Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පහ වසර ශිෂ්‍යත්ව විභාගය දරුවන්ගේ අනාගතයට බලපාන හැටි

මීට සතියකට දෙකකට පෙර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණා. එම ප්‍රතිඵලවලට අනුව ලකුණු 200ක් ලබාගත් සිසු සිසුවියන් 10 දෙනෙකු වාර්තා වුණා. 2019 වසර දක්වා පැවති ශිෂ්‍යත්ව විභාගවල දී ලකුණු 200ක් ලබා තිබුණේ චාගි භාසුරු ශිෂ්‍යයා පමණ යි. එම නිසා මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලය දුටු බොහෝ දෙනෙකු විමතියට පත්වුණා. එසේම විභාගයේ තිබුණු අභියෝගාත්මක බව ක්‍රමයෙන් හීනවීවෙමින් පැවතීම පිළිබඳව කතාබහට ලක් වුණා. 

1940 දශකයේ දී ආරම්භ වුණු ශිෂ්‍යත්ව විභාගය කලින් කලට සිදුවුණු විවිධ සංශෝධනයන් යටතේ අඛණ්ඩව පවත්වනු ලැබුවා. පසුගිය දශක 2ක පමණ කාලය තුළ මෙම විභාගයේ  තිබෙන තරගකාරී බව ක්‍රමයෙන් වැඩි වුණා. එය ඇතැම් සිසුන්ට අහිතකර ලෙස බලපාන බව අමුතුවෙන් කිවයුතු නැහැ. එයට විසඳුමක් ලබාදීම සඳහා ශිෂ්‍යත්ව විභාග අවලංගු කළ යුතු බවට ද යෝජනා ඉදිරිපත් වුණා. ශිෂ්‍යත්ව විභාගය මඟින් ඇති කරන අහිතකර ප්‍රතිඵල මෙන්ම හිතකර ප්‍රතිඵලයන් ද තිබෙනවා. එම නිසා කළ යුත්තේ එහි තිබෙන අහිතකර බව ක්‍රමයෙන් අඩු කිරීම සඳහා සුදුසු පිළියම් යෙදීම යි. 

එලෙස පිළියම් යෙදීම සඳහා ශිෂ්‍යත්ව විභාගය මඟින් ඇතිවන හිතකර සහ අහිතකර බලපෑම් පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගත යුතු යි. අපි ශිෂ්‍යත්ව විභාගය මඟින් ඇති කරන හිතකර ප්‍රතිඵලයන් පිළිබඳව මුලින්ම සාකච්ඡා කරමු.

ජනප්‍රිය පාසලකට ඇතුළත් වීම සඳහා වරම් ලැබීම 

වර්තමානයේ අප රට තුළ පවතින තත්ත්වය අනුව පළමු ශ්‍රේණිය සඳහා ජනප්‍රිය පාසලකට දරුවෙකු ඇතුළත් කිරීම ලෙහෙසි පහසු නැහැ. බොහෝ විට මැදි සහ අඩු ආදායම් ලබන පවුල්වල දරුවෙකුට පළමු වසර සඳහා ජනප්‍රිය පාසලක් හිමිවන්නට වරම් හෝ ලබන්නේ ඔහු හෝ ඇය පාසල පිහිටි සීමාවේ සිටිනවා නම් පමණ යි. එම නිසා යම්කිසි දරුවෙකුට ජනප්‍රිය පාසලකට ඇතුල්වීමේ සිහිනය සැබෑකර ගැනීමට තිබෙන හොඳම මාර්ගය වන්නේ 5 වසර ශිෂ්‍යත්ව විභාගය යි. 

