පුරාණයේ පයින් ගමන් කරන අතරතුර නැවතී විවේක ගැනීමට ඉදි කළ අම්බලම් කිහිපයක්ම සියනෑ කෝරළයේ ගඟබඩ පත්තුවේ හමුවෙනවා. බොහෝ දෙනෙක් මේවා ගැන සැලකිල්ලක් දක්වන බවක් නම් පේන්නේ නැහැ. නමුත් පුරාණ සංස්කෘතියේ අංගයක් වශයෙන් පැවති මේ අම්බලම් ගැන විමසා බැලීමට අපි හිතුවා.
පුරාණ මංමාවත්
සාමාන්‍යයෙන් අම්බලමක් ඉදි කෙරුණේ මගීන් නිතර යන එන තැනක යි. ඒ මංසන්ධියක් අසල හෝ ප්‍රසිද්ධ මංමාවත් අද්දර යි. පුරාණයේ බොහෝ මංමාවත් වැටී තිබුණේ කුඹුරු යාය ඔස්සේ නිසා බොහෝ අමබලම් තනා තිබුණේ කුඹුරු අද්දර යි. කැටයම්වලට ප්‍රකට පනාවිටිය අම්බලම තිබෙන්නේ ද කුඹුරු යායක් අසල යි. පුරාණයේ බොහෝ දෙනා ගමන් බිමන් ගියේ විහාරයක් වැඳපුදා ගැනීම වගේ වැඩකට විතර යි.
මේ නිසා පුරාණ විහාර එකිනෙක සම්බන්ධ කරමින් අඩි පාරවල් හෝ කරත්ත පාරවල් වැටී තිබුණා. ගම්පහට නුදුරු ව සියනෑ කෝරළයේ පිහිටි වාරණ, අත්තනගල්ල, මාලිගාතැන්න හා කැලණිය වැනි විහාර විහාර කිහිපයක් ම එසේ සම්බන්ධ කරමින් මාවත් තිබුණු බව අදත් ඉතිරි ව පවතින ඉපැරණි අම්බලම් සාක්ෂි දරනවා. මංමාවත් අද්දර තැනින් තැන අම්බලම් අසල දිය බීමට පිංතාලි තබා තිබුණත් කාලයාගේ ඇවෑමෙන් ඒවා විනාශ වෙලා.
ඇවරියවල අම්බලම
යක්කල රදාවාන පාරේ පිහිටි කොස්කඳවල ගමේ කුඹුක්ගස් හන්දියෙන් වමට ඇති අතුරු පාරේ කිලෝමීටර් 1 ½ක් යන විට වෙල් යායක් අද්දර කුඩා විලක් ඉස්මත්තේ ගල් පව්වක් මත ඇති ඇවරියවල අම්බලම අප නෙ ගැටෙනවා. මේ ස්ථානය අයත් වන්නේ බස්නාහිර සියනෑ කෝරළයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මට්ටාගොඩ ගම්මානයට යි.
හැවනිවල අම්බලම ලෙසත් මෙය හැඳින්වෙන බව අපට දැනගැනීමට ලැබුණා. මේ අම්බලම 2002 නොවැම්බර් 22 දින පුරාවිද්‍යා රක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා. ලංකාවේ අම්බලම් අතර විශේෂිත ඉදිකිරීමක් වන මෙය අවුරුදු 300ක්වත් පැරණි බවට සැලකෙනවා. එය සෙවිලි කර ඇත්තේ පොල්අතුවලින්.
වළගම්බා රජු මේ අවට වාරණ, පිළිකුත්තුව ආදී ලෙන්වල සැඟව සිටි කාලයේ රජ යුවළ ස්නානය සඳහා මේ සුන්දර ස්ථානයට පැමිණි බවත්, වරක් බිසවගේ හවරිය මෙහි අමතකව දමා ගොස් තිබෙන බවත් ගමේ පැතිර තිබෙන ජනප්‍රවාදයේ සඳහන්. ඉන්පසු මේ ස්ථානය හවරිය විල ලෙස හැඳින්විම ඇරඹී පසුව ඇවරියවල වී තිබෙන බව තමයි පැවසෙන්නේ.
අම්බලම තනා ඇති ගල් තලාව දිගින් හා පළලින් අඩි 50ක් පමණ වන අතර විල වෙතට බෑවුමක් සහිත යි. මේ ගල්පොත්ත මත ගල් ගෙඩි හතරක් මත බාල්ක දමා ටැම්පිට අම්බලමක් සේ ඉදිකර තිබෙනවා. එය ටැම්පිට ගොඩනැඟිලිවල මුල් යුගයට අයත් ලක්ෂණයක් බව ආචාර්ය චාල්ස් ගොඩකුඹුර සඳහන් කර තිබෙනවා. මෙයට සමාන බවක් මහනුවර ගොඩමුන්න අම්බලමේ දැකගත හැකියි.
