ජේකොබ්ගේ ළිඳ: අමෙරිකාවේ මරණීය සුන්දරත්වය

ජේකොබ් ගේ ළිඳ පිහිටා ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ, ඔස්ටින් හි  උද්‍යානයක යි. ඉතා සංකීර්ණ, ජලය පිරුණු භූගත උමං පද්ධතියක් එයට අන්තර්ගත අතර, අවම වශයෙන් අඩි 4500 ක් තරම් දිගකට ඒවා විහිදී ඇති බවට විශ්වාස කෙරෙනවා. මෙහි පතුල සෙවීම සඳහා, එහි ගැඹුරට ම කිමිදීමට ගිය 9 දෙනෙක්වත් අවම වශයෙන්, එම උමං පද්ධතිය තුළ අතරමං ව සිය දිවියට සමු දී තිබෙනවා.

ටෙක්සාස් ප්‍රාන්තයේ මධ්‍යම කොටසේ විම්බර්ලි නුවරට ඉතා ආසන්නයේ පිහිටා ඇති ජේකොබ්ගේ ළිඳ, දුටු වනම පෙනෙන්නේ තරමක් විශාල දිය කඩිත්තක් ලෙස යි. මෙය ඇත්තෙන් ම අවම වශයෙන් අඩි 130 ක ගැඹුරකට විහිදී ඇති, භූගත උමං සංකීර්ණයක මුවදොර යි. මෙහි සංකීර්ණ බව, අද්භූත බව මෙන් ම සොබා සෞන්දර්යය නිසා මේ වෙත වසරකට සංචාරකයන් දහස් ගණනක් ඇදී එන අතර, ඒ අතුරින්, එහි සුන්දරත්වය පසුපස සැඟවුණු භයානකකම නොදැන, එය අපරික්ෂාකාරී ව ගවේෂණය කිරීමට යාමෙන් අපහසුවේ වැටෙන ප්‍රමාණය ද සුළු පටු නැහැ.

 ජේකොබ්ගේ ළිඳෙහි මුවදොර- Robin Gary/ Wimberley Valley Watershed Association

 

ජේකොබ්ගේ ළිඳ පිළිබඳ වැඩිදුර තොරතුරු

ජේකොබ්ගේ ළිඳෙහි මුවදොර අඩි 12 ක පමණ විෂ්කම්භයකින් යුක්ත වෙනවා. ස්වභාවික ජල උල්පතක් හේතුවෙන් මෙය තැනී ඇති අතර, මීට වසර දහස් ගණනකට පෙර ස්වභාවිකව තැණුනු ගුහා පද්ධතියක් ඊට පහතින් පිහිටා තිබෙනවා. ඉන් පෘථිවි පෘෂ්ඨයෙන් ඉවතට විවෘත ව පවතින, සැලකිය යුතු ප්‍රමාණයේ එක ම මුවදොර වන්නේ මෙම ජේකොබ් ගේ ළිඳ ලෙස හැඳින්වෙන විවරය පමණ යි.

ජේකොබ්ගේ ළිඳට එහි උල්පත්වලින් ජලය අඛණ්ඩව ම ගලා එන අතර, එය වසර පුරා ම ෆැරන්හයිට් අංශක 68 ක පමණ උෂ්ණත්වයකින් යුක්ත වෙනවා. එය ගිලී නෑමට, බැස විනෝද වීමට ඉතා සුදුසු උෂ්ණත්වයක් බැවින්, පිහිනීමට හැකි, නොහැකි සියලු දෙනා එහි පැමිණ විනෝද වෙනවා. විශේෂයෙන් ග්‍රීෂ්මයෙහි ටෙක්සාස් ප්‍රාන්තයේ පවතින දැඩි උණුසුම සමනය කරගන්නට මෙම ස්ථානය ඉතා ගැළපෙන බැව් ප්‍රදේශවාසීන්ගේ මතය යි. 

භූගත ගුහා පද්ධතිය

ජේකොබ්ගේ ළිඳ ලොව පුරා ම විශේෂයෙන් ජනප්‍රිය වී තිබෙන්නේ එහි තිබෙන එහි පවතින මේ භූගත ගුහා පද්ධතිය නිසා යි. කිමිදුමෙහි අති දක්ෂ‍යන්, ත්‍රාසජනක ක්‍රියා ප්‍රියකරන්නන් පමණක් නොව භූගර්භ විද්‍යාඥයන් සහ නොයෙක් පර්යේෂකයන් මේ නිසාම මෙහි පැමිණෙනවා. එපමණක් නොව, සිය ජීවිතය පරදුවට තබමින් මෙහි වූ ගුහා පද්ධතිය සිසාරා කිමිදෙනවා.

