Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ දරුවන් කුලවද්දා ගැනීමට අදාළ නීතිය තව දුරටත්

දරුවෙකු කුලවද්දා ගැනීමක් යනු ස්වාභාවික දෙමාපියන් නොවන අයෙක්/යුවලක් විසින් දරුවෙකු හදාගැනීමට ගැනීමයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ නීතියට යටත්ව දරුවන් කුලවද්දා ගැනීමේදී, සාමාන්‍ය (පොදු) නීතිය යටතේ දරුවන් කුලවද්දා ගන්නා ආකාරය පිළිබඳව අප පළමු ලිපියෙන් සාකච්ඡා කළෙමු. සාමාන්‍ය (පොදු) නීතියට අමතරව ශ්‍රී ලංකාවේ පවතින පෞද්ගලික නීති ද දරුවන් කුලවද්දා ගැනීම සම්බන්ධයෙන් අදාළ වේ.

උඩරට නීතියට යටත්ව කුලවද්දා ගැනීම

1938 අංක 39 දරණ උඩරට නීති ප්‍රකාශනය ආඥා පනත හා 1944 අංක 25 දරණ ආඥා පනත මේ සම්බන්ධයෙන් වැදගත් වේ.

උඩරට නීති ප්‍රකාරව දරුවෙකු හදාගැනීමට ගැනීමේ ක්‍රමවේදය සාමාන්‍ය නීති ක්‍රමවේදයට වඩා වෙනස් ස්වරුපයක් ගනී. කුලවද්දා ගන්නා දරුවා සහ කුලවද්දා ගැනීමට ඉදිරිපත් වන පුද්ගලයා විධිමත්ව සකසන ලද ලේඛනයකට අත්සන් කළ යුතුය. එය කළ යුත්තේ දිසා විනිසුරු හෝ පවුල් අධිකරණය හෝ නොතාරිස් හා සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරියේ ය.

බාලවයස්කාර දරුවෙකු මෙන්ම වැඩිහිටි දරුවෙකු කුලවද්දා ගැනීමට මෙම නීතියෙන් ඉඩ සලසයි. හදාගැනීමට ගන්නේ බාලවයස්කාර දරුවෙකු නම්, දරුවාගේ දෙමව්පියන් අදාළ ලේඛනයට අත්සන් කළ යුතු අතර එක් දෙමාපියෙක් පමණක් ජිවතුන් අතර සිටී නම් ඔහු/ඇය විසින් අත්සන් කළ යුතු වේ.

දෙමාපියන්ගේ අත්සනින් තොරව දරුවා හදාගැනීමට ගැනීමේ හැකියාවක් ද පවතී. එසේ කළ හැකි වන්නේ දෙමාපියන් ජිවතුන් අතර නැත්නම් හෝ, සොයාගත නොහැකි නම් හෝ, සිහිවිකල් වී හෝ අත්සන් කළ නොහැකි ආකාරයට නොහැකියාවකට පත්ව සිටී නම් පමණි. එවැනි අවස්ථාවක එය අදාළ දරුවා පදිංචි ප්‍රදේශයේ දිසා අධිකරණය හෝ ප්‍රාථමික අධිකරණය වෙත ඉදිරිපත් කරන පෙත්සමක් මාර්ගයෙන් කළ යුතුය.

උඩරට නීතිය යටතේ කුලවද්දා ගන්නා දරුවෙකුට පහත අයිතිවාසිකම් හිමි වේ.

  • හදාගන්නා පියා අන්තිම කැමති පත්‍රයක් රහිතව මිය ගිය විටෙක, එම පියාගේම සුජාත දරුවෙකුට හිමි වන ආකාරයට කුලවද්දා ගන්නා දරුවාට ද දේපළ උරුමය ලැබේ.
  • හදාගත් පියා අන්තිම කැමති පත්‍රයක් රහිතව මිය ගොස් ඇති විට, එම පියාගේ සුජාත දරුවා ද ඔහුගේ දරුවා තබා මියගොස් ඇති විටෙක, කුලවද්දාගත් දරුවාට ද පෙර කී සුජාත දරුවාගෙන් පැවත එන්නාට සමානව දේපළ උරුමය ලැබේ.
  • කුලවද්දාගත් දරුවාගේ පියාට සිය විවාහයෙන් හිමි වන දෑවැදි දේපළ සඳහා කුලවද්දාගත් දරුවාට ද උරුමකම් කිව හැක.
  • කුලවද්දාගත් පියා මියගොස් ඇති විට, ඔහුගේ සුජාත දරුවන්ට හිමි වන පිය උරුමය කුලවද්දාගත් දරුවාට ද හිමිය.
  • කුලවද්දාගත් දරුවාට තම හදාගත් පියාගේ ඥාතීන්ගේ පරම්පරාගත දේපල වලට උරුමයක් ලැබෙන්නේ නැත.
  • උඩරට නීතිය යටතේ හදාගැනීමට ගන්නා දරුවෙකු කිසිදු අවස්ථාවක නැවත ප්‍රතික්ෂේප කිරීම හෝ කුලවද්දා ගැනීම අවලංගු කිරීම කළ නොහැක.

