Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

වැනිලා අයිස්ක්‍රීම් රසැති අපූරු කෙසෙල්

ලෝකයේ ජීවත්වන ජනතාව වැඩියෙන්ම පරිභෝජනය කරන පළතුරු වර්ග කිහිපය අතරට කෙසෙල් ද අයත්. ලොව පුරා ජනප්‍රිය කෙසෙල් වර්තමානය වන විට බහුලවම වගා කරන්නේ ආසියාව, ලතින් ඇමරිකාව සහ අප්‍රිකාව යන කලාපයන්ගේ යි. මෙම රසවත් බෝගයට ලෝක වෙළඳපොළ තුළ තිබෙන විශාල ඉල්ලුම නිසා රසයෙන් සහ පැහැයෙන් එකිනෙකට වෙනස් කෙසෙල් ප්‍රභේද බිහිවුණා. එම ප්‍රභේද අතරින් අග්නිදිග ආසියානු කලාපය ජන්ම භූමිය වුණු නිල් ජාවා කෙසෙල් ප්‍රභේදය රසයෙන් මෙන්ම ගුණයෙන් ද අනූන යි. 

වෙළඳපොලේ විකිණීමට තිබෙන විවිධ කෙසෙල් ප්‍රභේද (krishi Jagran)

කෙසෙල් ප්‍රභේදය ගැන කෙටියෙන් 

මූසා බැල්බිසියානා සහ මූසා ඇකියුමිනාටා යනුවෙන් අග්නිදිග ආසියානු කලාපයට ආවේණික වුණු කෙසෙල් ප්‍රභේද දෙකක් තිබෙනවා. එම කෙසෙල් ප්‍රභේද 1:2 අනුපාතයට මුහුම්කර නිල් ජාවා නම් කෙසෙල් ප්‍රභේදය ලෝකයට හඳුන්වා දුන්නා. සාමාන්‍යයෙන් මෙම ප්‍රභේදයට අයත් කෙසෙල් ගසක් මීටර් 4.5-6 අතර උසකට වර්ධනය වනවා. එසේම ඇවරියක ගෙඩි 7-8 වැනි ප්‍රමාණයක් හටගන්නවා. මෙම කෙසෙල් ප්‍රභේදයට අයත් ශාක වර්ධනය වීම සඳහා හිරු එළිය හොඳින්ම අවශ්‍ය යි. එසේම වර්ෂාව නොමැති කාලයට දිනපතාම ජලය යෙදීම කළ යුතු යි. 

සාමාන්‍යයෙන් නිල් ජාවා ප්‍රභේදයට අයත් කෙසෙල් පැළයක් සිටුවා මාස 15-24 අතර කාලයක දී මල් හටගන්නවා. මල් පිපීමෙන් දින 115-150 අතර කාලයක් ගතවන විට අස්වනු නෙලනවා.

නිල් ජාවා කෙසෙල් කැනක් සාමාන්‍ය කෙසෙල් කැනක් සමග පෙනුමෙන් සැසඳුවොත් මේ වගෙයි (Pinterest) 

වැවෙන ප්‍රදේශ 

අග්නිදිග ආසියානු කලාපය මෙම කෙසෙල් වර්ගයේ ජන්ම භූමිය බවට පත්වුණු නිසා මුල් යුගයේ දී මේවා දක්නට ලැබුණේ ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි රටවල යි. අනතුරුව මෙම කෙසෙල් ප්‍රභේදය උතුරු ඕස්ට්‍රේලියාව, දකුණු ආසියාව, මධ්‍යම ඇමරිකාව වැනි කලාප දක්වා ව්‍යාප්ත වුණා. 

අග්නිදිග ආසියානු කලාපයේ රටවල්වල උදවිය මෙම කෙසෙල් ප්‍රභේදය “නිල් ජාවා” ලෙසින් හඳුන්වනු ලැබුවත් මෙයට තවත් නම් කිහිපයක් තිබෙනවා. ෆිජී දූපත්වල දී “හවායි කෙසෙල්” ලෙසින් හඳුන්වන මෙම කෙසෙල් වර්ගය මධ්‍යම ඇමරිකානු වැසියන් හඳුන්වන්නේ “සෙන්සියෝ” ලෙස යි. එසේම පිලිපීන වැසියන් මෙම කෙසෙල් විශේෂය “ක්‍රී” යන නමින් හඳුන්වනවා.

ඉන්දුනීසියාවේ නිල් ජාවා කෙසෙල් වගාවක් (Bananas.org) 

නිල් ජාවා කෙසෙල් ඇත්තටම නිල් පාට ද?

