ලංකාවේ පළමු ලොතරැයි ජයග්‍රාහකයාගේ කතාව

ඔබ කෙදිනක හෝ ලොතරැයියක් ගෙන තිබේ ද? බහුතරයේ පිළිතුර ‘ඔව්’ යනු නිසැක යි. ලොතරැයියක් හෙවත්, සාමාන්‍ය ව්‍යවහාරයේ දී භාවිතා වන ස්වීප් ටිකට් පතක්, මිල දී ගන්නේ එහි ජයමල්ල දිනා ගැනීමේ අදිටනෙන්. ජයමල්ල කෙසේ වෙතත් රුපියල් විස්සක් වියදම් කර ලබාගන්නා ස්වීප් ටිකට්පතට රු. විස්සක මුදලක් ඇදුනත් හිත සතුටින් ඉපිල යයි. මේ නිසා ස්වීප් වෙළඳාම ලංකාවේ ජයටම කෙරීගෙන යන වෙළඳාමකි. මේ ජයමල්ල හිමිවන තැනැත්තාගේ ජීවිතය කොයිතරම් දුරට වෙනස් වේද? ලංකාවේ පළමු ලොතරැයියේ ජයමල්ල දිනූ පුද්ගලයා ගැන කතාව යි මේ.

ලංකාවේ පළමුවරට ලොතරැයි ටිකට්පතක් එලිදැක්විය යුතු ය යන අදහස ගෙන එන්නේ 1949 වසරේ දී ය. ඒ එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරණායක විසිනි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය තකා මෙම ටිකට්පත ඇතිකළ යුතු යැයි ඔහු යෝජනා කරයි. බණ්ඩාරණායකගේ මෙම යෝජනාව මල්පල ගැන්වුනේ 1955 වසරේ දී ය. ඒ ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමති හා එවකට සෞඛ්‍ය ඇමති ව සිටි ඊ. ඒ. නුගවෙලගේ කාලයේ දී ය. මේ අනුව ‘ආණ්ඩුවේ ආරෝග්‍යශාලා ලොතරැයිය’ 1955 වසරේ දී 1955 අංක 4 දරණ ආරෝග්‍යශාලා ලොතරැයි පනත සම්මත වීමෙන් එලිදක්වන ලදී.

-කිරිඅප්පුගේ ජයග්‍රහණය සටහන් වුන පෝස්ටරයක්. (lakdivaenews.com)

මෙම පළමු ලොතරැයියේ ජයමල්ල හිමිවූයේ ගලිගමුවේ විසූ කිරිඅප්පු නයිදේට යි. ඔහු මෙම ටිකට්පත මිල දී ගත්තේ තේ කඩයකිනි. එකල ටිකට්පතක මිල වූයේ ශත 50 කි. මෙම ටිකට්පත ජයග්‍රහණය කළහොත් ලක්ෂයකට කිට්ටු මුදලක් ලැබෙන බව දැනගත් කිරිඅප්පු ශත පනහක් දී ස්වීප් ටිකට්පත මිලදී ගනියි. නිවසට යන ඔහු මිල දී ගත ටිකට්පත ගෝන අං තට්‍ටුව අස්සේ රඳවා තබයි.

කිරිඅප්පු ඉගෙනගත්තේ තුන වසර වනතෙක් පමණි. ඔහු කුඩා කල සිටම කුලී රැකියාව වෙත යොමු වූයේ ඔහුගේ සහෝදර සහෝදරියන් දස දෙනාගේ නඩත්තුව උදෙසා මුදල් රැස් කිරීමට යි. ස්වීප් ටිකට්පත රැගෙන කලක් ගතවිය. කිරිඅප්පු ටිකට්පත මිලදී ගත් තේ කඩයේ සිටි කෙනෙක් පැවසුවේ ස්වීප් ටිකට්පතේ ජයමල්ල ඇදී ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ අයෙකුට බව යි. නමුත් කිසිවෙකුත් ජයග්‍රාහී මුදල ලබාගැනීමට ඉදිරිපත් වූයේ නැත.

කිරිඅප්පු බිරිඳ සමග (lakdivaenews.com)

තමා ද ටිකට්පතක් මිලදී ගත් නිසා කිරිඅප්පුගේ කුතුහලය ඇවිලිණි. නමුත් අවාසනාවකට ඔහුට එම ටිකට්පත තැබූ තැන මේ වන විට අමතක වී තිබුණි. දිනක් මෙය මතක් කරමින් නින්දට ගිය විට මහ රෑ ඔහුට එකවරම ස්වීප් ටිකට්පත තිබූ තැන මතක් විය. ඔහු පසුදිනම කෑගල්ලේ නිව්සිටි ස්ටෝර්ස් වෙත ගොස් ජය අංක සසඳා බැලූ විට ඔහු විශ්මයට පත් වූයේ තමන් ජයමල්ල දිනාගත් බැවිනි.

මෙය ලංකාවේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ සිද්ධියක් බවට පත්විය. මෙම සිදුවීම එකල ලංකාදීප පුවත්පතේ කිරිඅප්පු නයිදේ ගේ ඡායාරූපයක් සමග පලවූයේ මේ අයුරිනි.

“ආරෝග්‍යශාලා ලොතරැයියේ දිනුම්කරුවන් කිහිප දෙනෙක් ඊයේ උදයේ ලොතරැයි මණ්ඩලයේ ලේකම්වර දොස්තර ජෝර්ජ් රණවක මහතා හමුවූහ.

