බොහෝ රූපවාහිනී නාලිකා වල නත්තල් සමයට නිතර ඇසෙන ගීතයකි “ By the rivers of Babylon” ගීතය. එනමුත් මෙම ගීතය පිටුපස සැඟවුනු ඉතිහාස කතාව දන්නේ කීයෙන් කී දෙනාද? මෙම ඉතිහාස කතාව නොදන්නා අය උදෙසා හා දන්නා අයගේ දැනුම තව තවත් ඔපමට්ටම් කිරීම උදෙසා මෙම සටහන මෙසේ ලියා තබමි. මෙම කතාවේ මුල මැද අග හරිහැටි පැහැදිලි කර ගැනීම සදහා ක්‍රි.පූ. අටවන සියවස තරම් ඈත අතීතයට යාමට සිදුවේ. ඊශ්‍රායලය යනු ඉතා දිගු ඉතිහාසයක් ඇති රාජ්‍යයකි. මෙම රාජ්‍යයේ රජකම් කල සලමොන් නම් රජතුමා ඉතා වැදගත් රජ කෙනෙකි. එනමුත් මොහුගේ රාජ්‍ය කාලයෙන් පසු ඇතිවූ තත්ත්වය නිසා පෙරදී එක්සත්ව පැවති ඊශ්‍රායෙල් රාජ්‍යය දෙකඩ විය. මෙම රාජ්‍යය දෙකඩ වීමට සලමොන් රජුගේ හා ඔහුගේ පුත්‍රයා වූ රෙහෙබෝවම්ගේ ක්‍රියාකලාපය බෙහෙවින් බලපෑවේය. සලමොන්ගේ රාජ්‍ය කාලයේ මිනිසුන්ට විවිධ කරදර කම්කටොළු ඇතිවූ අතර ඔහුගේ පුත්‍රයා එය දිගටම පවත්වාගෙන යාමට කටයුතු කලේය. මේ හේතුවෙන් රටේ විවිධ කැරලි ඇතිවූ අතර ජෙරුබෝවම් නැමැත්තෙක් එම කැරලි වලට නායකත්වය දරන ලදි.
මෙම බෙදී ගිය රාජ්‍යයේ උතුර, ඊශ්‍රායලය නමින් හදුන්වනු ලැබූ අතර එහි පාලනය ජෙරුබෝවම් විසින් සිදු කරන ලදි. දකුණ රෙහෙබෝවම් විසින් පාලනය කල අතර එය ජුදා ලෙස හදුන්වන ලදි. උතුරේ අගනුවර සමාරිය වූ අතර දකුණේ අගනුවර ජෙරුසලම විය. මෙකල මිනිසුන්ගේ ප්‍රධාන ආගමික සිද්ධස්ථානය වූයේ ජෙරුසලම් දේවමාලිගයයි. එමනිසා වන්දනාමාන සදහා උතුරේ සිට දකුණට යන මිනිසුන් දකුණේ රැදෙනු ඇතැයි විශ්වාස කල ජෙරුබෝවම්, රන් වස්සන් දෙදෙනෙකු සාදා එකෙක් බෙතෙල්හි හා අනෙකා දාන්හි ද තබා ඒවාට වන්දනා කරන ලෙස මිනිසුන්ට අණ කරන ලදි. ක්‍රි.පූ. 721 දක්වා ඊශ්‍රායලය විවිධ රජවරුන් යටතේ පාලනය විය. ඒත් සමඟම මෙම රාජ්‍යයේ දේශපාලනික, ආර්ථික හා සමාජීය යන අංශ ක්‍රමක්‍රමයෙන් පිරිහීමට පටන් ගත්තේය. මෙම වකවානු වන විට අසිරියානු රාජ්‍යය බලවත් වෙමින් පැවතුණි. අසිරියානු පාලකයින් ක්‍රි.පූ. 721 දී ඊශ්‍රායලය ආක්‍රමණය කර එහි සිටි ඊශ්‍රායෙල්වරු විසි අටදහසකට ආසන්න ප්‍රමාණයක් අසිරියාවට වහලුන් ලෙස ගෙනයන ලදි. අසිරියාව , විදේශ රටවල්වලින් ගෙන සිරකරුවන්ව බලහත්කාරයෙන් ඊශ්‍රායලයේ පදිංචි කරවන ලදි. ඊශ්‍රායලයෙන් රැගෙන ගිය පිරිස නැවත පැමිණියේ නැත. ඊශ්‍රායලයේ දැන් ඉතිරිව සිටින ජනතාව සමාරිතයන් ලෙස හදුන්වන ලදි. අසිරියාවේ වහලුන් හා මිශ්‍ර වීම නිසා දකුණේ විසූ ජුදෙව් ජනතාව සමාරිතයන්ව සුළු කොට සලකන ලදි. එතැන් පටන් සමාරිතයන් හා ජුදෙව්වරු අතර කිසිදු සම්බන්ධතාවයක් නොවීය.
