පුරාණයේදී සටන් ක්‍රම ක්‍රීඩාවක් විදිහට පැවතුණු බව මහාවංශයෙන් තරමක් හෙළිවෙනවා. ඒත් සාමාන්‍ය ජනයා විනෝදයට සටන් ඉගෙනගත් බවක් සඳහන් වන්නේ නම් නැහැ. ඒ කාලෙ සියලුම වරප්‍රසාද රජපවුල්වලට සහ ඔවුන්ගේ අනුගාමිකයන්ට ලැබෙන වැඩවසම් සමාජයක්නෙ තිබුණේ. යුද්ධ කාලවල දී තරුණ පිරිස් හමුදාවට බැදිලා කඩු ශිල්ප, දුනු ශිල්ප හදාරපු බවත් සදහන් වෙනවා. ඒ අතරම දක්ෂයන් හොරරහසේ සටන් ප්‍රගුණ කළ අවස්ථා ජනකතාවල තිබෙනවා. මේ සටන් ක්‍රම කිහිපයක් ගැන අපි සොයා බැලුවා.
අතීත තොරතුරු
අනුරාධපුර යුගයේ පැවති සටන් ක්‍රම ගැන අධ්‍යයනයක් කළ විල්හෙල්ම් ගයිගර් මෙහෙම සදහන් කර තිබෙනවා:
කුමාරවරු සහ කුලීන පවුල්වල පුත්‍රයෝ සටන් පුහුණු වූහ. ශෞර අභ්‍යාස යනු ශිල්ප විය. ධනු ශිල්පය, හත්ථි, අශ්ව ශිල්ප, සහ කඩු ශිල්පය ද ප්‍රධාන තැනක් ගත්තේ ය.
(මධ්‍ය කාලීන ලංකා සංස්කෘතිය- විල්හෙල්ම් ගයිගර්, පරි. ඇම්. බී. ආරියපාල, 91 පිට)
මහනුවර යුගය වන විට ඇත් අස් ශිල්පයට වඩා සතුරන් සමග සටන් කිරීමට සිරුරේ ශක්තිය යොදාගත් බව යි පේන්නේ. චීනය වැනි රටවල කුංග්ෆූ වැනි ශිල්ප දියුණු වන විට අප රටේ උඩරට පළාත්වල අංගම් පොර දියුණු වුණා. මේ සටන් ශිල්පය ගැන ජනපුවාද හැරුණු විට ඓතිහාසික වාර්තාවල විස්තරාත්මක සටහනක් නැතිවීම අවාසනාවක්. අද මෙන් ඒ කාලෙත් අසල්වැසි තරහකරුවන් සමග ගහමරාගැනිලි තිබුණත්, ඒවා වාර්තාවීමක් ද නැති නිසා අපට ඒ ගැන අවබෝධයක් ලබාගැනීම දුෂ්කර යි. ඒ කාලෙ යුද ශිල්පවලට භාවිත කළ සටන් ක්‍රම පෞද්ගලික එදිරිවාදිකම්වලටත් යොදාගත් බව නිසැක යි.
උඩරට රාජ සභාවේ සටන් හා සම්බන්ධ නිලතල රාශියක් තිබුණා. වැඩවසම් යුගයේ පැවති ඒ නිලතල ගැන ආචාර්ය පී. ඊ. පී. දැරණියගල මෙසේ සඳහන් කර තිබෙනවා:
ගජනායක නිලමේ මේ අංශයේ මහා පදවිය දැරීය. ඔහුගේ පාලනය යටතේ මුහන්දිරම්වරු, ලේකම්වරු, මොහොට්ටාලවරු වූහ. වෙඩික්කාර, බොන්ඩිකුලා කොඩිතුවක්කු, සුදලියේ හා මරුවල්ලියේ දුනුකාරයෝ, ඇත් පන්තිය, අස් පන්තිය හා ගව පට්ටියේ සුදුහරක් පට්ටිය, දඩ මීගොන් පට්ටිය, ඔටු පන්තිය, කුක්කන් මඩුව, කුරුල්ලන් මඩුව හා රන් ආයුධ මඩුවේ ලේකම් ආදිය ඉහල නිලතල දරුවන් යටතේ විය.
(සිංහල ත්‍රාසජනක ක්‍රීඩා, දැරණියගල, 2 පිට).
