ලෝකයේ ජනගහණය කීයක් විතර ඇතිද? මෑතකදී කරපු ඇස්තමේන්තුවලට අනුව ලෝක ජනගහණය බිලියන 7.4කටත් වඩා වැඩියි. නමුත් ලෝකයේ අති බහුතරයක් ජීවත් වෙන්නේ බොහොම දුප්පත් විදිහට බව මෑතකදී ලෝක ප්‍රසිද්ධ රාජ්‍ය නොවන සංවිධානයක් (NGO එකක්) වන Oxfam ආයතනය නිකුත් කරපු වාර්තාවකින් දැක්වෙනවා. මේ කරුණ තහවුරු කරන්න ඔවුන් දක්වන සරලම උදාහරණය තමයි මේ. ලෝකයේ දුප්පත්ම මිනිසුන් බිලියන 3.7කටත් වඩා (කෝටි 370කටත් වඩා) ධනවත්ම 8 දෙනා සතු වත්කම් ප්‍රමාණය ඉහළයි!
ශ්‍රී ලංකාව දකුණු ආසියාතික රටක්. අපේ රට පිහිටලා තියෙන්නේ නිල වශයෙන්ම ලෝකයේ ජනගහනය වැඩිම ප්‍රදේශයේ. ඉන්දියාව සහ චීනය කියන රටවල් දෙකේ ජනගහනය විතරක් මුළු ලෝකයේම ජනගහණයෙන් 1/3 කටත් වඩා වැඩියි. ඒ විතරක් නෙවෙයි, ඉන්දුනීසියාව, පාකිස්තානය, බංග්ලාදේශය, රුසියාව සහ පිලිපීනය කියන ආසියාතික රටවල් පහම ලෝකයේ ජනගහණය වැඩිම රටවල් 12ට අයත්. ඒ වගේම සංඛ්‍යාත්මකව ලෝකයේ දුප්පතුන් වැඩිම ගණනක් වාසය කරන්නෙත් ආසියාවේ.
මේ වගේ තත්වයක් ඇති වෙන එක මොන විදිහකින්වත් සාධාරණයි කියලා හිතන්න පුළුවන් කමක් නැහැ. නමුත් මෑතකදී Oxfam එකෙන් එකතු කරපු දත්ත අනුව පෙන්නුම් කරන්නේ මේ තත්වය තවදුරටත් ඉහළ යන බවක්.
චීනය, ඉන්දියාව සහ අලුත්ම දත්ත
චීනය පලකරන සමහර සංඛ්‍යා දත්ත ගැන වැඩි විශ්වාසයක් තිබුණේ නැති නිසා ඉතා මෑතක් වන තුරු බොහෝ ආයතන වලට නිවැරදි ආදායම් ඇස්තමේන්තු සකස් කරගන්න බැරිවුණා. ඉන්දියාවේ දුෂ්කර පැතිවලින් ලැබෙන සමහර දත්‍ත වල වැරදිත් මේකට බලපෑවා. මේ නිසා මෑතක් වෙන තුරු බොහෝ දෙනා හිතාගෙන හිටියාට වඩා අති විශාල දුප්පතුන් පිරිසක් ජීවත් වෙන බව මෙවර වාර්තාවෙන් පැහැදිලිවම ඔප්පු වෙලා තියෙනවා.
