ජීවිතය සොයා කතරකට පියමං කළ හෙදියකගේ කතාව: TAKE OFF

ආර්ථික දුෂ්කරතා නිසා කාන්තාවන් මැදපෙරදිග බලා යාම ලංකාවේ අපට ඉතා හුරුපුරුදු කතිකාවතකි. ජීවිතයේ අනේකවිධ ගැටලුවලට පිළියම් සෙවීමට අප රටේ වසරකට දහස් ගණනක් කාන්තාවන් මැදපෙරදිග බලා පිටව යයි. ලංකාවේ ඉහළම විදේශ විනිමය උපයනුයේ විදේශගත ශ්‍රමිකයන් ය. ඉන් බහුතරය මැදපෙරදිග පුහුණු හා නුපුහුණු ශ්‍රමිකයන් ලෙස පිටව යන කාන්තාවන් ය. ඉන්දියාවේ ද විදේශගත ශ්‍රමිකයන් ලෙස විවිධ රැකියාවන් සඳහා මැදපෙරදිග බලා පිටව යන කාන්තාවන් බොහෝ ය. අප රටේ කාන්තාවන් මුහුණදෙන ප්‍රශ්නවලට බොහොමත් සමාන ප්‍රශ්නවලින් ඔවුන් ද පීඩා විඳියි.

manoramaonline

Take Off මෙවන් ඉරණම් ගමනක යෙදුණු හෙදියක් වටා ගෙතුණු කතාවකි. මලයාලම් අධ්‍යක්ෂක මහේෂ් නාරායනන්ගේ මංගල සිනමා නිර්මාණය ලෙස එළිදකින Take Off සැබැවින්ම උසස් නිර්මාණයකි. මෙය 2014 වසරේ කේරළයේ සිදු වූ සත්‍යය කතාවක් ආශ්‍රය කරගනිමින් කළ නිර්මාණයකි. අධ්‍යක්ෂණය මෙන්ම මෙහි කතාව ද මහේෂ් නාරායනන්ගෙනි. තිර රචනය සහ දෙබස් මහේෂ් නාරායනන් සහ P. V. ශාගි කුමාර් විසිනි. ගෝපි සුන්දර් සහ ෂාන් රහ්මන් විසින් මෙහි සංගීත නිර්මාණයෙන් දායකත්වය සපයයි.

fullpicture

මෙහි එන කතාව 2014 දී ඉන්දියාවේ කේරළයේ සහ ඉරාකයේ ටික්‍රිට්, මොසුල් නගර ආශ්‍රිතව සිදුවන්නකි. මෙහි කතා නායිකාව සමීරා ය. සමීරාගේ චරිතයට පණ පොවන්නේ අතිදක්ෂ මලයාලම් රංගන ශිල්පිනියක් වන පාර්වතී විසිනි. මෙය පාර්වතීගේ රංගන ජීවිතයේ එක් සංදිස්ථානයක් සලකුණු කරනු ලබන නිර්මාණයකි. සමීරාගේ හිටපු සැමියා ෆයිසාල් ලෙස රංගනයනයෙන් දායක වන්නේ අසීෆ් අලි විසිනි. සමීරා කෙරෙහි ඇල්මක් දක්වන තරුණයා ෂහීඩ් වේ. ෂහීඩ් ලෙස කුන්චකෝ බෝබන් රංගනයෙන් දායක වේ. තව ද සුප්‍රසිද්ධ මලයාලම් රංගන ශිල්පියෙකු වන ෆහාද් ෆාසිල් විසින් ඉන්දියාවේ ඉරාක තානාපති මනෝජ්ගේ චරිතයට පණ පොවනු ලබයි. චිත්‍රපටයේ එන පුද්ගල නාමයන් මනඃකල්පිත බව ද දැනුම් දෙමු.  

