වැනිසීයේ ශාන්ත මාක්ගේ චතුරස්‍රය පමණක් නොව අනෙකුත් වීදි පවා පෙබරවාරි මාසයේ දී මිනිසුන්ගෙන් අතුරු සිදුරු නොමැති ව පිරී යන බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. නොයෙක් පැහැ මිණි කැට සහ කුරුලු පිහාටු යොදාගෙන සරසන ලද විසිතුරු වෙස් මුහුණු පැලඳගෙන වැනීසියානුවන් පමණක් නොව දෙස් විදෙස් සංචාරකයින් පවා සෑම වසරක ම පෙබරවාරි මාසයේ දී මෙසේ වීදි බසින්නේ සියවස් ගණනක් පැරණි වැනීසියේ සැණකෙළිය ඉහළින් ම සැමරීමේ අරමුණෙන්.
වැනීසියට ආවේණික මනරම් සාම්ප්‍රදායන් ලෝකයට විදහා දක්වන ‘වැනීසියේ සැණකෙළිය’ 2018 වර්ෂයේ දී පැවැත් වුණේ ජනවාරි 27 – පෙබරවාරි 13 වැනි දින දක්වා යි. මේ දෙස් විදෙස් සංචාරකයින් දහස් ගණනක් වැනීසියට ආකර්ෂණය කර ගැනීමට දායක වන වැනීසියේ සැණකෙළිය ගැන තොරතුරු බිඳක්.
සියවස් ගණනක් පැරණි සාම්ප්‍රදායක්
සාම්ප්‍රදායික ව කොරොස්ම කාලය හෙවත් වතාරික සමයේ (Great Lent) ඇරඹුමට පෙර එළැඹෙන අවසන් දින කිහිපයේ දී සමරනු ලබන ‘වැනීසියේ සැණකෙළිය’, වැනීසියේ උත්තර මන්ත්‍රණ සභාව විසින් ප්‍රසිද්ධ උත්සවයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1296 දී සම්මත කරන ලද පනතක් මගින්. නමුත් 5 වැනි සියවසේ සිට ම වැනීසියානුවන් විසින් මෙය සමරන ලද බවට සාක්ෂි පවතින අතර ක්‍රිස්තු වර්ෂ 1094 දී එවකට වැනීසියේ ප්‍රධාන මහේස්ත්‍රාත් වූ ෆලිඑරෝ විසින් අත්සන් කරන ලද අධිකාර පත්‍රයක ද වැනීසියේ සැණකෙළිය ගැන සඳහන් කර තිබෙනවා.
අතීතයේ දී සති කිහිපයක් පුරාවට සමරන ලද ‘වැනීසියේ සැණකෙළිය’ කොරොස්ම කාලයට පෙර නගර වැසියන්ට විනෝද වීමට ඇති අවසන් අවස්ථාව ලෙස සලකා ඇති අතර නගර වැසියන් සෑම දෙනා ම පාහේ කාලය ගත කර ඇත්තෙ රැකියාවන් හි නිරත නොවී නැටුම්, ගැයුම් සහ භෝජන සංග්‍රහ පැවැත්වීමට යි. එසේ ම විවිධ සමාජ ස්තරයන්ට අයත් පුද්ගලයින් අතර පවතින වෙනස්කම් සැඟවීමේ අරමුණෙන් විසිතුරු වෙස් මුහුණු කරළියට පැමිණ ඇති අතර ‘වැනීසියේ සැණකෙළිය’ පැවැත්වෙන අතරතුර දී රදල පැලැන්තිය හාස්‍යයට ලක් කිරීමට පවා සාමාන්‍ය වැසියන්ට අවස්ථාව හිමි වී තිබෙනවා.
මේ කාල සීමාව තුළ දී වැනීසිය පුරා සංගීතඥයින්, නාට්‍ය ශිල්පීන්, කරනම්කරුවන් සහ විජ්ජාකාරයින්ගේ සංදර්ශන පවත්වා ඇති අතර නිවෙස් සහ කුඩා අවන්හල් හි පෞද්ගලික උත්සව පවා සංවිධානය කර තිබෙන බව සඳහන්. එසේ ම රංග ශාලාවන් හි වඩාත් ජනප්‍රිය ව පැවතී ඇත්තේ වෙස් මුහුණු පැලඳගෙන ඉදිරිපත් කරන ලද නාට්‍ය යි.
18 වැනි සියවසේ දී ‘වැනීසියේ සැණකෙළිය’ සතු සුන්දරත්වය පිළිබඳ ව තොරතුරු ලොව පුරා පැතිරී ගියේ එයට ජාත්‍යන්තර කීර්තියක් අත් කර දෙමින්. නමුත් අවාසනාවන්ත ලෙස 18 වැනි සියවසේ අග භාගයේ දී මුලින් ම ප්‍රංශය ද පසු ව ඔස්ට්‍රියාව ද වැනීසිය අත්පත් කර ගත් අතර ඔවුන් වෙස් මුහුණු පැලඳීමේ සාම්ප්‍රදාය තහනම් කර තිබෙනවා. නමුත් වැනීසියේ ඇතැම් කොටස්වල රහසේ දිගින් දිගට ම ‘වැනීසියේ සැණකෙළිය’ පවත්වාගෙන ගොස් ඇති අතර 1979 දී යළිත් වරක් පැරණි සාම්ප්‍රදාය වැනීසිය තුළ ස්ථාපිත කිරීමට රජය කටයුතු කළා.
