ගෝලීය උණුසුමෙන් සිදුවන පාරිසරික විපර්යාස සම්බන්ධ ප්‍රවෘත්ති ඕනෑ තරම් අසන්නට ලැබෙන කාල වකවානුවක් අප ගත කරමින් සිටිනවා. උත්තර අර්ධගෝලයේ අයිස් තට්ටු දියවීමත් එවැන්නක්. ඒවායේ අනිසි ප්‍රතිපල ගැනත් අප බොහෝවිට දැනුම්වත්. නමුත්, දැන් අලුත් අභියෝගයක් අප හමුවේ තිබෙනවා. ඒ අභියෝගය පැමිණෙන්නේ “Permafrost” ලෙස හඳුන්වන පාංශු කලාප හරහා යි.
“Permafrost” යනු පොළොවට යටින් මිදුණු පස් තට්ටුවක් ලෙස සරල ව හඳුන්වන්නට පුළුවන්. උත්තර අර්ධගෝලයේ සහ ලෝකයේ වෙනත් ශීතාධික ප්‍රදේශවල මෙවැනි කලාප රැසක් හඳුනාගෙන තිබෙනවා.
“Permafrost” ස්ථරයක ව්‍යුහය සලකා බැලීමේ දී පස්, බොරළු, වැලි සහ අයිස් එකට බැඳුණු ස්වභාවයක් දක්නට ලැබෙන අතර, ඒවාට උඩින් ස්ථිර හෝ අස්ථිර අයිස් තට්ටුවක් තැන්පත් වීමට පුළුවන්. මින් අදහස් වන්නේ, මෙවැනි ස්ථාන වසර දහස් ගණනක් තිස්සේ වුවත් බාහිර පරිසරයට නිරාවරණය නොවී තිබීමට හැකි බව යි.
ගෝලීය උණුසුම හමුවේ මෙවැනි ස්ථානයකට බාධාවක් ඇති වුවහොත්, වසර දහස් ගණනක අතීතය එකවර පෘථිවි පෘෂ්ඨය වෙත නිරාවරණය වෙනවා. එලෙස නිරාවරණය වූ “Permafrost” කලාපයකින් මානව සංහතියට යම් අනතුරු ඇඟවීමක් දැන් නිකුත් කොට තිබෙනවා!
මහජන සෞඛ්‍ය තර්ජනය
විද්‍යාඥයන් පිරිසක් පැරණි “සොම්බි” වෛරසයක් සයිබීරියාවේ “Permafrost” කලාපයකින් අනාවරණය කර ගැනීමට පසුගිය දා සමත් වුණා. බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය මේ සිදුවීම සමාන කර තිබුණේ “Horror” චිත්‍රපටයක කතාවක් සැබෑ ජීවිතයේ සිදු වූ ආකාරයෙන්. වාර්තා වන අන්දමට වෛරසය වසර 48,000 ක් පමණ කලක් ශීත පාංශු ස්ථරයේ රැඳී සිට තිබෙනවා. ඔවුන් අලුත් වෛරස් කාණ්ඩ පහක් නියෝජනය කරන අතර, ලබා ගත් සාම්පල විශ්ලේෂණය කිරීමේ දී වයස්ගත ම වෛරසය වසර 48,500 ක් පැරණි බවත්, ළාබාලත ම වෛරසය වසර 27,000 ක් පමණ පැරණි බවත් සොයා ගැනුණා.
මෙම “සොම්බි” වෛරසවලට ඒක සෛලික ඇමීබාවන් ආසාදනය කිරීමේ හැකියාවක් ඇති බව දැන් අනාවරණය වී තිබෙනවා. එම වෛරස සතුන්ට හෝ මිනිසුන්ට ආසාදනය වීමේ සම්භාවිතාව හෝ අවදානම පැහැදිලි නොවූවත්, එක් කාරණයක් දැනටමත් පැහැදිලි යි. ඔවුන් වසර දහස් ගණනක් බාහිර ලෝකයේ සියලු විපර්යාසවලින් වියුක්ත ව සිටියත්, සිය ආසාදන හැකියාව අහිමි කරගෙන නැහැ. එබැවින්, “Permafrost වෛරස” මහජන සෞඛ්‍යයට එල්ල වූ තර්ජනයක් ලෙස සැලකීම වඩාත් සුදුසු බව පර්යේෂකයන් පවසනවා.
