19 වන සියවසේ අග භාගයේ දී ෆිලිපේ නිකොල් උපත ලැබුවේ පුතුන් 7 දෙනෙකුගෙන් යුතු පවුලක කණිටු පුත්‍රයා ලෙස යි. ඔහුගේ පියා අඩි 6කුත් අඟල් 3ක උසකින් යුතු දැවැන්ත පුද්ගලයෙකු වූ අතර, ෆිලිපේගේ අනෙකුත් සොහොයුරන් ද සාපේක්ෂ ව ‘උස්’ පුද්ගලයින් වුණා. කෙසේ නමුත්, ෆිලිපේ උපත ලබා තිබුණේ උපතින් ම ඔහුට හිමි ව තිබූ ශාරීරික අසාමාන්‍යතාවක් දෝතින් ම තුරුලු කරගෙන යි. ජානමය විකෘතියක් නිසා ඔහු ‘අඟුටුමිටි’භාවයට පත් ව තිබූ අතර, 12 වියැති පමණ වන විට එය හොඳින් දර්ශනය වෙන්නට පටන් ගත්තා. සමාජයෙන් ඔහුට කෙණෙහිලිකම් එල්ල වන්නට පටන් ගත්තා.
ශරීරයෙන් කුඩා වුව ද, ෆිලිපේ සිතින් ඉතා ශක්තිමත් පුද්ගලයෙකු වුණා. කිසිදු අභියෝගයකින් නොසැලුණු ඔහු මියයන විට කැනඩාවේ පොහොසත් ම ‘අඟුටුමිටි’ පුද්ගලයා බවට පත් වී තිබුණා. මේ සඳහා ඔහු ප්‍රයෝජනයට ගෙන තිබුණේ ඔහුට උරුම වූ ශාරීරික අසාමාන්‍යතාවය ම වීම සුවිශේෂී යි. ඔහු විසින් කැනඩාවේ මොන්ට්‍රියල් නුවර ඉදිකරන්නට යෙදුණු ‘අඟුටුමිටි මාළිගය’ පිළිබඳ ව අදටත් කැනේඩියානු ජනතාව නිතර කතා වෙනවා.
ෆිලිපේගේ දිවියේ මුල් සමය
1881 වසරේ කැනඩාවේ ක්විබෙක් හි උපන් ෆිලිපේ නිකොල් කුඩාකල සිට ම සිය ශාරීරික අසාමාන්‍යතාව නිසා සමාජයේ උසුළු විසුළුවලට ලක් වුණා. මේ නිසා ම ඔහුගේ පාසල් ගමන ද 12 වියැති ව සිටිය දී නිමවෙනවා. ඉන් අනතුරුව ඔහු වෙහෙසෙන්නේ අධ්‍යාපනය පසෙක තබා ජීවිකාවක් සොයාගන්නට යි.
එකල කැනඩාවේ විවිධාකාර ශාරීරික ‘අභියෝග’වලට ලක් වූවන්ට අත්කර ගත හැකි රැකියා අවස්ථා අවම වුණා. එලෙස උදා කර ගත හැකි රැකියා අවස්ථා අතළොස්ස අතරින් ප්‍රමුඛතම එකක් වූයේ සර්කස් කණ්ඩායමකට අනුයුක්ත වීම යි. බානම් හා බේලිගේ සර්කස් කණ්ඩායම මෙලෙස බොහෝ දෙනාට අවස්ථාව ලබා දුන්නා.
