පසුගිය දිනවල සමාජ ජාල පුරා “බින්දුව” ට මහත් වටිනාකමක් ලැබුණා. අන්තර්ජාතික ක්‍රිකට් තරගාවලි වේගයෙන් පැතිර යත්ම, තවමත් ගමේ කොල්ලෝ කුරුට්ටන් බැට් බෝල අරගෙන පාරවල් ගානේ පොල්පිති විකට්ටු එක්ක දකින්න ලැබෙනවා. ඒ එක්කම, අවුරුද්දේ ආරම්භය කියන්නේ පාසල් දරුවන්ට විශේෂ උත්සව සමයක්. අලුත් පාසල් වාරය කෙසේවෙතත්, බිග් මැච් එක ළඟ එනවා කියන දේ මතක් වෙද්දීත් ආදි ශිෂ්‍යයන්ගේ පවා ඇඟ කිලිපොළා යන්නේ එයට දක්වන ආසාව නිසාමයි. ටිකට් පොතක් අරගෙන පන්ති ගානේ යන ශිෂ්‍ය නායකයන්, පාසලේ විශාල ධජ දුහුවිලි පිසදා එළියට එන හැටි, පාසලේ ක්‍රිකට් පිටිය අරක්ගත් ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල සුලබ දසුන් බවට පත් වෙනවා. ක්‍රිකට් කියන්නේ ආගමක් නම් බිග් මැච් කියන්නේ එය පූජනීයත්වයෙන් පුදන වැඳීමක්.
බිග්මැච් එන බව දැනෙන හැටි
මෙතෙක් කල් හිස්ව තිබුණු නගරයේ තිබෙන උසම ගස, උසම ගොඩනැගිල්ල දෙස බැලුවොත් එහි පාසල් ධජ ලෙලදෙන ආකාරය දැකගන්න පුළුවන්. තමන්ගේ පාසලේ ධජය සුළඟේ ලෙලදෙනවා දකිනකොට ලැබුණාම දැනෙන විස්තර කළ නොහැකි හැඟීමට ජාතිකානුරාගය වගේ “පාසලානුරාගය” කියලා අලුත් වචනයක් හදාගන්නත් වෙනවා. බස්වල ඇතුළේ පොඩි කොඩියක් හෝ ඇතැම්විට පැති කණ්ණාඩිය අසල තරමක කොඩියක්, ආදිශිෂ්‍යයන් තම වාහනවල ස්ටිකර් ඇලවීම, ඉඳහිට කැබ් එකක කොඩියක් අතින් ගත් පිරිසක් මොරදීගෙන නගරය මැදින් යන හැටි පෙබරවාරි – මාර්තු ආපු බව කැලැන්ඩරයටත් වඩා හොඳට සිහිගන්වනවා.
උපකාරක පන්ති වලට යද්දී තමන්ගේ ඉස්කෝලේ පාටින් Arm-bands දාගෙන යන එක, ක්‍රිකට් ලාංඡන සහිත ටී ෂර්ට් වැඩිපුර අඳින එක මේ දිනවල බොහොම වැඩියි. උද්‍යෝගය දරාගන්නම බැරි වුණාම සමහර තාප්ප වලින් ක්‍රීඩකයන්ගේ නම්, පාසල්වල නම් ආදිය මතු වෙනවා. ඒවා නගරවාසීන්ගේ තරහට හේතු වුණත් ඒ හැම එකක්ම බිග් මැච් උප සංස්කෘතිය තුළ දකින්නට ලැබෙන දේවල්. මේ නිසාම පොලීසියට සහ කැරලි මර්දන ඒකකයටත් වැඩ වැඩි වෙනවා.
අලුත් අවුරුද්දට කොහාගේ හඬ වගේ බිග්මැච් සමයේ පසුබිම් සංගීතය බවට පත් වන්නේ ‘පපරේ’ හඬයි. පැරඩ්වල, ක්‍රීඩාංගණය තුළ පමණක් නොවේ ටීවී, රේඩියෝ සහ Ring-In tone වල පවා මේ හඬ රැව්දෙන්නේ බිග්මැච් උණුසුම හැම හදකටම ළඟාකරවමින්.