2016 වර්ෂයේදී Oxfam ආයතනය ප්‍රකාශයට පත් කරපු දත්ත වල තිබුණේ ලෝකයේ දුප්පත්ම මිනිසුන් බිලියන 3.6 ක වත්කම ඉහළම ධනවතුන් 62 දෙනාගේ වත්කමට සමානයි කියලයි. (ඒ වන විට ජනගහණය බිලියන 7.2යි. එක වර්ෂයකට ලෝක ජනගහණය මිලියන 200කින් විතර වැඩි වෙනවා) නමුත් චීනය සහ ඉන්දියාවේ දුෂ්කරම ප්‍රදේශ ගැන අලුතින්ම ලැබුණු දත්ත එක්ක බැලුවාම 2016 වන විටත් ලෝකයේ දුප්පත්ම අර්ධය සතු වත්කම් හිතුවාටත් වඩා අඩු මට්ටමක තිබුණු බව Oxfam ආයතනය සඳහන් කරනවා. හරි දත්ත ඇසුරෙන් ගණන් බැලුවා නම් 2016දී ඔවුන්ගේ වත්කම මුල් ධනවතුන් 9 දෙනාගේ වත්කම් වලට සමාන බව තමයි දැන් ගණන් බලලා තියෙන්නේ.
2010 අවුරුද්ද මේ අලුත් දත්ත ඇසුරින් පුරෝකථනය කරාම ලැබෙන්නේ දුප්පත්ම අර්ධයේ වත්කමට සමාන වෙන්න ඉහළම ධනවතුන් 43 දෙනාගේම ධනය අවශ්‍යයි කියන එක. නමුත් එන්න එන්නම සිද්ධ වෙන්නේ දුප්පතුන් තවත් දුප්පත් වෙන අතරේ ඉහළ ධනවතුන් තව තවත් ධනවත් වෙන එක. 2017 අවුරුද්ද වන මේ තත්වය තවත් උග්‍ර අතට හැරෙන බවක් පේනවා. දැන් ලෝකයේ ඉහළම ධනවතුන්ගේ වත්කම බිලියන 3.7කගේ වත්කමටත් වඩා වැඩි වෙලා.
මේ තත්වයට දැන් කාගේත් අවධානය යොමු වෙලා
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF එකේ) ප්‍රධානියා වගේම පාප් වහන්සේත් මෑතකදී සිදු වුණු මේ සමාජ අසාධාරණය ගැන කණගාටුව පළකරලා තියෙනවා. මේ වගේ තත්වයක් ඇති වීම ලෝකයේ පැවැත්මට හානිකර බවයි ඔවුන් පවසන්නේ. දිගින් දිගටම ධනවත් වෙන සුළුතරයක් අතරේ ඇති විශාල පිරිසකට තියෙන වත්කම් පවා අහිමි වෙන නිසා ලෝක දේශපාලනයේ පවා වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ධනවතුන් පිළිකුල් කරන පිරිස දිනෙන් දින වැඩි වන බවටත් වාර්තා පලවෙනවා. මේ නිසා වැඩි පිරිසක් අතර ජනප්‍රිය සටන් පාඨ දැන් ලෝකය පුරාම දේශපාලන වේදිකා වල ප්‍රධාන තැනකට ඇවිත්.
ගෝලීය වශයෙන් පවතින අවධානම් ගැන ලෝක ආර්ථික සමුළුව (WEF එක) පසුගිය සතියේ පළ කරපු වාර්තාවේත් මේ ගැන සඳහන් වුණා.
මේ වගේ තත්වයක් ඇති වුණේ ඇයි කියලා ඇහුවාම Oxfam එකේ ප්‍රතිපත්ති අංශයේ ප්‍රධානියා වන මැක්ස් ලෝසන් (Max Lawson) ලබා දීලා තියෙන්නේ මේ වගේ පිළිතුරක්. “ලෝක ආර්ථිකයේ අවිනිශ්චිත බව පසුගිය කාලය පුරාවටම ඉහළ මට්ටමක පැවතුණා. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීම නිසාත් මේ තත්වය තව දුරටත් වැඩි වෙලා. කොහොම නමුත් තවමත් ව්‍යාපාරවලට සාර්ථක විකල්ප හොයා ගන්න පුළුවන් වෙලාත් නැහැ.”
ඔහු අවසානයේ දුන්නු මේ අදහස හිතලා බලන්න බොහොම වටිනා එකක්. “බහුතර පිරිසකට මීට වඩා බොහෝ ප්‍රතිලාභ සැලසෙන විදිහට ධනවාදය කියන දේ ක්‍රියාත්මක කරන්න පුළුවන් ක්‍රම තියෙනවා.”