අතීතය සංරක්ෂණය කරන “Permafrost”
“Permafrost” කලාප උතුරු අර්ධගෝලයේ පහෙන් එකක් පමණ ආවරණය කරනවා. සහස්‍ර ගණනාවක් මුළුල්ලේ ඇලස්කාව, කැනඩාව, රුසියාව වැනි රටවල ආක්ටික් තුන්ද්‍රා සහ වනාන්තර ඔස්සේ මෙවැනි කලාප නිර්මාණය වී ඇති අතර, ඒවා එක්තරා අන්දමක කාල තරණ ව්‍යුහ ලෙස හැඳින්වුවත් වරදක් නැහැ.
වසර දහස් ගණනකට පෙර මිහිමතින් වඳ වූ සතුන් පවා මමිකෘත ආකාරයෙන් සංරක්ෂණය කිරීමට “Permafrost” කලාප සමත් වී තිබෙනවා. අධික ශීතලට අමතර ව ඔක්සිජන් රහිත පරිසරයක් තිබෙන බැවින්, එවැනි සංරක්ෂණ සිදුවන බව සිතිය හැකි යි.
“සොම්බි වෛරස”
ජීන්-මිෂෙල් ක්ලැවරි යනු වෛද්‍ය සහ ප්‍රවේණි විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙක්. සයිබීරියාවෙන් ගෙන ආ “Permafrost” සාම්පල පරික්ෂා කිරීමට ඔහු දායක වී තිබුණා. වසර දහස් ගණනක් ගත වුවත්, ආසාදිත හැකියාව අහිමි කර නොගත් වෛරස විස්තර කිරීම සඳහා “සොම්බි වෛරස” යන සාමාන්‍ය යෙදුම ප්‍රචලිත වූයේ මහාචාර්ය ක්ලැවරි හරහා යි.
මෙවැනි වෛරස ලෝකයට ආගන්තුක නැහැ. උදාහරණයක් ලෙස ක්ලැවරී 2003 දී සොයා ගත් වෛරස් මාදිලියක් සම්බන්ධයෙන් අධ්‍යයන පවත්වා තිබුණා.
2014 දී ක්ලැවරී සහ ඔහු ගේ කණ්ඩායම “Permafrost” ස්ථරයක හුදෙකලා වූ වෛරසයක් නැවත පණ නැංවීමට සමත් වූ අතර, වසර තිස් දහසකට පසුවත් රෝපිත සෛලයකට ඇතුළු කළ විට ආසාදිත හැකියාව පෙන්වන බව අනාවරණය වුණා. ආරක්ෂාව සඳහා ඔහු තෝරා ගත්තේ ඒක සෛලික ඇමීබාවන් පමණ යි. මෑතක දී සයිබීරියාවෙන් හමු වූ වෛරසයත් පෙර අත්දැකීම් මත පරීක්ෂාවට ලක් කළ බව මින් පැහැදිලි වෙනවා.
ඇමීබාවන් හෙළි කරන සත්‍යය
මේ දක්වා ක්ලැවරී ඇතුළු කණ්ඩායම සයිබීරියාව පුරා විවිධ ස්ථාන හතක “Permafrost” සාම්පල විශ්ලේෂණය කර තිබෙනවා. ඒවායින් වෙන්කර ගත් පුරාණ වෛරස කිහිපයක් ඇමීබා සෛල ආසාදනය කිරීමට සමත්කම් දක්වන බව යි පැවසෙන්නේ.
“අපි permafrost වෛරස බොහෝමයක හෝඩුවා දැක තිබෙනවා. එබැවින්, එවැන්නක් තිබෙන බව අපි දැන් දන්නවා. ඔවුන් සියල්ල තවමත් ජීවතුන් අතර සිටින බව අපි නිශ්චිතව ම දන්නේ නැහැ. ඇමීබාවන් ආසාදනය කළ හැකි පුරාණ වෛරස තවම තිබෙනවා නම්, අනෙකුත් වෛරස ජීවතුන් අතර නොසිටීමට හේතුවක් නැහැ. ඒක තමයි අපේ තර්කය.”