මෙය ගොඩමුන්න අම්බලමට වඩා දියුණු ඉදිකිරීමක් සේ සැලකෙනවා. කුරුණෑගල පනාවිටිය මෙන් ම කරගහගෙදර අම්බලම ඇතුළු අම්බලම් රාශියක් මෙසේ ගල්ගෙඩි මත ඉදිකර ඇති අයුරු දැකගත හැකි යි. මෙම අම්බලමේ විශේෂත්වය නම් පොල්අතු සෙවිලි කිරීම සඳහාම පියස්සේ පල හතර ප්‍රධාන පල දෙකක් හා අතුරු පල දෙකක් ලෙසට පැල්පතක පියස්සට සමාන ස්වරූපයකින් තනා තිබීම යි.
ඇවරියවල අම්බලම තනා ඇත්තේ ගල්තලාව මත ගල්ගෙඩි හතර තබා ඒවා මතට විශාල දැව බාල්ක හතරක් එකිනෙක සම්බන්ධ කර සවි කිරීමෙවන්. මේ බාල්කවල මුළු හතර මැදින් සිටින සේ ඉහළ නගින දැව කණු 8ක් සහිත යි. ඉදිරි පැත්තේ හැර අනෙක් පැති තුනේ පිටතින් තවත් කුඩා දැව රාමුවක් තනා තිබෙනවා. කොන්වල හා මැදින් ඇති කණු 9ක් මත පියස්ස දරා සිටිනවා.
මේ අම්බලම බලා එන අතරතුර මා සිතට පිවිසියේ කෝට්ටේට නුදුරුව පොකුණක් අසල පිහිටි අම්බලමක් ගැන සැලලිහිණි සංදේශයේ වර්ණනා කරන අන්දමයි:
මල්දම් සුවඳ දුම් දුන් කොඳ වරලසිනී
කල්ගිම් නිවා සැනහෙන සිහිල සරසිනී
කොල්ලම් ගසින් නිල් ඉවුරැති පොකුණ සිනී
වල් අම්බලම දැක යාගන් සන්තොසිනී
මට්ටාගොඩ ගලේ කඩේ අම්බලම නම් අම්බලමක් ද මෙයට නුදුරින් පිහිටා තිබෙනවා. තරමක් විශාල එම අම්බලම ගඩොල් කුලුනු යොදාගෙන ඉදි කළ ගොඩනැඟිල්ලක්. එය පිහිටා තිබෙන්නේ ද ගමේ වෙල්යාය අද්දර යි.
අඹගස්පිටිය අම්බලම
යක්කල කිරිඳිවැල පාරේ කිලෝමීටර් 5ක් දුරින් අඹගස්පිටිය ගමේ තමයි මේ අම්බලම පිහිටා ඇත්තේ. එය අයත් වන්නේ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටයි. අපි ඒ අම්බලමට ගොඩවී විවේකයක් ගනිමු. අප දශක දෙකකට පෙර යනවිට පෝස්ටර් ආදිය අලවා ජරාජීර්ණ වී බස් නැවතුමක් බවට පත්ව තිබූ මේ අම්බලම මෑතක දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සංරක්ෂණය කර පුරාණ ස්වරූපය මතු වන සේ ආරක්ෂා කිරීම නම් සතුටට කරුණක්.
ගම්වැසියන් අදත් සමිති සමාගම් පැවැත්වීමට එක්රැස් වන ස්ථානයක් ලෙස මේ අම්බලම යොදා ගන්නවා. පුරාවිද්‍යාඥයන් සඳහන් කරන්නේ මෙය මහනුවර යුගයට අයත් ගොඩනැඟිල්ලක් බවයි.
අම්බලම බොහෝදුරට සමචත්‍රරස්‍රාර ආකාර වන අතර දිගින් අඩි 20ක් ද පළලින් අඩි 19 අඟල් 6ක් ද වෙනවා. පියස්ස රැඳී තිබෙන්නේ කළුගල් කණු 12ක් මත යි. අම්බලම වටා කබොක් ගලින් බාග බිත්ති ඉදිකර ඇත්තේ වැසි අවස්ථාවල දී රැකවරණය ලැබීමට යි. මෙහි ගල්කණුවක් උසින් අඩි 10ක් වෙනවා. ගල් කුලුනුවල මුහුණතේ කැටයම් කර කණු අලංකාර කිරීමටත් එකල අම්බලම තැනූ පිරිස ක්‍රියාකර තිබෙනවා.