බානම් හා බේලිගේ සර්කස් කණ්ඩායමේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වන්නට ෆිලිපේට වැඩි කල් ගත වූයේ නැහැ. එයින් සෑහීමකට පත් විය හැකි වේතනයක් ද ඔහුට ලැබුණා. කෙසේ නමුත් තම ආදායම වැඩි කරගන්නට නිතර ම ඔහු සිහින මැව්වා. මේ සඳහා අපූරු උපායක් ඔහුට කල්පනා වුණා. තමන්ගේ අත්සන සහිත ඔහුගේ ම ඡායාරූප රාශියක් සූදානම් කර ගත් ඔහු, ඒවා ප්‍රේක්ෂකයන්ට අලෙවි කරන්නට පටන් ගත්තා. මෙය සාර්ථක වූ අතර, ඉක්මණින් ම සිය වේතනයටත් වඩා මුදලක් ඒ මඟින් උපයාගන්නට හැකි වුණා. 15 වියැති වන විට ඔහු ආර්ථික අතින් සෑහෙන දුරකට ස්ථාවර වී සිටියා.
විවාහය හා අඟුටුමිටි මාළිගය පිළිබඳ අදහස
බානම් හා බේලිගේ සර්කස් දර්ශන කැනඩාව හා ඇමෙරිකාව පුරා ඉක්මණින් ම ප්‍රසිද්ධියට පත් වුණා. 1906 වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති දර්ශන වාරයක් අතරතුර ෆිලිපේට රෝස් ඩුෆ්‍රේන් නම් කාන්තාවක් මුණ ගැසෙනවා. ඇය ද උසින් ඉතා අඩු තැනැත්තියක වූ අතර, අඩි 3ක් පමණ උස් වූ ෆිලිපේට වඩා ස්වල්පයක් උසින් වැඩි වුණා. ඇය හා පෙමින් බැඳුණු ෆිලිපේ 1913 වසරේ දී විවාහ වූ අතර, ඒ වන විට දෙදෙනා ම විශාල මුදලක් උපයා තිබූ බැවින් සර්කස් කණ්ඩායමෙන් ඉවත් වී මොන්ට්‍රියල් නුවර කරා පැමිණෙනවා.
ෆිලිපේ හා රෝස් යන දෙදෙනා ම සිය උපන් ‘අසාමාන්‍යතාව’ දුර්වලතාවක් ලෙස සැලකූවේ නැහැ. එමෙන්ම ශාරීරික දුර්වලතා සහිත පුද්ගලයින් සමාජයේ අවමන්වලට ලක් වීම පිළිබඳ ව ඔවුන් දුක්වුණා. එය වළක්වා ඔවුනට පිළිගැනීමක් ලැබෙන ආකාරයේ යමක් සිදුකිරීමට ඔවුන් දෙදෙනා කල්පනා කළා. ‘අඟුටුමිටි මාළිගයක්’ පිළිබඳ අදහස පිලිෆේගේ සිතට පැමිණෙන්නේ මේ අතර යි. සිය පෙනුම යොදාගෙන මුදල් උල්පතක් උත්පාදනය කළ හැකි බව ඔහු අධ්‍යයනය කළා.
අඟුටුමිටි මාළිගය ගොඩනැඟෙයි
1910 දශකය වන විට පිලිෆේ සතු ව මොන්ට්‍රියල් නුවර රේචල් වීදියේ නිවසක් තිබුණා. ඔහු එය ‘අඟුටුමිටි’ පුද්ගලයින්ට භාවිතයට පහසු වන ලෙස නව්‍යකරණයට භාජනය කළා. සිය නිවස ‘අඟුටු මිටි මාළිගය’ ලෙස නම් කළ ඔහු, එහි ගෘහ භාණ්ඩ සහ අනෙකුත් උපකරණ ද තමා වැනි පුද්ගලයින්ගේ භාවිතයට සරිලන සේ නිපදවා ස්ථානගත කළා. ඉන් අනතුරුව තමන් හා රෝස් ‘ලොව කුඩා ම විවාහක යුවළ’ ලෙස නම් කරනු ලබා, ඔවුන් එහි රජු හා රැජින ලෙස දැක්වෙන පත්‍රිකා මුද්‍රණය කර දසත බෙදා හැරියා. කුඩා පියානෝවක් ද ඔහු නිර්මාණය කළේ තමන් නැරඹීමට එන උදවියගේ සිත් සතන් පිනවීමට යි.