ශිෂ්‍යත්ව විභාගය සමත් වී ජනප්‍රිය පාසලකට පැමිණෙන දරුවෙකුට සිය හැකියාවන් ඔප් නංවා ගැනීම සඳහා අවස්ථාවක් උදා වනවා. එහි දී ලැබෙන විශාලතම වාසිය වන්නේ දක්ෂ සිසුන් සමග අධ්‍යාපන කටයුතුවල නිරත වීමට ලැබෙන අවස්ථාව යි. එහි දී තරගකාරී අධ්‍යාපනය රටාවකට මුහුණදෙන දරුවෙකුට විභාගවලින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. එසේම විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා උනන්දුවක් දක්වන සිසුවෙකුට ඒ සඳහා යොමුවීමට අවස්ථාව ලැබෙයි. විශේෂයෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයට පිවිසෙන දරුවෙකුට දක්ෂ පුහුණුකරුවන් යටතේ පුහුණුවීම් කටයුතු සිදුකළ හැකියි. එමඟින් සිය දක්ෂතා වර්ධනය කරගන්නා දරුවෙකුට ක්‍රීඩාව තුළින් ඉහළට යා හැකියි. 

ඊට අමතරව කලාව, මාධ්‍ය, සාහිත්‍යය වැනි  විවිධ විෂය ක්ෂේත්‍රයන් සඳහා උනන්දුවක් දක්වන දරුවන්ට සිය හැකියාවන් ඔප් නංවාගැනීමට අවස්ථාව ලැබෙනවා. විවිධ විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා සහභාගි වී ජයග්‍රහණ ලබාගන්නා දරුවෙකුට පාසලින් පිටව යන විට මහත් අභිමානයක් දැනෙනවා සේම, අනාගත රැකියා අවස්ථාවන්හි දී වාසිදායක විය හැකි ක්‍රියාකාරකම් රැසකට සහභාගී වීමේ අත්දැකීම ලැබෙනවා. පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වී ජනප්‍රිය පාසලකට ඇතුළත් වන දරුවෙකුට සෑම අංශයකින්ම සිය දක්ෂතා වර්ධනය කරගෙන ජීවිතය සාර්ථක කරගැනීම සඳහා වැඩි අවස්ථාවක් තිබෙන බව අවිවාදිත යි.

ක්‍රීඩා කරන පාසල් ළමුන් (ceylonathletics.com)

ශිෂ්‍යාධාර හිමිවීම 

 

ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු ප්‍රමාණය ඉක්මවා යන අඩු ආදායම්ලාභී දරුවන්ට ශිෂ්‍යාධාර හිමිවනවා. දශක ගණනාවක සිට ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ තුළින් දරුවන් විශාල ප්‍රමාණයකට ප්‍රතිලාභ හිමිව තිබෙනවා. එහි දී බොහෝ දිළිඳු දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට ලැබීම පිළිබඳව විශේෂයෙන්ම සඳහන් කළ යුතු යි. එය ශිෂ්‍යත්ව විභාගය නිසා ලැබෙන හිතකර ප්‍රතිඵලයන් අතරට එකතු වන කරුණක් 

තමා පිළිබඳව විශ්වාසයක් ඇති වීම 

බොහෝ දරුවන් සිය පාසල් කාලය තුළ මුහුණදෙන ප්‍රධානතම රජයේ විභාග 3ක් තිබෙනවා. ඉන් පළමුවන විභාගය වන්නේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය යි. එම නිසා ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ප්‍රතිඵලයක් ලබාගැනීම සඳහා දරුවන් වෙහෙස මහන්සි වී වැඩ කරනවා. එලෙස වෙහෙස මහන්සි වී වැඩකරන දරුවෙකු විභාගය ඉහළින් සමත් වීම තුළින් විශාල සතුටක් ලබනවා. එසේම තමා පිළිබඳව විශ්වාසයක් ඇති වනවා. ඉන් ලබන පන්නරය තුළින් අනාගතයේ දී ලැබෙන අභියෝග ජයගැනීමේ හැකියාව එම දරුවාට ලැබෙනවා. 

