මාර්ග අනතුරු කියපු ගමන්ම ඇග සීතල වෙලා යනවා නේද? ඔව් ඒ තරම්ම මාර්ග අනතුරු වලින් මාරක විපත් ගෙන එනවා. පසුගිය වසරේ පොලිස් සංඛ්‍යා ලේඛන දෙස බලන විට දිනකට මාරක අනතුරුවල සාමාන්‍යය 6ක් පමණ වෙනවා. එය බොහොම බරපතළ තත්වයක් බව හදුන්වන්නට පුළුවන්. පසුගිය වසරේ රිය අනතුරු වලින් මිය ගිය සංඛ්‍යාව 2800ක්ද, බරපතළ තුවාල ලැබුවන් ගණන 7719ක්ද, සුළු තුවාල ලැබුවන් ගණන 13,095ක් හා පොදුවේ වසරකට රුපියල් බිලියන 130ක මුදල් අලාභ හානියක් වන බව වාර්තා වල සටහන් වෙනවා.
තව දුරටත් සංඛ්‍යා වාර්තා නිරීක්ෂණය කිරීමේදී ලෝකයේ වසරකට රථ වාහන අනතුරු නිසා ජීවිත ලක්ෂ 12ක් හා තවත් ලක්ෂ 40ක් බරපතළ තුවාල ලබන බවත් එය යුද්ධ වලින් මිය යන ප්‍රමාණයට වඩා වැඩි බවත් ලෝක සෞඛය සංවිධානය ප්‍රකාශ කරනවා. මෙම රිය අනතුරු වලින් 80%කට හේතුව රියදුරන්ගේ වැරදි ලෙස සටහන්.
ලෝකයේ මෙම තත්වය ශ්‍රී ලංකාවටත් ඒ ලෙසම බලපාන බව එදිනෙදා අනතුරු වලින් අපට පෙනී යනවා. ඉතින් අද අපි ලිපිය තුළින් ගෙන එන්නට හිතුවේ වාහනය පැදවීමට පෙර සිතා බැලිය යුතු කාරණා කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. තවත් වැදගත් කරුණු තියනවනම් අපට comment එකකින් ඒ බව කියලා යන්නත් ඔබට පුළුවන්.
01. වැරදි කරන්නේ දැන-දැනමද?
රියදුරන් මාර්ග නීති කඩ කරමින් වැරදි කරන්නේ දැන දැනමද යන්න සාධාරණ සැකයක් බොහෝ වෙලාවට අපේ හිත් වලට නැගෙනවා. ඒ බව ත්‍රීවීලර් හා බස් රථ පිටුපස ලියා තිබෙන වැකි හෙවත් ත්‍රිවිල් හා බස් වදන් වලින් පැහැදිලි වෙනවා.
“වරදක් කළත් හිතකින් නොවේ”
“අපි කරන වැරදි වලට ගෙදර අම්මට බනින්න එපා”
“වමෙන් ගියත් අපි දකුණේ කොල්ලෝ”
“වැරදි කරන්නේ නොකර බැරි නිසයි”
මේ ආකාරයට දැන දැනම වැරදි කරන රියදුරන්ට අමතරව තමන්ගේ තත්වය හා රාජ්‍ය බලය අතට ගෙන ක්‍රියා කරන පුද්ගලයන් මාර්ග නීති තඹයකටවත් මායිම් නොකර කඩ කරන එක විලාසිතාවක් බවට පත් කරගෙන අවසන්.
මෙහි උග්‍ර අවස්ථාවක් ලෙස රාජ්‍ය රථ වාහන වල යම් යම් ලාංජන ඉදිරිපස අලවා අදාළ නිලධාරීන් නැතුව පවා ඉතාමත් පැහැදිළිව මාර්ග නීති කඩකරන රියදුරන්ව හදුන්වන්නට පුළුවන්. ඔවුන් විසින් වැරදි කිරීම වීර ක්‍රියාවක් ලෙස සලකනවා. තවත් රියදුරන් තමන්ගේ වරප්‍රසාද සියල්ලම නීතිය අතට ගැනීම උදෙසා යොදවනු ලබනවා.