මොන්ට්‍රියල් හි අඟුටුමිටි මාළිගය ඉතා ඉක්මණින් කැනඩාව පමණක් නොව ලොව පුරා ජනප්‍රිය වුණා. දසදහස් ගණන් ජනයා එය නැරඹීමට ඇදී ආවා. එහි ගමන් කරන විට තමන් ‘යෝධයෙකු’ සේ හැඟී යාම බොහෝ දෙනා ප්‍රිය කළ සාධකයක් වුණා. මීට අමතර ව, එහි සේවය කිරීමට ද තමා වන් ම උසින් අඩු පුද්ගලයින් පමණක් යොදා ගන්නට ෆිලිපේ අමතක කළේ නැහැ.
ෆිලිපේගේ අවසන් සමය
මුදල් හා ප්‍රසිද්ධියේ හිණිපෙත්තට ළඟා වෙමින් සිටි ෆිලිපේ හා රෝස්ට දරු සුරතල් බැලීමේ ආශාවක් ඇති වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1926 වසරේ දී ඔවුනට පුත් රුවනක් ලැබෙන අතර, ඔහු කණිෂ්ඨ ෆිලිපේ ලෙස හැඳින්වුණා. ඔහු ද සිය මවුපියන් මෙන්ම ශරීරයෙන් කුඩා අයෙකු වුණා.
1940 වසරේ මැයි මස 13 වන දා ෆිලිපේ මිය යන්නේ ‘ලොව ධනවත් ම අඟුටුමිටි මිනිසා’ ලෙස යි. මින් අනතුරුව ඒ වන විට 13 වියැති ව සිටි ඔහුගේ පුත් ‘මාළිගයේ’ භාරකාරීත්වය ලබා ගත්තා. කෙසේ නමුත් ඔහු සිය පියා මෙන් සාර්ථක නොවූයේ සොරකම් කිහිපයකට ඔහුගේ නාමය ඈඳීමත් සමග යි. මේ සඳහා ඔහු දඬුවම් ද ලැබූ අතර, මේ හේතුවෙන් අඟුටුමිටි මාළිගයට තිබූ ප්‍රසිද්ධියත් අඩු වුණා. 1964 වසරේ දී රෝස් ද මියගියා.
හිමිකාරීත්වය වෙනස් වීම හා අඟුටුමිටි මාළිගයේ පරිහානිය
සිය මවගේ මරණයත් සමග අඟුටුමිටි මාළිගයේ හිමිකාරීත්වය සම්පූර්ණයෙන් කනිෂ්ඨ ෆිලිපේට පැවරුණා. කෙසේ නමුත් ඔහුගේ හැසිරීම නිසා එය දිනෙන් දින පරිහානියට පත් වුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1972 වසරේ දී මෙහි හිමිකාරීත්වය ඒ වන විට එහි සේවය කළ හ්‍යුගෙට් රූ නම් තැනැත්තියට පැවරුණා. ඇය නැවතත් එය නඟා සිටුවන්නට උත්සාහ කළා. ඇය වඩා අධ්‍යාපනික ලෙස එය පවත්වාගෙන ගිය අතර, තවත් කුඩා ශරීර සහිත පුද්ගලයින් කිහිපදෙනෙකුට ම එහි නවාතැන් ද ලබා දුන්නා. ඇය විසින් කැනඩාව තුළ තමා වන් පුද්ගලයින් සඳහා වූ සමාජයක් ද පිහිටුවීමට කටයුතු කළා. කෙසේ නමුත් පෙර පැවති ජනප්‍රිය බව නැවත අඟුටුමිටි මාළිගය කරා ළඟා කරවීමට ඇයට හැකි වූයේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස 1990 වසරේ දී එය ස්ථිර ලෙස වසා දැමෙනවා.
කනිෂ්ඨ ෆිලිපේ, මොන්ට්‍රියල් නුවර දී ම 1992 වසරේ අප්‍රේල් මස 6 වන දා මිය යනවා.