ගැහැණු ළමයි සහ බිග්මැච්
කොඩි අතින් ගත් නගරය ගිගුම් දෙන හඬින් ඇදෙන මෝටර් බයිසිකල් පෙළපාලි, ඒවා පසුපස එන ජීප් රථ හිටි හැටියේ පාරවල් වල මතු වෙනවා. ඒවා ගැහැණු ළමුන්ගේ පාසල් අසලින් යද්දී තවත් ශබ්දය තවත් වැඩි වෙනවා. එවිට ඒ “කාටවත් කරදරයක් නැති විනෝදය” දකින්න ගැහැණු ළමයින් ද හොරැහින් ඒවට සහභාගී වෙන්නේ අවට ගුරුවරියන් ද නොසලකා හරිමින්. බිග් මැච් පැරඩ් එක නිවාඩු දවසක වැටුනොත් උපකාරක පන්ති අසල මීටත් වඩා වැඩිපුර ශබ්දයක් ඇති වෙනවා. වයස් භේදයකින් තොරව තමන්ගේ පාසලේ අභිමානයෙන් ඔද වැඩී, මහපාර තමාගේ අණසකට යටත් කරගැනීම සහ හීන් නූලෙන් ගැහැණු ළමයින්ගේ හිත් දිනාගන්නට උත්සාහ කිරීම මෙදිනට දැකගත හැකියි.
තමාගේ සහෝදරයා හෝ පෙම්වතා නිසා මෙන්ම සහෝදර පාසල සඳහා තමන්‍ගේ සහයෝගය පළ කිරීමෙන් පමණක් ගැහැණු ළමයි නවතින්නේ නැහැ. අපේ රටේ ප්‍රථම කාන්තා බිග් මැච් එක ‘ස්වර්ණ නීල සංග්‍රාමය’ නමින් 2017දී පානදුරේ දී පැවැත්වුණා. ඒ, වාද්දුව මධ්‍ය විද්‍යාලය සහ පානදුර මහානාම නවෝද්‍යා පාසල අතර යි.
තමන්ගේ පාසලට බලෙන් ඇතුළු වී තම අවධානය දිනාගන්නට වෙර දරන පිරිමි ළමුන්ට හිනා වෙන අතරතුරේ ම ක්‍රීඩාවට ඇති දැඩි කැමැත්ත නිසාම රාත්‍රී ආහාරය ගනිද්දී තමන්ගේ සහෝදරයින් සහ පියා සමඟ කරට කර කතා කරන්නට පුළුවන් දුවණියන් ඕනෑ තරම් දැකගන්නට පුළුවන්. මොකද, පිරිමි පාසල්වල ක්‍රිකට් තරගාවලි නරඹන්නට එන ගැහැණු ළමයින්ගේ අඩුවක් නම් දකින්නට නැහැ.
බිග්මැච් වල අතීත කථාව
බිග්මැච් ඉතිහාසය 1879 දක්වා දිවෙනවා. The Battle of the Blues හෙවත් නිල් මහා හටන කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්සේ සාන්ත තෝමස් විද්‍යාලය අතර මුල් වරට පැවැත්වුණා. මීට පෙර ද ගල්කිස්ස තෝමසුවන් කොළඹ ඇකඩමිය සමඟ ක්‍රිකට් තරගයක් පැවැත්වූවත් එහි ක්‍රීඩා කළේ ගුරුවරු පමණක් නිසා එය ප්‍රථම බිග්මැච් එක ලෙස සැලකෙන්නේ නැහැ. නිල් මහා සටන යන නම ලැබී ඇත්තේ පාසල් දෙකම සතු නිල් වර්ණය නිසායි. රාජකීයයන්ගේ රත්‍රං සහ නිල් වර්ණයත්, තෝමසුවන්ගේ කළු සහ නිල් වර්ණයත් මෙයට බලපෑවා. දැනට වසර 140ක් පැරණි මෙම තරගයෙහි විශේෂත්වයක් වන්නේ එය ක්‍රිකට් හඳුන්වාදුන් එංගලන්තයේ පාසල් දෙකක් වන ඊටන් සහ හැරෝ යන පාසල් දෙක අතර ඇති බිග්මැච් එකටත් වඩා පැරණි එකක් වීම යි. පාසල් බිග් මැච් අතර ලොව පැරණිතම එක වන්නේ ඕස්ට්‍රේලියාවේ සාන්ත පීතර සහ ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් විද්‍යාල අතර ඇති තරගය යි. ඒ අනුව, නිල් මහා හටන දෙවැනි තැනට පාත්‍ර වෙනවා.