මාර්ගයේ පවතින නොයෙක් අඩුපාඩුද, රියදුරන් අතර පවතින තරඟකාරීත්වය, රියදුරන්ගේ අධිමානය හා අවමානය හා රූපවාහිනී මාධ්‍ය තුළින් විකාශය කෙරෙන බොහොමයක් වැඩ සටහන්ද රියදුරන්ගේ මාර්ග නීති උල්ලංඝණය කිරීම් සඳහා යම් දායකත්වයක් ලබා දෙනවා යන්න පැවසීම ඉතා නිවැරදියි.
02. ඉස්සර කරන්නේ බලාගෙන
වාර්තා වෙන අනතුරු ප්‍රමාණයෙන් වැඩිම අනතුරු සංඛ්‍යාවකට හේතුව වන්නේ අපරික්ෂාකාරීව වාහන ඉස්සර කිරීමයි.
ඉස්සර කරන්නෝ වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. හදීසි රාජකාරි සඳහා යන ගිලන් රථ හා ගිනි නිවන රථ පළමු කාණ්ඩය වන අතර ඒ සඳහා ඔවුන්ට වෙනම අවසරපත් තිබෙනවා. තමන්ගේ පුද්ගලික අරමුණ සඳහා වේගයෙන් අපරික්ෂාකාරීව ඉස්සර කරන්නන් දෙවන කාණ්ඩයට ඇතුල් වෙනවා.
හේතුවක් ඇතත් නැතත් පුරුද්දට මෙන් අන් වාහන ඉස්සර කර යා යුතුයි යන අධිමානසික මතයේ සිටින රියදුරන් මින් ප්‍රධාන තැනක් ගන්නවා. තමන්ගේ වාහනයට වඩා හොද තත්වයේ වාහනයක් දුටු විට එය ඉස්සර කර යාමේ රෝගයෙන් පෙලෙන රියදුරන් මෙන්ම තමන්ගේ වාහනයට වඩා තත්වයෙන් අඩු වාහන තමන්ව ඉස්සර කිරීම වැළක්වීම සඳහා ක්‍රියා කරන රියදුරන්ද දැක ගන්නට පුළුවන්. ඒ වගේම ඉස්සර කිරීම තමන්ගේ ගරුත්වයට හේතු වන බව හිතන අයත් ඉන්නවා. තවත් විටෙක අපරික්ෂාකාරීව වාහන ඉස්සර කිරීමට රියදුරන්ට බලපෑම් ලැබෙන්නේ වාහන තුළ ගමන් කරන අයගෙන්මයි.
කවුරු කෙසේ මාර්ග නීති කඩ කරමින් ඉස්සර කළත් කිලෝමීටරයක් දුරකදී ඔවුන් ඉස්සර වී ඇත්තේ තත්පර කිහිපයකට පමණයි. තවත් අය මෙහෙම ඉස්සර කරලා ගිහින් ඉදිරියේ තැනක නවත්වා තේ පානය කරන හෝ වෙනත් කරුණකට නැවතී ඉන්නවා ඔබ දැක තිබේද? ඇත්තෙන්ම ඉස්සර කරන්නන්ගෙන් 90% කට කිසිදු හේතුවක් නෑ ඔවුන් කරන දේ කරන්නට . බලාගෙන ගියාම ඔවුන්ට තිබෙන්නේ ඉස්සර කිරීමේ මේනියාව පමණයි.