අංගම්පොර ඉගැන්වූ සරඹ ශාලාවල දී පහත සඳහන් ශිල්ප ප්‍රගුණ කරවා තිබෙනවා:
කඩු පලිස් ශිල්පය
තනි ලී හරඹ
පැනුම් හා පිනුම්
අශ්වාරෝහක සටන්
ධනුර්ධ ශිල්පය
ප්‍රහාර හා මල්ලව පොර
හස්ති ශිල්පය
කඩු හරඹ
කඩු හරඹ පුරාණයේ පටන් පැවති සටන් ක්‍රමයක්. ආත්මාරක්ෂාව සඳහාත් නිවසේ කඩුවක් තබාගැනීමට මෑත අතීතය වන තෙක්ම වැඩිදෙනෙක් පුරුදුව සිටියා. පැරණි ගෙවල්වල සාලයේ බිත්තියේ තරමක් ඉහළින් ඒ කඩුව රදවා තිබුණා. ඒ, හොරසතුරන්ගෙන් වන හිරිහැර මැඩ පැවැත්වීම සඳහා යි.
ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයමක කඩුහරඹකාරයෙක් කඩුවක් හා පලිහක් අතැතිව සිටින ආකාරය දැකගත හැකියි. හඟුරන්කෙත විෂ්ණු දේවාලයෙන් ලැබුණු දේව අංගම් රෙද්දක කඩුහරඹකාරයන් ජෝඩු දෙකක් සටන් කරන ආකාරය නිරූපණය වෙනවා. එහි කඩු සටන් කරන්නේ සිංහල අය වුව ද විනිශ්චයකරු ඉන්දියන් ජාතිකයෙක්. එහි සිටින සියලු සටන්කරුවන් දකුණතින් පලිහ හා වමතින් කඩුවක් ගෙන සිටිනවා. සිතුවම් සහිත මෙම රෙද්දේ සිත්තම් ඉන්දිය පුහුණුව ලත් සිංහල ශිල්පීන් විසින් ඇඳි බව දැරණියගල කියනවා. ආචාර්ය සෙනරත් දිසානායක සඳහන් කරන්නේ මෙම රෙදි ඉන්දියාවේ ශිල්පීන් විසින් නිර්මාණය කර ආනයනය කිරීම හෝ යාපනයේ සිත්තරුන්ගේ නිර්මාණ වීමට හෝ ඉඩ ඇති බවයි. දකුණු ඉන්දීය සම්ප්‍රදායට හුරු මෙහි සජීවී සටන් ජවනිකා රාශියක් දැකගත හැකියි. වර්තමානය වන විට ඒ වටිනා රෙද්ද දිරායමින් පවතින ආකාරය අපට දැකගන්නට ලැබුණා.
කුරුණෑගල රිදී විහාරයේ 18 වැනි සියවසේ බිතුසිතුවමක කඩුහරඹකරුවන් දෙදෙනෙක් ඇඳ තිබෙනවා. එහි සටන්නකරුවන් පිටුපසින් සහායකයන් ද සිටින අන්දම නිරූපණය කර තිබෙනවා.
පැරණි කඩු සටන් කලාවේ ප්‍රධාන පහරවල් මෙසේ යි:
ඕම්මට්ටිය- පහළට කැපුම
උම්මට්ටිය- ඉහළට කැපුම
වෙම්මට්ටිය- ඇනීම
විම්මට්ටිය- ඉහත කොටස් තුනේම සම්මිශ්‍රණයක්
අවසන් රජුවූ ශ්‍රී වික්‍රම රාජසිංහ කාලයේ සිටි දක්ෂම කඩු සටන්කරුවා ලෙව්කේ දිසාව බව ජනප්‍රවාදවල කියවෙනවා. ගලගොඩ හා ඇරැව්වේ දිසාවේවරුද දක්ෂ කඩු හටන් ශිල්පීන් ලෙස එකල ප්‍රකටව සිටි අයයි.
මල්ලව පොර
හතරවන විජයබාහු රජු විසින් දළදා වහන්සේ උදෙසා පවත්වන පූජාවක දී යෝධ භටයන් කළ යෝධ කීළා නම් සටන් විශේෂයක් ගැන මහාවංශයේ සඳහන් වෙනවා.
මෙය යම් අන්දමක මල්ලව පොර ගැන සඳහනක් යයි සිතිය හැකිය. මල්ලව පොර රූප ඇම්බැක්කේ දේවාලයෙහි 17 වන ශත වර්ෂයේ කැටයම් අතර තිබේ. මහනුවර දළදා මාලිගයේ 19 වන ශත වර්ෂයේ සිතුවම්වලද එය ඇඳ තිබේ. පෙර කාලවල සිටම මිනිසුන් මල්ලවපොරවල යෙදී ඇත.