පාර්වතී (nowrunning)

විනාඩි 138ක් පුරා දිවෙන Take Off විසින් ආමන්ත්‍රණය කරනු ලබන්නේ මූලිකවම කාන්තාව පත්වන ආර්ථික, සමාජීය සහ සංස්කෘතික පීඩනය පිළිබඳව යි. සමීරා යනු මෙම සමාජ යතාර්ථය අප හමුවට රැගෙන එන කතා නායිකාව යි. නාමාවලිය සමග චිත්‍රපටය ඇරඹෙන්නේ රෝගී ජීවිත බේරාගැනීමේ අරගලයේ නියුතු හෙදියන්ගේ දර්ශන පෙළකිනි. හෙද සේවය පිළිබඳ වර්ණනා ස්වරයෙන් ඉදිරිපත් කරන දර්ශන පෙළ ඉරාකයේ හෙද සේවය සඳහා පිටව යාමට සම්මුඛ පරීක්ෂණයක් සඳහා පැමිණ සිටින පිරිසට පෙන්වූවකි. අප කතා නායිකාව වන සමීරා ද මෙහි පැමිණ සිටින්නේ හෙදියක් ලෙස ඉරාකය බලා පිටත්ව යාමේ අරමුණ සහිතව ය. රැකියා අපේක්ෂිත පෝලිම එක් පසෙක තිබෙන විට ඔවුන්ගේ ඥාතීන් පසෙක වාඩි වී සිටියි. සමීරාගේ රෝහලේ ඇය සමග සේවය කරන ෂහීඩ් පැමිණ අසුන් ගන්නේ එම ස්ථානයේ ය. මෙහි දී ඉතා අපුරු සංවාදයක් ඇති වේ. එහි සිටින අයෙක් ෂහිඩ් සමග ඉරාකයේ ඇති භයානකකම පිළිබඳව පවසයි. එහි කුඩා දරුවන් සෙල්ලම් කරන්නේ ද මිසයිලවලින් බව ඔහු පවසන්නේ උපහාසය මිශ්‍රව ගමනේ ඇති භයානකකම පිළිබඳව පැවසීමට ය. ඉරාක ගමනේ ඇති අවධානම පිළිබඳව අවබෝධයක් ඇත්නම් එහි යන්නේ මන්දැ යි ෂහිඩ් අසයි. එවිට ඔහු පිළිතුරු දෙන්නේ, ‘මම නෙමේ, මගේ බිරිඳ’ පවසමින් ඇය දෙසට බැල්මක් හෙළමිනි. කතාව ඇරඹෙන්නේ එලෙස ය.

ෂහිඩ් යනු සමීරා කෙරෙහි ඇල්මක් දක්වන සමීරා සේවය කරන රෝහලේම හෙද තරුණයෙකි. සම්මුඛ පරීක්ෂණයේ දී සහතික පත්‍රය රැගෙන ඒමට නොහැකි වීම නිසා පත්වන අපහසුතවයේ දී සමීරාගේ පිහිටට ෂහිඩ් පැමිණෙන්නේ ඇගේ අකමැත්ත මතිනි. සමීරා ආරම්භයේ සිටම ෂහිඩ්ගේ උපකාරවලින් ඈත්ව සිටීමට උත්සහ කරයි. ඇගේ ගැටලුව කුමක්ද යන්න දැන් ප්‍රේක්ෂකයාට ඇති කුහුල යි.  සම්මුඛ පරීක්ෂණයෙන් ඇයව ඉවත් කිරීමට සුදානම් වන විට වහා පැමිණ සාකච්ඡා කර ඇගේ සහතික මීළඟ දිනයේ ලබාදෙන පොරොන්දුව ෂහිඩ් ලබා දෙයි. එනමුත් සමීරාගේ නොසතුට පහව ගොස් නැත. ඇගේ මිතුරිය ෂහිඩ් පිළිබඳව පවසන විට දැඩි ලෙස කේන්ති ගනී. සමීරා යම් ගැටලුවකින් සැබෑ ලෙසම පිඩා විඳියි. එය කුමක්දැ යි තවම රහසකි.

