ආක්‍රමණිකයන් දණගැස්වූ උඩරට කූඩැල්ලන් හමුදාව

ලන්දේසි සෙබලාගේ ඝාතකාගාරය ලෙස මේ රට නම් කිරීම අසාධාරණ නොවේ. අපගේ සෙබලුන් හට එහි යාමට නියම කළ විට එය මරණයට යාමක් ලෙස සැලකූහ. ඔවුන්ට එහි සිටින සතුරෝ සිංහල ස්වදේශිකයින් සහ රජුගේ හමුදාව පමණක් නොවේ. වැස්සකට පසු ප්‍රාණවත් වන පොළොවේ ජීවත් වන භයානක ලේ උරාබොන්නෝ ඔවුන්ගෙන් මහත් ලෙස රුධිරය පැහැර ගනිති…

උඩරට ආක්‍රමණයේ බිහිසුනුබව මෙවැනි සටහනක් තුළින් විස්තර කරන්නේ ලන්දේසි හමුදාවේ සිටි ජර්මානු ජාතිකයෙකු වූ ස්වෙයට්සර් විසිනි. මෙම සටහනේ දිගුවකින් උඩරට රජුගේ හමුදාවට අමතරව අද්භූත ලේ උරාබොන්නන් හමුදාවක් පිළිබඳව ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකාව යටත් කරගැනීමේ අරමුණින් උඩරට ආක්‍රමණය කිරීමට පෘතුගීසීන්, ලන්දේසීන්, සහ ඉංග්‍රීසීන් දැරූ අසාර්ථක උත්සාහයන් බොහෝ ය. කෙසේ නමුත් ඉංග්‍රීසීන්ට පමණක් එම උත්සාහය අවසානයේ සාර්ථක කරගැනීමට හැකිවූයේ දේශපාලනික කුමන්ත්‍රණයක් මඟින් ලබාගත් ස්වදේශික සහයෝගය මත පමණි. එතෙක් මෙම ජාතීන් ත්‍රිත්වයම උඩරට ආක්‍රමණය කිරීමට දැරූ උත්සාහයන් සියල්ල කෙළවර වූයේ බිහිසුණු අවසානයකිනි. එහි බිහිසුණු බව කොතෙක් ද යත් පෘතුගීසීන් සතුව හා ඉංග්‍රීසීන් සතුව සිටි හොඳම හමුදා බලකායන් ද්විත්වයම සිංහල රජුගේ හමුදා අතින් සමූල ඝාතනයට ලක් විය.

සිතුවම ප්‍රසන්න වීරක්කොඩි මහතාගෙනි.

මෙහිදී උඩරට රජුගේ හමුදාව භාවිතා කළ දියුණු ගරිල්ලා සටන් ක්‍රම තීරණාත්මක සාධකයක් වූ නමුත්, උඩරට රාජ්‍යයේ ප්‍රධානතම ආරක්ෂකයා වූයේ ස්වභාවික පරිසරය හා එහි පිහිටීම යි. එහිදී බටහිර ආක්‍රමණිකයන්ට උඩරට ආක්‍රමණය ඛේදාන්තයක් කළ පරිසරයේම සිටි ගුප්ත කූඩැල්ලන් හමුදාවක් පිළිබඳ අප මෙම සටහන තුළින් ඔබට තොරතුරු ගෙන එමු.

පැරණි උඩරට රාජධානිය අවට කඳු, සානු, නිම්න, තැනිතලා, දුර්ග හා කපොලු මාර්ග ආ‍ශ්‍රිතව වූ නිවර්තන වර්ෂා වනාන්තර, තැනිතලා මූකලාන්, ලඳු කැළෑ, සහ විශාල තෘණ භූමි පොදුවේ වන දුර්ග යනුවෙන් හඳුන්වාදිය හැකිය. උඩරට රාජධානියේ ආරක්ෂාවට ප්‍රයෝජනවත් වූ මෙම වනාන්තර හරහා ස්වකීය යුද්ධ මෙහෙයුම් කිරීමට පෘතුගිසී, ලන්දේසී, ඉංග්‍රීසි වැනි ත්‍රිවිධ යුරෝපා ආක්‍රමණිකයන්ට අපහසු වූයේ හමුදා ශක්තිය පමණක් නොව ඉහළ ජෛව විවිධත්වයක් උඩරට පැවතිම නිසා ය.

