“මා උපන් දිනයේ අඩවන් කරන ලද දොර ඇති කාමරයෙහි උන් වින්නඹුව ‘සරම’ යයි කියනු ඇසූ තාත්තාත් සහෝදරියනුත් බෙහෙවින් සන්තෝෂ වූහ යි මගේ නෑයන් කියනු මා නොයෙක් වර අසා ඇත. ඔවුන් එතරම් ප්‍රීති වූයේ පිට පිට කම්බා අටක් බිහි කළ අම්මා වැදු එකම ‘සරම’ මා බැවිනි.” මේ හෙළයේ මහා ගත්කරු මාටින් වික්‍රමසිංහයන්ගේ ‘උපන්දා සිට’ ග්‍රන්ථයේ සඳහන් වැකියක්. අතීතයේ දී ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල දියණියන්ට වඩා වැඩි සැලකිල්ලක් පුතුන් කෙරෙහි දැක් වූ බව පෙන්වන සාක්ෂි තවමත් ඉතුරු වී පවතිනවා. පුරාණ සමාජය තුළ පුතුන්ට එවැනි ඉහළ සැලකිල්ලක් හිමි වුණේ පාරම්පරික කර්මාන්තයන් දිගට ම පවත්වාගෙන යාම සඳහා අවැසි කාය ශක්තිය ඔවුන් සතු වූ බැවින් සහ පවුලේ නම ඉදිරියට රැගෙන යාමේ වගකීම ඔවුන් සතු වීම නිසා විය හැකි යි.
ඇතැම් සංස්කෘතීන් තුළ පවුලක පිරිමි දරුවෙක් නොමැති වීම සාමාජීය වශයෙන් අපකීර්තියක් ගෙන දීමට පවා හේතු වී ඇති අවස්ථා ද පවතිනවා. එවැනි අපවාදයන් මග හැරීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කර ඇති අවස්ථා ද නැතුවා ම නොවෙයි. ‘බාචා පොෂ්’ නම් ඇෆ්ඝන් සංස්කෘතික අංගය එවැන්නක්. ඇෆ්ඝනිස්ථානය තුළ බහුලව ම භාවිතා වන ඩාරි පර්සියන් බසින් ‘බාචා පොෂ්’ යන වදනේ අරුත වන්නේ ‘පිරිමි දරුවෙකුගේ ඇඳුමින් සැරසුණු දැරිය’ යන්න යි. මෙහි දී පිරිමි දරුවන් නොමැති දෙමව්පියන් තම දියණිය ව පිරිමි දරුවෙකු සේ ඇති දැඩි කිරීම සිදු වෙනවා. එසේ ම අන් ගැහැනු දරුවන්ට මෙන් ම නොව පිරිමි දරුවෙකු සේ ඇති දැඩි කිරීම සඳහා තෝරා ගන්නා දැරියට, පිරිමි දරුවෙකුට ලැබෙන සියලු අයිතිවාසිකම් භුක්ති වීඳීමට ද අවස්ථාව හිමි වන බව සඳහන්.
සියවස ගණනාවක් පැරණි සාම්ප්‍රදායක්
‘බාචා පොෂ්’ හි ආරම්භය සිදු වුණේ කෙසේ ද යන්න පිළිබඳ ව පැහැදිලි සාක්ෂි නොමැති වුවත් කාබුල් හි වාසය කරන සමාජ විද්‍යාඥයෙකු වන දෝද් රැවිෂ් සඳහන් කරන්නේ එය මෑත කාලයේ දී ඇෆ්ඝනිස්ථානයේ ප්‍රචලිත වූවක් නොව සියවස් ගණනාවක් තිස්සේ භාවිතයේ පැවතුණු සාම්ප්‍රදායක් බව යි. නොයෙක් විදේශික ආක්‍රමණිකයන් ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කිරීම සඳහා පැමිණි විට ඔවුන්ට එරෙහි ව සටන් කිරීම සඳහා පිරිමි ඇඳුමින් සැරසුණු කාන්තාවන් විසින් ‘බාචා පොෂ්’ සාම්ප්‍රදාය අරඹන්නට ඇති බව යි ඔහුගේ විශ්වාසය වන්නේ. ආර්ථික සහ සාමාජීය හේතූන් මත දියණියන් පමණක් සිටි දෙමව්පියන්, ඒ අතරින් එක් දියණියක් තෝරාගෙන ඇය ව පුතෙකු සේ ඇති දැඩි කිරීම තවමත් ඇෆ්ඝනිස්ථානයේ දී සිදු වෙනවා.
