වැදි ජනයාගේ වග තුග දැනගනිමුද?

ලංකාවේ වැදි ජනතාව කියන්නේ අපිට අලුත් මාතෘකාවක් නම් නෙවෙයි. ඒ උනත් මොවුන්ගේ සම්භවය, විශ්වාස, ඇදහිලි, වර්ග කිරීම්, පවුල් ජිවිත ගැන අපිට තියෙන්නේ තරමක  අඩු අවබෝධයක්. ඒ නිසා අපි මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ වැදි ජනතාව ගැන තරමක් නොදන්නා කරුණු කිහිපයක්.

වැදි ජනතාවගේ සම්භවය සිදු වූ අයුරු?

vedda.org(සිලෝන්හි ආදිවාසීන්)

සිංහල සාහිතයේ ‘මලදරු’ (ගිරිවැසී), වනසර (වනචාරි/වන්‍යවාසි), ‘සැරව්’ (ඊතල දරන්නා) යනුවෙන් වැද්දන් හඳුන්වා තිබෙනවා. මේ පිරිස සම්බන්ධයෙන් කතා කරන විට ඇතිවන පළමුවන ගැටලුව වන්නේ කොහොමද මොවුන්ගේ සම්භවය ඇති වුණේ කියලයි. මේ පිළිබඳව විවිධ මැති මතාන්තර තිබෙනවා.

ස්වදේශීය ආදිවාසි සම්භවයකින් පැවත එන එක් ජන වර්ගයක් ලෙස මොවූන් හඳුන්වන්නට පුළුවන්. මේ හා සම්බන්ධ ඉදිරිපත් වන අදහස් විමසා බැලීමේදී දැක්වෙන්නේ යක්ෂ, නේසද, මිලක, ශබර වැනි ඉපැරණි ගෝත්‍ර කිහිපයක් සිටි බවයි.ඒ වගේම මොවුන් විජයාගමනයට පෙරාතුව සිටි අතර මෙම ගෝත්‍ර වල ජන කොටස් වල එකතු වීමක් ලෙස වැදි ජනතාව බිහිවූ බව දැක්වෙනවා. එමෙන්ම මොවූන්ගේ කපාල ‘ප්‍රොටෝ ඔස්ට්‍රොලොයිඩ්’ ජනවර්ගයට සමානකම් ඇති බවද ප්‍රකාශ කරනවා.

එමෙන්ම ඔවුන් ලංකාවේ ආදිවාසීන් වූ  බලංගොඩ මානවයා හා සම්බන්ධයක් ඇති බවද ප්‍රකාශ කරනවා. මහාවංශයේ ද මොවුන්ගේ ආරම්භය ගැන සඳහන් කරනවා. ඊට අනුව විජය කුවේණි කතා පුවතේ, කුවේණි හෙළ යක්ෂ ගෝත්‍රික කුමරියට ජීවහත්ත හා දිසාලා යනුවෙන් දරුවන් සිටි බවත් වැදි ජනතාවගේ සම්භවය ඔවුන්ගෙන් පැවත එන බවයි.

නුතන වැදි පරපුරේ ඇරඹුම

නුතන වැදි ජනතාවගේ ඇරඹුම ගැන කතා කිරීමේදී එයද කුවේණි හා සම්බන්ධ වන්නකි. ආර්යයෙකු වූ විජය කුමරුන්ව හෙළයින් දුටුවේ ආක්‍රමණිකයෙකු විදිහටයි. එයට හේතුව කුවේණිගේ උදව්වෙන් මෙරට රාජ්‍යත්වය ලබා ගත්තා යයි සලකනු ලැබූ නිසායි. ඒ හේතුවෙන් කුවේණිය ජාතිද්‍රෝහියක ලෙස හැදින්වුවා. ඇයගේ ඥාතීන් කුවේණි කෙරෙහි කේන්තියෙන් පසු වූ අතර ඔවුන්ගේ වෛරයෙන් බේරීමට කුවේණිගේ දරුවන්ට කැළෑ වැදීමට සිදු වූ අතර නුතන වැදි පරපුර එයින් ආරම්භ වූ බව දැක්වෙනවා.

ලංකාව සංක්‍රමණිකයගෙන් ගහණ වුණා වගේම කැළයේ සිටි වැදි ජනතාවද දිනෙන් දින වර්ධනය වුණා.ඒ  විවිධ ආකාරයේ කැළෑ වැදීම් තුලින්. සිංහලයේ කිරුළට එකල විශාල ගැටුම් තිබුණා. එයින් පරාජය වූ අය බොහෝ විට සිදු කළේ ඉන්දියාවට පලා යෑමයි. නැතිනම් කැළෑ වැදීම සිදු කරා. මෙසේ අවසාන වරට සිදු වුයේ 1848 කැරැල්ලේ දී බව දැක්වෙනවා. ඒ  වෙල්ලස්ස ජනතාවයි. මේ ආකාරයට පැහැදිලි වන්නේ කැළෑ වැදුණු අයගෙන් වැදි ජනතාව බිහි වූ බවක්ය.