තේසවලාමේ නීතියට යටත්ව කුලවද්දා ගැනීම

flickr.com

1856 අංක 5 දරණ පනතින් සංශෝධිත 1806 අංක 18 දරණ තේසවලාමේ නීති සංග්‍රහය මේ සම්බන්ධයෙන් වැදගත් වේ. එහි දක්වන ආකාරයට කුලවද්දා ගැනීමකදී එයටම ආවේණික වූ චාරිත්‍ර කිහිපයක් අනුගමනය කල යුතු වේ. ඒ අනුව,

  • දරුවෙකු අරන් හදා ගැනීමට අපේක්ෂා කරන දෙමාපියන් පළමුව තම සහෝදරයෙකුගෙන් හෝ සහෝදරියකගෙන් ඔවුන්ගේ දරුවෙක් ඉල්ලා සිටිය යුතු වේ.
  • ඔවුන් ඊට අකමැති වන අවස්ථාවකදී පමණක් වෙනත් අයෙකුගේ දරුවෙක් හදාගැනීමට ගත යුතුයි.

වෙනත් පවුලකින් දරුවෙක් හදාගැනීමට ගැනීමේදීත් ඔවුන් තම සහෝදර සහෝදරියන්ගේ කැමැත්ත ලබා ගත යුතු වේ. සහෝදර සහෝදරියන් කිසිවෙකු නොමැති අවස්ථාවකදී ළඟම ඥාතීන්ගේ අවසරය ලබා ගත යුතු වේ. ඔවුන්ගේ කැමැත්ත කහ වතුර බඳුනකට ඇඟිල්ල ඔබා සංකේතාත්මකව පෙන්නුම් කල යුතුයි. ඔවුන් අකමැති නම් කහ වතුර පානය කිරීමක් සිදු නොවන අතර කුලවද්දා ගැනීම නතර වේ. හදාගන්නා දෙමාපියන්ට කහ වතුර පානය කල හැක්කේ සහෝදර සහෝදරියන්ගේ හෝ ඥාතීන්ගේ කැමැත්ත ඇත්නම් පමණි. එම සිද්ධිය සඳහා සාක්ෂි දැරීමට රෙදි සෝදන්නෙක් සහ කරණවෑමියෙක් ද අසළ සිටීම අවශ්‍ය වේ.

  • සහෝදර සහෝදරියන් අකමැති වන අවස්ථාවකදී හදාගන්නා දෙමාපියන්ට මුදලිවරයෙකු වෙත ගොස් දිවුරුම් දී ළමයා ලබා ගත හැකි අතර එහිදී මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් ලබාගැනීම ද අවශ්‍ය වේ.

වෙනත් නීති යටතේ මෙන් නොව, තේසවලාමේ නීතිය යටතේ දරුවෙකු හදාගැනීමට ගැනීමේ දී කුලය බලපානු ලබයි.

  • පියෙකු තම කුලයට අයත් නොවන දරුවෙකු හදාගැනීමට ගතහොත්, එම දරුවාට හදාගත් පියාගේ කුලය ලැබේ.
  • නමුත් තම කුලයට වඩා වෙනස් කුලයක දරුවෙකු හදාගැනීමට ගෙන ඇති විට, එම දරුවා හදාගත් පියාගේ දේපල සඳහා උරුමයක් නොලබයි.
  • මවක් තම කුලයට අයත් නොවන දරුවෙකු හදාගැනීමට ගෙන ඇත්නම්, එම දරුවා හදාගත් මවගේ කුලයට අයිතිවාසිකම් නොකියන අතර තවදුරටත් තම ස්වභාවික පියාගේ කුලයටම අයත් වේ.
  • එහෙත් එවැනි දරුවෙක් තම හදාගත් මවගේ දේපලට උරුමකම් කියයි.
  • කුලවද්දාගත් ගැහැණු දරුවෙකු විවාහ වීමෙන් ලබන සුජාත දරුවන්ට ඇයගේ පියාගේ කුලය ලැබේ.

කුලවද්දා ගන්නා දරුවාට තම පියාගේ දේපළින් 1/10 කට මෙන්ම මවගේ දෑවැදී දේපළ සඳහා ද උරුමයක් ඇත. එසේම කුලවද්දාගත් දරුවා විවාහ නොවී මියගියහොත් ඔහු වෙත දේපළ අනුප්‍රාප්තිය ලබාදුන් පුද්ගලයාටම එම දේපළ නැවත පැවරේ.