03. රථය ගැන පුර්ණ විශ්වාසය
තමන්ගේ රථය පිළිබඳව පුර්ණ විශ්වාසයක් තබා ධාවනය කිරීමද අද රියදුරන්ගේ ලක්ෂණයක්. වාහනයේ නවීනත්වය මත අනතුරු වීමේ සම්භාවිතාව අඩු වේයැයි ඔවුන් සිතනවා. එසේනම් නවීන තාක්ෂණයෙන් යුතු වාහන කොතෙක් පැමිණියත් අනතුරු අඩු නොවන්නේ ඇයි?
තමන්ගේ වාහනයේ සීට් බෙල්ට්, එයාර් බෑග් පිළිබඳව 100%ක් විශ්වාසය තැබීම නුවණට හුරු නෑ. ශ්‍රී ලංකාවට ආනයනය කෙරෙන නවීන වාහන වල එයාර් බෑග් ක්‍රියාත්මක වන්නේ සීට් බෙල්ට් පැළද සිටියොත් පමණයි.
එනම් නවීන තාක්ෂණය පිළිබඳව නිවැරදි අවබෝධයකින් සිටිය යුතු වෙනවා. කොතරම් අති නවීන වූවත් අධික වේගය හමුවේ ආරක්ෂාකාරී නෑ, අනතුරකට ලක් වූ විට ගිනි ගැනීමේ හැකියාව තියනවා. ඒවගේම ඩෑෂ් බෝර්ඩ් එක මත කිසිදු දෙයක් නොතැබීමට වග බලා ගත යුතු වෙනවා.එයට හේතුව වන්නේ එයාර් බෑග් පිම්බෙන විට ඩෑෂ් බෝර්ඩ් එකේ තිබෙන දේවල් වේගයෙන් මුහුණේ වදින්නට පුළුවන්. ගමන පිටත් වීමට පෙර රිය පන ගන්වා තැබීම එන්ජිමටත් හොදයි. උදේ 7-8 හා සවස 4-5 අතර ධාවනයේදී අව් කන්නාඩි පැළදීම ඉතා වැදගත් වෙනවා.
ටයර් නිවැරදිව යෙදීම ඒ කියන්නෙ Front Wheel වාහන වල එන්ජිමෙන් කරකවා දෙන්නේ ඉදිරිපස රෝද දෙක පමණයි. එවිට පිටුපස රෝද සඳහා බොහෝ දෙනෙක් යොදන්නේ ගෙවී ගිය ටයර්. නමුත් අනතුරකදී සුක්කානමෙන් ඉදිරිපස රෝද පමණක් පාලනය කරන බැවින් පසුපස රෝද ලිස්සීම වැළක්වීමට හොද තත්වයේ ටයර් යෙදිය යුතු වෙනවා.
04. රිය අනතුරු වලට බය නෑ
වසර 2002න් පසුව රිය අනතුරු වාර්තා වීම අඩු වීමක් දකින්නට ලැබෙනවා. නමුත් සත්‍ය තත්වය වන්නේ ඒ පිළිබඳව පොලිසිය දැනුවත් නොකිරීමයි. විවධ රක්ෂණ නියෝජිත සමාගම් තරඟයට මෙන් අනතුරු සඳහා වන්දි ගෙවීම කාර්යක්ෂම කර තිබෙන බැවින් බොහෝ රියදුරන් දැන් අනතුරු වලට බය නෑ. ඕනෑම නීති විරෝධී අනතුරක් වූවත් ජායාරූපයකින් හානි පුර්ණය කර ගන්න පුළුවන්නේ.
පවතින නීතිය අනුව රිය අනතුරක් සිදු වූ විට වෙනත් තැනැත්තෙක් රිය පැදවූ බවට ඉදිරිපත් කළ හැකි වීමත්, අනතුරකට පසු ලැබෙන දඩුවම හෝ ගෙවිය යුතු දඩය අඩු වීම හා නීතිය ක්‍රියාත්මක කරන්නනන්ට බලපෑම් කිරීමට ඇති හැකියාවත් රිය අනතුරු වලට බිය නොවීමට තවත් හේතූන් වෙනවා.