ජේසුස්වහන්සේගේ කාලය වන විට මෙම බෙදීම ඉතා උග්‍රව පැවතුණි. ජුදෙව්වෙක් විසින් සමාරිතයෙක්ගෙන් උදව් ලබා ගැනීම එම ජුදෙව්වාට තරම් නොවන දෙයක් බව සලකන ලදි. කිසිදු ජුදෙව්වෙක් සමාරිය ගම මැදින් ගමන් කලේ නැත. වෙළඳපලට ගොස් නිවස වෙත පැමිණෙන ජුදෙව්වා නිවසට ඇතුලු වීමට පෙර ස්නානය කර පැමිණෙයි. එයට හේතුව වන්නේ වෙළදපොලේදී සමාරිතයෙක් නොදැනුවත්ව හෝ ඇඟේ වැදුනානම් එය අශුද්ධ දෙයක් ලෙස සලකනු ලැබූ බැවිනි. මේවාට එකල ආගම් උගන්වනු ලැබූ පිරිස් විසින් ද අනුබල දෙන ලදි. ක්‍රි.පූ. 596 දී නෙබුකද්නෙසර් විසින් සෙදෙකියා නැමැත්තෙක් ජුදා දේශයේ පාලකයා වශයෙන් පත් කරන ලදි. ඔහු බැබිලෝනියාවේ යටත් පාලකයෙක් ලෙස කටයුතු කල යුතු විය. එනමුත් සෙදෙකියා සැමවිටම උත්සහ කලේ බැබිලෝනියාවේ ග්‍රහනයෙන් මිදීම ලබා ගැනීමටය. මෙය තවදුරටත් වර්ධනය වෙමින් ඔහු විසින් ක්‍රි.පූ. 587 දී බැබිලෝනියාවට විරුද්ධව කැරැල්ලක් ආරම්භ කරන ලදි. මෙය සම්පූර්ණයෙන්ම පාහේ අසාර්ථක වූ අතර බැබිලෝනියන්වරු ඉතා දරුණු අන්දමින් ජෙරුසලමට පහර දෙන ලදි. මෙහිදී මහත් ජාතියකගේ ආඩම්බරයට හේතු වූ ජෙරුසලම් දේවමාලිගාව සුනු විසුණු වූ අතර ජෙරුසලම් නගරය නටබුන් නගරයක් බවට පත්විය. ඉතා දුප්පත් දේශවාසීන් හැර අනෙක් සියලුම දෙනා බැබිලෝනියන්වරු විසින් තම මව් රටට ගෙනයන ලදි.
