ඉතාලියේ පිහිටා ඇති විසූවියස් යමහල අතීතයේ දී ඉතා සක්‍රීයව පැවති බවට සාක්ෂ්‍ය හමු වී තිබෙනවා. මෙය ඉතිහාසය පුරාවට කිහිපවිටක්ම මහත් වූ දේපළ හා ජීවිත හානි සිදුකරමින් විදාරණය වූ අතර, ඉන් වඩාත්ම විශාල හානිය සිදුකරන ලදැ යි සැලකෙන්නේ ක්‍රි. ව. 79 දී යි.
ක්‍රි. ව. 79 දී සිදු වූ විසූවියස් විදාරණයෙන් නිකුත් වූ ලාවා ගංගාවන් නිසා මිනිසුන් දහස් ගණනකගේ දිවි අහිමි වූ අතර, පොම්පෙයි නගරය සම්පූර්ණයෙන්ම විනාශයට පත් වුණා. එහි විසූ ජනයා ලාවාවල ගිලී ක්ෂණයකින් දැවී, ගල් වී ගියා. කෙසේ නමුත්, මෑතක දී සිදුකරන ලද පර්යේෂණ කිහිපයකින් පෙනී ගොස් ඇත්තේ සැබවින්ම එහි දී සිදු වූ විනාශය පෙර සිතුවාටත් වඩා වැඩි බව යි. විශේෂයෙන්ම, විසූවියස් යමහලෙහි ලාවා ඍජුව පතිත නොවූ පෙදෙස්වලත් මිනිසුන් මේ නිසා මියගොස් ඇති බැව් හෙළි වී තිබෙනවා. ඒ ඉතාමත් අසාමාන්‍ය ආකාරයකට යි. සරලවම සඳහන් කළහොත් රුධිරය ‘නටා’, එහි ප්‍රතිඵලයක් ලෙස හිස්කබල් පුපුරා යාමෙනුයි.
නවතම මතවාදය
ඉතාලියේ, නේපල්ස් හි ෆ්‍රෙඩෙරිකෝ විශ්වවිද්‍යාලයීය රෝහලේ පර්යේෂක කණ්ඩායමක් විසින් තමන් සොයා ගත් දත්ත අනුව එම විසූවියස් විදාරණයේ ගොදුරු පිළිබඳව නව අර්ථකථනය ලබා දී තිබෙනවා. එනම් ඉන් සමහරක් මියගොස් ඇත්තේ හාත්පස ඇති වූ අධික උණුසුම හේතුවෙන්, ඔවුන්ගේ ශරීරවල රුධිරය උණු වී නටන්නට පටන්ගෙන හිස්කබල පුපුරා යාමෙන් බව ඔවුන් පවසනවා.
විසූවියස් විදාරණයේ දී නිකුත් වූ අළු, වායු හා ගල් කැබලි සැතපුම් 21ක් තරම් දුරකට විහිදී ගොස් තිබෙනවා. ඉන් අනතුරුව උණුසුම් ලාවා නිකුත් වී ඇති අතර ඒවා තදාසන්න නගර වන ඔප්ලොන්ටිස්, පොම්පෙයි සහ හර්ක්‍යුලේනියම් නගර ඔස්සේ ගලා ගොස් තිබෙනවා. මෙහි වූ ජනයා හට නිසි ලෙස එම පෙදෙස්වලින් ඉවත් වන්නට නොහැකි වූ අතර, ඔවුන් හට අවසානයේ ඉතා කුරුරු ඉරණමකට ගොදුරු වන්නට සිදුවුණා. කෙසේ නමුත්, බොහෝ දෙනා අනාදිමත් කාලයක සිට විවාදයට බඳුන් කළ කාරණයක් වූයේ සැබවින්ම ඔවුන් හට එම පෙදෙස්වලින් ඉවත් වන්නට නොහැකි වූයේ මන්ද යන්න යි. යමහලෙන් දුමාරය හා ගල් කැබලි නිකුත් වන්නට පටන් ගත් විට ඔවුනට උක්ත පෙදෙස් හැර දා යන්නට ‘වේලාව මදි වූ’ බැව් පිළිගත නොහැකි බව ඔවුන් ගෙනහැර පෑ කාරණයක් වුණා. මේ ඔස්සේ පර්යේෂණ සිදුකළ දැන් වන විට අවබෝධ කරගෙන ඇත්තේ උක්ත මිනිසුන් සමහරකගේ ඉරණම විසඳී තිබුණේ, ලාවා ගලා එන්නට පෙරම බව යි.