‘වැනීසියේ සැණකෙළිය’ අද
වර්තමානයේ දී ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් බවට පත් ව ඇති ‘වැනීසියේ සැණකෙළිය’ පැවැත්වෙන කාල සීමාවේ දී මිලියන 3 ක පමණ ජන සංඛ්‍යාවක් වැනීසියට පැමිණෙන බව සඳහන්. අතීතයේ දී මෙන් ම වර්තමානයේ දී ද වැනීසියානුවන් විසිතුරු වෙස් මුහුණු පැලඳගෙන වීදි පුරා සංචාරය කරමින් විනෝද වන අතර රජය විසින් නගරයේ ස්ථාන කිහිපයක ම නොයෙකුත් සංස්කෘතික අංග පැවැත්වීමට කටයුතු කරනවා. සාමාන්‍යයෙන් සති කිහිපයක් පැවැත්වෙන ‘වැනීසියේ සැණකෙළිය’ සතු වැදගත් ම දිනයන් ද්විත්වය ලෙස සැලකෙන්නේ සැණකෙළිය අවසන් වීමට පෙර එළැඹෙන බ්‍රහස්පතින්දා හෙවත් ‘තරබාරු බ්‍රහස්පතින්දා’ සහ සැණකෙළිය අවසන් වන අඟහරුවාදා දිනය හෙවත් ‘තරබාරු අඟහරුවාදා’ යි.
වැනීසියේ ස්ථාන කිහිපයක උත්සව සංවිධානය කර තිබුණ ද වඩාත් ආකර්ෂණීය සැණකෙළිය පවත්වන්නේ ශාන්ත මාක්ගේ චතුරස්‍රයේ යි. සැණකෙළියේ අවසන් සිකුරාදා සහ අඟහරුවාදා දිනයන් හි එහි ඉදි කරන ලද සුවිසල් දැවමය වේදිකාවක් මත ‘හොඳ ම වෙස් මුහුණ’ සඳහා ත්‍යාග පිරි නැමීම සිදු කරනවා. එසේ ම වැනීසිය පුරා ගමනේ යන පෙළපාලි කිහිපයක් ම ආරම්භ වන්නේ ද මෙහි දී යි.
වැනීසියානු විසිතුරු වෙස් මුහුණු
නොයෙක් පැහැ මිණි කැට සහ කුරුලු පිහාටු යොදාගෙන සරසන ලද වැනීසියානු වෙස් මුහුණු, ‘වැනීසියේ සැණකෙළිය’ ඇරඹුණු කාලයේ පටන් ම භාවිතයේ පැවති බව යි ඓතිහාසික සාක්ෂි පෙන්වා දෙන්නේ. මේ වෙස් මුහුණු ආකාර කිහිපයකින් යුතු යි.
බවුටා : සම්පූර්ණ මුහුණ ම ආවරණය කරන වෙස් මුහුණක් වන මෙහි විශේෂත්වය වන්නේ මුඛය සඳහා විවරයක් නොමැති වීම යි. නමුත් පැලඳ සිටින්නාට වෙස් මුහුණ නොගලවා පහසුවෙන් ආහාර ගත හැකි වන ලෙස වෙස් මුහුණට උඩු අතට පිහිටි චත්‍රරස්‍රාකාර හනුවක් ඇතුළත් කර තිබෙනවා.
කොළොම්බිනා : රන්, රිදී, පළිඟු සහ කුරුලු පිහාටු යොදාගෙන අතිශය අලංකාර ලෙස හැඩ ගන්වන මෙම වෙස් මුහුණු ආවරණය කරන්නේ මුහුණේ අඩක් පමණ යි. මෙය මුල් වරට හඳුන්වා දී ඇත්තේ තම සොඳුරු මුහුණු සම්පූර්ණයෙන් ම ආවරණය කර ගැනීමට කැමැත්තක් නොදැක් වූ නිළියක් විසින්.
වසංගත වෛද්‍යවරයා : දිගු හොටයක් සහිත වෙස් මුහුණක් වන මෙය හඳුන්වා දී ඇත්තේ 17 වැනි සියවසේ දී යි. මෙය වසංගත රෝගීන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් පැලඳි ආරක්ෂිත වෙස් මුහුණ සමාන වෙනවා.
මොරේටා : කාන්තා මුහුණේ හැඩය ඉස්මතු කරන ආකාරයට නිර්මාණය කරන මෙය පලඳින්නේ දැල් සහිත මුහුණු වැස්මක් සමග යි.
වොල්ටෝ : සම්පූර්ණයෙන් සුදු පැහැති මෙම වෙස් මුහුණ සැහැල්ලු වන අතර තරමක් දුරට අවතාරයක ස්වභාවය ගන්නවා.
කවරයේ පින්තූරය : © Intlekofer Roger