ජුදෙව් ජනතාව මේ හේතුවෙන් ඉතා දුක්ඛිත තත්වයකට පත් විය. සදාකල් පවතී යැයි සැලකුණු දාවිත්ගේ වංශය එකවර නිමාව අත්දිටීම ඔවුන්ට සිතාගත නොහැකි විය. මෙසේ ජුදා දේශයෙන් බැබිලෝනියාවට රැගෙන ගිය අය ජුදෙව්වරු ලෙස හදුන්වන ලදි. බයිබලයේ විලාප ගී යන ග්‍රන්ථයේ ද ගීතාවලියේ 137 වන ගීතයේද මෙම ජනතාවගේ දුක් ගායනාව ඉදිරිපත් කරයි. බැබිලෝනියාවේ ජීවත්ව සිටියදී ඔවුන්ට සිතුවාට වඩා දුක් විදීමට සිදු වූයේ නැත. එකල සිටි ජුදෙව් පූජකවරු තම ආගමික සිරිත් විරිත් රැකගැනීමට බොහෝ යුහුසුළු වූහ. නිසි ලෙස වන්දනාමාන කිරීමට ජනතාව වෙත ඔවුන් නිරන්තරයෙන් උපදෙස් දුන්හ. විවිධ ස්ථානවල සිටි ජුදෙව්වරු ඒකරාශී කිරීම සදහා ඔවුන් සිනගෝග (ධර්මශාලා) නැමැති ගොඩනැගිලි ඉදිකරන ලදි. සිනගෝගයක් යනු බිත්ති තුනකින් වටවූ හා තනි වහලයකින් ආවරණය වූ කුඩා චාම් ගොඩනැගිල්ලකි. මෙය තරමක් අම්බලමකට සමානය.
පවුල් දහයකට පමණ එක් සිනගෝගයක රැස්විය හැකි විය. සිනගෝග නමස්කාර සදහා බොහෝ ප්‍රචලිත විය. මෙතෙක් වාචිකව පැවති ආගමානුකූල නීති රීති හා උපදෙස් (මෙය මිෂ්නා ලෙස හදුන්වයි) ලිඛිත ග්‍රන්ථ වශයෙන් තබා ගැනීමේ අවශ්‍යතාව පැන නැගුනේ මේ කාල වකවානු තුලදීය. මෙකලදී ජුදෙව් සිරිත් විරිත් වලට බැබිලෝනියානු සංස්කෘතිය එක් වූවත් ජුදෙව්වරු තම ඒකදේවවාදය ආරක්ෂා කරගත්තේය.ක්‍රි.පූ. 538 දක්වා මේ ජුදෙව්වරු බැබිලෝනියාවේ වාසය කලහ. ක්‍රි.පූ. 538 දී බැබිලෝනියාවේ බලය බිඳ වැටුණි. සයිරස් නම් රජ කෙනෙකුගේ නායකත්වය යටතේ පර්සියාව බබිලොන් නගරය අල්ලා ගන්නා ලදි. වැඩි කලක් යන්නට මත්තෙන් සයිරස් විසින් මුලු බැබිලෝනියාවම තමන්ගේ ග්‍රහනයට නතු කර ගත්තේය.
අප මෙතෙක් ඉදිරිපත් කළේ ගීයේ කතාවට අවශ්‍ය පසුබිමයි. ලිපිය දිග වැඩි වන නිසාත් ඓතිහාසික කරුණු බොහොමයක් ඇති නිසාත්, එම ගීතය ගැන විස්තර මීළඟ ලිපියෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නමු.
මූලාශ්‍ර:1)A history of jews – Paul Johnson 2)Jerusalam in history – K J Asali3) ඊශ්‍රායලයේ ඉතිහාසය – ජී.පී.වී. සෝමරත්න4)පරණ ගිවිසුම් සමීක්ෂණය – ජේ. ෂූල්ට්ස්5)history.com6)listverse.com
කවරයේ පින්තූරය – බැබිලෝනීය විප්‍රවාසයට රැගෙන ගිය මිනිසුන් දැක්වෙන සිතුවමක්. ( commons.wikimedia.org)