විශේෂයෙන්ම මෙම වනාන්තරවල ජීවත් වූ වන අලියා, වලසා, දිවියා, වල්ඌරා වැනි සිවුපා විශේෂයන් ද, පිඹුරා, කරවලා, නාගයා, පොළඟා, කුණකටුවා වැනි උරග විශේෂයන් ද, ගෝණුස්සා, මදුරුවා, කූඩැල්ලා වැනි පරපෝෂිත ජීවි විශේෂයන් ද හේතු කොටගෙන ආක්‍රමණික සෙබලුන් විවිධ හදිසි අනතුරුවලට සහ රෝගාබාධවලට ලක් වූ බව පෙනෙයි. මූලිකවම යුරෝපානු ආක්‍රමණිකයන්ට මහත් හිරිහැරයක් ගෙන දුන් සත්ත්ව විශේෂයක් ලෙස කූඩැල්ලා හඳුන්වාදිය හැකිය. එය වැඩිදුරටත් විග්‍රහ කළ සී.පී. ඌරාගොඩ මහතා පෙන්වාදෙන්නේ යුරෝපීය ආක්‍රමණිකයන්ට විරුද්ධ සටනේ දී කූඩැල්ලා විශිෂ්ඨ ලෙස උඩරැටියන්ගේ පැත්ත ගත් බව යි.

අතීතයේ පුහුඩා හෙවත් නූතනයේ කූඩැල්ලා ලෙස එම සත්ත්වයා හඳුන්වන ලැබෙයි. මෙම පරපෝෂිතයින් ජීව විද්‍යාත්මකව සැලකීමේ දී ඇනලීඩාවන් විශේෂයක් වේ. ගොඩබිම තෙත් පරිසරයේ මෙන්ම කරදිය සහ මිරිදියේ ජීවත්වන සත්ත්ව විශේෂයක් ලෙස කූඩැල්ලා සැලකෙයි. ආයුර්වේද ප්‍රතිකාර කටයුතු සඳහා යොදාගන්නා කූඩැල්ලා දිය පුහුඩාවන් වශයෙන් සුශ්‍රැත සංහිතාවේ සඳහන් වෙයි. සෙසු විශේෂ හය විෂ සහිත වන හෙයින් ප්‍රතිකාර කටයුතු සඳහා යොදා නොගනියි.

මහ නුවර/ deshghoomo.com

උඩරට වනාන්තරබද ප්‍රදේශවල ජීවත් වූ විෂ සහිත කූඩැල්ලන් විශේෂ නිසා තම සෙබලුන්ට සිදුවුන අපහසුතා පිළිබඳව ක්වේරොස්, රෙබෙයිරෝ, බොකාරෝ වැනි පෘතුගීසි වාර්තාකරුවන් මෙන්ම බැලදියස්, ජෝන් මාර්ෂල්, ඩොයිලි, නොක්ස්, ෆර්ගියුසස් වැනි ඕලන්ද සහ ඉංග්‍රීසි වාර්තාකරුවන් තම කෘතිවල සටහන් තබා ඇත. පාවහන් නොමැතිව කූඩැල්ලන්ගෙන් ගහන වගුරු හා ගොහොරු බිම් අතරින් සෙබලුන්ට පීඩා විඳිමින් යාමට සිදුවූ බවට පෙන්වා දෙන රිබෙයිරෝ කුඩැල්ලන්ගෙන් වූ හානිය තවදුරටත් මෙසේ දක්වයි.