(මධ්‍යකාලීන ලංකා සමාජය, මහාචාර්ය ඇම්. බී. ආරියපාල, 342 පිට)
මල්ලව පොර අදත් ක්‍රියාත්මක සටන් ක්‍රීඩාවක්. පුරාණයේ එය ගුටි හරඹ හා පොර හරඹ යනුවෙන් දෙආකාර වුණා. ගුටි හරඹ කියන්නේ මිටිකරගත් අතින් පහර දීමයි. පොර හරඹ කියන්නේ පොර බැදීමයි. දැන් රෙස්ට්ලිං වගේ. මරු නිල ශාස්ත්‍රය හෙවත් මරණය ගෙනදෙන ස්ථාන හැඳින්වීමේ විද්‍යාව නම් පුස්කොළ පොත් දෙකක් තිබූ බව ආචාර්ය දැරණියගල සඳහන් කරනවා. මේ ගැන පැරණි කැටයම් රාශියකින් උදාහරණ ලබාගත හැකියි. මිහින්තලේ සිංහ පොකුණේ 7 සියවසට අයත් කැටයමක පොරකරුවන් දෙදෙනෙක් නිරූපණය වෙනවා. ගඩලාදෙණි විහාරයේ 15 වන සියවසට අයත් කැටයමකත් අපට පොරකරුවන් දැකගත හැකියි. ඇම්බැක්ක ලී කැටයමක කොටා ඇති පොරකරුවන් ලිහිල් කලිසම් ඇඳ අතේ කිරිච්චි දරාගෙන සිටිනවා. ලෝහවලින් තැනූ කිරිච්චිය පුරාණ ගුස්ති සටන්වල දී පහරදීමට යොදාගත් ආයුධයක්.
යටිනුවර සූරියගොඩ විහාරයේ දැව කණුවකත් අත්වලින් හා කෙස්වලින් අල්ලාගෙන පොරකන දෙදෙනෙක් කැටයම් කර තිබෙනවා. මල්ලව පොරකරුවන් දැක්වෙන ලීකැටයම් සහ ඇත්දත් කැටයම් කොළඹ ජාතික කෞතුකාගාරයෙත් තිබෙනවා. දෙදෙනෙක් වශයෙන් හා සිව්දෙනෙක් වශයෙන් පොර බඳින සිතුවම් මහනුවර දළදා මාලිගයේ පහළ මාලයේ වියන් සිතුවම්වල නිරූපණය කර තිබෙනවා. කුරුණෑගල අසල කොළඹගම විහාරයෙන්ද දෑත් දෙපා පටලවාගෙන පොරකන දෙදෙනෙක්ගේ කැටයමක් ලැබී තිබෙනවා.
ගුටි හරඹ මෙසේ කොටස්වලට බෙදා තිබුණා:
දිග්ගුටිය- අත සම්පූර්ණයෙන් දිගහැර ගසන පහර
හරස් ගුටිය- ප්‍රතිවාදියා පහරදෙද්දි ඔහුගේ අත වටා කතිරි කොකු බැදුමක් ලන පහර
ඉස්ගුටිය-පන්දුව විසි කරන්නාක් මෙන් ප්‍රහාරකයාගේ හිසට උඩින් අත වේගයෙන් පද්දවා හකු හා කන් ඇටය හෝ බෙල්ල පිට ගැසීම
කැපුම- මිටමෙලවු අතින් මුහුණ කන් ඇටය කුලල් ඇටය හෝ නාසයට එල්ලකරන පහර
වොල්ලෙ හෙවත් චොක්කේ- පහර දෙන අත ඇති පැත්තේ දණහිසෙන් ප්‍රතිවාදියාගේ දණහිස පසුපසින් ගෙන පිටිසපට පයින් ගසන ගමන් අනෙකාගේ නාසය මතට වැලමිටින් ගැසීම.
(සිංහල ත්‍රාසජනක ක්‍රීඩා, දැරණියගල, 14 පිට)
අංගම් පොර
උඩරට රාජධානි සමයේ දී මරුවල්ලිය සහ සුදලිය නමින් සටන් අභ්‍යාස ආයතන දෙකක් පැවතුණා. ආයුධ රහිතව මෙන්ම සහිතව ද අංගම් පොර පැවැත්වුණා. මෙම අංගම් හරඹවල බොහෝ සටන් ක්‍රම ඉගැන්නූ බව සදහන් වෙනවා. මෙම ආයතන අංගම් පොර පුහුණු කරන හරඹ ශාලාවකින් ද නළුවන් හා වාදකයන් පුහුණු කරන ඉලංගම් මඩුවකින් ද යුක්ත වුණා.
