ශිෂ්ටයැ යි සම්මත ලෝකයෙකි මනුෂ්‍ය මාංශ අනුභව කිරීම පහත් වූත්, අශිෂ්ට වූත් දෙයක් ලෙස සැලකෙනවා. විවිධ හේතූන් නිසා එසේ කළ බොහෝ දෙනාට සමාජයන් අපවාද එල්ල වූ අතර, ඔවුන් සමහරකගේ අවසානය ද ඉතා දුක්ඛිත එකක් වුණා. කෙසේ නමුත්, ජපාන ජාතිකයෙකු වූ ඉසෙයි සගාවාට එම ක්‍රියාව වෙනස් ප්‍රතිඵල ගෙන දුන්නා. 1981 වසරේ දී තරුණියක මරා දමා ඇයගේ මාංශ අනුභව කළ ඔහු අවසානයේ ජපානයේ නවකථා, චිත්‍රකථා, චිත්‍රපට වැනි දේ සඳහා මාතෘකා සැපයුවා. රෝලින් ස්ටෝන්ස් සංගීත කණ්ඩායමේ ‘ටූ මච් බ්ලඩ්’ ගීතයේ එන කොටසකුත් ඔහු වෙනුවෙන් ලියැ වී තිබෙනවා. කෙසේ නමුත් මේ ප්‍රසිද්ධිය අතුරෙන් බාහිර ලෝකයෙන් ඔහුට එල්ල වූ පිළිකුල හා විරෝධයත් ඉහළ මට්ටමක තිබුණා.
සිද්ධිය
1981 වසර වන විට ඉසෙයි සගාවා සිය දර්ශනපති උපාධිය හැදෑරීම සඳහා ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයට අනුයුක්ත වී සිටියා. මෙහි දී නෙදර්ලන්ත ජාතික තරුණියක වන රෙනේ හාර්ට්වෙල්ට් ඔහු ඇස ගැටුණා. විකෘති කාමාශාවක් සහිත පුද්ගලයෙකු වන සගාවා, ඇය හා මිතුරු වී ඔහු නැවතී සිටින කාමරයට පැමිණෙන ලෙස ඇයට ආරාධනා කරන්නේ ජර්මානු භාෂාව උගන්වන සෙයක් පෙන්වමිනුයි.
රෙනේ කාමරයට පැමිණි විට ඇය ඝාතනය කර, ඉන් අනතුරුව ලිංගික අඩත්තෙට්ටම්වලට ලක් කර මාංශ කෑමේ ආශාවක් සගාවාට ඇති වී තිබුණා. මේ සඳහා ඔහු පිස්තෝලයක් ද සූදානම් කරගෙන තිබුණා. කෙසේ නමුත් පළමු වර ඔහුගේ උත්සාහය ව්‍යර්ථ වන්නේ කිසියම් කාරණයක් හේතුවෙන් ඇයට එහි පැමිණීමට නොහැකි වූ නිසා යි.
පළමු වර මරණයෙන් ගැලවුණ ද, තවත් වැඩිකල් ජීවත් වීමට තරම් රෙනේ හට දෛවය කාරුණික වූයේ නැහැ. දෙවන වර සගාවා කළ ආරාධනය පිළිගන්නා ඇය, ඔහුගේ කාමරයට යනවා. මෙහි දී පසුපස සිට ඇයට වෙඩි තබන ඔහු, ඇය මියයාමෙන් පසු සිතැඟි පරිදි ලිංගික අඩත්තෙට්ටම්වලට ලක් කොට ශරීර කොටස් ද අනුභව කරනවා. මෙහි දී ඇයගේ සමහර ශරීර කොටස් පිස ආහාරයට ගන්නට තරම් ඔහු කුරිරු වී තිබුණා.
සගාවා හසුවෙයි
මිනීමැරුමෙන් දින කිහිපයක් ගතවන විට රෙනේගේ සිරුරෙහි ඉතිරි ව තිබූ කොටස් කුණු වී ගඳ ගසන්නට පටන්ගත්තා. මේ අවස්ථාවේ දී ඇගේ සිරුරු කොටස් කොහේ හෝ ගොස් දමන්නට සගාවා තීරණය කරනවා. මේ අනුව ඒවා විශාල සූට්කේස දෙකකට බහාලන ඔහු, ඒ ද්විත්වය පැරීසියෙන් ඉවත පිහිටි උද්‍යානයක් වෙත ගෙන ගොස් තිබෙනවා. ඔහු එහි වූ ජලාශයකට රුධිරය බේරෙමින් තිබූ සූට්කේස් දෙක විසිකිරීමට උත්සාහ කිරීමේ දී එය, එහි බලධරයින්ගේ ඇස ගැටුණා. වහා ම ඔහු අත්අඩංගුවට පත් වූ අතර, ඉතා කැමැත්තෙන් ඔහු පොලිසියට භාර වුණා. ‘මම ඇය ව මරා දැමුවේ ආහාරයට ගන්නට’යැ යි ඔහු ප්‍රීතියෙන් පවසා සිටියා. ඇත්තෙන් ම ඔහුට පොලිසියට හසු වී සිය ‘වික්‍රමය’ ගැන පවසන්නට උවමනාව තිබූ බැව් පසුකාලීන ව තහවුරු වුණා.