වර්තමානයේ ජීවත් වන ඇමීබාවන් ආසාදනය කිරීමට සමත් පුරාණ වෛරස තිබේ නම්, වර්තමානයේ ජීවත් වන අනෙකුත් සත්ත්ව කාණ්ඩ ආසාදනය කළ හැකි පුරාණ වෛරස මේ අයිස් තට්ටු අතර සැඟ ව සිටීමේ සම්භාවිතාවක් තිබෙන බව දැන් විශ්වාස කරන්න සිදු වෙනවා.
නූතන සාක්ෂි
උක්ත සම්භාවිතාව සාධනය කළ හැකි නූතන ලෝකයේ සාක්ෂි කිහිපයක් තිබෙනවා. එකම වෙනස වන්නේ එම වෛරස වසර දස දහස් ගණනක් පැරණි නොවීම යි. උදාහරණයක් ලෙස 1997 දී ඇලස්කාවේ ස්වර්ඩ් අර්ධද්වීපයේ ගම්මානයකින් ගොඩ ගත් කාන්තාවක ගේ සිරුරේ පෙනහළු සාම්පලයකින් 1918 වසංගතයට වගකිව යුතු ඉන්ෆ්ලුවෙන්සා වෛරසයක ප්‍රවේණික ද්‍රව්‍ය සොයා ගැනුණා. ඇය මිහිදන් කොට තිබූ පාංශු පරිසරය “permafrost” තත්ත්වයට සමාන යි.
2012 දී සයිබීරියාවේ මිහිදන් කළ වසර 300 ක් පැරණි මමීකෘත මානව ශේෂ අතරින් වසූරියට හේතුවන වෛරසයේ ජානමය සලකුණු සොයා ගත් අතර, 2016 ජූලි සහ අගෝස්තු කාලවකවානුවේ සයිබීරියාවට බලපෑ ඇන්ත්‍රැක්ස් ව්‍යාප්තිය ද අයිස් දියවීමෙන් මතු වූ පැරණි අවශේෂ හේතුවෙන් ඉස්මතු වූ බව අනුමාන කෙරෙනවා.
ඉතින්, වසර දහස් ගණනක් පුරා මේ අවදානම මිනිසුන්ටත් බලපැවැත්වෙන අන්දමින් නිරූපද්‍රිතව පැවතිය නොහැකි ද?
ගැටලුව වන්නේ එය යි.
දැන්වත් එකතු විය යුතු යි!
අප ගේ ප්‍රතිශක්තිකරණ ආරක්ෂාව සමීප ව කටයුතු කරන්නේ අප වටා ඇති ක්ෂුද්‍ර ජීව විද්‍යාත්මක වටපිටාව සමඟ පමණ යි. වසර දහස් ගණනක් සාමාන්‍ය පරිසරයෙන් ඈත් ව සිටි ක්ෂුද්‍ර ජීවින් සමඟ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කටයුතු කර නොමැති බව විද්‍යාඥයන් විශේෂයෙන් මතක් කර දෙනවා.
“Permafrost” ස්ථර තුළ මිනිසුන්ට ආසාදනය විය හැකි පුරාණ වෛරස තිබේ නම්, ඒවාට අපේ ප්‍රතිශක්තියත් හැඩගැසී නොමැති නම්, කළ හැක්කේ එකම එක දෙයක් පමණ යි. මෙහි බරපතලකම මානව සංහතිය නිහතමානී ව භාරගත යුතු යි. බියට එරෙහි ව සටන් කිරීම සඳහා අවශ්‍ය දැනුම එකතු කිරීමේ ඕනෑම ප්‍රයත්නයකට සහාය දැක්විය යුතු යි. ඒ සැමට ඉහළින් අප කළ යුතු දෙයක් තිබෙනවා. “Permafrost” කලාප වර්තමාන ලෝකයට නිරාවරණය වීම සඳහා දේශගුණික විපර්යාස බලපාන බැවින්, දැන්වත් පාරිසරික සමතුලිතතාව රැක ගැනීම සඳහා ගෝලීය ප්‍රජාව එකතු විය යුතු යි.