“සුපර්-චාජ්” වුණු ධනවාදයට එරෙහිව
මේ වචනය ඔබට ඒ තරම් හුරු නැතිව ඇති. වාහනයක එන්ජිමක් “සුපර්-චාජ්” කරන්නේ එයින් ලැබෙන බලය වැඩි කර ගන්නයි. එන්ජිමේ බලයෙන් ක්‍රියාත්මක වෙන පොම්පයක් පාවිච්චි කරලා බලෙන්ම එන්ජිමට ලැබෙන වායු ප්‍රමාණය වැඩි කරන එක තමයි සුපර් චාජ් කිරීමක් කියන්නේ. ඉතාම ධනවත් කොටස්කරුවන් තමන් සතු කොටස්වල වටිනාකම ඉහළ නංවා ගන්න තමන්ගේ වත්කම් එක්ක ලැබෙන සමාජ තත්වය ඇසුරෙන් බලපෑම් / ප්‍රේරක පාවිච්චි කරනවා. ඉතින් මේක බොහෝ දුරට එන්ජිමක් “සුපර්-චාජ්” කිරීමකට සමාන කරන්න පුළුවන්.
Oxfam ආයතනය ඔවුන්ගේ වාර්තාවේ ප්‍රධානම නිර්දේශයක් විදිහට දක්වලා තිබුණේ කොටස්කරුවන්ගේ මේ “සුපර්-චාජ්” වුණු ධනවාදය පිටුදැකිය යුතුයි කියලයි. ඒ වගේම ධනවතුන් බදු ගෙවීම පැහැර හරින එක නවත්වන්න ශක්තිමත් ක්‍රමවේද සකස් කළ යුතු බවත්, ධනවතුන්ට අසාධාරණව ධනය බෙදීයන අවස්ථා අඩු කර ගත යුතු බවත් ඔවුන් නිර්දේශ කරනවා.
තමන්ගේ ජීවන වියදම් පිරිමසා ගන්න බොහෝ සේවකයන් වැඩි වැඩියෙන් වෙහෙසුණත් ඔවුන්ගේ ක්‍රය ශක්තිය, නැතිනම් භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව දිගින් දිගටම පහළ වැටිලා තියෙන්නේ. මේකේ අර්ථය ඔවුන්ට ලැබෙන ප්‍රයෝජනවත් ආදායම අඩු වෙනවා කියන එකයි. කොහොම වුණත් සුපිරි ධනවතුන්ගේ ආදායම 2009 ඉඳලා මේ වෙනකොට 11%කින් විතර වර්ධනය වෙලා.
ලෝක ධනවතුන්ගේ තත්වය
කාලයක් පුරාවටම ධනවතුන්ගෙන් ඉහළම තැන ඉන්න බිල් ගේට්ස්ගේ ආදායම පසුගිය වසර 10 තුළදී 50%කින් විතර ඉහළ ගිහින් තියෙනවා. 2006 අවුරුද්දේ මයික්‍රෝසොෆ්ට් ආයතනයේ විධායක අධ්‍යක්ෂක ධූරයෙන් ඉවත් වෙන බව ප්‍රකාශ කිරීමත් එක්ක මේ අවුරුදු 10දී ඔහු හිමිකර ගත්ත වත්කම් ප්‍රමාණයත් ඩොලර් බිලියන 25කට වඩා වැඩියි. සංඛ්‍යාත්මකව ගත්තාම ඔහුගේ මුළු වත්කම ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයටත් වඩා ඉහළ අගයක්! (2015 දී බිල් ගේට්ස්ගේ වත්කම ඩොලර් බිලියන 82ක් වෙද්දී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 80ක් වගේ.)