සගාවාගේ අතීත කතාව
ඉසෙයි සගාවා ඉතා දරුණු මානසික ව්‍යාධියකින් පෙළෙන්නෙකු බව ඉක්මනින් ම ප්‍රංශ පොලිසියට ඒත්තු ගියා. ඔහු වහා ම මානසික වෛද්‍යවරයෙකු හමුවට පමුණුවන්නේ ඒ නිසාවෙනුයි. එහි දී සිය හඬ අවදි කරන සගාවා පවසන්නේ, තමන්ට මනුෂ්‍ය මාංශ කෑමේ ආශාව ඇති වූයේ තමන් කුඩාකල දී සිය පන්තියේ වූ දැරියකගේ කලවා දැකීමෙන් පසු බව යි. ඉන් අනතුරුව 1970 වසරේ දී ඔහු නිදා සිටි ජර්මානු කාන්තාවකගේ කලවා ප්‍රදේශයේ මස් වැදැල්ලක් කඩාගෙන කෑමට ටෝකියොහී දී උත්සාහ කර තිබූ අතර, වහා අවදි වූ ඇය එම ස්ථානයෙන් පලා ගොස් තිබුණා.
වහා ම ක්‍රියාත්මක වන පරිදි සගාවා මානසික ව්‍යාධීන් සහිත ඝාතකයින් සිටින බන්ධනාගාර රෝහලකට යැවුණු අතර, 1983 දී ඔහු ජපානයට පිටුවහල් කරන්නට ප්‍රංශ බලධාරීන් පියවර ගත්තා.
ජපානයේ දී
සගාවාට ජපාන රජය විසින් දැඩි දඬුවම් පමුණුවනු ඇතැ යි බොහෝ දෙනා බලාපොරොත්තු වුව ද ඇත්තෙන් ම සිදුවූයේ ඊට හාත්පසින් ම වෙනත් දෙයක්. ජපාන රජය ඔහුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මෙයට හේතු වූයේ ඔහුගේ අපරාධයට අදාළ ලියකියවිලි ප්‍රංශයෙන් ගෙන්වා ගැනීමට ජපානය අපොහොසත් වීමයැ යි මත පළවුණා.
හොඳින් අධ්‍යාපනය ලබා තිබුණ ද පැරීසියේ සිදු වූ ඝාතනයෙන් පසු කිසිවෙකුත් ඔහුට රක්ෂාවක් ලබා දීමට ඉදිරිපත් වූයේ නැහැ. කෙසේ නමුත් මේ වන විට ඔහු හොඳින් මාධ්‍යයට නිරාවරණය වී තිබුණා. මින් ප්‍රයෝජන ගත් සගාවා, ඒ ඔස්සේ සිය පෞරුෂය ගොඩනඟාගන්නට පටන් ගත්තා. නිල් චිත්‍රපට කිහිපයක රඟපෑ ඔහු, එහි දී ද සිය සහායිකාව ‘සපා කෑවේ’ සිය අනන්‍යතාවය ප්‍රකට කරමිනුයි. මීට අමතර ව තවත් රැකියා අවස්ථා කිහිපයක් ම ඔහුගේ කුප්‍රකටභාවය ඔහු වෙත විවර කර දුන්නා. ඉක්මනින් ම සගාවා ජපානයේ නමගිය චරිතයක් වූ අතර, හැකි සෑම විට ම 1981 වසරේ දී තමන් සිදුකළ ක්‍රියාව මෙනෙහි කිරීමට අමතක කළේ නැහැ. ඔහු ඒ පිළිබඳ ව කිසි ලෙසකින් පසුතැවෙන සෙයක් දිස්වූයේ නැහැ.
සගාවාගේ වර්තමාන තත්ත්වය
මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම හා මිනීමස් ආහාරයට ගැනීම සගාවාට ‘වාසනාව’ ගෙන දුන් අයුරක් ප්‍රකට කළත්, ඒ නිසා ම ඔහුට ජීවිතයේ අහිමි වූ දේ බොහෝ වුණා. සගාවා කිසි කලෙක විවාහ වූයේ නැහැ. කිසිදු තරුණියක ඔහුගේ අත ගැනීමට ධෛර්යයමත් නොවීම ඊට හේතුව යි. ඔහුගේ පවුල ද ඔහු ව කොන් කරනු ලැබුවා. මේ නිසා ඔහුට ගත කරන්නට සිදුවූයේ ඉතා තනිකඩ, හුදෙකලා දිවියක්. පසුකාලීන ව ඔහු හෘදයාබාධ දෙකකින් ද පීඩා වින්දා.
දැන් සගාවා සිය දිවියේ 70 වැනි සැතපුම් කණුව ආසන්නයට ම පැමිණ තිබෙනවා. ඔහු අද වන විට රෝද පුටුවකට සීමා වී තිබෙනවා. පසුකාලීන ව ඔහුගේ ජීවිතය අලළා චිත්‍රපට හා චිත්‍රකතා වැනි දේ ද තැනුණා. කෙසේ නමුත් මීට තිස් හත් වසරකට පමණ පෙර තමන් සිදුකළ මනුෂ්‍ය ඝාතනයත්, ඉන් අනතුරුව තමන් වෙත ආ ‘ප්‍රසිද්ධියත්’, අද වන විටත් ඔහු එදා මෙන්ම සතුටින් විඳිනවා ද යන්න විවාදිත යි.