ජේකොබ්ගේ ළිඳ පිළිබඳ ව හොඳින් දන්නා අය ඊට ඉහළින් ඇති ගල් කුළුවලට නැඟ එයට පැන විනෝද වෙනවා. පොළොව මට්ටමෙහි සිට අඩි 30 ක පමණ ගැඹුරක් වන තුරු, තනි තටාකයක් එහි ඇති අතර, ඉන් පසුව තනි උමගක් ආරම්භ වෙනවා. සංකීර්ණ ගුහා පද්ධතිය ආරම්භ වන්නේ ඊටත් ගැඹුරෙනු යි.

 ජේකොබ් ගේ ළිඳෙහි භූගත ගුහා පද්ධතිය දැක්වෙන සිතියමක්- beautifulhayscounty.org

 

ජේකොබ්ගේ ළිඳ පිළිබඳ ගවේෂණ ව්‍යාපෘතිය

20 වන සියවසෙහි මුල් භාගයෙහි පටන් ජේකොබ්ගේ ළිඳ සම්බන්ධ ගවේෂණ සිදුවෙනවා. 1930 දශකයේ දී කිමිදුම්කරුවන් බාල්දියක් සහ වතුර බටයක් ආධාරයෙන් කිමිදුම් හිස් ආවරණ සාදා, මෙය ගවේෂණය කරන්නට උත්සාහ දරා තිබෙනවා. කෙසේ නමුත් එකල තිබූ සීමිත තාක්ෂණික මෙවලම් සමඟ මෙය හරිහැටි ගවේෂණය කිරීම ඉතා අපහසු වූ අතර, නවීන තාක්ෂණය ලොව ස්ථාපිත වී තිබූ 2000 වසරෙන් පසුව, කිමිදුම් කණ්ඩායමක් අධි ආරක්ෂිත කිමිදුම් කට්ටල යොදාගෙන සිදුකළ ගවේෂණයන් මාලාවක් මඟින් මේ පිළිබඳව පෙර සොයා නො ගත් තොරතුරු ලොවට අනාවරණය වුණා. 2007 වසරේ දී එම ගවේෂණ නතර කෙරුණේ ‘ජේකොබ් ළිඳ ගවේෂණ ව්‍යාපෘතිය ආරම්භ වීමත් සමඟ යි. එහි අරමුණ වූයේ ජේකොබ්ගේ ළිඳ පහතින් ඇති ගුහා පද්ධතිය නවීන තාක්ෂණික මෙවලම්  හාවිත කොට සම්පූර්ණයෙන් ම සිතියම්ගත කිරීම යි.

මෙම ව්‍යාපෘතියට අනුව හෙළි වූයේ ජේකොබ්ගේ ළිඳෙහි ඉහළින් ම ඇති උමග ඊළඟට ප්‍රධාන කොටස් 2 කට කැඩෙන බව යි. ඉන් එකක් අඩි 4500 ක් හෙවත් සැතපුම් 0.85 ක දුරක් දිවෙන බව සහ අනෙක අඩි 1500 ක් පමණ දුරට විහිදෙන බවත් සොයාගැනුණා. ජේකොබ් ගේ ළිඳෙහි සාමන්‍ය ගැඹුර අඩි 120 ක් බවත්, එහි ගැඹුරු ම ස්ථානය අඩි 137 ක් බවත් සොයාගැනුණා.

 ජේකොබ් ගේ ළිඳ තවමත් සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යනවා- carolinerosetravel.com

 

භුගත ගුහාවල අන්තරායකාරී බව

ජේකොබ් ළිඳෙහි ජලයෙහි ඇති ප්‍රශස්ත උෂ්ණත්වයත්, පිහිටා ඇති ස්ථානයෙහි සුන්දර බවත්, ජල තලයෙහි පිරිසුදු බවත් නිසා මෙය කිමිදුම්කරුවන් අතර ජනප්‍රිය ස්ථානයක් වුව ද එහි කිමිදෙන විට ඉතා ප්‍රවේශම් විය යුතු බැව් පර්යේෂකයන් ප්‍රකාශ කරන්නට යෙදුණා. විශේෂයෙන් කිසිදු ආරක්ෂිත උපකරණයක් මෙන් ම ඔක්සිජන් ටැංකියක් හෝ නොමැතිව මෙහි කිමිදීම ජනප්‍රිය ව තිබූ අතර, කිසි ලෙසකින් එසේ නොකරන ලෙස පර්යේෂකයන් අනතුරු හඟවා තිබෙනවා. විශේෂයෙන් මෙහි අඩි 100 ක පමණ ගැඹුරෙහි පවතින, සංකීර්ණ ගුහා පද්ධතියට ඇතුළු වන අයෙක් පහසුවෙන් මංමුළා වීමට ලක් විය හැකි අතර, අවසානයේ ස්වසනය කිරීමට නොහැකි ව මිය යනවා.