ලාංකික අප නිතර කෙසෙල් ගෙඩි ආහාරයට ගන්නවා. අප රටේ කහ, රතු, සහ ලා කොළ වැනි පැහැයන්ගෙන් යුත් කෙසෙල් වර්ග දක්නට ලැබෙනවා. නමුත් නිල් පැහැයෙන් යුත් කෙසෙල් ප්‍රභේදයක් දක්නට ලැබෙන්නේ නැහැ. එම නිසා “නිල් ජාවා කෙසෙල් වර්ගය ඇත්තටම නිල් පැහැයෙන් යුක්ත ද” යන සැකය ඔබගේ සිතෙහි මතුවන්නට ඇති. 

ඇත්ත වශයෙන්ම කිවහොත් නිල් ජාවා වර්ගයට අයත් කෙසෙල් ගෙඩියක් ඉදුණු විට කහ පැහැයක් ගෙන සාමාන්‍ය ප්‍රභේදයකට අයත් ගෙඩියක් මෙන් දිස්වනවා. නමුත් මෙම ගෙඩි නොමේරූ අවධියේ දී නිල් පැහැයක් ගන්නවා. එම අලංකාර නිල් පැහැය ලැබෙන්නේ කෙසෙල් ගෙඩි මත සෑදෙන ස්වභාවික ඉටි වර්ගයක් නිසා යි. ගෙඩිය ටිකෙන් ටික මේරීමත් සමගම එම ඉටි වර්ගය ඉවත්වන නිසා නිල් ජාවා කෙසෙල් ගෙඩි ඉදුණු විට කහ පැහැයක් ගන්නවා.

නිල් පැහැයෙන් යුත් නිල් ජාවා කෙසෙල් ගෙඩි (12 Tomatoes)

අයිස්ක්‍රීම් කෙසෙල් යනුවෙන් හඳුන්වන්නේ ඇයි?

අපේ රටේ වැවෙන කෙසෙල් වර්ග අතරින් සීනි කෙසෙල් සහ ඇඹුල් කෙසෙල් සුලබ යි. එම කෙසෙල් ප්‍රභේදවලට එවැනි නම් ලැබී ඇත්තේ ඒවායේ ඉදුණු ගෙඩි අනුභව කළ විට දිවට දැනෙන රසය නිසා යි. නිල් ජාවා කෙසෙල් “අයිස්ක්‍රීම් කෙසෙල්” යන නමින් හඳුන්වන්නේ මෙම කෙසෙල් ගෙඩියක් අනුභව කළ විට වැනිලා අයිස්ක්‍රීම්වල රසය දැනෙන නිසා යි. නිල් ජාවා කෙසෙල් පාරිභෝගිකයන් අතර ජනප්‍රියවීමට ප්‍රධාන හේතුව වන්නේ ද එය යි. මෙම කෙසෙල් වර්ගය සතුව තිබෙන ප්‍රණීත රසය නිසාම බීම, අයිස් ක්‍රීම්, ටොෆී වැනි ආහාර සෑදීම සඳහා භාවිතා කරනවා.

ඉදුණු නිල් ජාවා කෙසෙල් ගෙඩි (Food and Recipes)

පෝෂ්‍යදායක පළතුරක් 

නිල් ජාවා කෙසෙල් රසයෙන් මෙන්ම පෝෂ්‍ය ගුණයෙන් ද අනූන පළතුරක්. ඉදුණු නිල් ජාවා කෙසෙල් ගෙඩියක් ආහාරයට ගත් විට පහත සඳහන් පෝෂ්‍ය පදාර්ථයන් ඔබගේ සිරුරට ලැබෙනවා.  

* කැලරි- 105

* කාබන්- 27g

* තන්තු- 3g   

* ප්‍රෝටීන්- 1.5g

*මේදය- 0.5g

ඊට අමතරව, විටමින් බී, විටමින් සී, පැන්ටතොනික් අම්ලය, පොටෑසියම්, යකඩ, පොස්පරස්, ෆෝලේට් වැනි පෝෂක මෙහි අඩංගු වනවා.

සෞඛ්‍යමය වාසි 

නිල් ජාවා කෙසෙල් නිතරම ආහාරයට ගැනීමෙන් ඔබට සෞඛ්‍යමය වාසි රැසක් ලැබෙනවා.

1) ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා උපකාරී වෙයි 

2) ආහාර ජීර්ණය පහසුවෙන් සිදුකිරීමට උපකාරී වෙයි 

3) ප්‍රතිඔක්සිකාරකවලින් පොහොසත් පළතුරක් නිසා ඇතැම් ලෙඩරෝග පාලනය කිරීම සඳහා උපකාරී වෙයි 

මෙම කෙසෙල් වර්ගය අවශ්‍ය තරමට ආහාරයට ගැනීමෙන් ඉහත සඳහන් කරන ලද සෞඛ්‍යමය වාසි ලබාගත හැකියි. 

කවරයේ ඡායාරූපය- නිල් ජාවා ප්‍රභේදයට අයත් කෙසෙල් ගෙඩි (Fine Dining Lovers)

මූලාශ්‍රයයන්- healthline.com

Related Articles