කොහොම වුණත් බිල් ගේට්ස් කියන්නේ සල්ලි පොදි ගහගෙන ඉන්න කෙනෙක් නොවන බව ලෝකය පුරාම ප්‍රසිද්ධයි. මේ තත්වය ඉහළ ධනපතියන් බොහෝ දෙනෙකුට පොදුයි. ඔවුන් හැමෝම තමන් සතු වත්කම් වලින් විශාල ප්‍රමාණයක් සමාජ සුභසාධන කටයුතු වලට යොදවනවා.
ධනපතියා දානපතියා වුණාට ප්‍රශ්නේ විසඳිලා නැහැ
කොහොම වුණත් Oxfam එකට අනුව සුපිරි ධනවතුන් කවුරුත් සුපිරි දානපතියන් වුණු පමණින් මේ ප්‍රශ්නයේ “රෝග මූලයට” විසඳුමක් ලැබිලා නැහැ. “ලොව පුරාම විසිරී සිටින සුපිරි ධනවතුන් සමාජ සුභසාධන කටයුතු වලට දායක වෙන එක ඇත්තෙන්ම හොඳ දෙයක්. නමුත් ආදායම් බෙදී යාමේ විෂමතාවය එන්න එන්නම වැඩි වෙනවා විතරයි. සුපිරි ධනපතියන්ට ගෙවන්න සිදුවෙන බදු ප්‍රතිශතය ඔවුන්ගේ පහළ සේවකයන් ගෙවන බදු ප්‍රතිශතයටත් වඩා අඩු වෙන ක්‍රමවේදයක් පවතින එක කිසිසේත් ලෝකයට හිතකර නැහැ.” කියලා ලෝසන් මහතා ප්‍රකාශ කරලා තියෙනවා.
Oxfam ආයතනය ඔවුන්ගේ මේ වාර්තාවට පදනම් කරගෙන තියෙන්නේ Credit Suisse නැමැති ස්විස් බැංකුවේ දත්ත සහ රොයිටර් පුවත් සේවයේ දත්ත. මේ වාර්තාවේ නම් කරලා තියෙන ලෝකයේ ඉහළම ධනවතුන් වෙන්නේ මයික්‍රෝසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස්, ඉන්ඩිටෙක්ස් (Inditex) නිර්මාතෘ ආමන්ෂියෝ ඔටේගා, ප්‍රකට ආයෝජක වොරන් බුෆේ, මෙක්සිකෝවේ කාලෝස් ස්ලිම්, ඇමේසන් අධිපති ජෙෆ් බේසෝස්, ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග්, ඔරැකල් සමාගමේ ලැරී එලිසන් සහ නිව්යෝක්හි හිටපු නගරාධිපති මයිකල් බ්ලූම්බර්ග් කියන අට දෙනායි.
අපේ රටේ තත්වය
මේ ධනපතියන් කවුරුත් අපේ රටේ නැති වුණත් ලෝකයේ පවතින තත්වයේම පැතිකඩක් අපේ රටෙත් දකින්න ලැබෙනවා. අපේ රටේ ඔය පරීක්ෂණය කළත් ඊට සමාන ප්‍රතිඵලයක් ලැබේවි කියලා හිතන්න පුළුවන්. සමාජයේ බහුතරයකට තමන්ගේ ආදායම ප්‍රමාණවත් නැති වුණත් ඉහළ පැලැන්තියේ බොහෝදෙනෙක් අති සුඛෝපභෝගී ජීවිත ගෙවනවා. ආදායම් බෙදී යාමේ විෂමතාව කියන එක ලෝකයට වගේම අපටත් පොදුයි.
මේ තත්වයේ ලොකු වෙනසක් ඇති වේවි කියලා නම් තවමත් හිතන්නවත් බැහැ. නමුත් තමන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගන්නත් අපහසු පිරිසටත් යම් සාධාරණත්වයක් ඉටු වෙන කාලයක් ඒවි කියලා අපිත් පුංචි බලාපොරොත්තුවක් හරි තියාගමු නේද?