ශිෂ්‍යත්වය ප්‍රතිඵල බලන දරුවන් (News1st)

ඉහත සඳහන් කරනු ලැබුවේ ශිෂ්‍යත්ව විභාගය මඟින් ලැබෙන හිතකර ප්‍රතිඵලයන් කිහිපයක් පිළිබඳව යි. එසේම ශිෂ්‍යත්ව විභාගය නිසා ලැබෙන අහිතකර ප්‍රතිඵලයන් ද තිබෙනවා. පහත දක්වා තිබෙන්නේ ඒවා පිළිබඳව යි. 

දරුවන් විශාල මානසික පීඩනයකට හසුවීම 

සාමාන්‍ය ව්‍යවහාරයේ දී පහ වසර ශිෂ්‍යත්වය “දෙමාපියන්ගේ විභාගය” ලෙසින් හඳුන්වනවා. ඒ දෙමාපියන්ගේ මඟ පෙන්වීම යටතේ දරුවන් විභාගය සඳහා සූදානම් වන නිසා යි. එහි දී සමහර දෙමාපියන් සිය දරුවාට පමණට වඩා වැඩි පීඩනයක් ලබාදෙනවා. දරුවාව උපකාරක පන්ති කිහිපයකට යවමින් නිදහස සීමා කරනවා. සාමාන්‍යයෙන් ඕනෑම දරුවෙකු සිය ළමා කාලය නිදහසේ ගෙවන්නට කැමතියි. නමුත් නිතරම උපකාරක පන්තිවලට යන දරුවෙකුට සුන්දර ළමා කාලයක් උරුම වන්නේ නැහැ. එම නිසා ඇතැම් දරුවන් කලහකාරීව හැසිරෙන ආකාරය සුලභව දක්නට ලැබෙනවා. එය ඔවුන්ගේ අනාගතය කෙරෙහි බලපානවා. 

අප සිහිතබාගත යුතු කරුණක් වන්නේ, ශිෂ්‍යත්වය විභාගය යනු අනිවාර්‍ය නොවන, හුදෙක් ශිෂ්‍යාධාර ලබාදීමට පවත්වන විභාගයක් පමණක් බව යි. තම දරුවන්ට අනවශ්‍ය පීඩනයක් එල්ලවනු නොකැමැති දෙමාපියන්, දරුවා ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් කිරීම අනවශ්‍ය යි. 

කඩයිම් ලකුණු මට්ටම පමණට වඩා ඉහළ යාම 

මීට දශක 2කට පමණ පෙර ශිෂ්‍යත්ව විභාගයට ලකුණු 170 ඉක්මවා යාම ඉතාමත් ඉහළ දස්කමක් සේ සලකනු ලැබුවා. නමුත් වර්තමානය වන විට ලකුණු 170 යනු යාන්තම් කඩයිම් ලකුණු ප්‍රමාණය ඉක්මවා යාමක් පමණ යි. අවසන් වරට පැවති විභාගයේ දී කඩයිම් ලකුණු ප්‍රමාණය 169ක් ලෙසින් සටහන් වුණා. ඒ අනුව ප්‍රශ්න පත්‍ර 2කට ලකුණු 84 බැගින් ලබාගන්නා සිසුවෙකුට කඩයිම් ලකුණු ප්‍රමාණය පසුකර යන්නට බැහැ. එය වයස අවුරුදු 10ක දරුවෙකු පමණට වඩා පීඩනයකට පත්කිරීමක් බව පැහැදිලිවම පෙනී යනවා. එම නිසා දරුවන්ට අනවශ්‍ය තරම් වෙහෙසක් ගෙන සිය අධ්‍යාපන කටයුතුවල නිරත වීමට සිදුවනවා. එය ඇතැම් දරුවන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. විභාගයෙහි තිබෙන අභියෝගාත්මක බව ඉහළ දැමුවොත් එහි කඩයිම් ලකුණු ප්‍රමාණය පහළ යනවා. එම සීමාව අවම වශයෙන් 150කට පමණ පැමිණියහොත් එක් ප්‍රශ්න පත්‍රයකට ලකුණු 75ක් ලබාගන්නා සිසුවෙකුට කඩයිම් ලකුණු ප්‍රමාණයට ළඟා විය හැකියි. එය ළමුන්ගේ මනස තුළ තිබෙන පීඩනය තරමක් දුරට හෝ අඩුකිරීමට රුකුලක් වනු ඇති බවට සැකයක් නැහැ.  