මොවුන් අතර වර්ග බෙදීමක් තිබෙන බව ඔබ දන්නවාද?

threeblindmen.photoshelter.com-(හේනේ බැද්ද වැද්දන්)

පොදුවේ වැදි ජනතාව කියලා හැදින්වුවත් මෙම පිරිස් අතරත් වර්ග කිරීමක් දක්නට ලැබෙනවා. නමුත් මෙහි පරමාර්ථය හෝ ආරම්භය ගැන කිසිවක් සඳහන් වෙන්නේ නැහැ. කොහොම වුණත් ඔහුන් සඳහන් කරන ආකාරයට ප්‍රධාන වර්ග හයක් පමණ දක්නට ලැබෙනවා. මොරාන වරිගේ, උනාපාත වරිගේ, ඌරු වරිගේ, ඇඹල වරිගේ, නමුඩන වරිගේ, සහ තලා වරිගේ ලෙසයි.

ඒ වගේම තමයි මෙම වැද්දන් පදිංචි ස්ථානය අනුවත් යම් කිසි වර්ග කිරීමකට සිදු වනවා. ඒ අතරින් කිහිපයක් ලෙස හේනේ බැද්ද වරිගේ, ගොඩතලාව වරිගේ, එලකොතලිය වරිගේ, සීතල වන්නිය වරිගේ, ගිරාදුරු වරිගේ , තමන්කඩු වරිගේ, දෙහිගම වරිගේ, හොරබොර වරිගේ  ආදී ලෙස ඒවා සඳහන් වනවා.

මෙම වර්ග කිරීමට තමන්ගේ ගෝත්‍ර‌යෙන් පිට විවාහ සිදුවීම ‌වන බහිර්වෛවාහික සහ මාතෘ පාර්ශව මූලික, ඌරා සහ ‌මොණරා යන්න මෙයට මුලික වුණු බව සී.ජී. සෙල්ග්මාන්ගේ අදහස වනවා.

එමෙන්ම භූ විෂමතා ලක්ෂණ පදනම් කරගෙනද බෙදීමකට ලක් කර තිබෙනවා. බින්තැන්න ඇසුරු ‌කරගනිමින් ජීවත් වන වැද්දන් සහ නැ‌ගෙනහිර පළාත ඇසුරු කරගෙන  වහරායි ප්‍ර‌දේශ‌යේ ජීවත් වන ‘වෙතර්’ යන අයයි.

ගල් ලෙන් තුළින් පැල්පත් වලට සංක්‍රමණය වීම

trip101.com(දඹානේ නිවසක්)

මොවුන් ආහාර ලෙස ගත්තේ අල, ඵල, මී පැණි, දඩයම් කිරීම  ආදියෙන් කියන එක නොරහසක්. ඒ අනුව ආහාර හොයා ගැනීමට පහසු ස්ථාන වලට මෙම වැද්දන් සංක්‍රමණය වුණා. පසුකාලීනව ගම්වැද්දන් දැක ගත හැකි අතර මොවුන් හේන් ගොවිතැන කර ගනිමින් ජීවිත ගෙන යනවා. නමුත් මෙම පුද්ගලයන්ගේ සම්ප්‍රදායික කටයුතු නතර කිරීමක් සිදු කර තිබෙනවා යන්න මෙයින් අදහස් වන්නේ නැහැ.

සාමාන්‍ය ක්‍රමය හා එක්ව  යන ලක්ෂණත්,  මඳක් වෙනස් ලක්ෂණත් දක්නට ලැබෙන පවුල් ජීවිත

serendib.btoptions (වැදි පවුලක්)

මෙයින් අදහස් කරන්නේ එදිනෙදා අපි ගෙවන ජීවිත වලට වඩා යම් යම් වෙනස්කම් වලින් යුත් සංස්කෘතියකුත් සාමාන්‍ය ක්‍රමයේදී දක්නට ලැබෙන ලක්ෂණත් මොවුන් තුළද දක්නට ලැබෙනවා.

මුලින්ම මවුන්ගේ භාෂාව ගැන කතා කිරීමේදී ‘ඇත්‌තෝ’ යන්න නෑදෑකමට පසුව යොදනු ලබනවා. උදාහරණයක් විදිහට දක්වනවා නම් පියාට‍; අප්පියලැත්‌තෝ (අපිප්පියලා + ඇත්තෝ) ලෙසත් මවට අම්මියලැත්‌තෝ (අම්මියලා + ඇත්තෝ) යන ආකාරයට අමතනවා.

එමෙන්ම විවාහ ගැන කතා කිරීමේදී බොහෝ සමාන ලක්ෂණ අපේ සමාජ තුලත් දක්නට ලැබෙනවා. මාමා සහ නෑනා අතර, බෑණා සහ නැන්දා අතර ‌මෙන්ම, මව් පිය පාර්ශවයේ සහෝදර සහෝදරියන් අතරත් විවාහ තහනම් කර තිබෙනවා.