thenewsminute

පවුල තුළ එල්ලවන පීඩාවන්, සේවාවන් තුළ පිඩාව, ආර්ථික ගැටලු ඇතුළු සියලු ප්‍රශ්නවලින් හෙම්බත්ව සිටින සමීරා පවුල් ජීවිතය අහිමි වූ කාන්තාවකි. දරුවාගේ අයිතියද සැමියාට හිමිවේ. ජිවිතයේ මුහුණදෙන ආර්ථික ගැටලු විසඳීමට දිගින් දිගටම උත්සන්න වේ. අවසානයේ ඇය ඉරාකයේ හෙදියක් ලෙස සේවයට යාමට තීරණය කරයි. ඇයට රෝහලේ දී පෙම් කරන තරුණයා ෂහිඩ්ව ප්‍රතික්ෂේප කරමින් සිටියත් අවසානයේ ඇය ඔහුට කැමැත්ත ලබාදෙන්නේ විවාහ වීමේ අවශ්‍යතාව මත ය. ඉරාකයේ ටික්‍රිට්හි රෝහලක සේවයට යන සමීරා ඇතුළු ඉන්දීය හෙද පිරිස කලක් මෙහි සේවය කරන අතරතුර ISIS සංවිධානය ඉරාකය තුළ නැගී එමින් මොසුල් නගරය අල්ලා ගන්නා ලදී. ඉන්පසුව ටික්‍රිට් ද සිය ග්‍රහණයට ගනියි. මේ 2014 වර්ෂය යි. මෙම තත්ත්වය තුළ ISIS ග්‍රහණයට පත්ව විවිධ දුෂ්කරතාවන් මධ්‍යයේ වුවත් සමීරා සිය කණ්ඩායමට නායකත්වය දෙමින් ආරක්ෂිතව ඉරාකයෙන් මිදී පැමිණීමට සමත් වේ.

මනෝජ්ගේ චරිතයට පණ පොවන ෆහාද් ෆාසිල් (entertainmentcorner)

Take Off සිනමානාත්මක කෝණයෙන්

මෙම නිර්මාණයේ සිනමාත්මක කෝණ අතුරෙන් අරුත්බර දෙබස්, ගැඹුරු සංගීතය, විශිෂ්ට රංගනය සහ පසුබිම් නිර්මාණය කැපී පෙනේ. ඕනෑම සිනමා නිර්මාණයක සාර්ථකභාවය සඳහා සිනමාත්මක ආකෘතින් මඟින් සිය පණිවිඩය සාර්ථකව ප්‍රේක්ෂකයා කරා ගෙන යාමට සමත්විය යුතු ය. කෙතරම් සාර්ථක ලෙස තාක්ෂණය, දෙබස්, සංගීතය, රංගනය යොදාගත්ත ද එය ප්‍රේක්ෂකයාට නවමු අත්දැකීමක් එක් නොකර යි නම් එය සාර්ථක නිර්මාණයක් ලෙස හැඳින්විය නොහැක. එහි ප්‍රති-අන්තය ද එසේම ය. එනම් ඉතා වටිනා හරයක් වුවත් එහි සිනමා ආකෘතින් දුර්වල ලෙසින් භාවිතයේ යොදවා ඇත්නම් එනම් දුර්වල තාක්ෂණය, නීරස දෙබස්, අමිහිරි සංගීතය අඩංගු වේ නම් එය ද සාර්ථක නිර්මාණයක් නොවේ.

ගෝපි සුන්දර්ගේ මිහිරි මෙන්ම ගැඹුරු සංගීතය Take Off විචිත්‍ර මෙන්ම වඩාත් අරුත්බර කරවයි. ඒ තුළ අභියෝගාත්මක, වේදනාත්මක අත්දැකීම් බොහෝ අඩංගු වන අතර විටෙක රොමැන්තික අවස්ථා ද, නිදහසේ ගලා යාමට ඉඩදෙන අවස්ථා ද දර්ශන සමග සංගීතාත්මකව ඉදිරිපත් කරයි. තමන් කිසිදා පහ නොතැබූ රටක ගොස් සේවය කිරීමට සුදානම් වන පිරිස තුළ වන බිය, කුතුහලය බස් රථයෙන් ගොස් ටික්‍රිට් රෝහලට සේන්දු වන විට ප්‍රේක්ෂකයාට දැනෙන්නේ සංගීතයෙනි. අරාබියානු සංගීතය ද මුසුකරමින් විව්ධත්වයත්, භූමිය සමග ගැලපිමක් ද සිදුකර යි.