අසමත් වන දරුවන්ව අවමානයට ලක් කිරීම 

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වන දිනය ඇතැම් දරුවන්ගේ ජීවිතයේ අඳුරුතම දිනයක්. එදින විභාගය අසමත්  වන සමහර දරුවන් නිවසට යන්නේ ඉතාමත් බියෙන්. ඒ දෙමාපියන් විසින් කරන දෝෂාරෝපණය ඇසීමට තිබෙන අකමැත්ත නිසා යි. සමහර දෙමාපියන් දරුවන්ට දෝෂාරෝපණය කිරීමෙන් නොනැවතී පහර දෙන අවස්ථාවන් ද තිබෙනවා. එමඟින් දරුවන්ගේ මානසික මට්ටම විශාල ලෙස පහළට ඇද වැටෙනවා. එලෙස අවමානයට ලක්වන ඇතැම් දරුවන්ට අධ්‍යාපනය කෙරෙහි කලකිරීමක් ඇතිවීමට ඉඩ තිබෙනවා. එම නිසා ශිෂ්‍යත්ව විභාගයෙන් කඩයිම් ලකුණු ප්‍රමාණය වෙත ළඟාවීමට අසමත් වන දරුවෙකුට අවමන් නොකිරීමට දෙමාපියන් උත්සාහ කළ යුතු යි. එවැනි අවස්ථාවක දෙමාපියන් කළ යුත්තේ දරුවාව දිරිමත් කරමින් අඩුපාඩු සකසාගන්නට සහාය දැක්වීම යි. එලෙස දෙමාපියන් ලබාදෙන ශක්තිය දරුවාට අනාගත ඉලක්ක කරා යාමට උපකාරී වනවා.

සිතීමේ හැකියාව සහ තර්කන ශක්තිය විනාශ කිරීම 

වර්තමානයේ දී ලංකාවේ ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමය නිසා බොහෝ දරුවන්ගේ සිතීමේ හැකියාව සහ තර්කන ශක්තිය හීන වී තිබෙනවා. එම නිසා ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, සහ උසස් පෙළ වැනි කඩයිම් විභාගවල දී ප්‍රශ්න පත්‍රවල රටාව වෙනස් කළ විට බොහෝ දරුවන් අසරණ වනවා. ඒ ඔවුන්ට අළුතින් යමක් සිතීමට හැකියාවක් නොමැති කම නිසා යි. දරුවන් එවැනි තත්ත්වයකට පත් කිරීම සඳහා මූලික අඩිතාලම දමන්නේ ශිෂ්‍යත්ව විභාගය යි. එම විභාගය සඳහා දරුවන් සූදානම් කිරීමේ දී ඔවුන් සතුව තිබෙන සිතීමේ හැකියාව සහ තර්කන ශක්තිය විනාශ කරනවා. පසුගිය කාල සමයේ දී එම තත්ත්වයෙහි වර්ධනයක් දක්නට ලැබුණා. එවැනි පරපුරක් බිහිවීම රටේ අනාගතයට සුභදායී වන්නේ නැහැ. එම නිසා නිර්මාණශීලී, අළුතින් සිතීමට හැකි, තාර්කික හැකියාවන් තිබෙන දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව විභාගය වෙන් විය යුතුයි. එවිට දක්ෂ දරු පරපුරක් අනාගතයේ දී අප රට තුළින් බිහිවේවි. 

කවරයේ ඡායාරූපය- parenting.lk 

Related Articles