නමුත් මරණයක දී, මැරුණ ස‌හෝදරිය ‌හෝ ස‌හෝදරයා ‌වෙනු‌වෙන් සැමියා ‌හෝ බිරිඳ එම පවු‌ලේ තව ස‌හෝදරියක් ‌හෝ ස‌හොදරයෙක් විවාහ කර ගැනීම සිදු වනවා. එසේ කිරීමට හේතුව ලෙස දක්වා ඇත්තේ දරුවන් කෙරෙහි ආරක්ෂාව සලසා දීමයි.

එමෙන්ම බහුභාර්යා ‌සේවනය‌, බහු පුරුෂ ‌සේවනය, පරදාර ‌සේවනය වැනි සංකල්ප මෙම සමාජ තුළ දක්නට ලැබෙන්නේ නැහැ. එමෙන්ම මොවුන් අතර ලංකාවට කේවල විවාහ ක්‍රමය දක්නට ලැබෙන්නේ එය ලංකාවට හඳුන්වා දීමට කලින් සිට බව සඳහන් වනවා. එමෙන්ම කාන්තාවට ප්‍රධාන තැනක් හිමි වන අතර ඇය පළමුවෙන්ව ආහාරයෙන් කොටස් අනුභව කරනවා.

එමෙන්ම විවාහ කටයුතු වලදී වැඩි වයසක් යාමට පෙර නෑනා හූරා විවාහ සිදු වුණා. එමෙන්ම දරුවෙක් ලැබෙන්නට සිටීමේදී විවිධ ආරක්ෂාවන්ට බඳුන් කිරීමක් දක්නට ලැබෙනවා.

විශ්වාස හා ඇදහිලි

srilankanexpeditions.com(පුජාවක් කරමින්)

මොවුන් අතර විශාල ඇදහිලි ක්‍රම දක්නට ලැබෙනවා. ජිවිතයේ විවිධ කටයුතු පදනම් කර ගනිමින් මේවා සිදු කරනු ලබනවා. මොවුන්ගේ ඇදහිලි විශාල ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. ඒ අතරින් කිහිපයක් වන්නේ,

  • ඊතලේ නැටුම සිදු කරන්නේ ආරක්ෂාව සඳහායි. මේ සඳහා අදාල වන වැදි ඇදහිල්ල වන්නේ ඊතලේ යකා නැතිනම් කන්දේ යකා වේ.
  • කිරිකොරහ සිදු කරන්නේ දඩයම්, මි පැණි හා අස්වනු සඳහායි. මෙයට අදාල වැදි ඇදහිල්ල වන්නේ කන්දේයකා, බිලිඳියකා වේ.
  • කිරි අම්මා පුජාව සිදුකරන්නේ දරුවන්ට ආරක්ෂාව සඳහායි.
  • හත්මේ නැටුම දරුවන් ලබා ගැනීමට හා සශ්‍රිකත්වය සඳහායි. මේ සඳහා අදාළ වැදි ඇදහිල්ල වන්නේ ඇලේ/ගලේ යක්කු වේ.
  • පට්ට යකා පුජාවේ අදාළ වැදි ඇදහිල්ල වන්නේ පට්ට යකා වේ. එය සිදු කරන්නේ ගැබිනියන්ගේ ආරක්ෂාව හා රෝග නිවාරණයට වේ.
  • මින්නේරිය දෙවි පුජා වල වැදි ඇදහිල්ල වන්නේ මින්නේරිය දෙවි වේ. කතරගම දෙවි පුජා වල වැදි ඇදහිල්ල වන්නේ කතරගම දෙවි වේ. ගල්ලිරි බණ්ඩාර දෙවි පුජා වල  ගල්ලිරි බණ්ඩාර දෙවි වැදි ඇදහිල්ල වේ. මේ ඇදහිලි තුනේම අරමුණ වන්නේ සශ්‍රීකත්වය හා ආරක්ෂාවයි.
  • එමෙන්ම මිහිදන් කිරීම සිදු කරන්නේ බුද්ධාගමේ ආකාරයටයි. මෙහි අරමුණ වන්නේ මළගියවුන්ට පින් පැමිණවීමටයි.

මොවුන්ගේ වර්තමාන තත්ත්වය තරමක් දියුණු වී තිබෙන බවක් දක්නට ලැබෙනවා. නමුත් ලංකාවේ අපේ වැදි ජනතාවගේ අපි නොදන්නා පැරණි වග තුග රාශියක් ඇති බව ඔබ දැන් දන්නවා.

කවරයේ පින්තුරය:pinterest.com

මුලාශ්‍ර: Wikipedia.org

vedda.org

srilankatrekking.com

Related Articles

Exit mobile version