ඒ අනුව ‘බාචා පොෂ්’ සාම්ප්‍රදාය අනුගමනය කරමින් පුතෙකුගේ වෙස් ගන්නා දියණියට, පිරිමි දරුවෙකු සේ සැරසිය හැකි අතර ඇයගේ කෙස් කළඹ කෙටි වන සේ කපා දමනු ලබනවා. එසේ ම ඇය ව හැඳින්වීම සඳහා භාවිතා කරන්නේ ද පිරිමි දරුවෙකුගේ නමක්. ඇයගේ කාර්යය වන්නේ පවුලක පුතෙකුගේ අතින් ඉටු විය යුතු යුතුකම් කොටස ඉටු කිරීම යි. ඒ අනුව බොහෝ ‘බාචා පොෂ්’ දියණියන්, ඇගේ සහෝදරියන් පිටතට යන විට ඔවුන්ගේ ආරක්ෂකයා ලෙස කටයුතු කිරීම සහ ඇතැම් විටෙක දී පවුලේ ආර්ථිකය ගොඩ නැංවීම සඳහා සුළු ව්‍යාපාර කටයුතුවල නිරත වීම සිදු කරනවා.
‘බාචා පොෂ්’ දියණියක් ලෙස කටයුතු කිරීමේ දී පිරිමි දරුවෙකු මෙන් සැලකිලි ලබන ඇයට හිමි වරප්‍රසාද කිහිපයක් ද පවතිනවා. පවුලේ අනෙක් ගැහැනු දරුවන් මෙන් ඇය ඉවීම, පිරිසිදු කිරීම හෝ රෙදි සේදීම වැනි ගෘහස්ථ කටයුතු සඳහා දායක වීම අවශ්‍ය වන්නේ නැහැ. ඇයට සාමාන්‍ය පිරිමි දරුවෙකුට මෙන් පාසල් යාමට, ක්‍රීඩා කිරීමට සහ නිදහසේ ගමන් බිමන් යාමට අවස්ථාව හිමි යි. ‘බාචා පොෂ්’ සාම්ප්‍රදායට එරෙහි ව ඇෆ්ඝනිස්ථානය තුළ නීතිමය හෝ ආගමික වාරණ පවතින්නේ ද නැහැ. කෙසේ වුව ද ගැහැනු දරුවෙකුට ‘බාචා පොෂ්’ දියණියක් ලෙස නිදහසේ කටයුතු කළ හැකි වන්නේ ඇය වැඩිවියට පත් වන තුරු හෝ ඇගේ දෙමව්පියන් අනුමැතිය ලබාදෙන තුරු පමණ යි.
‘බාචා පොෂ්’ මානව හිමිකම් උල්ලංඝනයක් ද?
බොහෝ විට දෙමව්පියන්ගේ තීරණයක් මත පුත්‍රයෙකු ලෙස ඇති දැඩි කිරීම සඳහා ‘බාචා පොෂ්’ දියණියක් ලෙස දැරියක් ව තෝරා ගන්නේ ඇයගේ වයස අවුරුදු 4 – 5 ක් වන කාලයේ දී යි. සාමාන්‍යයෙන් වැඩිවියට පත් වීමෙන් පසු ව යළිත් වරක් ගැහැනු දරුවෙකු ලෙස කටයුතු කිරීමට ඇයට අවස්ථාව හිමි වුව ද ඇතැම් විටෙක දෙමව්පියන්ගේ කැමැත්ත මත වයස අවුරුදු 18 – 20 දක්වා ම ‘බාචා පොෂ්’ දියණියක් ලෙස කටයුතු කරන යෞවනියන් ද ඇෆ්ඝනිස්ථානයේ වාසය කරනවා. අත් විඳීම ලැබෙන නිදහස හේතුවෙන් බොහෝ දියණියන් මෙයට කැමැත්තක් දැක්වුව ද එය සාමාජීය වශයෙන් ගැටලු රාශියකට මග පාදන බව යි සමාජ විද්‍යාඥයින් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ.
පිරිමි දරුවෙකු සේ තම යොවුන් විය ගත කළ බොහෝ තරුණියන් පසු කාලීන ව විවාහ ජීවිතයට ඇතුළත් වීම ප්‍රතික්ෂේප කරන අතර විවාහ වූ බොහෝ දෙනෙකු විවාහ ජීවිතය තුළ අසාර්ථක වන බව සඳහන්. එසේ ම තම ජීවිතයෙන් වැඩි කලක් පිරිමි දරුවෙකු ලෙස කාලය ගත කළ අයෙක්ට කෙටි කලක් තුළ ගැහැනියක් ලෙස ජීවත් වීමට හැඩ ගැසීම අතිශය අපහසු කටයුත්තක් බව පැවසීම වැරදි නැහැ. බල්ක් මානව හිමිකම් කොමිෂමේ මුල් පුටුව හොබවන කේසි සෙයිද් මොහම්මද් සැමීගේ අදහස වන්නේ කෙටි කාල සීමාවක් සඳහා යම් පුද්ගලයෙකුගේ ලිංගිකත්වය වෙනස් කිරීම මනුෂ්‍යත්වයට එරෙහි වරදක් බව යි. එය මානව හිමිකම් කඩ වීමක් ලෙස සැලකීමේ වරදක් නොමැති බව යි ඔහු තව දුරටත් ප්‍රකාශ කරන්නේ.
කවරයේ පින්තූරය : © Xiinh Net