දැනුම අසම්පූර්ණ යි
පැරණි වෛරස වර්තමාන ලෝකයට නිරාවරණය වූ පසු බෝවන මට්ටමෙන් පැවතිය හැකි කාලය සහ වෛරසයට සුදුසු ධාරකයෙක් හමුවීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් විද්‍යාඥයන්ට තවමත් හරියාකාර දැනුමක් නැහැ. සියලු පුරාණ වෛරස රෝග ඇති කළ හැකි ව්‍යාධිජනකයන් වීමේ ඉඩකඩ අවම වන අතර, ඇතැම් වෛරස මිනිසාට ප්‍රයෝජනවත් වන්නටත් පුළුවන්. අනෙක් අතට, ආක්ටික් යනු තවමත් ජනාකීර්ණ නොවු කලාපයක්. එබැවින්, පුරාණ වෛරසවලට මිනිසුන් නිරාවරණය වීමේ අවදානමත් අවම වෙනවා.
කෙසේ නමුත්, මේ තත්ත්වය හැමදාම පවතින්නේ නැහැ. අයිස් දියවීමේ වේගය සහ ආක්ටික් කලාපයේ කාර්මික ව්‍යාපාර දියුණු වීමේ වේගය මත අඩු අවදානම් ස්වභාවයක අධි අවදානමක් කරා විතැන් විය හැකි යි.
උපද්‍රව ලැයිස්තුවක්
“Permafrost” ස්ථර දියවීම හරහා පුරාණ වෛරස ඉස්මතු වීම එකම අවදානම නොවෙ යි. 2021 වර්ෂයේ “Nature Climate Change” නම් විද්‍යාත්මක සඟරාවේ ප්‍රකාශයට පත් කළ පත්‍රිකාවක් හරහා ආක්ටික් කලාපයේ “Permafrost” ස්ථර නිරාවරණය වීමෙන් හට ගත හැකි උපද්‍රව මාලාවක් ලැයිස්තුගත කර තිබුණා. ඒ උපද්‍රව අතර 2000 න් ඇරඹුණු දශකයේ මුල් භාගය තුළ තහනම් කෙරූ බැර ලෝහ සහ DDT පළිබෝධනාශක ද තිබෙනවා. මේවා ආක්ටික් කලාපයේ ආරක්ෂිත ලෙස වළලා තිබුණ ද අයිස් තට්ටු දියවීමත් සමඟ නැවත පරිසරයට නිරාවරණය වීමේ අවදානම වැලැක්විය නොහැකි යි. 1950 දශකයේ පටන් සිදු කළ න්‍යෂ්ටික අත්හදා බැලීම්වල විකිරණශීලි අපද්‍රව්‍ය පවා ආක්ටික් කලාපයට බැහැර කර තිබෙනවා.
මීට අමතර ව, “Permafrost” ස්ථර අතර සිර වී සිටින පුරාණ ක්ෂුද්‍ර ජීවින් වර්තමාන ලෝකයේ පරිසර පද්ධතිය සමඟ අන්තර්ක්‍රියා කරන අන්දම ගැනත් පැහැදිලි අදහසක් නැහැ. වර්තමාන පරිසර පද්ධතිවල පාංශු සංයුතියට සහ ශාක වර්ධනයට බලපෑම් එල්ල කිරීමේ විභවයක් ඔවුන් සතු ව තිබෙන්නට පුළුවන්.
නොදන්නා අවදානම් බොහෝමයක් මැද අපට එක් කරුණක් සඳහන් කළ හැකි යි. සමහර දේවල් වසර මිලියන ගණනකට බලපැවැත්වෙන පරිදි වළලා දැමීමට සොබාදහම ක්‍රියාකර තිබෙනවා. අප ඒවා මතුකර ගැනීමෙන් අනවශ්‍ය ප්‍රශ්න එක මත එක ගොඩ ගසමින් සිටිනවා!