“අප මෙතෙක් සඳහන් කළ වල් සිවුපාවුන්ට අමතරව, මේ දිවයිනේ සිටින ඉතා හානිකර පිළිකුල් සහගත සතා නම් ලේ උරාබොන්නා ය (කූඩැල්ලා ය). වනාන්තරවල ඉතා අධික ලෙස සිටින මේ සතා මාර්ගවල ද බහුල වශයෙන් සිටියි. ශරීරයේ එල්ලෙන උන් එකෙකු ගලවා දැමුවිට තව දෙසීයක් පමණ ඇඟේ එල්ලෙති. අප ගමන්කරන බොහෝ අවස්ථාවල දී අපගේ දෙපා ලෙයින් පිරීයයි. වැඩි වේදනාවක් දැනෙන්නේ පැටවුන් ලේ උරන විට ය. ලොකු කූඩැල්ලන් ඉදිකටුවක් පමණ දිග ය. හණ නූලක් පමණ මහත වන අතර ළා දුඹුරුපාට ය.”

උඩරට රාජධානිට ආක්‍රමණය කිරීමේ දී පෘතුගිසීන් විඳි දුෂ්කරතා පිළිබඳව රිබෙයිරෝ මෙන්ම බොකාරෝ ද වාර්තා තබා ඇත.

ත්‍රිවිධ යුරෝපීය වාර්තාකරුවන් පෙන්වාදෙන පරිදි කුඩැල්ලන් දෂ්ට කළ වහාම ප්‍රථමයෙන් කැසිල්ලක් ඇති වී, පසුව එය ආසාදනය වී අවයව පමණක් නොව ජිවිත හානි පවා සිදු වී ඇත. හෙන්රි මාර්ෂල්ට අනුව ක්‍රි.ව 1818 උඩරට විමුක්ති ව්‍යාපාරය පරාජය කිරීමේ යුධ මෙහෙයුම්වලට සහභාගි වූ බ්‍රිතාන්‍ය සෙබලූන් 2073 දෙනෙකු මාස දෙකක් (අප්‍රේල් සහ මැයි) ඇතුළත කූඩලු දෂ්ටකිරීම් ආශ්‍රිත රෝගාබාධවලට ලක්ව රෝහල් ගත කර ඇත. විශේෂයෙන්ම සියලු බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ගේ පාදවල වණ පැවති අතර එයින් වැඩි ප්‍රමාණයක් කුඩැල්ලන් දෂ්ටකිරීම් වන අතර, දෂ්ට කළ ස්ථාන කැසීම් නිසා අසාදනය වී දැවිල්ල සහ තුවාල වීම් අධික විය.

  • දීර්ඝ ගමන්වල නිරත වීම නිසා තත්ත්වය වඩාත් දරුණු වූ අතර පීඩාවට පත්වූවන් රෝහලට ඇතුළත් වන විට තුවාලවල බොහෝවිට ඉහඳ පණුවන් සිටින බව හෙන්රි මාර්ෂල් දක්වා ඇත. මේ අනුව කූඩැල්ලන් දෂ්ට කිරීමෙන් අත් සහ පාදවල ඇති වූ තුවාල නිසා යුරෝපීය ආක්‍රමණිකයන් ලක්වූ පීඩාව සුලුපටු නොවන බව මෙයින් ගම්‍ය වේ. මෙම හේතුව නිසා සතුරු ආක‍්‍රමණිකයාගේ විජයග්‍රාහී සංග්‍රාම මනස දුර්වල වූ විට නිසි කාලයේ දී උඩරට හමුදාවේ ගරිල්ලා සෙබලුන් සිය දරුණු ප්‍රහාර ඇරඹීය. එයින් ආක්‍රමණිකයන් අන්ත පරාජයට පත්විය. ඇතැම් කාලවල දී ඉතා ආයාසයෙන් පටු මාර්ග හරහා ගමන්කරන යුරෝපීය සෙබලුන්ට කූඩැල්ලන්ගෙන් මහත් දුෂ්කරතා විදිමට සිදුවිය. මීට අමතරව උඩරට සිංහල රජුගේ සහෝදරියක් කුඩැල්ලන් ලවා පෘතුගීසි සේනාවන්ට පහරදීමේ ක්‍රමයක් සොයාගත් බව ජර්මන් ජාතිකයකු වාර්තා කරයි (සී.පී ඌරාගොඩ 1994:208).
සිතුවම ප්‍රසන්න වීරක්කොඩි මහතාගෙනි.