හර්ක්‍යුලේනියම් හි සැඟව තිබූ සාක්ෂ්‍ය
විසූවියස් යමහල් ද්වාරයෙහි සිට සැතපුම් 4ක් පමණ දුරින් පිහිටා තිබූ හර්ක්‍යුලේනියම් නගරයේ ජීවත්ව සිටි 300 දෙනෙකු යමහල් විදාරණයෙන් ආරක්ෂා වෙනු වස්, එහි වෙරළෙහි පිහිටා තිබූ ආරක්ෂිත බංකරයක වැනි යමකට එක්රොක් වී ඇති අතර, ඔවුන් සියලු දෙනාම යමහල් විදාරණයත් සමග මියගොස් තිබෙනවා. ඉන් අනතුරුව ඔවුන්ගේ සිරුරු මෙම කුටියේ වසර ගණනාවක් තිස්සේ සිර වී තිබී ඇති අතර, 1980 දශකයේ දී විද්‍යාඥයින් විසින් සොයාගනු ලැබ තිබෙන්නේ අඩි ගණනාවක් උස යමහල් අළු තට්ටුවකට යට වී තිබිය දී යි.
උක්ත ශරීරවල හිස්කබල් පරීක්ෂාවට බඳුන් කිරීමේ දී ඔවුනට ඒවායේ ඇතුළු පැත්තේ තිබී රතු-කළු පැහැ අවශේෂයක් හමු වී තිබෙනවා. මෙම අවශේෂය අවට වූ අළුවලට ද මුසු වී තිබුණා. පර්යේෂණවලින් සොයා ගැනුණේ මේ අද්භූත අවශේෂය යකඩ හා යකඩ ඔසයිඩ අන්තර්ගත එකක් බව යි. මේ අනුව සොයා ගැනුණේ මේ වෙනකක් නොව මිනිස් රුධිරය බව යි.
යමහල් විදාරණයත් සමග එක්වරම ඇති වූ උණුසුමෙන් මිනිස් ශරීරවල රුධිරය උණු වී නටන්නට පටන් ගෙන ඒ හේතුවෙන් හිස්කබල තුළ පීඩනය වැඩි වී, අවසානයේ එය පුපුරා ඉවතට විසිරී ගොස් ඇති බැව් උක්ත සොයාගැනීමෙන් ගම්‍ය වන බැව් මේ පිළිබඳ පර්යේෂණ කරන කණ්ඩායම පවසනවා. මේ නිසා ඔවුන් ක්ෂණික මරණයකට ගොදුරු වන්නට ඇතැ යි සැලකෙනවා.
යමහල් අළු හාත්පස පැතිරුණු විට උක්ත කුටීරය උණුසුම් වන්නට ඇති බවත්, එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 500 ඉක්මවන්නට ඇති බවත් අනුමාන කෙරෙන අතර, මේ නිසා එහි සියලු දෙනාගේම රුධිරය නටා, මිනිත්තු කිහිපයක් තුළ හිස් පුපුරා යන්නට ඇති බවට සැලකෙනවා. මෙය තහවුරු කරමින් කැණීම්වලින් හමු වූ හිස්කබල කිහිපයකම, විශාල කඩතොලු හා සිදුරු පිහිටා තිබුණා.
පොම්පෙයි හි ඛේදවාචකය
පොම්පෙයි නුවර පිහිටා තිබී ඇත්තේ විසූවියස් යමහල් ද්වාරයෙන් සැතපුම් 6ක් පමණ ඈතට වන්නට යි. මෙම නුවරට යමහල් විදාරණය සමග දැනුණු උණුසුම හර්ක්‍යුලේනියම් නුවරට වඩා අඩු වන්නට ඇති බවට සැලකෙනවා. මෙම පෙදෙසට උපරිම වශයෙන් සෙල්සියස් අංශක 250-300ත් අතර උණුසුමක් දැනෙන්නට ඇති බවට සැලකෙන අතර, මේ නිසා ඔවුන් ද ක්ෂණික මරණයකට ලක් වන්නට ඇති බවට සැලකෙනවා. කෙසේ නමුත්, මේ උෂ්ණත්වය මිනිස් සිරුරක රුධිරය නැටීමට තරම් ප්‍රමාණවත් නොවන නිසා ඔවුන් බොහෝ දෙනා සිය හර්ක්‍යුලේනියම් අසල්වැසියන් මුහුණදුන් අතිභයංකර අත්දැකීමට මුහුණදෙන්නට නැති බැව් අනුමාන කෙරෙනවා.
පසුවදන
විද්‍යාඥයින් ගෙනහැර පාන මතවාදය සත්‍ය නම් මෙය වර්තමානයට හා අනාගතයට ද දල්වන ලද රතු එළියක් වෙනවා. විසූවියස් යමහල තවමත් සක්‍රීය මට්ටමෙහි පැවතීම ඊට හේතුව යි. භූගර්භ විද්‍යාඥයින් පවසන අන්දමට විසූවියස් යමහල වසර 2,000කට වතාවක් අතිප්‍රබල ලෙස විදාරණය වෙනවා. මෙහි අවසන් ප්‍රබල විදාරණය සිදු වී දැන් වසර 2,000ක් පමණ ගෙවී ගොස් තිබෙනවා. මේ නිසා නුදුරු අනාගතයේ දී එය ක්‍රි. ව. 79 දී මෙන් විදාරණය නොවනු ඇතැ යි කිව හැක්කේ කාට ද?