1899දී නුවර ධර්මරාජය සහ කිංග්ස්වුඩ් අතර ක්‍රිකට් තරගයත්, 1900දී රුහුණු මහා හටන හෙවත් මාතර සාන්ත තෝමස් සහ සර්වේසස් පාසල් අතර තරගයත් පැවැත්වුණා. මේ අතරේ හතරවැන්නා වූ ‘උතුරු මහා හටන’ එකල පැවති යුද්ධය නිසා පවත්වන්නට සිදු වුණේ කඩින් කඩ යි. මේ වසරේ ඔවුන් නැවතත් තවත් පියවරක් ඉදිරියට තබන්නට සූදානම් වෙනවා. යාපනය මධ්‍ය විද්‍යාලය සහ සාන්ත ජෝන් විද්‍යාලය අතර පැවැත්වෙන මෙය දින තුනක් දක්වා දිවෙනවා. 1905 දී ඇරඹුණු ගාල්ලේ රිච්මන්ඩ්-මහින්ද ක්‍රිකට් ගැටුම හෙවත් “ආදරවන්තයන්ගේ සටන” ද සුපුරුදු පරිදි ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මෙවරත් පැවැත්වෙනවා.
මෙවර පැවැත්වෙන මැච් සහ Online බලන හැටි
2019 සඳහා පැවැත්වෙන ප්‍රධාන ක්‍රිකට් තරගාවලි (school big-matches) ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ සජීවීව නරඹන්නත්, ඡායාරූප, විචාරයන් හා සජීවී ලකුණු පුවරුව ආදී දේවල් වලට ලේසියෙන් පිවිසීමටත් ThePapare.com තුලින් අවස්ථාව ලබා දීල තිබෙනවා. එසේම, මෙම තරග Dialog MyTV මොබයිල් app එක හරහා සහ Dialog TV චැනල් අංක 77 ඔස්සේ සජීවීව නැරඹීමට හැකියි.
ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ මෙම තරග නැරඹීමට click කරන්න.
MyTV මොබයිල් app එක ඔස්සේ නැරඹීමට click කරන්න.
මෙවර පැවැත්වෙන තරගාවලි (big-matches) අතුරින් සජීවීව විකාශය වන තරග මෙසේයි:
දිනය |
තරගය |
පෙබ. 22, 23 |
ඉසිපතන – තර්ස්ටන් |
මාර්තු 1, 2 |
ශාන්ත ජෝසෆ් – ශාන්ත පීතර |
මාර්තු 2, 3 |
ආනන්ද – නාලන්ද |
මාර්තු 7, 8, 9 |
කොළඹ රාජකීය – ශාන්ත තෝමස් |
මාර්තු 7, 8, 9 |
යාපනය මධ්‍ය විද්‍යාලය – ශාන්ත ජෝන් |
මාර්තු 15, 16 |
ගාල්ල රිච්මන්ඩ් – මහින්ද |
පහතින් දැක්වෙන්නේ එලෙසම නැරඹිය හැකි පන්දු වාර 50 එක්දින තරග ලැයිස්තුව යි.
දිනය |
තරගය |
මාර්තු 3 |
ඉසිපතන – තර්ස්ටන් |
මාර්තු 10 |
ශාන්ත සෙබෙස්තියානු – ප්‍රින්ස් ඔෆ් වේල්ස් |
මාර්තු 16 |
කොළඹ රාජකීය – ශාන්ත තෝමස් |
මාර්තු 17 |
ආනන්ද – නාලන්ද |
මාර්තු 23 |
ශාන්ත ජෝසෆ් – ශාන්ත පීතර |