රුපියල් 97,343.50ක පළමු දිනුම ගලිගමුවේ බිසෝවෙල කිරිඅප්පු මහතාට හිමිව ඇත. 24 හැවිරිදි කිරිඅප්පු මහතා 13 දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වෙනියා වේ.”

අනූ හත්දහසක මුදලක් යනු එකල අතිවිශාල මුදලකි. කිරිඅප්පු මෙම මුදල නිකරුනේ නැති නාස්ති කළේ නැත. ඔහු බිසෝවෙලින් සහ ලොල්ලේගොඩින් කුඹුරු ඉඩම් මිල දී ගෙන එයින් වැඩිමනක් තම බාල සහෝදරයන්ට බෙදා දුන්නේය. ලොල්ලේගොඩින් මිලට ගත අක්කර විස්සක ඉඩමක් හා කුඹුරු යායක් ඔහු තමා සන්තකයේ තබා ගත්තේ ය. එමෙන්ම මොරිස් 8 කාර් එකක් ද මිල දී ගත්තේ ය.

කිරිඅප්පු විවාහ වූ දින (ලංකාදීප පුවත්පත)

මේ වන විට කිරිඅප්පු විවාහ වී සිටියේ නැත. දැන් ඔහුට අවශ්‍ය වූයේ විවාහ වීමට කාන්තාවකි. ස්වීප් ටිකට්පතට පින් සිද්දවෙන්න අතේ මිටේ මුදල් යහමින් තිබුන නිසා කිරිඅප්පුට මංගල යෝජනා විශාල ප්‍රමාණයක් ලැබුණු බව කියවේ. ඒ අතරින් කිරිඅප්පුගේ හිත ගියේ පුංචිඑතනා රාජකරුණා වෙත යි. ඇය ඉහළටම ඉගෙනගත් කාන්තාවක් වූ අතර තුන වසරට පමණක් ඉගෙනගත් කිරිඅප්පු හා ඇය අතර අධ්‍යාපන පරතරය ඉහළ විය. මේ නිසා ඇය කිරිඅප්පුව විවාහ කර ගැනීමට එතරම්ම කැමැත්තක් නොදැක්වුවත් ඔහුට දේපළ හා වතුපිටි තිබූ නිසා පුංචිඑතනාගේ දෙමව්පියන් මෙම විවාහයට බොහෝ සෙයින් කැමැත්තක් දැක්වී ය. ඒ නිසා අවසානයේ මොවුන් දෙදෙනා විවාහ විය.

කිරිඅප්පු තම බිරිඳ සමග ලොල්ලේගොඩ වත්තේ නිවසක් තනා එහි පදිංචියට ගියේය. මේ සදහා රුපියල් පන්දහසක් පමණ වියදම් වූ බව පුංචිඑතනා පවසයි. මෙම වත්ත ප්‍රදේශයේ කා අතරත් ස්වීප් වත්ත ලෙස ප්‍රසිද්ධියට පත්වූ අතර, කිරිඅප්පු ස්වීප් මුදලාලි ලෙස ගමේ කා අතරත් ප්‍රසිද්ධයට පත් විය. නමුත් සමහරු අතර මොහු සර්ප වෙද මහත්තයා ලෙසත් ප්‍රකට විය. මන්ද කිරිඅප්පුගේ පියා සර්ප වෙදෙකි. පියා තම පුතුට සර්ප වෙදකම ද උගන්වා තිබූ නිසා කිරිඅප්පු ඉදහිට සර්ප වෙදකම ද කළේ ය.

කිරිඅප්පු බිරිඳ සහ දරුවන් සමග (lakdivaenews.com)

පුංචි එතනාට පොලිස් දෙපාර්තුමේන්තුවේ රැකියාවක් ලැබුනත් කිරිඅප්පු ඇයව රැකියාවකට යැවීමට කැමැත්තක් දැක්වූයේ නැත. කිරිඅප්පු කුඹුරු ඉඩකඩම් බලා කියාගෙන සිටි අතර ඉඳහිට තමා මිල දී ගත් වාහන කුලියට දුවවා මුදල් එක් කරගෙන සිටියේ ය.

කිරිඅප්පු තම දරුවන්ට හොඳින් ඉගැන්වූ අතර වැඩිමහල් දියණිය හා බාල දියණිය වර්තමානයේ රජයේ රැකියාවල නිරත වෙමින් සිටිති. කිරි අප්පු අංශබාගය වැළඳී 1973 වසරේ මියයන විට තම ඉඩම් වලින් වැඩි කොටසක් විකුණා තිබුණු අතර, ඉතිරිය තම බිරිඳට හා දරුවන්ට පවරා තිබුණි. ඔහු එසේ ඉඩම් විකිණුවේ තමන්ට දරන්නට නොහැකි අයුරින් රජය විසින් ආදායම් බදු පැමිණවීම නිසාවෙනි.

ප්‍රථම ස්වීප් ටිකට්පතෙන් ප්‍රථම ජයග්‍රාහකයාගෙන් පසු, තෙවන ස්වීප් ටිකට්පතෙන් දෙවන ජයග්‍රාහකයා ද තේරීපත් වූ නිසා මිනිසුන් අතර ස්වීප් ටිකට්පත් වලට තිබෙන ඉල්ලුම හා උණුසුම වැඩි වන්නට විය. එම උණුසුම වර්තමානයේ ද පවතියි.

මූලාශ්‍රයයන්: ලක්දිව නිව්ස් වෙබ් අඩවිය, ලංකාදීප පුවත්පත, මව්බිම පුවත්පත

කවරයේ පින්තූරය – කිරිඅප්පු මොරිස් 8 රියක් සමග (ලංකාදීප පුවත්පත)

Related Articles

Exit mobile version