විශේෂයෙන්ම ජෝන් ඩේවි පෙන්වාදෙන පරිදි කූඩැල්ලා ඉතා වේගවත් සතෙකු වන අතර, ඇතැම් අවස්ථාවල පනින බවත්, උගේ හැකිලිමේ සහ දිග හැරීමේ ශක්තිය අතිමහත් බවත් පැවසේ. එසේම ඌ මුළුමණින්ම දිගහැරී සිටින විට සියුම් තතක් වැනිය. උගේ තුඩ කොතරම් තියුණු ද යත් ඌ ඉතා කුඩා සිදුරු අතරින් පවා පහසුවෙන් ගමන් කරන බවත්, ගඳ සුවඳ දැනිමේ ඉතා තියුණු ශක්තියක් පැවති බවත්, යමකු කූඩැල්ලන් බහුල ස්ථානයක නතර වුණොත් උන් හැම දිශාවකින් එම පුද්ගලයා දෙසට පැමිණෙන බව ද පැවසේ.

මේ අනුව පෙනී යන්නේ යුරෝපීය ආක්‍රමණිකයන්ට මහත් විනාශයක් උඩරට වනාන්තරවල ජීවත්වන පුහුඩාවන් හෙවත් කුඩැල්ලන් විසින් සිදුකළ බව යි. ඉහත තොරතුරුවලට අනුව විෂ සහිත කුඩැල්ලන් කීපයක් හඳුනාගත හැකිය. එනම් කෘෂ්ණ, කර්බුරා, අලගර්දා, ඉන්දායුධා, සම්ද්‍රිකා, සහ ගොවින්දනා වෙයි. යුරෝපීය ආක්‍රමණිකයන්ට ඉමහත් හානි ගෙනදුන්න ද ලාංකික සෙබලුන්ට මෙන්ම පොදු ජනතාවට කුඩැල්ලන් ගෙන් එතරම් හානි සිදුවූයේ නැත. ඒ කුඩා කාලයේ දී සිටම අනේකවිධ කූඩලු ප්‍රහාරවලට ලක්වීම හේතුවෙන් ස්වදේශිකයන් සහ උඩරට හමුදාවන් එම කූඩැල්ලන් ඉවත්කරන ආකාරය, දෂ්ටනයට සුදුසු ප්‍රතිකාර, කූඩැල්ලන් ගැවසෙන ස්ථාන දැනසිටි නිසා ඔවුන් කූඩැල්ලන්ගේ දෂ්ට කිරීම්වලට ඔරොත්තු දුන් පිරිස් වීමෙනි. මෙම කරුණු සියල්ලම මනාව පිරික්සා බැලීමෙන් පෙනීයන්නේ සතුරාට එරෙහිව මෙරට ස්වභාවික පරිසර පද්ධතීන් පවා ඉතා විශිෂ්ට ලෙස මේ රට සුරක්ෂිත කළ බව යි.

 

තොරතුරු - ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය හා පර්යේෂක ඉසුරු හේරත්.

*සිතුවම් - චිත්‍ර ශිල්පී ප්‍රසන්න වීරක්කොඩිගෙනි.

Cover image: ExhibitionSmith

Related Articles

Exit mobile version