊළඟ අවස්ථාව ඇතැම් විට ඉන් නිරූපණය වනවා විය හැකියි.

අභ්‍යවකාශගාමි ෆ්‍රෑන්ක් පූල් හා ඩේව් බෝමන් ඩිස්කවරි යානය තුළ study breaks magazine
ඩේව් බෝමන් හැල් 9000 කෘත්‍රිම බුද්ධිය සහිත පරිගණකය විසන්ධි කිරීමට තැත් කරමින් bbc.com

චිත්‍රපටයට ප්‍රතිචාර

2001 චිත්‍රපටය තිරගත වන්නේ 1968 වසරේ – එනම් සඳ ගමනට වසරකට පෙර. එම යුගය ඇමරිකානු හා සමස්ත බටහිර ඉතිහාසයේ අතිශයින් විවාදාත්මක යුගයක්. පවතින සමාජ සීමා බැමිවලින් ඈත් වී රැඩිකල් ජීවන රටාවක් ගෙන යාමට උත්සාහ කළ තරුණ පරපුර අතරින් හිපි සංස්කෘතිය බිහි වූයේ ‌මේ නිසා. එමෙන්ම තරුණ පරපුර LSD වැනි සයිකඩෙලික මත්ද්‍රව්‍යවල බලපෑම මඟින් මයාකාරී අධියථාර්තවාදී ලෝකයකට පිවිසීමට උත්සාහ කළා. මෙවැනි තරුණ තරුණියන් අතර 2001 ඉතා ජනප්‍රිය වුණා. මිලි මිටර් 70 සුපර් ටෙක්නිරාමා අතිවිශාල පුළුල් තිරයේ ප්‍රදර්ශනය කළ 2001 විවිධ වර්ණ සංයෝජන, රටා ආදිය මඟින් මත්ද්‍රව්‍ය ඔස්සේ ලබන හැඟීම ම ලබා දෙන බවක් දක්නට ලැබුණා. හොඳම උදාහරණයක් වන්නේ තාරකා දොරටුව තුළින් ඩේව් බෝමන් ගමන් කරන දීර්ඝ ජවනිකාව යි. පෝලීන් කීල් වැනි ඇතැම් සිනමා විචාරකයන් මෙලෙස තරුණ පරපුර චිත්‍රපටය වැළැඳ ගැනීම ගැන කතා කළේ දැඩි විචේචනාත්මක ව යි. ඒසේ වුවත්, චිත්‍රපටය අදායම් අතින් ඉතා සාර්ථක වුණා.

වඩාත් යථාර්තවාදි ලෙස අනාගතය දැක්වීමේ හැකියාවත්, සිනමා රූපි බවත්, මීට පෙර විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල දක්නට නොලැබුණු ලෙස මානව සම්භවය, පිටසක්වළ ජීවින් සමග මිනිසාගේ සබඳතාව, අභ්‍යවකාශ යුගයේ මානව පරිණාමයේ ගමන් මඟ, කෘත්‍රිම බුද්ධිය වැනි තාක්ෂණික දියුණුවත් සමග පරිගණක හා මිනිසා අතර ගැටීම වැනි ගැඹුරු තේමාවන් ස්පර්ශ කිරීමත් නිසා සිනමා විචාරකයන්ගේ නොමඳ අවධානයට ලක්වුණා.

2001 හි බලපෑම

ආතර් සී ක්ලාක් හා ස්ටැන්ලි කුබ්රික්ගේ පරිකල්පනයේ පොහොසත් බව නිසා අනාගතය බොහෝ දුරට නිවැරදි ව දැකීමට ඔවුනට හැකි වුණා. විශේෂයෙන්, අද භාවිතා වන ටැබ්වලට සමාන උපාංගයක් මුල් වරට දක්නට ලැබුණේ 2001 චිත්‍රපටයේ. ටැබ් උපාංගයේ පේටන්ට් අයිතිය සම්බන්ධයෙන් ඇපල් හා සැම්සුන්ග් සමාගම් අතර පැවති නඩු විභාගයේ දී සැම්සුන්ග් සමාගම විසින් 2001 චිත්‍රපටයේ අදාළ උපාංගය සහිත නිශ්චල ඡායාරූප නඩුවට ඉදිරිපත් කළා. එමෙන්ම, අද අයි ෆෝනයේ භාවිතා වන සිරි වැනි කෘත්‍රිම බුද්ධිය සහිත කතා කළ හැකි, මානවයා සමග අන්තර්ක්‍රියා කරන අතත්‍ය සහායකයන් ආදියත් 2001 චිත්‍රපටය නිසා ජනප්‍රිය වුණා.

ටැබ්වලට සමාන උපකරණ මඟින් ප්‍රවෘත්ති නැරඹීම youtube

එමෙන්ම සිනමා කර්මාන්තයට 2001 විසින් කරන ලද බලපෑම අතිමහත්. එයට හේතුව වඩාත් යථාර්තවාදී හා ගැඹුරු තේමාවන් සහිත උසස් ගණයේ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට මාවත මේ චිත්‍රපටයෙන් විවර කළ නිසා යි. ක්‍රිස්ටෝපර්ගේ නෝලන්ගේ Interstellar වැනි මෑතක දී තිරගත වූ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල පවා මේ බලපෑම දැකිය හැකියි. ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ නිර්මාතෘ ජෝර්ජ් ලූකස් වරක් ප්‍රකාශ කළේ ස්ටැන්ලි කුබ්රික් පරිපූර්ණ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් නිර්මාණය කළ නිසා එය අභිබවා යාමක් ගැන සිතීම අපහසු බව යි. ඔහුගේ ස්ටාර් වෝස් චිත්‍රපටවල විශේෂ උපක්‍රම සඳහා ද 2001 හි බලපෑම දක්නට පුලුවන්. ලෝක ප්‍රකට සිනමාවේ දී ස්ටීවන් ස්පීල්බර්ග් වරෙක පැවසූයේ “අපේ පරම්පරාවේ මහා පිපුරුම මෙය යි” වශයෙන්.

කවරයේ ඡායාරූපය: La Scimmia pensa

මූලාශ්‍රයයන්:

New Yorker

Medium.org

Related Articles

Exit mobile version