tollywoodcelebrities

සමීරාගේ චරිතයට පණ පොවන සම්මානනීය රංගන ශිල්පිනිය පාර්වතීගේ සුවිශේෂී හැකියාව මෙහි අගය කළ යුතුම ය. මලයාලම් සිනමාව තුළ පාර්වතීගේ විශිෂ්ටතම රංගනය Take Offහි සමීරායැ යි පැවසීම අතිශයෝක්තියක් නොව්යැ යි සිතමි. මෙහි වැඩි කාලයක දී සමීරා ගැබිණි මාතාවකි. පාර්වතීට මෙතෙක් හිමි වූ දුෂ්කරම චරිතය සමීරා විය හැකිය. මවක්, බිරිඳක්, හෙදියක්, දියණියක්, යෙහෙලියක් ජිවිතයේ අනේකවිධ දුෂ්කරතා හමුවේ අසරණභාවයට පත්වන අයුරුත්, ධෛර්යයෙන් යුතුව ඊට මුහුණදෙන අයුරුත් පාර්වතී සිය රංගන කුසලතාවයෙන් ප්‍රේක්ෂකයා හමුවට සජීවීව ගෙන ඒමට සමත්ව තිබේ. මෙම කුසලතාවය වෙනුවෙන් කේරළයේ ප්‍රධානතම සිනමා සම්මාන උළෙල වන කේරළ ප්‍රාන්ත සිනමා සම්මාන උළෙලේ දී 2017 වසර සඳහා හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානය ද පාර්වතී විසින් දිනාගන්නා ලදී.

Take Off දෘෂ්ටිවාදීව

මිට පෙර සඳහන් කළ පරිදිම Take Offහි ගෙන එන්නේ කාන්තාව සිය ජීවිතය මුහුණ දෙන අසමනාතව පිළිබඳ කතාවකි. සිනමාපටය කොටස් දෙකක් යටතේ අපට අධ්‍යයනය කළ හැකිය. එනම් පළමු අර්ධය සහ දෙවන අර්ධය ලෙස ය. සමීරා ISIS ග්‍රහණයට පත්වීමට පෙර සහ පසු ලෙස මෙම කොටස් දෙක වර්ග කර ගත හැකිය. පළමු අර්ධයේ දී සම්පුර්ණයෙන්ම සමීරා වටා ගෙතෙන කතාව ඇය සිය ජීවිතය තුළ මුහුණ දෙන අභියෝග එනම් සාමාන්‍ය කාන්තාව මුහුණදෙන සමාජ ආර්ථික සංස්කෘතික අසාධාරණයන් පිළිබඳව හෙලිදරව් කරන්නකි. පළමු අර්ධය මුළුමුනින්ම පාහේ සමීරා පිළිබඳ හෙළිදරව් කරන සමීරා කේන්ද්‍රව ගලා යන අතර දෙවන භාගය එනම් ISIS ග්‍රහණයට පත්වීමෙන් පසුව කතාව සමීරා සහ ඉරාකයේ ඉන්දීය තානාපති මනෝජ් දෙදෙනා අතර දෝලනයට පත්වේ.

සමීරා යනු හෙදියක් ලෙස සේවය කරන දික්කසාදව සිටින මවකි. ආරම්භයේ සතුටුදායක විවාහ දිවියක් ගත කළ  බවත් පෙන්වයි. සැමියා ද ඇයට ආදරය කරයි. විවාහ වුවත් ඇයට ඇගේ දෙමව්පියන්ගේ වගකීම් ඇය මත පැටවේ. උගස් වීමට නියමිත නිවස බේරාගැනීමට දෙමව්පියන්ට මුදල් උපයා දීමට ඇය රැකියාවේ නිරත වෙයි. සමීරාගේත් ෆයිසාල්ගේත් විවාහ දිවිය දෙදරීම සඳහා ඇය රැකියාවක නිරත වීම මුලිකම හේතුවක් වෙයි. ෆයිසාල්ගේ මව සහ අනිකුත් සොයුරාගේ බිරිඳ රැකියාවක් නොකර නිවසේ රැඳී සිටින ගෘහනියන් වේ. සමීරාට මෙහි මුහුණපෑමට සිදුවන්නේ කාන්තාව නිවසට වී සිටිය යුතු ය යන ස්ත්‍රී පීඩක මතවාදය සමග ගැටුම යි. එක් පසෙකින් කාන්තා ශ්‍රමිකයෙකු ලෙස සමාජයට දායක වීමට එරෙහි වන අතරම අනෙක් පසින් කාන්තාවට නිවස තුළ දී ද හිමිවන්නේ දෙවන පුරවැසියෙකුගේ තත්ත්වය යි. වැඩිහිටි කාන්තාවන් කෑම මේසයෙන් ආහාර ගැනීමේ සිරිතක් ඔවුන් අතර නැත. පුරුෂයන් සහ දරුවන් මේසයේ ආහාර ගන්නා විට කාන්තාව වෙනම ආහාර ගත යුතු ය. සාමාන්‍යකරණයට පත්ව ඇති දෑ හි ස්වරූපය මහේෂ් නාරායනන් අපුරු ලෙස ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නේ පර්වතිගේ අතිදක්ෂ රංගනයේ ද උපකාරයෙනි.