හනුමන්තා, මාළුවා, කඩුව, නෙළුම් මල් සහ කොස්කෙගඩියක් ලෙස අනුමාන කළ හැකි කැටයමක් ද මෙහි තිබෙනවා. ගල්කණුවල ඉහළින් කැටයම් සහිත කුඩා දැව පේකඩ සවිකර තිබෙනවා. විශේෂත්වය වන්නේ එක් පේකඩයක පේදුරු වඩුරාළ යනුවෙන් වඩුවාගේ නම සඳහන් කර තිබීම යි. එක් පේකඩයක් විනාශ වී තිබෙනවා. ඒවා නිර්මාණය කර තිබෙන්නේ මිල්ල ලීවලින්.
වටා පිහිටි බාග බිත්තිවල යන එන්නන්ට හිඳ ගැනීමට පිලක් තනා තිබෙනවා. සමපල හතරක් සහිත වහලේ පරාල මඩොල් කුරුපාවක් මගින් සවිමත් කර ඇති අතර පරාල සමාන්තර රටාවකින් යොදා තිබෙනවා. පියස්සට සෙවිලි කර ඇතතේ සිංහල කොකු උළු යි. මේ අම්බලම වර්ෂ 2002 දී පුරාවිද්‍යා රක්ෂිත ස්මාරකයක් ලෙස නම් කර තිබෙනවා.
කොස්කඳවල ගල්ළිඳවත්ත අම්බලම
අඹගස්පිටිය අම්බලම නරඹා තවත් මඳ දුරක් යක්කල සිට ගිය විට ගල්පර්වත පිරිවරාගත් කොස්කඳවල ලෙන් විහාරය පිහිටි ගමට අපි ළඟා වෙනවා. මේ ගමේ හන්දියේ කඩපෙළ පිටුපස කුඹුරක් අසල කුඩා අම්බලමක් දැකගත හැකි යි. ඒ අසලම ගලින් බැඳ තනා ඇති විශාල ප්‍රමාණයේ පැරණි පොදු නාන ළිඳක් ද පිහිටා තිබෙනවා.
අම්බලම පිහිටා තිබෙන්නේ ළිඳේ සිට අඩි 8ක් දුරින්. 19 වන සියවසේ මුල් භාගයේ ඉංග්‍රීසි පාලනය පැවති කාලේ ළිඳ සහ අම්බලම ඉදි කළ බව පැවසෙනවා. එකල ධනවතකු මුල් වී මේ පොදු කටයුත්ත කළා විය හැකි යි. මේ ළිඳ අදත් භාවිතයට ගත හැකි ලෙස පවතිනවා. ළිඳේ නාන අයගේ ඇඳුම් මාරු කිරීමට සහ වැසි අවස්ථාවලදී ප්‍රයෝජනයට අම්බලම ඉදිකර තිබෙනවා.
සමචතුරස්‍රාකාර අම්බලම දිගින් හා පළලින් අඩි 11 බැගින් යුක්ත යි. ගෙබිමට ගල්පුවරු අල්ලා සකස් කර තිබෙනවා. කොන් හතරෙහි සිටුවා ඇති අඩි 6ක් උස ගල්කණු 4ක් මතයි පල හතරකින් යුත් පියස්ස රඳවා ඇත්තේ. ගල් කණු තනා ඇත්තේ පාදමේ සිටඅඩි 2ක් උසට යන තෙක් චතුරස්‍රාකාරව ද ඉන්පසු අඩි 1ක් උසට අටපට්ටම් ලෙසත් යළිත් හතරැස් හා අටපට්ටම් ලෙසත් ආදී වශයෙනු යි. පියස්සට සෙවිලි කර ඇත්තේ සිංහල කොකු උළු යි. පසුගිය කාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ළිඳ ළඟ අම්බලම සංරක්ෂණය කර තිබෙනවා. මේ අම්බලම 2002 දී පුරාවිද්‍යා රක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශිත යි.
කිරිඳිවැල නගරයට නුදුරු බෝගහවත්තේ ද මහා මාර්ගය අයිනේ අම්බලමක් දැකගත හැකි යි. එය පැරණි අම්බලමක් වුවත් අලුත්වැඩියාවේ දී රටඋළු සෙවිල්ලා ඇති ආකාරය දැකගත හැකි යි.