තේසවලාමේ නීතියට යටත් යුවලක් දරුවෙකු කුලවද්දා ගැනීමේදී ඔවුන්ගේ සහෝදර සහෝදරියන් අතරින් කිහිප දෙනෙක් පමණක් ඊට අවසර දී ඇත්නම්, අවසර දුන් සහෝදර සහෝදරියන්ගේ දේපළ වලට කුලවද්දාගත් දරුවා උරුමය ලබයි. නමුත් කුලවද්දාගත් දරුවා හැදී වැඩෙන්නේ හදාගත් දෙමාපියන් අසල නොවේ නම්, එම දරුවා තම හදාගත් දෙමාපියන්ගේ දේපළ වලට ද උරුමකම් නොකියයි.

තේසවලාමේ නීතිය සම්බන්ධයෙන් සුවිශේෂී තත්වයක් වන්නේ, කුලවද්දාගත් දෙමාපියන් එකිනෙකට ලේ ඥාතිත්වයක් නැති ගැහැණු හා පිරිමි දරුවෙකු බැගින් හදාගැනීමට ගෙන ඇත්නම්, එම දරුවන් දෙදෙනා කල වයස සම්පුර්ණ වූ විට විවාහ කර දිය හැකි වීමයි. එමෙන්ම පිරිමි දරුවෙකු හදාගැනීමට ගෙන ඇති අවස්ථාවක, එම හදාගත් දෙමාපියන්ට සුජාත ගැහැණු දරුවෙකු පසුව ඉපදී ඇත්නම්, එම දරුවන් දෙදෙනාවද කල වයස සම්පුර්ණ වූ පසු විවාහ කර දිය හැකියි.

මුස්ලිම් නීතියට යටත්ව කුලවද්දා ගැනීම

mid-day.com

සාමාන්‍ය නීතිය යටතේ එන දරුවන් දරුකමට හදාගැනීමේ ආඥා පනත මුස්ලිම්වරුන් සඳහා අදාළ නොවේ. නමුත් මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර මහත්මියගේ ‘Parent And Child’ කෘතියේ දක්වන ආකාරයට දරුකමට හදාගැනීමේ ආඥා පනත ශ්‍රී ලංකාවේ සියලුම ජාතින්ට බලපාන අතර, පුර්ණ මුස්ලිම් නීතියක් මෙරට භාවිතා නොවේ. කෙසේ වෙතත් අනපනත් සහ නඩු තීන්දු මඟින් ඉදිරිපත් කර ඇති මුස්ලිම් නීති සංකල්ප තවදුරටත් අදාළ වේ.

කුරානයේ  4 වන පරිච්ඡේදයේ දක්වන ප්‍රතිපාදන වලට අනුව මුස්ලිම් නීතියේ කුලවද්දා ගැනීම කිසිසේත් අනුමත කර නැත. කුරානයේ 33 වන වගන්තිය අර්ථ නිරුපණය කරන ආකාරයට මුස්ලිම් අන්තිම කැමති රහිත දේපල අනුප්‍රාප්තිය සම්බන්ධ නීතිය සාමාන්‍ය නීතිය අභිබවයි. ඒ අනුව සාමාන්‍ය නීතියේ කුලවද්දා ගැනීමේ ආඥා පනත අභිබවමින් මුස්ලිම් අන්තිම කැමති රහිත දේපල අනුප්‍රාප්තිය පනත දක්වන්නේ කුලවද්දා ගන්නා දරුවෙකුට දේපල අනුප්‍රාප්ති අයිතියක් හිමි නොවන බවයි. එයට හේතුව එකී දරුවා දෙමාපියන්ගේ ලෙයින් උපන් දරුවෙක් නොවීමයි.

මුස්ලිම් නිතිය යටතේ දරුකමට හදාගැනීම සම්බන්ධයෙන් සාමාන්‍ය හරය වන්නේ මුස්ලිම් දෙමාපියන්ට දරුවෙකු කුලවද්දා ගැනීම සම්බන්ධයෙන් තහංචියක් නොමැති වුවත්, හදාගන්නා දරුවාට කුලවද්දාගත් දෙමාපියන්ගේ දේපළට උරුමකම් කිව නොහැකි වීමයි.

Cover Image- 101clipart.com

Sources

1806 අංක 18 දරණ තේසවලාමේ නීති සංග්‍රහය

1938 අංක 39 දරණ උඩරට නීති ප්‍රකාශනය ආඥා පනත

1944 අංක 25 දරණ ආඥා පනත

කුරානය

Savitri W.E. Goonesekere,‘Parent And Child’(2002).

http://dailynews.lk/2016/06/13/law-order/84410

http://dailynews.lk/2016/06/27/law-order/85704

http://www.academia.edu/33812856/Adoption_under_the_Muslim_Law.docx_SRILANKA_SRI_LANKA

http://www.commonlii.org/lk/legis/consol_act/kl71160.pdf

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=3539

https://www.lawteacher.net/free-law-essays/family-law/adoption-in-hindu-law-and-muslim-law-law-essay.php

Related Articles