ibtimes

කතාවේ මුල් භාගය පුරාවට දක්නට ලැබෙන්නේ මේ ආකාරයෙන් කාන්තාවක් වීම නිසා ඇය පත්වන පිඩාවත්, ෂහිඩ් ඇය කෙරේ සෙනෙහසින් සමීප වන අයුරුත් ය. පවුල් ජීවිතය තුළ දී මෙන්ම සේවා ස්ථානයේ දී ත් පත් වූ පීඩාවන් නිසා ඇය පිරිමින් ප්‍රතික්ෂේප කිරීමට යොමු වේ. ෂහිඩ් කෙතරම් ඇයට සමීප වීමට උත්සාහ දැරූ ව ද ඇය දිගින් දිගටම ඔහුගෙන් දුරස්ව සිටීමට උත්සහ කරයි. කෙසේ නමුත් සමීරාගේ චරිතයෙන් පෙන්වන වැදගත්ම ලක්ෂණය නම් ඇය උත්සාහය අත්හැරීමට කිසිවිටෙක එකඟ නොවීම යි. ඇය සැමියාගේ බලපෑමට පවා යටත් නොවී තමන්ගේ තෝරාගැනීම වෙනුවෙන් සටන් කරයි.

සමීරා හට දැන් මෙම සියලු බැඳීම්වලින් මිදී වෙන්ව යා යුතු ය. ඊට උපකාරී වන්නේ ඉරාකයේ රැකියාවකට අයදුම් කිරීම යි. දෙමව්පියන්ගේ ණය පියවීමටත් මේ සියලු දේ හැර දා කලක් වෙන්ව සිටීමට ද අවශ්‍ය නිසා ඉරාකය බලා යා යුතුම ය. ඇය සමග ගමනට එක්වන අනෙකුත් හෙදියන්ගේ කතා පුවත් එහි දී දිගහැරෙන විට විදේශ රැකියා සඳහා පිටත්වීමේ අවශ්‍යතාවන් සඳහා මූලයන් හෙළිදරව් කරයි. ඔවුන් විඳින ආර්ථික දුෂ්කරතා, දෙමව්පියන් මුදල් ද සමග නැවත පැමිණෙන දියණියන් ගැන අහස උසට තබන බලාපොරොත්තුත්, දරිද්‍රත්වයත් ඉන් කාන්තාව විශේෂයෙන් පිඩාවට පත් වන අයුරුත් මෙහි හොඳින් විස්තර කරයි. අවසානයේ හිස් වූ දෑතින් වුවත් ඉන්දියාව බලා ළඟා වීමට ඔවුන් සමත් වේ.

entertainmentcorner

මෙය කාන්තාව මුහුණදෙන ප්‍රශ්න පිළිබඳ විග්‍රහය අලන්ක්‍රිතා ශ්‍රිවස්තවාගේ Lipstick Under My Burkha වැනි නිර්මාණයක් තරම් ගැඹුරු නොවුවත් සජීවී අත්දැකීමක් ලෙස ප්‍රේක්ෂකයා වෙත රැගෙන ඒමට සමත්ව තිබේ. මෙවන් නිර්මාණයන් නැරඹීමේ පරමාර්ථය හුදු විනෝදාස්වාදය පමණක් නොවී මෙහි හරය අවබෝධ කරගනිමින් අප සමාජයේත් එදිනෙදා අත්දකින ස්ත්‍රී විරෝධී භාවිතාවන් පිටුදැකීමටත්, සමානාත්මතාවයේ කතිකාවත පුළුල් කිරිමටත් යොමු වීම අප සැමගේ යුතුකමකි, වගකීමකි.

කවරයේ පින්තුරය: big14me

මූලාශ්‍රයයන්:

Imdb.com

thenewsminute.com

Related Articles

Exit mobile version