05. නිවැරදිව පාර්ක් කරමු
අක්‍රමවත් ලෙස වාහන ගාල් කිරීම තදබදයට මුලික හේතුවක්. ඒ සමඟම ඇති වන පරිසර දුෂණය හා කාලය අපතේ යැවීම රටේ සංවර්ධනයට ඉමහත් සේ බලපානු ලබනවා. බොහෝ තැන් වල රථ ගාල් කිරීමට ඉඩ නැති වීමට හේතුව වන්නේ ගොඩනැගිලි ඉදිකිරීමට අවසර ගැනීමේදී රථ ගාල් කිරීමට ඇති ඉඩ ප්‍රදේශයක් නම් කර තිබුනත් පසුව පුද්ගලික සමාගම් විසින් එම කොටසේත් ඉදිකිරීම් කටයුතු සිදු කිරීමයි. බොහෝ පුද්ගලික කාර්යාල ඉදිරිපිට මහා මාර්ගයේ Parking Only Customers ලෙස දැන්වීම් යොදා වෙන් කරගෙන තිබෙනවා. නමුත් මේවායින් බොහෝමයක් ඔවුන්ගේ අවශ්‍යතාවය මත එල්ලාගත් බෝර්ඩ් ලෙස හදුන්වන්නට පුළුවන්.
ඔවුන් හරියාකාරව ඒ බිම වෙන් කරගෙන සිටීනම් ඒ සඳහා ප්‍රාදේශීය සභා සභාපතිවරයා, නාගරික කොමසාරිස්වරයා හෝ ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා නිකුත් කළ ලිඛිත ලියවිල්ලක් තිබිය යුතුයි.
06. දරුවන් ඉදිරිපස අසුනේ
විශේෂයෙන් මෝටර් රථ වල රියදුරු අසුනට යාබද අසුනේ කුඩා දරුවන් ගමන් කරනවා දකින්නට පුළුවන්. බොහෝ වෙලාවට ඔවුන් අසුන මත හෝ ඉදිරියේ හිටගෙන ක්‍රීඩා කරමින් තමයි යන්නේ. මෙවැනි අවස්ථාවක වාහනය අනතුරකට පත් වුවහොත් කුඩා දරුවාට වන හානිය ඉතාමත්ම වැඩියි. සංවර්ධිත රටවලනම් වයස අවුරුදු 14ට අඩු දරුවන් ඉදිරිපස අසුනේ තබාගෙන යාම තහනම් වෙනවා. වයස අවුරුදු 14න් පසු වුවත් නියමිත බර හා උස ඇත්නම් පමණයි ඔවුන්ව ඉදිරිපස අසුනේ වාඩි කරවිය හැක්කේ. තවත් සුලභ වැරදි ක්‍රියාවක් ලෙස දරුවන් ඉදිරිපස අසුනේ මවගේ හෝ වැඩිහිටියකුගේ උකුල මත ගමන් කිරීම හදුන්වන්නට පුළුවන්. කුඩා ළමුන් වාඩි කරවීමේ වඩා නිවැරදි ක්‍රමය වන්නේ පිටුපස අසුනට සවි කළ හැකි කුඩා ආරක්‍ෂිත අසුනක් (booster seat) ඒ සඳහා භාවිතා කිරීමයි.
මේ ලිපිය තුළින් අපි ගෙන ආවේ රියදුරන් දැන දැනත් නොපිළිපදින වැදගත් කරුණු කාරණා කිහිපයක් පමණයි. රියක් පැදවීමට පෙර මෙවැනි දේවල් බොහෝමයක් පිළිබඳව ඔබ සිතා බැලිය යුතු වෙනවා. ඉතින් මොහොතක් හෝ මේ දේවල් ගැන ඔබත් අවධානය යොමු කරනවානම් දිනකට වන අනතුරු සංඛ්‍යාව බොහෝ දුරට අඩු කර ගන්නට පුළුවන් වේවි.