පැරණි කවියක අංගම්පොර ගැන මෙසේ සදහන් වෙනවා:
සේවාකම් අම්ගම්පොර යුද්දයේ – දූකෙළි අංකෙළි මේ හැම යුදයේ
පංච කලා පස්දෙන ජයගන්නියේ- තුන් ලොවටම ඇවුලී මේ ද්වීපයේ
උඩරට රාජධානි යුගයේ දී මෙන්ම රට ඉංග්‍රීසින්ට යටත්වූ මුල් කාලයෙත් හරඹ පාසල්වල මුහන්දිරම්කම් ලබාගැනීමට කවුරුත් උනන්දු වී තිබෙනවා. පලිපාන සහ මොල්ලිගොඩ දිසාවේවරු 1815 දී ඉංග්‍රීසින්ට රට ලබාගැනීමට උදව් කළ හින්දා මේ තනතුර ලබා දී තිබෙනවා. මරුවල්ලියේ පරම්පරාවට හේවාහැට, උඩපළාත හා දෙල්තොට අවට ප්‍රදේශයත්, සුදලියේ අයට මාතලේ දක්වා හාරිස්පත්තුවත් උඩුනුවර හා යටිනුවරත් අයත් වුණා. ඉංග්‍රිසි ආණ්ඩුව පැමිණි මුල්කාලයේ 1818 කැරැල්ලෙන් පසුව අංගම් පොර තහනම් කළ බව සදහන් වන අතර ඊට පසු එය පවත්වාගෙන ගොස් ඇත්තේ රහසිගතව යි. මෑතක දී යළිත් විනෝද සටන් ක්‍රීඩාවක් ලෙස අංගම්පොර ජනප්‍රිය වී තිබෙනවා.
ඌරා ළිදේ අංගම් කෙටීම
අංගම්පොරවලට අයත් ළිදක් ඇතුළේ කරන හටනක් තමයි මේ නමින් හඳුන්වන්නේ. රියන් 30ක් දික්වූ රියන් 7ක් ගැඹුරු වූ ඌරා ළිද නමින් හැඳින්වෙන වළකට සටන්කරුවන් පිවිසෙනවා. සරඹ ශාලාවේ ඉගෙන ගන්නා කිසියම් ශිෂ්‍යයකු කලක් පුහුණුවීමෙන් පසුව තමන් අනෙක් අයට වඩා දක්ෂයැ යි සිතන්නේ නම් ඒ බව පිළිගන්නා මෙන් ගුරුවරයාගෙන් ඉල්ලා සිටිනවා. එවැනි ඉල්ලීම් දෙකක් පැමිණියහොත් දක්ෂයා සොයා ගැනීමට මේ සටන පැවැත්වෙනවා. පිවිසෙන තෙක් ඔවුනොවුන් කවුදැ යි නොදැන සිටි බවයි පැවසෙන්නේ. කඩුවලින් කරන සටන් කාලය සිංහල පැයක් හෙවත් පෑතැටියෙන් ගණන් ගන්නා විනාඩි විනාඩි 24ක් තුළ සිදුවෙනවා. බොහෝ විට එක් අයකු ප්‍රතිවාදියා පෙතිගසන අතර ඇතැම්විට දෙදෙනාම බරපතළ තුවාල ලබනවා. ජයග්‍රාහකයා තෑගිබෝගවලින් ද පනික්කිරාළ තනතුරෙන් ද පිදුම් ලබනවා. පනික්කිරාළ කියන්නෙ සටන් කණ්ඩායමේ නායකයා යි.
මුගුරු සටන්
ඌරා ළිදේ සටන් සදහා ද සමහරවිට මුගුරු යොදාගෙන තිබෙනවා. ආයුධය වශයෙන් ලී දණ්ඩක් අතින් අරන් සටන් කිරීමයි මෙහි දී සිදුවුණේ. එය මුගුරු සටන් සඳහාම සකස් කළ එකක්. කොළඹ කටුගෙයි ඇති පැරණි ඇත්දත් පනාවක මුගුරු සටනක් කැටයම් කර තිබෙනවා. මුගුර ලීවලින් හෝ යකඩෙන් කළ හැකියි. යකඩ ලෝහයෙන් එය කළ විට යගදාව නම් වුණා.