විශේෂයෙන් එහි ගුහා පද්ධතිය සැකසී ඇත්තේ පහසුවෙන් මංමුළා වන පරිද්දෙනු යි. එක් වැරදීමකින් අයෙක් ජල තලය මතුපිටට පැමිණිය නොහැකි පරිද්දෙන් එහි සිරවිය හැකි අතර, එසේ සිදු වීමෙන් ලැබෙන මරණය ඉතා වේදනාකාරී වෙනවා.  මෙහි ගැඹුරට යත් ම ගුහා ඉතා පටු වන බැවින් ඔක්සිජන් ටැංකියක් පිටෙහි රුවාගෙන එහි ඇතුළුවිය නොහැකි වෙනවා. මේ නිසා සමහර කිමිදුම්කරුවන් ඔක්සිජන් ටැංකිය ගලවා, ඒවාට ඇතුළු වීමට ගොස් සිය ජීවිතයෙන් වන්දි ගෙවා තිබෙනවා.

ජේකොබ්ගේ ළිඳට බිලිවන්නට ගිය දියෝගෝ ඇඩම්

2015 වසරේදී දියෝගෝ ඇඩම් නමැති කිමිදුම්කරුවා ජේකොබ් ගේ ළිඳෙහි දී මරණාසන්න අත්දැකීමකට මුහුණ දුන්නා. කිසිදු ඔක්සිජන් සැපයුමක් නොමැති ව කිමිදෙන්නට ගිය ඔහු, කෙසේ හෝ නිරුපද්‍රිත ව ඉන් ඉවතට පැමිණියා. ඔහුගේ ගමන සම්පූර්ණයෙන්ම ඔහුගේ කැමරාවෙහි සටහන් ව තිබුණා. 

(දියෝගෝ ඇඩම්ගේ අත්දැකීම දැක්වෙන වීඩියෝව:

දියෝගෝ ගුහා පද්ධතියේ මද දුරක් යන විට ඔහු පැළඳ සිටි කෘත්‍රිම වරළක් ඔහුට අහිමි වුණා. ඔහු රැගෙන ගිය විදුලි පන්දම ද ඔහුට අහිමි වූයේ පටු ස්ථානයක් පසු කර යාමේදී යි. මෙහි දී ආලෝකය නොමැති ව ඔහුට මඟ සොයා ගැනීම ඉතා අපහසු වූ අතර, සන්සුන් ව හැරී ඉවතට පැමිණීම නිසා ඔහුගේ දිවි රැකුණා.

දියෝගෝගේ මෙම ගමන සටහන් ව තිබූ කැමරාවේ රූප රාමු පසුව ඔහු අන්තර්ජාලයට පසු ව මුදාහැරි අතර, එමඟින් ජේකොබ්ගේ ළිඳෙහි අන්තරායකාරී බව ගැන ලෝකයාට ප්‍රබල පණිවිඩයක් ලැබුණා.

ජේකොබ් ගේ ළිඳෙහි මෙතෙක් සිදු වූ මරණ

ජේකොබ්ගේ ළිඳෙහි වික්‍රම කරන්නට ගොස් අපහසුතාවලට මුහුණ පෑ බොහෝ දෙනෙක් දියෝගෝ තරම් වාසනාවන්ත වූයේ නැහැ. පසුගිය වසරවල එහි කිමිදෙන්නට ගිය කිහිප දෙනෙක් ම එහි සිර වී මිය ගියා. මේ නිසා ටෙක්සාස් බලධාරීන් මෙය ඉත අවදනම් කිමිදුම් ස්ථානයක් ලෙස නම් කළා.

මෙහි සිර වූ සමහරකුගේ ශරීර කොටස් වසර ගණනාවක් යන තුරු ඉවතට පැමිණියේ නැහැ. උදාහරණයක් ලෙස 1979 දී මෙහි දී මියගිය කෙන්ට් මෝපින්ගේ දේහ කොටස් හමු වූයේ ඉන් වසර විස්සකට පසුව යි.කෙතරම් අන්තරායකාරී වුව ද, කෙතරම් ජීවිත අහිමි වුව ද, අදටත් ජේකොබ් ගේ ළිඳ සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යනවා. එමෙන්ම කිමිදුම් කටයුතු ද සිදුවෙනවා.

කවරයේ ඡායාරූපය - benedek / Getty Images 

මූලාශ්‍ර:

Treehugger.com

Visitwimberley.com

Allthatsinteresting.com

Related Articles

Exit mobile version